UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2015.05.03

අසිරිමත් වෙසක් දිනය

තිහාසික ශ්‍රී වෛශාඛ දිනය උදාවෙත්ම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ මනසට නිරන්තරයෙන් සිහියට නැගෙනුයේ ශාන්තිනායක තථාගත බුදුපියාණන් වහන්සේය. සිද්ධාර්ථ කුමාරෝප්පත්තියත්, ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමත්, එතැන් පටන් පතළ මහ කරුණාවෙන් පිහිට වෙමින් තුන් ලෝ සතුන් සසර කතරෙන් එතෙර කරවමින් පුරා පන්සාළිස් වසකට පසු පරිනිර්වාණයට පත්වීමත් යන අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන දිනය වෙසක් පොහොය දවසයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ඇරැඹෙන දිනය මෙන්ම 2604 සම්බුද්ධත්ව ජයන්ති දිනය ද මෙම වෙසක් පොහොය දවසට යෙදී ඇත.

තම ජීවිතයේ අන් කවර දිනක හෝ පෙහෙවස් සමාදන් නොවූ අයද, උදා වූ වෙසක් පුන් පොහෝ දින හිමිදිරියේ ම සුදුවතින් සැරසී තෙල්, මල්, සුවඳ දුම් රැගෙන විහාරස්ථාන වෙත පින නගන්නේත්, වෙනත් කිසිදු දිනයක භාවනාවක නොයෙදුණු අය පවා භාවනාවෙහි යෙදෙන්නේත්, වසරේ අන් කවරදාක හෝ බණ නො අසන අය පවා මෙම වෙසක් පෝදා සැදැහැසිතින් බණ අහන්නේත්, අන් කවර දිනක හෝ පන්සලකට නොයන අය පවා පන්සල වෙත පිය නගන්නේත්, හැම බොදු නිවසකම බෞද්ධ කොඩියකින්, වෙසක් පහන් කූඩුවකින් වෙසක් සැරසිල්ලකින් අලංකාර කරනුයේත්, දුගී මගී යාචකාදීන් වෙත අන් කවරදාකවත් උපකාර නොකරන අය පවා මනා දානපති පරිත්‍යාගශීලීන් බවට පත්ව වෙසක් දන්සැල් ආදිය පවත්වන්නේත් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ අපමණ සම්බුදු ගුණ සිහියට නැගෙන හෙයිනි.

පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි පරහිත සුව පිණිස මුළු ජීවිතයම කැප කළ ශාස්තෘන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේය. මෛත්‍රී කරුණාවෙන් තෙත් වූ උන්වහන්සේ පරෝපකාරයෙහි පරම කෙළවරට පැමිණියහ. තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අවවාදය හා ආදර්ශය නම් අන්‍යයන් වෙත උපකාර කිරීමය. උන්වහන්සේ පළමු රහත් සැට නමට දුන් අවවාදය නම් මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, සුව පිණිස සැරි සරව් යන අවවාද යයි.

උන්වහන්සේ ඉපදුනේ ගසක්ටදීය. සම්මාසම්බුද්ධත්වයට පත්වූයේ ඇසතු වෘක්ෂය සෙවණේ ය. පරිනිර්වාණයට පත් වූයේ ද ගසක් යටදීය. චාම්, සරල දිවියෙහි අගය පළමුව ලොවට ආදර්ශයෙන් හෙළිකළ බුදුපියාණන් වහන්සේගේ බුදුසිරිත ම අසිරිමත් ය. බුදුරජාණන් වහන්සේගේ දින චරියාවෙහි ලද සුළු විවේකයක් හැර දවසේ වැඩිම කොටසක් වෙන් වූයේ තුන් ලොව දුකට පත්වූවන් ඒ දුකින් මුදවා ලොව්තුරා දහම් සුවය ළඟා කර දීමටය.

ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහි දී බුදුරජාණන් වහන්සේ පිදීමට ආමිස පූජාවට පමණක් සීමා නොකොට ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වී වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති පූජාවෙහිම යෙදීමෙන් ජීවිතයේ දෙලොව සැනසීම උදාකර ගැනීමට නොඅඩුව හැකිවනු ඇත.

ලබන වසරේ වෙසක් පොහොය එළඹෙන විට සතුටුවීමට නම් මේ වසරේ උදාවූ වෙසක් පොහොය දින තමන්ගේ ජීවිතයට වටිනා යමක් ඒකරාශී කරගත යුතු වේ. කය, සිත, වචනය යන තිදොර සංවරය වෙසක් පෝදාට පමණක් සීමා නොකර ජීවිතාන්තය දක්වාම එබඳු සංවර, සාමකාමී ජීවිතයක් ගත කිරීමට අදිටන් කර ගැනීමද යහපත් වෙසක් අදිටනක් වේ. වෙසක් දින අර්ථවත්ව ගත කළේ යැයි මහත් සැනසීමට පත්වීමට ද එය හේතුවනු ඇත.

මනුස්ස ජීවිතය තුළ කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් තෙකොටසකට වෙන් කර ගත හොත් එයින් එක් කාලයක දී හෝ තිදොර සංවර කර ගැනීමට සීමා කළ යුතු නොවේ. උදාවන හැම මොහොතකම එබඳු දිවියක් ගත කළ හැක්කේ නම් එය සසර ගමනේ මහඟු දායාදයක් වනු ඇත.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]