UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වෙසක් පණිවුඩ

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වෙසක් පණිවුඩ

බුදු උපත අතිශයින්ම දුර්ලභය

කරුණානිධාන වූ, අසරණ සරණ වූ ශ්‍රී ගෞතම තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරමපූජනීය ආගමික දිනය මෙන්ම ලංකාවාසී බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය. මෙදින ශ්‍රී සම්බුද්ධරාජෝත්මයාණන්වහන්සේගේ අනන්ත වූ, අපිරිමිත වූ මුණිගුණ සිහිපත් කොට ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිෂ පූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීම උතුම් චාරිත්‍රධර්මයක්ව පවතී.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තිලොවට තිලක වූ සේක, නවඅරහාදී මුණිගුණයන් නිසා පූජාතිපූජනීය වූ සේක. ඒ අසමසම ශ්‍රේෂ්ඨ මහෝත්තමයාණන්වහන්සේ විසින් දේශනාකොට වදාළා වූ උතුම් ධර්ම ප්‍රතිපත්ති පුරණයෙහි යෙදීම බෞද්ධයන් සතු පරම යුතුකම මෙන්ම කළ හැකි උතුම්ම පූජාවයි. බුදුරජාණන්වහන්සේ පිදීමට ඇති උතුම්ම පූජාව ප්‍රතිපත්ති පූජාවයි. වෙසක් පුන් පොහෝ දිනය මුල්කොට සැරසිලි, දන්දීම්, මල්පහන් පිදීමාදී ආමිෂ පූජාවන්ට පමණක් මුල්තැන් නොදී, සිල්රැකීම්, භාවනා කිරීම් ආදී ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමට වඩාත් උත්සුක විය යුත්තේමය. ප්‍රතිපත්ති පූජාවන්හි මනාව යෙදීමෙන් නොදැමුණු සිත් දමනය කරගත හැකිය. කිළිටු සිත් පවිත්‍ර කරගත හැකිය. එබැවින් වෙසක් පුන් පොහෝ දිනය තවත් එක් උත්සව දිනයක් සේ නොසලකා, සැදැහැ සිතින් සීලයෙහි හා සමාධියෙහි පිහිටා, ප්‍රඥාව වඩා වර්ධනය කොට නිර්වාණාවබෝධය ලබාගැනීම පිණිස මඟ හෙළිකර ගැනීමට අදිටන් කර ගැනීම වඩාත් අගනේ ය. සතිපතා පළවන “බුදුසරණ” පුවත්පත මඟින් ඉටුකෙරෙන සදහම් සේවාව ඉදිරියේ දී වඩාත් සාර්ථකව පවත්වාගෙන යෑමට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය නොමඳව ලැබේවායි ආශිංසනය කරම්හ.


ශ්‍රද්ධාදී ආකල්ප ජනිත වේ

අසිරිමත් බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය වනාහි සමස්ත ලෝකවාසී බෞද්ධයින් ආමිස ප්‍රතිපත්ති පුජාදිය සිදු කරන සුවිශේෂී දිනයකි. “සුඛෝ බුද්ධානං උප්පාදෝ” යනුවෙන් වදාළ පරිදි බුදුවරුන්ගේ පහළ වීම ලොවට සැපයෙකි. සතුටකි. මක් නිසාද යත් මිසදිටු බවින් මිනිසා මුදවා ගෙන නිවන් මගෙහි යොමු කරන සර්වකාලීන වටිනාකමකින් යුතු දහම් මඟ ලොවට හෙළි කළ නිසාවෙනි. අසිරිමත් බුදු තෙමඟුල උදාවෙත්ම බොදු හදවත් තුළ නිරායාසයෙන් ශ්‍රද්ධාදී ආකල්ප ජනිත වේ. මේ නිසාම වෙන අන්කවරදාටත් වඩා ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට බෞද්ධයින් නැඹුරුවේ. වෙසක් සඳ මෝරත්ම තම නිවෙස් තුළ බෞද්ධ කොඩියක් ඔසවා තැබීම වෙසක් පහන් කූඩු සකස් කිරීම දන්සල් පැවැත්වීම බුද්ධ පුජා, බෝධි පූජා ආදී ආමිස පූජාවන් සහ දන්සල් භාවනාදි ප්‍රතිපත්ති පුජාදිය සිදු කිරීම ලාංකේය බෞද්ධ ජන සමාජයේ පිළිවෙළයි. එහෙත් මෙවන් වෙසක් සමය තුළ බුදුන් වහන්සේ දේශනා කළ දහම් මඟ සිතට ගැනීම උන්වහන්සේට කරන ලොකුම ගෞරවය සේ සැළකිය හැකිය. ගිිහි පැවිදි කාටත් දෙලොව යහපත උදෙසා දේශනා කළ දහමෙහි වෙනසක් නැත. භාවිතය තුලින් එහි යම් යම් වෙනස්කම් දක්නට ලැබේ’. ගිහිව වසන පුද්ගලයාට වඩා පැවිදි ව වසන උතුමන්ට මෙය භාවිතා කිරීම පහසුය. එසේ වුවත් ගිහි සැදැහැවතුන් සිය ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා මේ දහම් මඟ අනුගමනය කළ යුතුමය. මිනිසා සිය ලෞකික ජීවිතය සැපවත් කර ගැනීම පිණිස විවිධ රැකියා, ව්‍යාපාර ආදිය සිදු කරයි. එය හුදෙක් භෞතික සම්පත් සාධනය පිණිස පමණක් හේතුවේ. බුදු දහම තුළ කියාදෙන මග පිළිපැදීමෙන් ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධිය තුළින් සතුට නමැති උසස් ධනය ලබා ගත හැකිය.

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං”

යන බුදුන් වහන්සේගේ අනුශාසනය තුළින් පෙන්වා වදාළ දහම් මග මෙවන් වෙසක් සමයක් තුළ පිළිපැදීමට යමෙක් අදිටන් කරයි ද ඔහු සැබෑ බෞද්ධයෙකි. එය නිවැරැදි බෞද්ධ ප්‍රතිපදාවකි. මෙවන් පිළිවෙත් තුළින් තම ජීවිත ගමන අර්ථවත් කර ගැනීමට සැවොම උත්සුක වෙත්වා.


පන්සිල් රකින බෞද්ධයකු වෙමු

මෙතෙක් ලොව ඇති සම්මත ආගම්හි ශාස්තෘන් හා දාර්ශනිකයන් අතර රහසින්වත් පව් නොකළ, සියලු පව් දුරලූ, සියලු ආමිෂ – ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු හා සියලු කෙලෙසුන් නැසූ එකම ශාස්තෘවරයා, එකම දාර්ශනිකයා අපගේ ශාස්තෘ වූ අර්හත්, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේමය. එය වාද රහිතව ම එවකට සිටි අනෙකුත් සියලු ආගම් ශාස්තෘවරුන් ද පිළිගත් සත්‍ය කරුණකි.

මෙම සත්‍යය අද ද මෙසේමය. ඒ අප ශාස්තෘ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙයට වසර 2604 පමණ පෙර අසිරිමත් බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී අද වැනි දිනක අවබෝධ කළ ඒ චතුරාර්ය සත්‍යය ධර්මය “එය එසේ නොව“ “එය මෙසේ විය යුතු ය.” යනුවෙන් වෙනස් කිරීමට හෝ ආපස්සට කරකැවීමට හැකි කිසිදු ජගතකු කිසිම ශාස්තෘ නම් ඇත්තෙකු මෙතෙක් බිහි වී නැති හෙයින් ම ය. එය මේ බුදු සසුන පවත්නා තුරු කිසි දිනක නොවන්නක් ද වන්නේ ය. එපමණක් නොව සාරාසංඛෙය්‍ය කල්ප හතරකුත් තවත් ලක්ෂයක් කල් නියත විවරණ ලබමින් පසු ගත කළ සසර ජීවිත තුළ මේ මහ බෝසතාණන් වහන්සේ වැඩූ සමතිස් පෙරුම් දම් නිසා බුදු වී දෙමසකින් පස්වග තවුසන් උදෙසා බරණැස ඉසිපතන මිගදායේ සිට දේශනා කොට වදාළ මුල යහපත් මැද යහපත් අග යහපත් කේවල පරිපුණ්න පාරිශුද්ධ ධර්මය වැනි ධර්මයක් සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදී ම විපාක ලබා දෙන්නේ ය.

කිසිදු රහසක් නැති හෙයින් “එව, බලව“ යනුවෙන් විධාන කළ හැකි දහමක් දෙසූ ශාස්තෘවරයෙක් ශාස්තෘ දහමක් ලොව නැත. මෙවැනි සත්‍ය දහමක් වෙනත් නැත. මතුත් සම්මා සම්බුදුවරයකු පහළවනතුරු කිසිදා ලොවට ඉදිරිපත් නොවේ.

එදා අප ශාස්තෘ බුදුපියාණෝ “මම සම්‍යක් සම්බුද්ධ වෙමි” යි කී කලැ “නැත මෙනම් ධර්ම කෙනෙක් ඔබ විසින් අවබෝධ නො කළහෙයින්” “අනභිසම්බුද්ධය” හ යි කියන්නට නිසි මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බඹෙක් හෝ ලෝකයෙහි සිටියේ නැත, “මම ක්ෂිණාශ්‍රවයෙමි”යි කී කල මෙතෙක් ආශ්‍රවයෝ ඔබ විසින් “පරීක්ෂණයහ” යි කියන්නට කිසි කෙනෙක් ලෝකයෙහි සිටියේ නැත, “මේ ධර්මයෝ ස්වර්ගයට - මේ ධර්ම මෝක්ෂයට අන්තරායකරහ” යි කී කලැ” නැත, මේ ධර්ම අන්තරායකර නොවෙයි” කියන්නට කිසි කෙනෙක් ලෝකයෙහි සිටියේ නැත. “මේ ධර්මයෝ නෛය¸ාණිකයහ” යි කී කලැ, “නැත මේ ධර්මයෝ “අනෛය¸ණිකයහ” යි නිවනට හේතු නොවේ. යයි කියන්නට කිසි කෙනෙක් ලෝකයේ සිටියේ නැත, “යනුවෙන් එදා ගුරුළුගෝමීන් ධර්මප්‍රදීපිකාව“ ලියූ තැන පැහැදිලි කළේ ද එනිසාම ය.

පින්වත් රට වැසියනි, පින්වත් ලෝ වැසියනි, මෙවන් ශාස්තෘවරයකුට, මෙවන් ශාස්තෘ දහමකට උරුමකරුවන් වන අප ඒ ශාස්තෘන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පිරිනිවීම සිහියට නඟන අද වැනි දිනක අපගේ කාර්යභාරය විය යුත්තේ කවරක් ද? ඒ කවරක් වත් නොව අප ශාස්තෘන් වහන්සේගේ අනුජාත දරුවන් වීම හැර අන් කවරක්ද? තිසරණ සහිත පන්සිල් රකින බෞද්ධයකු වීමට වත් අදිටන් කරගනිමු.


ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී කටයුතු කරමු

සකල සත්වයන් වෙත පතළ මහා කරුණාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිසක් වූ පෙරුම් දම් සපුරා උතුම් සම්බුදු පදවියට පත්ව මොහඳුරෙහි ගිලී මං මුළාව සිටි දනන් හද තුළ ප්‍රඥා ප්‍රදීපය දල්වා සඟ මොක් සුව ළං කර ගන්නා මඟ පෙන්වූ ශාන්ති නායක අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ සාගරය සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

තෙරුවන් සරණ පිහිට කොට වෙසෙන බොදුනු දනන් හට මෙදින තරම් අති උතුම් දිනයක් තවත් නැත. එම අති උතුම් දිනයේ බුදු සව්, ගිහි පැවිදි සැවොම ‘සම්මා වායාමයෙන්’ යුතුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවටම මුල්තැන දී කටයුතු කිරීමට සිතනු වටී. තමන් තුළ ඇති වැරදි (ඇවත්–අකුසල්) හැර කුසල් වැඩීමට වෑයම් කිරීම ‘සම්මා වායාම” වේ. මෙය දෙලොව දියුණුවට මඟම වේ.

අපේ නවක ස්ථවිර මහා ස්ථවිර භික්ෂූන් වහන්සේලා තම භික්ෂු ජීවිතය ප්‍රත්‍යවේක්ෂණය කර පත් ඇවතට ප්‍රතිකර්ම කර පිරිසුදු නිර්මල භික්ෂු ජීවිතයක් ගත කිරීමට අදිටන් කර ගත යුතු වෙති. එවිට ඔබ වහන්සේලා අත්තානමේව පඨමං පතිරූපේ නිවේසයේ...... යන බුදු වදනට අනුව ගිහි ජනතාවට අනුශාසනා කිරීමට අතිශයින් සුදුස්සෝ වෙති.

ගිහි බෞද්ධ ජනයාද තෙරුවන් ගුණ දැන පැහැද ඒ හැර බාහිර ගැලවුම්කරුවන් නොසොයා ඔබට දෙලොව යහපත සඳහා අනුදැන වදාළ උතුම් පඤ්චශීලය පණ මෙන් ආරක්ෂා කිරීමට අදිටන් කර ගත යුතු වේ. එදා අප පරපුරේ මුතුන් මිත්තෝ මානව වර්ගයාට ජීවින්ට පමණක් නොව අජීවි වස්තූන්ට පවා කරුණාව, දයාව දැක්වූහ. අනුන් සතුදේ සොරකම් කිරීම පිළිකුල් කළ ඔවුහු අන්සතු දෙය රැක දීමට ක්‍රියා කළහ. කුමර බඹසර කුමරි බඹසරව කුඩා කල ගත කළ ඔව්හු විලිබිය දෙකින් යුතුව හික්මුණාහ. කාම දුරාචාරයට කිසිවිට සම්බන්ධ නොවූහ. හැම තැන සත්‍යවාදී වූ හෙලයන් අතර මතට ලොල්ව දෙලොව යහපත විනාශ කර ගන්නවුන් ගැන අප ඉතිහාසයේ සඳහන් නොවන තරම්ය. ධර්මද්වීපයක් ලෙස විරුදාවලි ලද අපේ රට අද පඤ්ච දුශ්චරිතයම පැතුරුණු ඛේදනීය තත්වයට පත්ව ඇත.

මේ ව්‍යසනයන් වළකා සදාචාරවත් ධර්මිෂ්ඨ සමාජයක් යළි මෙරට ගොඩනඟා ගැනීමට පස් පවින් වැළකී පඤ්චශීලය ප්‍රතිපත්තිය පණමෙන් ආරක්ෂා කිරීමට අදිටන් කරගන්නා ලෙස බාල, තරුණ, මහළු, ස්ත්‍රී, පුරුෂ සියලු දෙනා වෙත මේ උතුම් දිනයේදී ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.


නි බ්බාණං පරමං සුඛං - නිවන් සුවය වැනි සුවයක් නැති හෙයින් හේ උතුම් සුවයයි - ධම්ම පදය,සුඛ වග්ගය

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]