UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

90 විය සපුරන අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි

90 විය සපුරන අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි

1926 වෙසක් මස 02 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොල අඹේවෙල නම් ගම් පියසෙහි කාංගන මුදියන්සේලාගේ සිරිබද්දන නමින් ජන්ම ලාභය ලැබූ මෙම පින්වත් කුමරුවා වයස අවුරුදු 11 දී 1937 ඔක්තෝබර් මස 15 වැනි දින පාලුගම සුභද්‍රාරාමාධිපති ශ්‍රී සුමංගල සෝමානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් අඹේවෙල පඤ්ඤාසාර හිමි නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ. 1940 දී මූලික අධ්‍යාපනය සඳහා බදුල්ල විද්‍යුත්තංස පිරිවෙනට ඇතුළත් වූ මෙම කුඩා සාමණේරයන් වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය මහා පිරිවෙනට සහ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තම භාෂා ශක්‍යතාවයන් ප්‍රගුණ කර ගත්හ. එකළ වැඩ විසූ ධර්ම විනයධර මහා යතිවරු සෙවණෙහි හැදෙමින් වැඩෙමින් පැවිදි ජීවිතයට ඇවැසි භික්ෂු ආකල්ප පමණක් නොව උන්වහන්සේලාගේ දැනුම ද උකහා ගනිමින් තම ධර්ම ඥානය මැනවින් පෝෂණය කර ගත්හ. ඒ අනුව 1940 දී එවක වැඩ විසූ පාලුගම ශ්‍රී සුභද්‍රාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන මහා නා හිමියන්ගේ මහෝපාධ්‍යත්වයෙන් කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථ සුමංගල උපෝසථාගාරයේ දී අඹේවෙල පඤ්ඤාසාර සාමණේරයන් වහන්සේ උපසම්පදා ශීලයෙහි පිහිටවූ සේක.

තම පැවිදි ජීවිතයේ තරුණ අවධිය වන විට භික්ෂුවකගේ ජීවිතයේ තිබිය යුතු දැනුම ආකල්ප කුසලතාවයන්ගෙන් උපසෝභිත වූ මෙම සංඝ පීතෘවරයාණන් වහන්සේ ශාස්ත්‍රවේදී, විද්‍යානිධි උපාධි හා සිංහල පාලි සංස්කෘත යන භාෂාත්‍රයෙන්ම ප්‍රථම පන්ති සමාර්ථයක් සහිතව ප්‍රාචීන විභාග සමත්වෙමින් විදුදයට තවත් පඬිරුවනකගේ සංක්‍රාන්තිය සනිටුහන් කළහ. වසර 25 අඛණ්ඩ ස්වකීය දීර්ඝ ගුරු සේවා කාලය තුළ දී මෙන්ම අර්ධ ශත වර්ෂයකට වඩා දීර්ඝ වූ තම ආගමික සේවා කාලය තුළ ශ්‍රී ලංකා දේශයටත්, ජනතාවටත්, සම්මා සම්බුද්ධ ශාසනයත් විෂයෙහි සලසන ලද්දා වූ අනූපමය සේවය පෞද්ගලික ලාභාපේක්ෂාවන් අතික්‍රමණය කරමින් ද තමාගේ චිර පරිචිතය හා ජීවිත අත්දැකීම් සම්භාරය මෙහෙයවාලමින් රටට, ජාතියට, ආගමට හා භාෂා ශාස්ත්‍රාදිය විෂයෙහි ඉටු කරන ලද අවංක අකලංක අතුල්ය. අනලස් මෙහෙවර වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ පමණක් නොව පොදුවේ මහා සංඝරත්නයේත් ප්‍රසාදයට හා ගෞරවයට පාත්‍රව සිටීම උන්වහන්සේ ලැබූ මහත් භාග්‍යයකි.

2500 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 1954 පිහිටවනු ලැබූ ධර්මධූත අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ අඹේවෙල පඤ්ඤාසාර හිමියෝ ධර්ම දේශනා කිරීමෙහි මනා පුහුණුවක් ලැබූහ. එදා සිට අද දක්වාම ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමකි.

ඉතා ගැඹුරු ධර්ම කරුණු සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් තැනට, සිද්ධියට, පුද්ගලයින්ට, අනුගුණ වන සේ යෝග්‍ය මාතෘකාවක පිහිටා නිරවුල්ව සිනාමුසු මුහුණින් යුතුව ශ්‍රාවකයාගේ ගුණ නුවණ සැදැහැ ගෞරවය නොසිඳ නොනසාම ධර්ම දේශනා කරමින් සුවහසක් ජනතාවගේ මනස සුවපත් කරන උන්වහන්සේ “අඹේවෙල හාමුදුරුවෝ” නමින් චිරප්‍රසිද්ධය. ශාසනාභිරතියෙන් යුතුව භික්ෂු ආකල්ප කෙරෙහි මනා සැලකිල්ලක් දක්වන අඹේවෙල පඤ්ඤාසාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක තනතුර දැරීම එම සංඝ සභාවට ප්‍රබල ශක්තියකි. සංඝ කර්ම විෂයෙහි හා විනය ශික්ෂා පිළිබඳව මෙන්ම සාම්ප්‍රදායික වත් පිළිවෙත් පිළිබඳව ගැඹුරු වැටහීමක් ඇති මහානායක ස්වාමීන්ද්‍රයෝ නවක මධ්‍යම තෙරවරුන්ට මහත් ආදර්ශයකි. සෘජුපටිපන්න ගුණයෙන් හා අනතිමානි ගුණයෙන් උපලක්ෂික අප නා සමිඳු ශ්‍රී ලංකා දේශයටත් සම්මා සම්බුද්ධ ශාසනයටත් එල්ල වන ඕනෑම අභියෝගයක දී නිර්භයව අභීතව පෙනී සිටිමින් භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව හා දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම ඉතා ප්‍රශංසනීයය. මසැස හා මනස පිනවන යස රූ සපුවකින් යුත් අප නා සමිඳු සිනහවේ ප්‍රතිමූර්තියකි. කවිය සෙත් කවිය කර ගනිමින් දස දහස් සංඛ්‍යාත දුකට පත් බෞද්ධ අබෞද්ධ ජනතාවට පිහිට වූ මහා කවියෙකි. අනාථ පවුලකට ගෘහයක් තනා දීමෙන් හා අසරණ දරු දැරියන්ට ශිෂ්‍යත්ව ආධාර ලබාදීමෙන් අනාථයන්ට නාථ වූ අසරණයන්ට සරණ වූ සැබෑ මානව හිතවාදී බුද්ධ පුත්‍රයාණන් කෙනෙකි. තම පාණ්ඩිත්‍යය විදහා පාමින් සම්බුදු ගුණ, දෙලොව දියුණුව බුදු බණ, කර්ම විපාක දීම, බොදු අත්පොත, තමන් සෙවුම, ගුණ වඩන බුදු බණ, මහණ දම, ලෝක පාලක ධර්ම, මිනිස් දිවි මඟට උසස් ගුණ දම් ආදී ග්‍රන්ථ රැසක් රචනා කළ මහා ග්‍රන්ථ කතෘවරයෙකි. තම දායක ගෝල බාලාදීන්ට අවවාද දෙනවා වෙනුවට ආදර්ශයෙන් කටයුතු කරන සැබෑ ගුරුවරයෙකි. කරුණාවේ උල්පතකි. මෙලොව පරලොව සුබ සිද්ධිය පිණිස තමන් සතු සම්පත් දන් දෙන මහා දානපතියෙකි.

එපමණක් ද නොව සසුනෙහි චිර පැවැත්ම උදෙසා වෙහෙර විහාර ගොඩ නඟමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සසුනට දායාද කරමින් උන්වහන්සේලාගේ ආරක්ෂාව හා පෝෂණය වෙනුවෙන් කටයුතු කිරීම අත්‍යුදාරය. මෙවැනි ගුණ කදම්බයන්ගෙන් හා ශාසනචිරස්ථිතිය උදෙසා කරන ලද අමිල සේවය අගයනු වස් දේශ දේශාන්තරයන්හි ශ්‍රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය අග්ගමහා සද්ධම්ම ජොතික ධජ ආදී ගෞරව සම්මුති නාමයන්ගෙන් පවා පිදුම් ලබීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. “පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං” පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේගේ දේශනයයි. එබැවින් උතුම් වූ සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක විහාරස්ථානයෙහි මැයි මස පළමු වැනිදා සිට හත්වෙනිදා දක්වා සිදුකරනු ලබන උතුම් පින්කම්වල ආශීර්වාද බලයෙන් හා අටමස්ථාන සොළොස්මස්ථාන දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාද බලයෙන් මැයි මස දෙවැනි දිනට 90 වැනි ජන්ම දිනය යෙදී ඇති අඹේවෙල පඤ්ඤාසාරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි භාවය හා චිර ජීවනය සැලසේවා!.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]