UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණුවේ දොරටු හඳුනා ගනිමු

දියුණුවේ දොරටු හඳුනා ගනිමු

මෙම ලිපියේ මුල් කොටස ඉකුත් මැදින් පුර පසළොස්වක පෝදා(මාර්තු 05) සහ මැදින් අවඅටවක පෝදා (මාර්තු 13) පත්‍රවල පළවිය.අද පළවන්නේ එම ලිපියෙහි අවසන් කොටසයි.

සීතල අර්ථයෙනුත් ශිර්ෂ අර්ථයෙනුත් සීලයේ වැදගත්කම පැහැදිලි කරයි. කය වචන දෙකේ සංවරශීලිභාවය නිසා එයින් මිනිසාට අමුතු විධියේ ප්‍රබෝධයනුත් සිසිලකුත් ලැබෙයි. මිනිස් සිත කලඹන, අවුල් කරන කලබලකාරි ගතිය නැතිකොට හැදිච්ච කමත් කීකරුකමත් ඇති වන්නේ කය වචන දෙකේ සන්සුන් බවක් ඇති විටයි. එයින් ඇති වන කායික මානසික සැනසීම අසීමිතය. මිනිස් සිරුරේ වටිනාම කොටස හිසයි. හිස නැති නම් මිනිස් භවේ අර්ථයක් නැතිවාක් මෙන්ම සීලයෙන් තොර ජීවිතයේද හරයක් නැත.

සත්ව ලෝකයේ අනෙක් සත්වයන්ගෙන් මිනිසා වෙන් වන්නේද සීලයෙනි. සදාචාරාත්මක හැදිච්ච කමක් නැතිනම් මිනිසාද තිරිසනෙකි.අප සමාජයෙහි හිස කඳ ගාත්‍රා වලින් සමාන මිනිසුන් කොටස් හතරකි. මනුෂ්‍යත්වය ඉකුත් කළ මෛත්‍රි කරුණා සමානාත්මතාදි උතුම් ගුණාංග දියුණු කළ මිනිසා මිනිස් වේශයෙන් සිටින දෙවියෙකි. මනුෂ්‍යත්වය හැඳිනගෙන සමාජශීලිව ආත්මාර්ථ පරාර්ථ සේවයේ යෙදෙන මිනිසා උතුම් මනුෂ්‍යයෙකි. මනුෂ්‍යත්වය නො හඳුනන ගත සිත මෙන්ම පරිසරයද කිලිටි කරගෙන ජීවත් වන මිනිසා පේ‍්‍රතයෙකි. මිනිස්කම නො හඳුනන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාරාදිය පුරවාගෙන තමා පමණක් සිටියොත් ඇත යන අදහසින් ජීවත්වන මිනිසා තිරිසන් සතෙකු හා සමානය.

මේ අනුව බලන විට අප සමාජයේ මිනිස්කම තේරුම්ගෙන ජීවත්වන්නේ කීයෙන් කී දෙනෙක්ද ? පරිපූර්ණ මිනිස් ජීවිතයක් ගොඩනඟා ගත හැක්කේ පිරිසුදු සීලයක පිහිටීමෙනි. අපේ සමහර පින්වතුන් සකස් වෙලා තියෙන්නේ කන්දෙන් පටන් ගෙන කෙන්දෙන් ඉවර කරන්නයි. ඒ නිසා භාවනා කරන්න යයි. වස්කාලවලදි දස සිල් සමාදන් වෙයි. පොහොය දිනවල බොහෝ දුර බැහැර ගොස් අටසිල් සමාදන් වෙයි. මේවා මහ ඉහළින් ඉටු කිරීම ඉතා හොඳයි. එහෙත් මේ වැඩි දෙනෙක් කිසිම වියදමක් නැතිව රකින්න පුළුවන් පන්සිල් පද රකින්න උනන්දුවන්නේ නැත. පින්වත, මුළු ත්‍රිපිටකය ම පන්සිල් පද පහේ ගැබ්වෙලයි. තිබෙන්නේ .ඒ නිසා හොද බෞද්ධයෙක් හොඳ මනුෂ්‍යයෙකි. හොඳ සිල්වතෙක් වෙන්න, දෙලොව ම දියුණු වන්න. පන්සිල් පදවත් හොඳින් ආරක්ෂා කරන්න.

වුද්ධානුමත

වුද්ධානුමත යැයි කියන්නේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවන්ට ඇහුම්කන් දීමයි. මෙය අද අප සමාජයෙන් ගිලිහී ගිය පරිහානි ලක්ෂණයක් වී ඇත. වැඩිහිටියන් වශයෙන් හැඳින්වෙනුයේ මව්පියෝ, ගුරුවරු , භික්ෂූන් , වහන්සේ යන අයයි. මොවුන් යම් අවවාදයක් අනුශාසනාවක් කරන්නේ හුදු කරුණාවෙන් දියුණුවක් අපේක්ෂා කරමින්ය. ඒවාට ඇහුම්කන් දීමෙන් මෙලොව, පරලොව උභයාර්ථ සංසිද්ධිය ම සලසා ගත හැකිය. අද සමාජයට අවවාද අනුශාසනා නුරුස්සනා දෙයක් වී ඇත්තේ මොන කරුමයක් නිසා දැයි අපි නොදනිමු. දුවට, පුතාට ගෝලයාට අවවාදයක් දැනමුතුකමක් දිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ නිසා අවවාද අනුශාසනා කිරීමේදි වැඩිහිටියන් වගකීමෙන් යුතුව ඒවා කළ යුතුය. ‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට” බාල පරපුර යහමගට ගැනීම සඳහා කටයුතු කරන පුද්ගලයා ආදර්ශවත් විය යුතුය.ආදර්ශය අවවාදයට වඩා බලවත්ය.බොහෝ වැඩිහිටියෝ සමාජයේ විවිධ දූෂණ ක්‍රියා කරමින් බාල පරපුර විවේචනයෙහි යෙදේ. වැඩිහිටියන් හා තරුණ පරපුර අතර නො සන්සිඳෙන වෛරයක් පැන නැගී ඇත්තේ මේ නිසා යැයි සිතිය හැකිය.

වැඩිහිටි අවවාදය නරක දෙයක් නොවෙයි. බුද්ධාදී සද්පුරුෂයන්ගේ ප්‍රශංසාවලට පත් වූවකි. වැඩිහිටියන් සමාජයේ විවිධ ප්‍රශ්නයන්ට මැදි වී එයින් තැළී පොඩි වී ලැබු අත්දැකීම් සම්භාරය අතිවිශාලය. වයසින් හා දීර්ඝකාලීන පළපුරුද්දෙන් ලැබු අත්දැකීම් ක්‍රමානුකූලව නිසි වයසේදි දූ පුතුන් ඉදිරියේ තබනවා නම් නියම ඵල නෙළා ගත හැකිවෙයි. බාල පරපුර යහමගට ගැනීමේ පරම චේතනාවෙන් ‘කාලෙන ධම්ම සාකච්ඡා’ යනාදි වශයෙන් මෙලොව පරලොව දෙලොව දියුණුව සලසා දෙන අටියෙන්ම අවවාද අනුශාසනා කළ යුතුය.

සුත

මෙයින් උගන්වන්නේ බොහෝ ඇසු පිරූ තැන් ඇති බවයි. හෙවත් බහුශ්‍රැත බවයි. එනම් විවිධ විෂය ක්ෂේත්‍රයන් මඟින් ලබන දැනීමයි. ඈත අතීතයේ දැනීම ලැබු ක්‍රම ඉතා අල්ප ය. ශ්‍රැතමය, ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, විද්‍යාමය ප්‍රඥා , ඍද්ධිමය ප්‍රඥා යනුවෙන් හඳුන්වන්නේ ඒ දැනීම ලැබු මාර්ගයන්ය. එහෙත් අද විද්‍යාඥයන් . තාක්ෂණ ක්‍රමත් නිසා මුද්‍රණ යන්ත්‍ර බිහිවීමේ ප්‍රතිඵලයෙන් පොත පත, සඟරා, ගුවන්විදුලිය, රූපවාහිනිය ආදි සන්නිවේදන මාධ්‍යයන් සුලබවීම නිසා දැනීම් සම්භාරය රැස් කර ගැනීමට බොහෝ පහසුකම් සැලසී ඇත. සමාජ රටාවේ හැටියට ඉගෙනීම අතිශයින්ම අවශ්‍යයි. එය කාගේත් මතකයේ රැඳිය යුත්තකි. කුලී වැඩක් කරගෙන ජීවත් වීමට වුවත් ඉගෙනීමක් තිබිය යුතුය. දෙමාපියෝ දුවගේ, පුතාගේ ඉගෙනීම ඵල ගැන්වීමට හැම උත්සාහයක්ම දරති. ඉගෙනීම දේශ දේශාන්තරයෙන්හි හොඳින් ජීවත්වීමට රජතමය මගකි. එහෙත් මෙහිදී ශ්‍රැතය යන්නෙන් අදහස් කරන්නේ විද්‍යාව, ගණිතය වාණිජ්‍ය වැනි රැකියාවකට අවශ්‍ය ඉගෙනීම පමණක් නො වෙයි. ඉගෙනීම යන වචනයේ පුළුල් අර්ථය විය යුත්තේ තමාගේ ජීවිතයේ තමාටත්, අනුන්ටත්, බරක් කරදරයක් නැතිව සකස් කර ගැනීම යි. පොතපත ඉගෙනීමෙන් පමණක් මිනිසෙක් පරිපූර්ණ නොවෙයි. ඔහුගේ ඉගෙනීමෙන් තමාටත්, අනුන්ටත්, රටටත්, ජාතියටත්, ආගමටත් සේවයක් සිදුවිය යුතුය.

හැදිච්ච කමක් නැත්නම් ඉගෙනීමෙන් පලක් නැත. ‘විද්‍යා දදාති විනයං’ උගතා විනය ගරුක විය යුතුය. හැදිච්චකමෙන් හික්මීමෙන් තොර උගතාගෙන් සාමාජික යුතුකම් ගිලිහි යයි. ශික්ෂණය ලැබු උගතා පූර්ණ පුද්ගලයකු වන අතර ඔහු දෙලොව දියුණුවද සලසා ගනී.

ධම්මානුවත්ති

මෙලොව, පරලොව දියුණුව සලසා දෙන පස්වැනි කාරණය ධර්මානුවෘත්තියයි. කය, වචන, සිත යන තුන්දොරින් සිදුවන දුශ්චරිතයන් දුරුකොට දස සුචරිත ධර්මයන්ට අනුව ජීවිතය සකස් කර ගැනීම දැහැමින් ජීවත් වීමයි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, ඔවුනොවුන් කොටවන කේළම් කීමෙන්, මනස දූෂණය කරන පරුෂ වචනයෙන්, තමන්ටත්,අනුන්ටත් වැඩක් නොවන හිස් වචනයෙන්, අන් සතු වස්තුවෙහි දැඩි ලෝභකමින්, ක්‍රෝධයෙන්, වැරදි දර්ශනයෙන් දුරුව ජීවන මාර්ගය සකස් කර ගත් තැනැත්තා ධාර්මික ව ජීවත් වන්නෙකි.

මෙකල දැහැමි ජීවිතයක් ගෙන යන්නකු දැකීම නිකිණි සොයන්නාක් මෙන් දුර්ලභ දර්ශනයකි. කියන්නත් කනගාටුයි. අපේ සමාජය ඇතැම් විට වැරදි කරනවා. මිරිස් කුඩු ටික ගත්තොත් ගඩොල් කුඩු, ගම්මිරිස් ගත්තොත් ගස්ලබු ඇට, හකුරු ගත්තොත් හුඹස් මැටි රස කැවිලි ගත්තොත් ඩයි වර්ග මේ විධියට ඉතා පහත් ක්‍රියා කරයි. එපමණක් නොව අතීතයේ සිංහලයා තුළ පැවති සහජීවනය,ආගන්තුක සද්කාරය, ජාතික සමගිය සමාජය තුළින් ගිලිහී ගොස්ය. මිහිඳු මාහිමියන් මේ රටේ ඇති කළ සදාචාරාත්මක ගුණ වගාව බෙහෙවින්ම පිරිහී ගොස්ය. කතා කරන කොට නම් අපේ ලංකාව ධර්මද්වීපයකි. එහෙත් දුරාචාරය, සූදුව, මත්පෙති වැනි භයානක අපරාධයන්ට තෝතැන්නකි. වංචාව, කපටිකම, කුහකකම ජීවන මාර්ගය කරගෙනය. බෞද්ධකම දන්න හඳුනන බුද්ධිමත් පිරිස ඇස කන පියාගෙන තවදුරටත් නො සිට අශීලාචාර දුසිරිත් දුරුකොට දැහැමි දිවි පෙවෙතේ අගය වටහා දි සදාචාරාත්මක ආචාරශීලි ධර්මද්වීපයක් ගොඩ නැගීමට ජාතියේ නාමයෙන් ඉදිරිපත් විය යුතුය.

අලීනතාව

දෙලොව දියුණුවේ හය වැනි දොරටුව අලීනතාවයි. කම්මැලි නැතිකමයි. උට්ඨානවීර්යය පටන්ගත් වීර්යය යනුවෙන් හඳුන්වන්නේද මෙය මැයි, කම්මැලිකම,අලසකම තිබෙන තාක් කෙනෙකුට දියුණු වන්නට නොහැකිය. චිත්ත චෛතසික දෙකේ වීර්යයක් නැති අලසකම පරිහානියේ ලක්ෂණය වන අතර උට්ඨාන වීර්යය දියුණුවේ හැම අර්ථ සිද්ධියක්ම සලසා දෙන ඒකායන මාර්ගයයි. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනො පදං යනුවෙන්ද ඒ බව සනාථ කරයි.ලෞකික ලෝකෝත්තර හැම දියුණුවක්ම වූයේ උට්ඨාන වීර්යයෙන් බව ත්‍රිපිටකයේ විවිධ සිද්ධින්ගෙන් පැහැදිලි වෙයි. එසේම බෝසත් සිරිතෙනුත්, බුදු සිරිතෙනුත් උත්සාහයේ මහගු පලය මැනවින් පෙන්වා දෙයි.අප බෝසත්තුමා බුදු බව පැතුවේ මුහුදුබත් වන්නට ගිය තම මෑණියන් කරපින්නා මුහුද තරණය කිරීමේ වීර ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් තම දු සිඟිත්තා බේරා ගැනීම සඳහා මුහුදු ජලය හිස් කරන්නට ගිය කලන්දක ජාතක සිද්ධිය අපට මහත් ආදර්ශයකි. සිදුහත් බෝසතුන්ගේ දුෂ්කර ව්‍රත පුරාණයේදී වසවත් මරු, පැමිණ සිද්ධාර්ථ ඔය කයට දුක දෙන ව්‍රතය අතහරින්න. ඔබට තව දින හතකින් සක්විති සැපත ලැබේ යැයි කී විට, සිදුහත් තවුසා කීවේ ‘පාපි මාරය, ඔබ මට කරදර නොකර යන්නත්, මාගේ සම් මස් වියැළේවා ඇට නහර ශේෂ වේවා. එහෙත් මේ කෙලෙස් සටන අත් නො හරිමි” යනුවෙනි. එහි අමරණීය ප්‍රතිඵලය වූයේ පස්මරුන් දිනා ලොව්තුරා බුදුබව ලැබීමයි.උත්සාහයෙන් අප්‍රමාදී ව කටයුතු කොට මඝමාණවක කුමරුවා දෙව්ලොව දෙව්සිරි ලැබු බව“අප්පමාදෙන මගවා දෙවානං සෙට්ඨතං ගතෝ” යන්නෙන් පහදා දෙයි.මේ අනුව බලන විට දෙව් මිනිස් නිවන් යන ත්‍රිවාර්ගික සැප සම්පත් වල මූල බීජය වූයේ කම්මැළිකම නැතිකමයි. උට්ඨාන වීර්යයයි.

තාක්ෂණ ඤාණය උපයෝගි කරගෙන මිනිසා දියුණුවේ නව මං සොයන යුගයකයි අප ජීවත්වන්නේ. ඇතැමුන් ස්ත්‍රි පුරුෂ භේදයන් නොතකා රෑ දාවල් නො බලා උත්සාහයෙන් කටයුතු කොට ප්‍රබෝධවත් ජීවිත ගත කරන අතර ඇතැමෙක් කම්මැලි ඔතෑනිකමින් මිරිකී, හීන දීන වී සමාජයෙන් කොන් වී ප්‍රපාතයට ඇද වැටෙති. මොවුහු අත පය නො සොල්වා සියලු සම්පත් පිනට පහළ වන තුරු දෛවයට හෝ කර්මයට තම ජීවිතය බාර දී අතන මෙතන කඩපිල් ගානේ ලගිමින් පාලම් බෝක්කු උඩ කාලය මගහරමින් දුක සේ ලත් ජීවිතය කාලකන්නි කර ගනිති. ප්‍රමුදිත වූ වීර්යයක් නැතිව දෛවය හෝ කර්මය ක්‍රියාත්මක නොවන බව බුදුසමයෙන් මෙන්ම ‘දෛවං නිහත්‍ය කුරු පෞරුෂ මාත්ම ශක්ත්‍යා’ යන පඤ්චතන්ත්‍ර පාඨයෙන්ද ඒ බව සනාථ කරයි. කම්මැළි මිනිස්සු මාගේ දෛවය මාගේ කර්මය කියමින් සියල්ල දෛවයටත්, කර්මයටත් පවරති. එහෙත් මේවාට වහල් නොවී ආත්ම විශ්වාසයක් ඇති ව උත්සාහයෙන් කටයතු කරන්නේ නම් කර්මය වුවත් වෙනස් කළ හැකිය. උත්සාහවන්තයා ජයගනී. ලැබු මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙළීමට මෙලොව පරලොව ජය ලැබීමට නිවන් සැප ලැබීමට, කම්මැළිකම,අලසකම දුරුකොට ආත්ම විශ්වාසයෙන් හා නො පසුබස්නා වීර්යයෙන් කටයුතු කොට දෙලොව දියුණූව සලසා ගත යුතුය.

‘මෙහි දැක්වු කරුණු හැකි තරමින් ජීවිතයට සම්බන්ධ කර ගත්තොත් අපට පුළුවනි. නිරෝගීව ජීවත් වන්න. ශීලය වශයෙන් යටත් පිරිසෙයින් පන්සිල් වත් රකින්න පුළුවනි.දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට සලකන්න පුළුවනි. හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවනි. දැහැමි ජීවිතයක් ගත කරන්න පුළුවනි. කම්මැලි නැතිව අපේක්ෂිත දියුණුව සලසා ගන්නට පුළුවනි.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]