UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියත් සම්බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණයත් සිහිකරන වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධ වන්නේ උන්වහන්සේගේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහො දිනකම සිදු වූ නිසාය.

බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහා වංශයේ සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු ලංකාවට වැඩි උන්වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේදී යක්ෂයන් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මනිඅක්ඛික නාග රජු ද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බව ද සිහිකරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී සිදුවිය. චූලෝදර නාරජු සහ මහෝදර නාරජු අතර මිණිපළගක් අරභයා එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත්කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදි. මහෝදර නාරජුගේ සහෝදරි වූ තිරච්ඡිකා උතුරේ නාගදීපයේ කන්ඩවමන් පව්වේ වාසය කළ නාරජුට සරණ පාවා දෙන ලදී. ඇගේ පියා විසින් එහි දී මණිපල්ලංකය ඇයට දෙන ලදී. ඇගේ ඇවෑමෙන් ඇගේ පුත් චූලෝදරට එය අයිති විය. නමුත් චූලෝදරගේ මාමා වූ මහෝදර ඊට විරුද්ධ වූ බැවින් දෙපක්ෂය අතර මහා සටනකට සූදානමක් ඇති විය. ශාස්තෘන් වහන්සේ ගැටුම වැළැක්වීමට ස්ථානයට පැමිණිසේක. එහිදී ද කැලණියේ මණිඅක්ඛික නාරජුට බුදුරජාණන් වහන්සේ හමුවිය. එහිදි සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදු නොවූ නිසා මණිඅක්ඛික නාරජු ඉන්දියාවේ ජෙතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසට බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේදී වෙසක් පුන් පොහෝ දිනක පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැලණියට වැඩම කළහ. (මහාවංශය 1 පරිච්ඡේදය 65-68 ගාථා) මේ ගමන අනෙකුත් ගමන් අවස්ථා දෙකට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ පළමු වතාවට මේ ලංකා භූමිය ස්පර්ශ කිරීමයි. අනෙක් අවස්ථා දෙකේදීම උන්වහන්සේ ආකාශයේ වැඩසිටිමින් ප්‍රාතිහාර්ය පෑම් සහ අවවාද අනුශාසනා දීම සිදුකර ඇත. එහෙත් කැලණියට වැඩමවීමේ වැදගත්කම සනිටුහන් වන්නේ එහි දී උන්වහන්සේ කායිකව ලංකා භූමිස්පර්ශය සිදුකිරීමයි. මෙම ගමනේදී කැලණි නදියෙන් ජලස්නානය ද කර ඇත. පූජාවලිය සඳහන් කරන අන්දමට ජලස්නානය කරන අවස්ථාවේදී උන්වහන්සේ කැලණි ගඟ අසබඩ ශ්‍රීපාද ලාංඡනයක් ද පිහිටුවූ බවයි. “එම නාරජුහුගේ ආරාධනාවෙන් කැලණි ගඟයට ද ඕහට පාද ලාංඡනයක් දි...” (පූජාවලිය 33 වැනි පරිච්ඡේදය) ඉන් අනතුරුව වර්තමාන සෑය පිහිටි තැන වැඩ හිඳ මහරහතුන් සමඟ දන් වළදා මණිඅක්ඛික නාරජුන් ඇතුළු පිරිසට දම් දෙසූහ. මේ සිද්ධිය ශිලා ලේඛනවල මෙන්ම සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කර ඇත.

රජ මහ කැලණියේ විභිෂණ දේවාලයේ තිබී හමුවූ ටැම් ලිපියක, “කැලණි රද්මහවෙහෙරැ උදකස්දා නින්දු මගුල් දාගැබ්බහි” යන සඳහනත්, කිත්සිරිමෙවන් කැලණියේ තිබී හමුවූ ටැම් ලිපියක “කැලණි වෙහෙරැ උදකස්දා කොට” යන ප්‍රකාශයෙන් සඳහන් වන “උදකස්දා” යන වචනය බුදුරජාණන් වහන්සේ ජලස්නානය පිණිස පොරවන ලද ජල සාටක ධාතුව බව සෙනරත් පරණවිතාන ශූරීහු පවසති. (ලංකා ශිලා ලිපි සංග්‍රහය ධ්ඍ වෙළුම 1 කොටස පිටු 1-7) එම ජලසාටකය තැන්පත් කර ඉදිවූ දෙවන ස්තූපයක් කැලණියේ තිබූ අතර කනිෂ්ඨතිස්ස රජු එම ස්තූපයට කළ පූජාවක් ගැන එම සෙල්ලිපියේ සඳහන් වේ. කෝට්ටේ යුගයේ රචිත සැළලිහිණි සන්දේශයේ ද බුදුරජුන්ගේ ජලසාටකය තැන්පත් කළ ස්තූපයක් ගැන සඳහන් කර ඇත. “තැන කළ සිවුරු දා ගබ වදු නොපා පිටි” මීට අමතරව එම භූමියේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රත්න වූ මණ්ඩපයෙහි වූ මණිපල්ලංකය තැන්පත් කර පළමු ස්තූපය ඉදි කර ඇත.ක්‍රි. පූ. තුන සහ දෙක සියවස්වල කැලණියේ ස්වාධීන රාජ්‍යයක් පැවතුණි. බෝධි වංශය, දඹදෙණි අස්න ආදී ග්‍රන්ථවල කල්‍යාණි දේශ යන නමින් එය හඳුන්වා ඇත. මේ කාලයේ ප්‍රාදේශීය පාලකයකු ලෙසට උත්තිය කුමරා කටයුතු කළ අතර ඔහු මණිඅක්ඛික නාරජු විසින් ගොඩනැගූ කැලණි චෛත්‍යය නැවත පිළිසකර කර ඇත. විහාර මන්දිරයක් සහ සංඝාවාසයක් ද ඉදි කර ඇත. උත්තිය කුමරුගේ ඥාති පුත්‍රයෙකු වූ යඨාලතිස්ස පසුව පස් මහල් ප්‍රාසාදයක් විහාරයට එක් කළ බව සඳහන් වේ. ඉන්පසු මෙහි පාලනය සිදු කර ඇත්තේ උත්තිය කුමරුගේ මුනුබුරෙකු වූ කැලණිතිස්ස රජතුමාය. එතුමාගේ දියණිය විහාර මහාදේවිය රුහුණේ කාවන්තිස්ස රජුගේ මහේෂිකාව බවට පත්වීමෙන් අනතුරුව කැලණි පුරවරය රොහණයට යටත් විය. දුටුගැමුණු රාජ්‍ය සමයේදී කැලණි විහාරයේ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ විසූ බව මහාවංශයේ 32 වන පරිච්ඡේදයේ සඳහන් වේ. එසේම වෝහාරිකතිස්ස රජතුමා ඡත්‍රකර්ම කරවූ බව එහිම සඳහන් කර ඇත.මින් පසුව කැලණිය ගැන වංශකතාවේ සඳහන් වන්නේ අවුරුදු නවසීයකට පසුවය. අභ්‍යන්තරික සිවිල් යුද්ධයක දී වික්‍රමබාහු කුමාරයා විසින් මානාභරණ කුමාරයා ඇතුළු පිරිස කැලණියට පලවා හරින ලද බව 61 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත. එසේම මහා පරාක්‍රමබාහු සමයේ කැලණියේ යුද හමුදාව පුහුණු කරන කඳවුරක් තිබූ බව සඳහන් කරන අතර මහා පරාක්‍රමබාහු නමැති පින්වත් කුමරා ලබා ගැනීම සඳහා දෙමාපියන් කැලණි විහාරයට පැමිණ පිහිට පැතූ බව සඳහන් වේ. කීර්ති නිශ්ශංකමල්ල රජු කැලණි විහාරය වැඳපුදා ගැනීමට නොයෙක් වර පැමිණි බවත් එහි නව කර්මාන්ත සඳහා වස්තු පරිත්‍යාග කළ බවත් ගල්පොත ලිපියේ සහ ප්‍රීති දානක මණ්ඩප ලිපියේ සඳහන් කර ඇත. (සිංහල ශිලා ලේඛන සංග්‍රහය 11 පිට 98-123 ල165-178) ක්‍රි. ව. 1213 දී කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කළ අතර ඔහු පරදවා රජවන තුන්වන විජයබාහු රජතුමා කැලණි චෛත්‍යය නැවත සාදා ස්වර්ණමය වූ කොතක් ද වාහල්කඩක් ද පිළිම ගෙවල් සහ පවුරු වළලු ආදිය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ 81 වන පරිච්ඡේදයේ සඳහන් වේ. පූජාවලියට අනුව දෙවන පරාක්‍රමබාහු රජතුමා කැලණි විහාරයේ තිබූ පස්මහල් මහපාය, ති‍්‍රවංක පිළිමගෙය, සලපතර මළුව පිළිසකර කර නිතිපතා පූජා පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බව සඳහන් වන අතර මහාවංශයේ 85 වන පරිච්ඡේදයේ ද මේ පිළිසකර කටයුතු ගැන සඳහන් කර ඇත. මේ කාලයේ දී විල්ගම්මුල සංඝරාජ මාහිමියන් විසින් පිහිටු වන ලද සෙල්ලිපියක කිත්සිරිමෙවන් කැලණි විහාරය ගැන සඳහන් කරයි. දසවෙනි අළගක්කොනාරා ඇමැතිවරයා විසින් එම විහාරයේ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන එහි සඳහන් වේ. මින් අදහස් වන්නේ රජ මහ කැලණිය සහ කිත්සිරිමෙවන් කැලණිය යන උභය විහාරයම රාජ්‍යමාත්‍යාදීනගේ සැළකිල්ලට සහ වන්දනාවට පාත්‍ර වූ සිද්ධස්ථාන දෙකක් ලෙසට පැවැති බවයි. මෙහි කියන කිත්සිරිමෙවන් රජු නම් මහාපරාක්‍රමබාහු රජුගේ පියා වූ මනාභරණ රජුගේ සොහොයුරු වන සතර කෝරළයේ පේරාදෙණිය නුවර රජ කළ කිත්සිරි මෙවන් කුමරා බව සමහරක් ඉතිහාසඥයන් දක්වන අතර තවත් සමහරක් මේ විහාරය සිරිමෙඝවර්ණ රජු විසින් (ක්‍රි. ව. 301-328) කරවන ලද බවත් පසුව දොළොස්වන සියවසේ දී මුලින් සඳහන් කළ කිත්සිරිමෙවන් කුමරු විසින් පිළිසකර කරන්නට ඇති බව තවත් මතයක් ලෙසට දක්වා ඇත. කෙසේ නමුත් මේ කාලය වන විට කැලණි විහාරයේ ගතාරා නම් මහා පරිවෙණක් පැවැති බවත් අනාගතවංශය, බෝධිවංශය, සූර්යසතකය හා සඳකිඳුරු දා කව යන ප්‍රකට ග්‍රන්ථ කීපයක් රචනා කළ ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සංඝරාජ මහා ස්වාමින් වහන්සේ මෙහි පරිවේණාධිපති ලෙසට කටයුතු කළ බවත් සඳහන් වේ.

කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු සිත් ගන්නා, උසස් තත්ත්වයකට පත්ව තිබූ බව සාහිත්‍ය සන්දේශ පෙන්වා දෙති. මහා විහාර පරම්පරාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලබන ලද්දේ කැලණි විහාරස්ථානයයි. ලෝකය පුරාම කැලණි විහාරයේ වටිනාකම පැතිරීගොස් තිබුණි. හය වන බුවනෙකබාහු රාජ්‍ය සමයේ (1470) බුරුමයේ හංසවති නුවර ධම්මසෝදි රජු එම රටේ නැතිවී ගිය උපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ අදහසින් චිතුදූත සහ රාමදූ යන ඇමැතිවරුන් දෙදෙනා සමඟ බුරුම සාමණේර පිරිසක් ක්‍රි. ව. 1475 දී කැලණියට එවන ලදී. දෙවන වීදාගම මහාස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේ විසින් කැලණි වෙහෙර අභියස කැලණි ගඟ බැඳි සීමාවකදී බුරුම භික්ෂූන් හතළිස් හතර නමක් උපසම්පදාවේ පිහිටූ බව සඳහන් වේ. කල්‍යාණි ශිලා ලේඛනයට අනුව නව වන පරාක්‍රමබාහු රජු කැලණි විහාරය විහාරාංග පිළිසකර කර වත්තල මාපොල ගල්වලුතොට ගොන්ගිතොට ආදී ප්‍රදේශ විහාර නඩත්තුව සඳහා පූජා කර ඇත. පෘතුගීසි සමය කැලණි විහාරයට දුර්භාග්‍යය උදා කළ සමයක් ලෙසට හඳුන්වා දිය හැකිය. 1557 ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල ලෙසට අන්‍යභක්තිකයකු වීමෙන් අනතුරුව 1555 දී විහාර භූමිය ප්‍රැන්සිස්කන් පූජක සභාවට පවරා දෙන ලද අතර 1557 දී දියෝගෝද මෙලෝ කැලණි විහාරය බිඳ හෙළා ගිනිබත් කර විහාරය සතු භූමිය වෙනත් ආගමිකයන්ට පවරා භූමිය තුළ බුදුදහම ඇදහීම ද තහනම් කරන ලදී.  (The Ceylon Antiquary and Register, Vol.1 part 111, January 1916)  ලන්දේසි යුගයේ මුල්භාගයේ දි මේ තත්වය එලෙසම පැවතිණි. 1692 දී ලන්දේසීන් කැලණි විහාරයේ ආගමික කටයුතු කිරීම නැවත තහනම් කරන ලදි. නමුත් ගණන් නොගෙන දිගින් දිගට භික්ෂූන් වහන්සේ ද කැලණි විහාරයට පැමිණ, ආගමික කටයුතු සිදුකර ඇත. මේ ප්‍රශ්නයට පිළිතුරක් 1767 දී ලැබුණි. සිංහල රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සතුටු කිරීමට ලන්දේසි ආණ්ඩුකාරයා කැලණි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙන ලදි. ඉන්පසුව දෙහිගස්පේ අත්ථදස්සි තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් විහාර කර්මාන්ත සහ කැලණි සඟ පරපුර ආරම්භ විය. ශිෂ්‍ය පරම්පරාවේ ආරම්භකයා මාපිටිගම බුද්ධරක්ඛිත නා හිමියන්ය. ඉන් අනතුරුව මාපිටිගම ධම්මරක්ඛිත, මාපිටිගම සංඝරක්ඛිත නාහිමිවරු පත්වූ අතර එම නාම සහිතව විහාර පැවිදි ශිෂ්‍ය පරපුර අද දක්වා පවත්වාගෙන එනු ලබයි. මේ කාලයේ දී විහාර මන්දිරය විභීෂණ දේවාලය, ධර්මශාලාව, පොහොයගෙය, මකර තොරණ සහ පන්සල් ගෙය ඉදිවූ බව සඳහන් වේ.

1927 ජනවාරි 23 වන දින හෙලෙනා විජයවර්ධන මැතිණිය විසින් සිය ධන පරිත්‍යාගයෙන් නව විහාර මන්දිරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර, 1946 දෙසැම්බර් 28 වන දින එය නිමාකොට විවෘත කරන ලදී. සෝලියස් මෙන්දිස් නමැති ප්‍රතිභාපූර්ණ චිත්‍රශිල්පියා විසින් මෙහි චිත්‍ර කර්මාන්ත සිදුකර ඇත. අද වන විට තුන් වාහල්කඩ, සංඝාවාස දාන ශාලා, අතිරේක ශාලා, ශෛලමය පියගැටපෙළ සහ ධාතු මන්දිර ඉදිවෙමින් පවතින අතර විහාරයට නව ආලෝකයක් ඉන් ලැබී ඇත. බුදුරජාණන් වහන්සේගේ තුන් වන ලංකාගමනයෙන් පරිශුද්ධ වූ කැලණි පුදබිම කවදත් මිනිස් මනස උපශාන්තියට පත් කරවන අතර අකුසල බලවේග තුනීකර කුසල ශක්තිය වර්ධනය කරන පුදබිමක් ලෙසට ජන හදවත් තුළ කාලාන්තරයක් පැවැති බව කැලණි හෑල්ල සනාථ කරයි.


දුට්ඨො අත්ථං න ජානාති - කිපුණු කෙනා යහපත නොදනියි - චුල්ලනිද්දෙසපාලි

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]