UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දසබලධාරී සම්බුදු සමිඳුන් හද මඬලෙන් සරණ යමු

දසබලධාරී සම්බුදු සමිඳුන් හද මඬලෙන් සරණ යමු

අප තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන මේ වෙසඟේ පුන් පොහෝ දිනයෙහි ඒ තථාගතයන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහි කිරීම, ඉතාමත් වටිනාම කර්තව්‍යයකි. මෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ අප සරණ යන්නේ උන්වහන්සේ තුළ මොන තරම් උතුම් ඥාන, බල තිබෙන නිසාද යන්න දැන ගැනීම සියලු දෙනාටම ඉතාමත් වැදගත් වේ.

මේ ලිපිය තුළින් විස්තර කෙරෙන්නේ උන්වහන්සේගේ ඥානයන් හා බලයන්ය. අංගුත්තර නිකායේ දෙවන කොටසේ චතුක්ක නිපාතයේ භාණ්ඩගාම වර්ගයේ අටවන සූත්‍රය වන වේසාරිජ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන පිළිබඳව අපට ඉගෙන ගැනීමට හැකිවෙයි. එවැනි විශාරද ඥාන හතරක් තිබේ. (1) සම්මා සම්බුද්ධ යැයි ප්‍රකාශ කරන ඔබ වහන්සේ මේ කරුණ අවබෝධ කරගෙන නැත කියා, (2) සියලු කෙලෙසුන් ප්‍රහීණ කර තිබේ යැයි ප්‍රකාශ කරන ඔබ වහන්සේගේ මේ කෙලෙස් ප්‍රහීණ වී නැතැයි කියා හෝ (3) “ඔබ වහන්සේ විසින් අන්තරායකර ධර්මයන් කියා දේශනා කර තිබෙන ධර්මයන් සිදු කළාට එවැනි අන්තරායක් සිදු නොවේ” කියා හෝ (4) “ඔබ වහන්සේ විසින් යම් අර්ථයක් පිණිස ධර්මය දේශනා කරන ලද්දේද, ඒ ධර්මය ප්‍රගුණ කළාට දුක නැති කර ගත නොහැකියි” කියා හෝ කරුණු සහිතව චෝදනා කිරීමට සමත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ උන්වහන්සේට දැන ගත නොහැකිය. එවැනි පුද්ගලයෙක් නොදකින නිසා බුදුරජාණන් වහන්සේ ක්ෂේමයට පැමිණ වාසය කරති. නිර්භය භාවයට පත්ව වාසය කරති. විශාරදත්වයට පත්ව වාසය කරති. අප තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන හතර පිළිබඳව දැන් ඔබට විශාල අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව තිබේ. මෙවැනි උදාර ඥාන තිබෙන වෙනත් ශාස්තෘවරයෙකු මේ තුන් ලෝකයේම නැත. එබැවින් අප සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහනසේගේ මේ උතුම් විශාරද ඥාන අවබෝධ කරගෙනම සරණට පත්විය යුතුවේ.

එමෙන්ම උන්වහන්සේ තථාගත බල දහයකින් සමන්නාගත වන සේක. පළමුවන තථාගත බලය වන්නේ ඨානාඨාන ඥානයයි. එනම් හේතු වශයෙන්, සිදුවිය හැකි තැන් වශයෙන් පරිපූර්ණ වශයෙන් ලබන ඥානයයි. මේ ඥානයට උන්වහන්සේට බොහෝ දේවල් දැනගත හැකිය. ආර්ය සම්මා දිට්ඨියට පත් සෝවාන් ශ්‍රාවකයා තමාගේ මවගේ ජීවිතය තොර කිරීම හෝ තමාගේ මෑණියන්ට අතින් හෝ පයින් අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට නොලැබෙයි. තම පියාගේ ජීවිතය තොර කිරීම හෝ පියාට අතින් හෝ පයින් අධිකව හිංසා කිරීම යන කරුණු දකින්නට නොලැබෙයි. රහතන් වහන්සේලාගේ දිවි තොර කිරීම හෝ උන් වහන්සේලාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණු දක්නට නොලැබෙයි. සංඝ භේද කිරීම හෝ සංඝයා අතර භේද කිරීමට උත්සාහ කිරීම යන කරුණ දකින්නට නොලැබේ. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම හෝ පිරිනිවන් පෑ තථාගතයන් වහන්සේගේ ස්තූපය දුෂ්ට සිතින් බිඳීම යන කරුණ දකින්නට නොලැබේ. එහෙත් පෘතග්ජන පුද්ගලයා තමාගේ මවගේ ජීවිතය තොර කිරීම හෝ තමාගේ මවට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට ලැබේ. පියාගේ ජීවිතය තොර කිරීම හෝ පියාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට ලැබේ. රහතන් වහන්සේලා ජීවිතයෙන් තොර කිරීම හා උන්වහන්සේලාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දක්නට ලැබේ. සංඝ භේද කිරීම හෝ සංඝයා අතර භේදයට උත්සාහ කිරීම කරන්නේය යන කරුණ දක්නට ලැබේ. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම හා උන්වහන්සේගේ ස්තූපය දුෂ්ට සිතින් බිඳීම යන කරුණ දක්නට ලැබේ.

එමෙන්ම ආර්ය සම්මා දිට්ඨිය ලැබූ සෝවාන් ශ්‍රාවකයා තමාගේ පණ රැක ගැනීම උදෙසාවත් අන්‍ය ශාස්තෘවරයෙකු තමාගේ ශාස්තෘවරයා කියා අදහාගෙන පෙන්වීම යන කරුණු දකින්නට නොලැබෙයි. පින් සලකාගෙන දන්දීම පිණිස මේ බුදු සසුනේත් බාහිර අන් අයෙකු සෙවීම යන කරුණ දකින්නට නොලැබෙයි. ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසුදු බව අදහන්නේය යන කරුණ දක්නට නොලැබෙයි. එහෙත් පෘතග්ජන පුද්ගලයා සිය පණ රැක ගැනීම උදෙසා අන්‍ය ශාස්තෘවරයෙකු තම ශාස්තෘවරයා ලෙස පෙන්වීම යන කරුණ දකින්නට ලැබෙයි. පින් සලකා දන්දීම පිණිස බුදු සසුනෙන් බාහිර අන් කෙනෙකු සෙවීම යන කරුණ දක්නට ලැබේ. ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසුදු බව ඇදහීම යන කරුණ දක්නට ලැබේ.

ස්ත්‍රියක් සක්විති රජු බවට පත්වන්නේය යන කරුණද ස්ත්‍රියක් සක් දෙවිඳු බවට පත්වන්නේය යන කරුණද, ස්ත්‍රියක් පාපී මාරයා බවට පත්වන්නේය යන කරුණද, ස්ත්‍රියක් මහා බ්‍රහ්මයා වන්නේය යන කරුණද, ස්ත්‍රියක් තථාගත අරහත් සම්මා සම්බුදු වන්නේය යන කරුණද දකින්නට නොලැබෙයි. එහෙත් පුරුෂයෙක් සක්විති රජු බවට පත්වීම යන කරුණද, සක් දෙවිඳු බවට පත්වීම යන කරුණද, පාපී මාරයා බවට පත්වීම යන කරුණද, මහා බ්‍රහ්මයා බවට පත්වීම යන කරුණද, තථාගත අර්හත් සම්මා සම්බුදු බවට පත්වීම යන කරුණද දකින්නට ලැබේ. තථාගත අර්හත් සම්මා සම්බුදුවරු දෙනමක් පෙර පසු නොවී එකම අවස්ථාවක එක් ලෝක ධාතුවක ඉපදීම හෝ ධර්මය දේශනා කිරීම යන කරුණ දකින්නට නොලබෙයි. තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් නමක් පමණක් එක් ලෝක ධාතුවක ඉපදීම හා ධර්මය දේශනා කිරීම යන කරුණ දක්නට ලැබේ. මේ ආකාරයෙන් වූ විවිධ කරුණු පිළිබඳව ඉතා නිවැරැදි ලෙස දැන ගැනීම ඨානාඨාන ඥානය තුළින් දැනගත හැකිවේ.

දෙවන තථාගත බලය වන්නේ සබ්බත්ථගාමිනි පටිපදා ඥානයයි. නිරයෙහි තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුර නිකායේ, දිව්‍ය ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට අදාළ කරුණු උපකාර වූ විට ප්‍රත්‍යය වූ විට ඒ ඒ තැන්වල උපදින්නේය යන කරුණත් පිරිනිවන්පෑමට අදාළ කරුණ උපකාර ලද විට ප්‍රත්‍යයක් ලැබූ විට පිරිනිවන් පාන්නේය යන කරුණත් මේ ඥාන තුළින් දැන ගත හැකි වේ. මේ සියලු තැන්වලට ගෙනයන ප්‍රතිපදාව වන අතර මේ ප්‍රතිපදාවේ හේතු වශයෙන්, වියහැකි තැන් වශයෙන් සම්පූර්ණ කොට දන්නා ඥානය සබ්බත්ථ ගාමිනී පටිපදා ඥානයයි.

පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව, කාම ධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව, නෙක්ඛම්ම ධාතුව, අව්‍යාපාද ධාතුව, අවිහිංසා ධාතුව, දුක්ඛ ධාතුව, දෝමනස්ස ධාතුව, අවිද්‍යා ධාතුව, සුඛ ධාතුව, සෝමනස්ස ධාතුව, උපේක්ෂා ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, නිරෝධ ධාතුව, සංඛාර ධාතුව, නිර්වාණ ධාතුව, ආදී අනේක ධාතු ස්වභාවයෙන් යුතු නා නා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණයෙන් දන්නා ඥානය තුන්වෙනි තථාගත බලයයි. එය අනේක ධාතු නා නා ධාතු ඥානය නම් වේ.

ඉතිරි කොටස වෙසක් අව අටවක (11) පත්‍රයේ පළවේ.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]