UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 

උඩුමලගල මහින්ද මහා නා හිමි

මහා විහාරවංසික ස්‍යාමෝපාලි ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව මහානායක ධූරයෙන් පිදුම් ලබන සද්ධර්මවාගිශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී රතනසාරාභිධාන උඩුමලගල මහින්ද මා හිමිපාණන් වහන්සේ ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත සංඝ නේතෘන් වහන්සේ නමකි.

දකුණු ලක ගාලු පළාතේ තල්පේ පත්තුව (යක්කලමුල්ල) උඩුමලගල, කංකානම්ගේ නිකුලස් පියාට සහ වල්පිටගොඩ ගමගේ කතිරිනාහාමි මව යන දම්පතීන්ට දාව 1929 මැයි 16 උපත ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් 1941 ජනවාරි මස 21 වන දින කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපතිව වැඩ විසූ මාබොටුවන රතනසාර මා හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස සසුන්ගත විය.

ගෝනගල සුධර්මාකර පිරිවෙණෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට උගත මනා බණ දහම් උගෙන විසි වයස් සම්පූර්ණව අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියේ රාජ පූජිත මහනුවර මල්වතු මහා විහාරයේ දී 1949 මැයි 12 වන දිනදීය. 1961 දී කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති පදවියට පත්ව සියලු විහාරාරාමයන්ගෙන් සමලංකෘතව දුටු වන්ගේ සිත් පහන් කරන පින්බිමක් බවට පත්කරලන්නට සමත් විය.

සරල සුගම අපිස් දිවියක් ගත කරනු ලබන මහින්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දකුණු ලක කටුකුරුන්ද සහ විල්ගමු රාජ මහා විහාර (මාබොටුවන) සඟ පරපුරේ දීප්තිමත් වූ සංඝ නේතෘන් වහන්සේ නමක් වන අතර ශ්‍රී රෝහණ සංඝ සභාව ආරම්භක යුගයේ සිට නවක මධ්‍යම ස්ථවිරයන් වහන්සේලාගේ පහසුව පිණිස අවශ්‍ය මඟ පෙන්වීම් නායකත්වය කැපවීම ආදී සියලු කරුණු එක් කරමින් ක්‍රියා කළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සංඝ සභාවේ විවිධ නිලතල දරන්නට විය.

1990 දී ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියත් 1992 දී ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික ධූරයෙන්, 2014 දී උපාධ්‍යාය ධූරයෙන්, 2011 දී ජ්‍යෙෂ්ඨ අනුනායක පදවියට ද පත්ව තම ශාසනික වගකීම් නිසි ලෙස ඉටු කර ලන්නට සෘජු නායකත්වයක් ලබා දෙන්නට විය.

1975 සිට 1991 දක්වා යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයත්, 1991 යක්කලමුල්ල සමථ මූල මණ්ඩලයේ සභික ධූරයත් දරමින් කළ ආගමික ජාතික සාමාජික මෙහෙවර ප්‍රශංසා කටයුතු වේ.

කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ විහාරය, නාත්තේවෙල ශ්‍රී ඛෙත්තාරාමය, මාකුඹුර බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානය, නැවුන්ගල ශ්‍රී බෝධිනාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය දරන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මධුරස්වරභාණී පිරිත් දේශකයන් වහන්සේ නමක් වන අතර විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ද ගිහි පැවිදි සැම අතර ගෞරවාදරයට පත්ව ඇත. නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහා පිරිවෙණේ පරිවේණාචාර්ය ශාස්ත්‍රවේදී තල්ගම්පල සද්ධානන්ද හිමි, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ තාළඹුයායේ තපස්සි හිමි, අක්මීමණ නන්දාලෝක හිමි, අඟුණුකොළ පැළැස්සේ සීලරතන හිමි ඇතුළු ගිහි පැවිදි සිසු පිරිසක්ද රට දැය සමය වෙනුවෙන් භාර කොට ඇත.

කොට්ටව ශ්‍රී සුමනාරාම දහම් පාසල ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලකි. එහි නායකත්වය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එදා සිට අද දක්වාම ක්‍රියා කරනු ලබන්නේ සදාචාර සම්පන්න විනය ගරුක සමාජයක් ගොඩනගන්නට අවශ්‍ය නායකත්වය ලබා දීමටය.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපාධ්‍යාය රාජකීය පණ්ඩිත ගොම්බද්දල නන්දාරාම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ශ්‍රී රෝහණ සංඝ සභාවේ සිව්වන මහානායක පදවියට පත් කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති සද්ධර්ම වාගීශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී උඩුමලගල මහින්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මාතර ශ්‍රී රෝහණ සංඝ මූලස්ථානයේ දී 2015.04.18 දින සවස 02.00 ට පවත්වන අතර පිළිගැනීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 19 දින සවස 3.00 ට කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ විහාරයේ දී පැවැත්වීමට සංවිධානය කොට ඇත. ශ්‍රී රෝහණ සංඝ සභාවේ අභිනව ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුණුරුවන් සරණ, සියලු දෙවි රැකවරණින් ලෝක ශාසනික සේවය ශතවර්ෂාධික කාලයක් ඉටු කර ලන්නට කායික මානසික ශක්තිය වැඩිදියුණු වේවා යි පතමි.

උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පරිවේනාධිපති, තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති,


වෙරළුගස්තැන්නේ ශ්‍රී ධම්මරතන මා හිමි

ඓතිහාසික ලිංදර ගල්ලෙන් රජමහා විහාරය, කිරිමැටිඋල්ල ඛෙත්තාරාම පුරාණ විහාරය, කිඳිවල විවේකාරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී පල්ලේවෙල වල්බෝලාන වික්‍රමශීලා විදර්ශණා පිරිවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති ලින්දර වළගම්බා ඉරුදින දහම්පාසලේ ප්‍රධානාචාර්ය වෙරළුගස්තැන්නේ ධම්මරතන මාහිමියන්ට සියම් මහා නිකායේ අස්ගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් විමලකීර්ති ශ්‍රී පියරතන ගෞරව නාමය සහිත සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරි නැමිණි.

වෙරළුගස්තැන්නේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේ මාතලේ නැගෙනහිර පල්ලේසිය පත්තුවේ වෙරළුගස්තැන්න නම් ගම්පියසේදී යු.ජී. මුදියන්සේ, පී.ජී. ඩිංගිරිමැණිකා යන සැදැහැති මාපිය දෙපළට සුජාතව 1952.12.04 දින යූ.ජී. කරුණාරත්න නමින් පින්වත් කුමරුවෙකු මෙලොව ජනිත විය. වෙරළුගස්තැන්න කණිටු විදුහලෙන් හත්වන පන්තිය දක්වා සිප්සතර හැදෑරීය.

1967.08.02 දින මැටියගනේ පියදස්සී, ඉඳිපරපේ සීලානන්ද, වේදෙණියේ පියරතන යන මාහිමිවරුන් ඇදුරු කොට ගෙන ධම්මරතන යන සසුන් නමින් උතුම් පැවිදි බිමට ඇතුළත් වූහ. තම ගුරුදේවයන් වහන්සේලාගෙන් උගත මනා හෙරණ බණදහම් ප්‍රගුණ කර 1968 දී නාරම්මල විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙණට වැඩම කර ධර්ම විනය භාෂා ශබ්ද ශාස්ත්‍ර පිළිබඳව ප්‍රාථමිකව අධ්‍යයනය කළහ. අනතුරුව දෙමටගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ නේවාසිකව උසස් අධ්‍යාපනයෙහි නිරතව සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳ හසල දැනුමක් ලබාගත්හ. පන්නිපිටියේ විද්‍යාලංකාර මහ පිරිවෙනට වැඩමකර බාහිර උපාධිය සමත්වූහ.

ධම්මරතන හෙරණපාණෝ 1973 වසරේ අස්ගිරි මහා විහාර සීමාමාලකයේ දී ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොටගෙන වෙරළුගස්තැන්නේ සුමංගල, වේදෙණියේ පියරතන යන මාහිමිවරු දෙනම ඇදුරු තන්හි තබාගෙන උපසම්පදා සීලයෙහි පිහිටියහ. ලින්දර රජමහා විහාරස්ථානයේ නිත්‍ය නේවාසිකව තම ගුරුදේව පියරතන මාහිමියන්ගේ ලෝ සසුන් සේවාවන්ට උරදෙමින් සහාය වෙමින් තමන්වහන්සේද ලෝසසුන් සේවාවන්හි නිරතවූ අතර මේ දක්වා එම සේවාවන් අඛණ්ඩව පුළුල්ව ඉදිරියට පවත්වාගෙන එන්නාහ. 1984.05.07 දින පල්ලේවෙල වල්බෝලාන වික්‍රමශීලා විදර්ශනා පිරිවෙනේ ඇදුරු මඬුල්ලට බැඳී ප්‍රාචීණ, ප්‍රතිචීණ අධ්‍යාපන ක්‍රම මඟින් ඉසිඹලබනතෙක්ම සිදුකළ සේවාවන් හා ලින්දර වළගම්බා ඉරුදින දහම් පාසල, කිරිමැටිඋල්ල ප්‍රගති, කිඳිවල දහම් පාසල, දහම් පාසල් මඟින් ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම හා ගුණදම් ඇතිකර දියුණු කරලීම සඳහා සිදුකරන ලද සේවාවන් මෙන්ම තම ගුරුදේව පියරතන නාහිමියන් අපවත්වී වදාළෙන් එතැන් පටන් විහාරත්‍රයේම සතර පේරුවල ලොකු කුඩා දායක දායිකාවන්ගේ කුදුමහත් ලෝ සසුන් සේවාවන් සිදුකිරීම ප්‍රශංසා කළයුත්තකි.

තමන් වහන්සේ විසිපස් වසරටත් වැඩි කාලයක් සේවය කළ වික්‍රමශීලා පිරිවෙනේ පැවිදි සිසුන්ට මෙන්ම ප්‍රදේශයේ සෙසු පිරිවෙන්වල පැවිදි සිසුන්ටත් තමන් වහන්සේගේ මහණ මහලු පැවිදි සිසුන්ටත් පිරිත් දේශනා පිළිබඳව හසල දැනුමක් ඇතිකරවමින් උන්වහන්සේලාගේ දක්ෂතාවයන්ද උද්දීපනය කොට ඔප්නැන් වීමට ද උන්වහන්සේ අති දක්ෂයෙක් වූහ.

1997 තම ගුරුදේවෝත්තම වේදෙණියේ සිරි පියරතන නා හිමියන් අපවත්වී වදාළෙන් ලින්දර රජමහා විහාරාධිපත්‍යයට පත්වූ ධම්මරතන නාහිමියන් අතිවිශාල සේවාවන් රැසක් සිදුකළහ. පියරතන මාහිමියන් අරඹන ලද ලින්දර සුවිසල් දෙමහල් සංඝාවාසයේ වැඩ නිමකරවීම, කිඳිබල විවේකාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර තම පැවිදි සිසු බෝතලේ ශ්‍රී නාලන්දා මහ පිරිවෙණේ ආචාර්ය ශාස්ත්‍රපති කන්දකුඹුරේ නන්දරතන ස්ථවිරයන් වහන්සේට භාරකොට උන්වහන්සේ විහාරස්ථානය දියුණුවට පත්කරනු බලා, 2002.02.28 දින රාජකීය පණ්ඩිත ඉඳිපරපේ ඉන්දරතන නාහිමියන් අපවත්වූයෙන් විහාරාධිපති තනතුරට ධම්මරතන නාහිමියන් පත්ව බුදු මැදුර පිළිසකර කිරීම බෝධි ප්‍රාකාරය ඉදිකරවීම. එම විහාරස්ථානයද තම සිසු පල්ලේවෙල වල්බෝලාන වික්‍රමශීලා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති උඩපිටවල ස්ථවිරයන් වහන්සේට භාරකොට උන්වහන්සේද එම විහාරස්ථානය දියුණු කරනු බලා නාහිමියන් ලබනුයේ අපමණ සතුටකි.

මැටියගනේ පියදස්සී මාහිමියන් වහන්සේ ලින්දර, කිරිමැටිඋල්ල යන විහාරස්ථානවල අධිපති තනතුරට පත්වූහ. උන්වහන්සේට ඉඳිපරපේ සීලානන්ද, වේදෙණියේ පියරතන යනුවෙන් සිසුන් දෙනමක් වූහ. පියදස්සි හිමියන්ට පෙරාතුව සීලානන්ද මාහිමියන් අපවත්වූයෙන් පියදස්සී මාහිමියන්ගෙන් පසුව පියරතන මාහිමියන් ලින්දර, කිරිමැටිඋල්ල යන විහාර දෙකේම අධිපති තනතුරට පත්වූහ. කැබැල්ලවිට ඉන්දජෝති මාහිමියන් යටගම විහාරය ඇතුළු විහාරගණයෙහි අධිපති තනතුරට පත්වූහ. උන්වහන්සේටද මාකඳුරේ සරණංකර නමින් සිසුවෙක් වූහ.

ලින්දර රජමහා විහාරය, කිඳිවල වේවිකාරාමය, කිරිමැටිඋල්ල ඛෙත්තාරාමය යන විහාරත්‍රයාධිපති වෙරළුගස්තැන්නේ ධම්මරතන අභිනව නාහිමියන්ට විමල කීර්ති ශ්‍රී පි‍්‍රයරතන යන ගෞරව නාමය සහිත සියණෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය 2015.03.26 දින අස්ගිරි මහාවිහාරයේ දී මහානායක මාහිමියන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව වෙත ප්‍රශාද පූජා පැවැත්වීමෙන් අනතුරුව පිරිනමන ලදහ.

2015.03.29 දින පස්වරුවේ දර්ශනීය පෙරහරෙන් නාහිමියන් ලින්දර ගල්ලෙන් විහාරස්ථානයට වැඩම කොට අස්ගිරි මහාවිහාරීය පරම පූජනීය ගලගම අත්ථදස්සී අනුනායක මාහිමියන්ගේ මූලාසනයෙන් යුක්තව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ ඇතුළු තෛ‍්‍රම්නිකායික මහ සඟරුවනේ සහභාගීත්වයෙන් උත්සව සභාව පැවැත්වූහ.

බොහෝ කලක් ලෝ සසුන් බැබළවීමට සියණෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී වෙරළුගස්තැන්නේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේට තුනුරුවන් සරණින් දිගාසිරි ලැබේවා.

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]