UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 36

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 36

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවේ 36 වන කොටසයි අද ඔබ අතට මේ පත්වන්නේ. මෙම ලිපි මාලාව ආරම්භයේ සිට කොටස් වශයෙන් එකතු කරගෙන දෙතුන්වර කියවා සිත් පහන් කර ගන්නා බවද අපි දනිමු. විශේෂයෙන් මෙයට පෙර දඹදිව වන්දනාවේ යෙදුණු සැදැහැවතුන්ගේ මතකය යළි අවදි වී නැවතත් වන්දනාවේ යෙදෙන අයුරු හදවතට දැනෙනවා ඇති. එමෙන්ම මෙතෙක් දඹදිව වන්දනාවේ යෙදීමට කුමක් හෝ බාධාවක් පැමිණි අයටද සිය දිවිමඟ පහන් කර ගැනීමට මෙය මහඟු අත්වැලක් වනු ඇත.


ආනන්ද බෝධීන් වහන්සේ

“බුදුසරණ” පසළොස්වක අව අටවක, අමාවක, පුර අටවක යන සතරපෝයටම නිකුත් වන හෙයින් සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව ද ඒ සතර පෝදාම නිකුත්වන “බුදුසරණ” පුවත්පත්හි ඡායාරූප ද සමඟ පළ වේ. ඉදිරි සතර පොහෝ දිනවලදී ද බුද්ධ භූමි වන්දනාවේ අපි සමඟ නිරතවීමට කාරුණිකව ඇරැයුම් කරමු.

දෙව්රම් වෙහෙරේ වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේ ජේතවන පුදබිමේ ඇති ස්ථාන අතරින් ඉතා විශ්වාසනීය අන්දමින් හඳුනාගෙන ඇති ස්ථානයකි. එමෙන්ම බෞද්ධ ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ අති පූජනීය ස්ථානවලින් එකකි. රෝපණය කළ තැන් පටන් වර්ෂ 2500ක් තරම් පැරැණි මෙම බෝධිය අදත් ජේතවනයේ නැගෙනහිර සීමාවට ආසන්නයේ නිරුපද්‍රිතව විරාජමාන වේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ රෝපණය කළ බෝධියයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ දහස් ගණන් උපාසක උපාසිකාවෝ උදේ සවස බුදුරජාණන් වහන්සේ පිදීමට ජේතවනයට පැමිණියහ. සමහර දිනෙක උන්වහන්සේ ජේතවනයේ වැඩ නොසිට වෙනත් දුරබැහැරක වැඩම කළ අවස්ථා විය. එබඳු අවස්ථාවල එම සැදැහැතියන්ට බුදුරජාණන් වහන්සේට පිදීමට අවකාශ නොලැබිණි.

මේ ගැන කල්පනා කළ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට මේ බව සැලකර උන්වහන්සේ විහාරයේ වැඩ නොසිටින විටකදී ඒ වෙනුවට පූජා කළ හැකි දෙයක් ඉල්ලීය. ශාරීරික, පාරිභෝගික, උද්දේශික ලෙස ත්‍රිවිධ චෛත්‍යයන්ට තමන් වහන්සේ වෙනුවට පූජා කළ හැකි බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ වන විට පහසුවෙන් ලබා ගත හැකිව තිබූ පාරිභෝගික වස්තුවක් වූ බුද්ධත්වයට පැමිණීමට මහෝපකාරී වූ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඵලයක් ගෙන ජේතවන භූමියේ රෝපණය කරන ලෙස දැන්වීය.


පැන් පහසු වූ කුටිය

සෘද්ධිමතුන් අතරින් අගතැන්පත් වූ මුගලන් හිමියන් සෘද්ධියෙන් බුද්ධගයාවට වැඩම කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඵලයක් තමන් වහන්සේ පිළිගෙන සැවැත්නුවරට වැඩම කළේ ය. අනේපිඬු සිටුතුමා විසින් මෙය රෝපණය කරන ලෙසට රජු ඉල්ලීය. ඒ අනුව අනේපිඬු සිටුතුමා විසින් මෙය රෝපණය කරන ලදී. ආනන්ද හිමියන්ගේ සංවිධානත්වයෙන් බෝධිරෝපණය සිදුකළ නිසා මෙය ‘ආනන්ද බෝධිය ලෙස හඳුන්වන බව සිංහල පූජාවලියේ ද බෝධි වංශයේ ද සඳහන් වේ. පසුව ආනන්ද හිමියන්ගේ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේ මෙම බෝධීන් වහන්සේ වඩාත් පූජනීයත්වයට පත් කිරීම සඳහා එක් රාත්‍රියක් මහා කරුණා සමාපත්ති සුවයෙන් බෝධි මූලයෙහි වැඩ සිටි සේක. එලෙසින් රෝපිත මෙම බෝධිය අදත් නිරුපද්‍රිතව පවතී.

දැන් මෙම බෝධියට නැගෙනහිරින් ස්ථූප දෙකක් තිබුණ තැන් ඇත. එම ස්ථූපයන්ගේ පදනම් සහ ධාතු ගර්භයක් දැකිය හැක. කැණීම් සිදු කිරීමේ දී මේවා තුළ රත්තරන් කැබලි හා ධාතුන් වහන්සේ හමු වී ඇත.

ආනන්ද බෝධි වන්දනා ගාථාව

“සුරෝපිතං සුදන්තේන - සම්බුද්ධෝ නාපි සේවිතං
ආනන්ද බෝධි නමෝයං - දුමින්දං සිරසා නමාමි”


පැන් වැළඳූ ළිඳ

බුදුරජාණන් වහන්සේ හතළිස් පස් අවුරුද්දක් වූ බුද්ධ කාලයෙන් වසර 19 ක්ම වස් කාලයන්හි වැඩ වාසය කළ අති පූජනීය ගන්ධකුටිය හඳුනාගෙන ඇත. එමෙන්ම සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින තැන් හෙවත් අවිජහිත ස්ථාන හතරෙන් එකකි. ජේතවනාරාමයේ ගන්ධ කුටිය. අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ දී දක්නට ලැබෙන වැදගත්ම කොටස මෙයයි. දැනට මෙහි දක්නට ඇති කොටස් වලින් ප්‍රධාන කොටස් දෙකකි. එනම් බුදුරදුන් සැතපීම සඳහා පාවිච්චි කර ඇති බවට සිතිය හැකි ස්ථානය පිහිටි තැන ඇති කුඩා කුටිය හා ඊට ඉදිරියෙන් ඇති තරමක් විශාල ආලින්දයකි. සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින අවිජහිත ස්ථානයක් වන සැතපෙන ඇඳෙහි කකුල් හතර පිහිටි ස්ථානය තිබී ඇත්තේ මුලින් කී කුඩා කුටියෙහිය. බුදුරජාණන් වහන්සේ ඒ තුළ සිංහසෙය්‍යාවෙන් සැතපුණු සේක.

ඉදිරියේ ඇති ආලින්දය වැනි පළල් කොටස වෙන් වී තිබී ඇත්තේ දෙවි දේවතාවුන් වහන්සේලාට ද බුදුරජාණන් වහන්සේ හමුවීමට විශේෂයෙන් පැමිණෙන අයට ද ධර්ම දේශනා කිරීමටයි. රාත්‍රියේ මධ්‍යම යාමයේ බුදුන් වහන්සේගේ දින චර්යාව වෙන්වී තිබුණේ දෙවියන්ගේ ප්‍රශ්න විසඳීමටය. ජේතවනය ආලෝක කරගෙන පැමිණෙන දෙවියන් ගැන පරාභව, මහා මංගල, චන්ද, සූරිය ආදී සූත්‍ර වලින් ද සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇති සූත්‍රවලින්ද කියවේ. එසේම සැවැත් නුවර ධම්මික උපාසක, ජානුස්සෝනි බ්‍රාහ්මණයා කෝකාලික භික්ෂුව කොසොල් රජු ආදීන් ද පැමිණියේ මෙතැනටය. දැනට දක්නට ඇත්තේ ගන්ධ කුටියේ පදනම හා කෙටි බිත්ති කොටසක් පමණි.

තවත් කොටසක් වෙසක් අව අටවක පොහෝදා මැයි 11 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 35 - ජේතවනාරාමයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ කුටි

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]