UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාමකාමී දිවියකට උපකාර වන පන්සිල්

සාමකාමී දිවියකට උපකාර වන පන්සිල්

උසස් මනසක් ඇත්තේ මිනිසාට ය. තිරිසන් ආදී සත්ත්වයනට සිතක් ඇත ද ඔවුනට චින්තන ශක්තියන් නැත්තේ ය. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවෝ ඉතා පහත් වෙති. මිනිසත් බවක් ලබාගත හැක්කේ ඉතා දුකකිනි. ඒ මිනිසත් බව මහත් වූ පිනක් කරණ කොට ගෙන ම ලැබෙන්නෙකි. ඒ මිනිසා බුද්ධියෙන් කොතරම් විකසිත වුවත්, විස්මිත දෑ තුළින් ලොව මවිත කළත්, මානසික දියුණුවෙන් තොර නම් ලැබෙන ප්‍රතිඵලය ඉතා බිහිසුණු ය. එවන් මානසික දියුණුවක් නැති මුග්ධ මිනිස්සු තිරිසනුන්ටත් වඩා අන්ත ලෙස තම දිවිය ගත කරති.

අදහස් උදහස් වශයෙන් මිනිස්සු විවිධ ය. මේ විවිධත්වය ධර්මයේ වර්ගීකරණයට ලක්ව ඇත්තේ මෙසේ ය. මනුෂ්‍ය ප්‍රේත, මනුෂ්‍ය තිරශ්චීන, මනුෂ්‍ය නාරකික හා පරමාර්ථ මනුෂ්‍ය වශයෙනි. රුවින් මිනිසුන් වුවත් ගති පැවැත්මෙන් ප්‍රේතයන් හා සමාන වූ අවාසනාවන්ත පුද්ගලයෝ මනුෂ්‍ය ප්‍රේත ගණයට අයත් වෙත්. “මනුෂ්‍ය රූපේන මෘගාශ්චරන්ති” යනුවෙන් සංස්කෘත පඬිවරයකු ප්‍රකාශ කළ අයුරින් මිනිස් රූකඩයක් වැනි වූ මෘගයන් මෙන් කටයුතු කරන ද්වේෂ සහගතව ඊර්ෂ්‍යා පරවශව මිනිස් ජීවිත පරඬලාවක් තරම්වත් නොතකන මිනිස්සු මනුෂ්‍ය තිරශ්චීන ගණයට වැටෙත්, නිති වධ බන්ධනයට ලක් වූ ධර්ම චින්තා මාත්‍රයකුදු නැති නිරතුරු දාහයෙන් පෙළෙන අවාසනාවන්ත මිනිස්සු මනුෂ්‍ය නාරකික නම් වෙති. හොඳ නරක වටහා ගැන්මට නුවණ ඇති මිනිස්කම හොඳින් හඳුනන ගුණ දහමට ලැදි මිනිස්සු පරමාර්ථ මනුෂ්‍ය නමින් හැඳින්වෙති. උසස් මනසක් ඇති හෙයින් මනුෂ්‍ය නම් වූ ඔවුහු අත් පා වෙහෙසවා දහඩිය වගුරුවා දැහැමින් සෙමෙන් වස්තුව උපයා කළමනා යුතුකම් අවස්ථාවෝචිතව සිදු කැර පරලොව පිළිබඳව ද විශ්වාස තබා පින් දහම් කරති. මෙය පරමාර්ථ මිනිසුන්ගේ ස්වභාවයයි.

අපේ බුදුරජාණන් වහන්සේගේ මහනීය උපදේශයන් අතර වැඩි වැඩියෙන් අවධානය යොමු කරන එක් විශේෂ කරුණකි. එනම් පුහුදුන් පුද්ගලයා ඕනෑම අවස්ථාවක සතර අපායට වැටිය හැකිය යන්නයි. එබැවින් බුද්ධිමත් මිනිසුන් විසින් මෙතරම් දුෂ්කරව ලැබූ ඒ පරමාර්ථ මනුෂ්‍යාත්ම භාවය අපතේ නොහැරිය යුතු ය. බුද්ධ දේශනාවෙහි අපට සීලයක් අනුදැන වදාරා ඇත්තේ ඒ උතුම් මනුෂ්‍යත්වය සපල කරගනු සඳහා ය. “කාය වාචානං සමෝධානං සීලං” කය වචන දෙකෙහි සංවරය සීලයයි. එනම් සීලය යනුවෙන් හඳුන්වනුයේ ප්‍රධාන වශයෙන් ම හික්මීමයි. ශිෂ්ට සමාජයක් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි සීලය. ක්‍රමානුකූලව සකස් වූ හික්මීමක් නැතිකම සමාජ දුරාචාරයට මුල් වෙයි. හික්මීම හෙවත් සීලය යහපත් ක්‍රියාවල යෙදීමට මුල් වේ. සීලයෙන් හික්මුණු තැනැත්තා මානව සමාජයට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් දැන ඒ යුතුකම් නියමාකාරයෙන් සපුරමින් ශිෂ්ටසම්පන්නව කාලය ගත කරයි. තම තමාගේ යුතුකම් ඔවුනොවුනට මනාව ඉටු වන්නේ නම් ඒ සමාජය තුළ ඝට්ටනයක් අර්බුදයක් ඇති නොවේ. සමාජයේ කුඩා ම ඒකකය පවුලයි. ඒ සමාජ රාමුව තුළ දී ස්වාමි භාර්යා, දෙමාපියෝ, දූ දරුවෝ ඔවුනොවුන්ගේ යුතුකම් මනාව සපුරන්නාහු නම් ඒ පවුල් දිවිය ඉතා සාර්ථකය. මේ සඳහා මූලික වන්නේ සීලය හෙවත් හැදියාවයි. සප්තාර්ය ධනය පිළිබඳ දේශනාවේ දී “සීල ධනං” යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිල්වත්කම මානව සමාජයට ම සෙත සලසන ශ්‍රේෂ්ඨ ධනයක් වන බවයි.

මානව සමාජයේ ආරම්භය

මානව සමාජයේ ආරම්භයේ පටන් ම බුද්ධිමත් මිනිසුන් අතර ශීලාචාරකම් පිළිබඳ පැනවීම් තිබුණි. අග්ගඤ්ඤ සූත්‍ර ආදී දේශනා තුළින් මානව සමාජය සිල්වත් වූ ආකාරයත්, පිරිසේ වර්ධනයත් සමඟ සමාජ දුරාචාරකම් පටන්ගත් ආකාරයත් ප්‍රකටය. ඒ සූත්‍ර දේශනා අනුව මුල් කාලයේ දී මිනිසුන් තුළ කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිහිතකාමී බව ආදී උතුම් ගුණාංග තිබුණි. එහෙත් කල් යත් ම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළි ගැනීම, අනෙකා පිළිබඳ නොසිතීම ආදී දුර්ගුණ වර්ධනය වී ඇති ආකාරය පැහැදිලි වේ.

බුදුපියාණන් වහන්සේ ලොව පහළ වන අවස්ථාව වන විට ද විවිධ වූ සීල භාවනාදී පින්කම් ලොව තිබුණි. සමහරුන් සීලයෙහි පිහිටා බවුන් වඩා ධ්‍යාන හා සමාපත්තීන් ද අභිඥාවන් ද උපදවා ගෙන තිබුණි. ඒ අතර ඇතැමෙක් අජව්‍රත, ගෝව්‍රත, කුක්කුරව්‍රත ආදී වශයෙන් සමාදන්ව හික්මීමට වැර දැරූහ. එසේ ම පරිබ්‍රාජක, නිඝණ්ඨ, ආජීවක, අචේලක, තාපස, ජටිල, බ්‍රාහ්මණ ආදී නම් වලින් හා පිළිවෙත් වලින් යුක්ත වූ විවිධ ශාස්තෘවරු ද ආගමික නායකයෝ ද විසූහ. මේ හැම ශාස්තෘවරයෙක් ම තම ශ්‍රාවකයනට කිසියම් හික්මීමක් ලබාදීමට උත්සුක වූහ.

මෙවන් විවිධ වූ තපස් ක්‍රම පවතින සමයක හා පසුබිමක ලොව පහළ වූ තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන් විසින් ද අනුගමනය කළයුතු නිවැරදි වූත් යහපත් වූත් මාර්ගය හා ඔවුන්ට අයත් සීලයන් පිළිබඳව දේශනා කළහ.

ආර්ය කාන්ත සීලය

භික්ෂු සීල, භික්ෂුණී සීල, අනුපසම්පන්න සීල, ගහට්ඨ සීල ආදී වශයෙන් උන්වහන්සේ විසින් තම ශ්‍රාවකයන් විසින් අනුගමනය කළයුතු ඒ සීල කොටස් කර පෙන්වූහ. මේ සිල් අතර ගිහියන් විසින් නිති ආරක්ෂා කළයුතු සීලය වශයෙන් අනුදැන වදාළේ පන්සිල්ය. ආර්ය භාවයට පත් වූවෝ දිවි ගිය ද කිසි කලෙකත් පන්සිල් කඩා නො කරති. ආර්ය භාවයට පත්වීමට පන්සල් හි පිහිටිය යුතු ය. පන්සිල් ආර්යයන්ට පි‍්‍රය වූ සීලයකි. එහෙයින් එයට ආර්යකාන්ත සීලය යැයි ද කියනු ලැබේ. මේවා ශිෂ්ට සමාජයක් බිහිකිරීමෙහි ලා ප්‍රධාන තැනක් ගනියි. අද ලොව යම් දුරාචාරයක් ඇත්තේ නම් ඒ සියල්ලට ම මූල හේතුව පංච සීලයෙන් තොරවීමය. පංච ශීලය යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම හා මත්පැන් පානය කිරීම යන මේවායින් වැළකීමයි.

බුදු දහම පළමුවෙන් සියලු සතුන් කෙරෙහි මෙත් සිත පැතිරීමටත්, කරුණාව, අවිහිංසාව, දයාව පුරුදු පුහුණු කරන්නටත් උගන්වයි. මිනිසෙක් නම් ඒ මිනිසා තුළ මනුෂ්‍ය ධර්ම තිබිය යුතු ය. යම් කෙනෙක් සතුන්ට හිංසා පීඩා කරන්නේ නම්, ඝාතනය කරන්නේ නම් ඔහු මනුෂ්‍ය ගුණ ධර්ම වලින් තොර වූවෙකි. “අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ” යනුවෙන් බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට හැමවිට ම තමා තමාව ම උපමාවට ගෙන, මට යමෙක් හිංසා පීඩා කරන කල මම එයට අකැමැති වන්නා සේ අන් අයද ඔවුන්ට හිංසා කරන කල එයට අකැමැතිය යන්න සිහිකටයුතු ය. අපේ සදුත්සාහය විය යුත්තේ ‘මං නිස්සාය අඤ්ඤෙසං කිලමනකිච්චං නත්ථී’ මා නිසා අනුන්හට කරදරයක් නොවේවා යන්න අර්ථවත් කිරීමය.

මිනිස් සමාජය විවිධයි. විෂමයි. ඒ විෂම වූ සමාජය තුළ ඔවුනොවුන් අදහස් වශයෙන් සම්බන්ධ වන ආකාරය සංයුත්ත නිකායේ දස කම්මපථ සූත්‍රයේ දී බුදු හිමියෝ “ධාතුසෝව භික්ඛවේ සත්තා සංසන්දන්ති සමෙන්ති පාණාතිපාණෝ පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති” ආදී වශයෙන් ප්‍රාණඝාතය කරන අය ප්‍රාණඝාතය කරන්නන් හා සමඟ ද, සොරු සොරුන් සමඟ ද, කාමයෙහි වරදවා හැසිරෙන්නන් ඔවුන් හා සමඟ ද, බොරු කියන්නන් බොරු කියන්නන් හා සමඟ ද, බේබද්දන් බේබද්දන් සමඟ ද එක්වන බව ඔවුන් හා ඇසුර පවත්වන බව දේශනා කළහ. අපට ජීවත්වීමට සිදු වී ඇත්තේ එවන් විවිධ වූ අදහස් ඇති විවිධ ගති ලක්ෂණයන්ගෙන් යුක්ත සමාජයක් තුළ ය. තිරිසන් සමාජය ද විවිධය. විෂම ය. කැලේ ජීවත් වන සිංහ කොටි ආදී බල සම්පන්න සතුනට බියෙන් හාවුන් මුවන් වැනි අහිංසකයෝ ජීවත් වෙති. සුළු වූ හෝ ශබ්දයට පවා ඔවුහු සැලෙති. බිය වෙති. එය තිරිසන් ලෝකයේ ස්වභාවයයි. අප ජීවත් වන මේ මිනිස් සමාජයේ හා තිරිසන් ලෝකයේ වෙනසක් අපට දැකිය නොහැකිය. බලවත් රටවල ඇත්තෝ දුබල රටවලට බෝම්බ හෙළති. බලවත් මිනිසුන්ට බයේ අසරණ අහිංසක මිනිස්සු දිවි ගෙවති. ඇතැම් මව්වරු දරුවන් ඉපදීමටත් පෙර ම මරා දමති. සමහරු උපන් විගස ම මරා දමති. මේ හැමකක් ම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙයි.

සාමකාමී දිවියකට මඟ

සමාජමය පැත්තෙන් බලන කල මිනිසා තව මිනිසෙකුට පිහිට වීම ඉතා ශ්‍රේෂ්ඨය. දහමට අනුව බලන කළ ප්‍රාණඝාතය අකුසලයකි. සසර ඉතා භයානකය. අපි ඒ බියජනක වූ සසර ගමනෙහි යෙදී සිටින සත්ත්වයෝ වන්නෙමු. ඒ දිගු සසර ගමනේ දී ඉපදීම මැරීම යන ධර්මතා දෙකට අප මුහුණ පෑ යුතු ය. එසේ නැවත නැවතත් මැරි මැරී උපදින විට කම්මදායාදා, කම්මයෝනී, කම්මබන්ධු, කම්මපටිසරණා යන දහම් පදයනට අනුව මෙලොව ඇති ගේ දොර ඉඩකඩම් අඹු දරුවන් මේ ආදී සියලු ම දෑ අතැර දමා තම තමන් විසින් කැරගත් කර්ම පමණක් ගෙන යා යුතු ය. ඉදින් ප්‍රාණඝාතය අකුසලයක් නම් අපේ සසර ගමනේ දී ඒ අකුසල් භවයෙන් භවයට ගෙන යන බව සිහිකටයුතු ය.

අපාය හා ප්‍රේත ලෝකය ගැන අප අසා ඇත ද, ඒවා අවිද්‍යමානයහ. එහෙත් අප ජීවත් වන මිනිස් ලොව විද්‍යාමානය. ඒ පෙනෙන ලොව තුළ විවිධ අංග විකලයන්ගෙන් යුක්ත වූවෝ අපට දැකිය හැකි ය. එසේ ම ඇතැම්හු ඉතා කුඩා කාලයෙහිත් තරුණ කාලයෙහිත් අකාල මරණයන්ට ගොදුරු වෙති. මේ සඳහා බෙහෙවින් ම බලපානුයේ ඔවුන් විසින් පෙර භවයන්හි කරන ලද ප්‍රාණඝාතාදී අකුසල කර්මයෝ ය.

“න අන්තලික්ඛේ න සමුද්ද මජ්ඣෙ න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාප කම්මං”

යන බුදු වදනට අනුව යම් කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසල් කළේ ද, හෙතෙම අහසේ සිටිය ද? මහ මුහුද මැද සිටිය ද, පර්වත විවරයකට ඇතුළු වුවද පෙරදිග ආදී යම් පෘථිවි ප්‍රදේශයක සිටියේ ද තමා විසින් කරන ලද ඒ පාප කර්මයන්ගෙන් මිදෙනු නොහැක්කේමය. මේ නිදසුන දෙස හිත යොමු කරන්නේ නම් මැනැවි. පෙර බරණැස් නුවර එක ගොවියෙක් සී සාද්දී තම ගොනා හීයට අකීකරුව මඳක් තැන් ගොස් නිතර ම වැද හොවීම නිසා උරණව මෙවක් පටන් සුවසේ නිදව යි කියා පිදුරු ගින්නෙන් දවා මරණයට පත් කළේ ය. හේ ඒ පාප කර්මය හේතුකොට ගෙන බොහෝ කලක් අවීචියෙහි ඉපිද ගින්නෙන් ම පැසී ඉන් චුත වූ කල ආත්මභාව සියයක් කවුඩු යෝනියෙහි ඉපිද ගින්නෙන් ම දැවී මරණයට පත් විය. එහෙයින් එවන් දුක්ඛිත තත්ත්වයට පත් නොවන්නට නම් පරපණ නැසීමෙන් වැළකිය යුතු වන්නේ ය.

නුදුන් දෑ ගැනීම අදින්නාදාන නමින් හැඳින්වෙයි. අනුන් සතු දේ අන් සතු බව දැන දැන ම පැහැර ගැනීමේ උපක්‍රමයෙන් හටගත් සොරා ගැනීමේ චේතනාව අදත්තාදානයයි. සොරකම් කිරීමේ උත්සාහය හෙවත් ප්‍රයෝග ක්‍රම කීපයකි. නඩු කියා පැහැර ගැන්ම, ගෙන යමින් සිටි දෑ සොරා ගැන්ම, පරෙස්සමට තැබූ දේ නැවත නොදී ගැන්ම, බඩුගෙන යන්නාගේ ගමන් මග වෙනස් කොට පැහැර ගැන්ම හා තුබූ තැනින් වෙනස් කොට පැහැර ගැන්ම යන මෙකී කවරාකාරයකින් හෝ පැහැර ගන්නේ නම් අදත්තාදාන අකුසල කර්මය වන්නේ ය.

යමෙක් දහඩිය මහන්සියෙන් යමක් උපයා ගන්නේ තමාගේ සුව පැවැත්ම උදෙසා ය. එසේ උපයාගත් යමක් තවත් මිනිසෙක් පැහැර ගන්නේ නම් ඔහු තුළින් මිනිස් ගුණ ධර්ම බලාපොරොත්තු වීම උගහට ය. මිනිස් සමාජයේ බොහෝ දෙනා දොරගුළු දමා වැටකඩොළු බැඳ තම වස්තුව රැක ගන්නට වැර දරනුයේ එවන් මනුෂ්‍ය ධර්ම වලින් තොර මිනිසුන් සමාජයේ වෙසෙන බැවිනි. දහමට අනුව බලන කළ සොරකම අකුසලයකි. සමාජයමය දෘෂ්ටි කෝණයෙන් බලන විට ලෝකයාගේ අවඥාවට අපහාස වලට නින්දාවට ලක් වන්නෙකි.

කාමයන්හි වරදවා හැසිරීම කාම මිථ්‍යාචාරයයි. කාම මිථ්‍යාචාර යන්නෙහි අර්ථ රාශියකි. පොදුවේ ගත් කල්හි තමන් කැමැති දෙයෙහි වැරැදි අයුරින් යෙදීම යන්න ගත හැකිය. එය මිනිසා අපවිත්‍ර කරන රාගදී ක්ලේශ ධර්ම වලට මුල් වූ අකුසල කර්මයකි. ලොව හැම සත්හු ම තම ඉන්ද්‍රියන් පිනවීමට කැමැතිය. එහෙත් මිනිසුන් වශයෙන් දිවි ගෙවන විට තම කැමැත්තේ අන්තයට නොගොස් ඉන්ද්‍රියන් පාලනය කටයුතු ය. එක් සංස්කෘත පඬිවරයෙක් මෙසේ කියා ඇත. ආපදා කථිතා පන්ථා ඉන්ද්‍රියාන මසඤ්ඤම, සියලු ම විපත් වලට මුල ඉන්ද්‍රියන්හි තිබෙන අසංවරකමයි. එබැවින් අප කාටත් ඉන්ද්‍රිය දමනය ඉතා අවශ්‍යය. පිරිසුදු චරිතය හැමටම වඩා ශ්‍රේෂ්ඨය. එබැවින් අඹු සැමියන් වශයෙන් ගිහි දිවිය ගත කරන හැම දෙනා ම ස්වදාර, ස්වපුරුෂ සන්තුෂ්ටියෙන් යුතු වන්නේ නම් එය ශ්‍රේෂ්ඨ පැවැත්මකි. විවාහයට පළමුව තරුණ තරුණියන් විසින් කුමර බඹසර, කුමරි බඹසර රැකිය යුතු ය. නූතන සමාජය තුළ අඹු සැමි ආරවුල් බෙහෙවින් දක්නට ලැබෙනුයේ ස්වදාර ස්වපුරුෂ සේවනය ඉක්මවා පරදාර පරපුරුෂ සේවනයට බොහෝ දෙනෙකු යොමුවීම නිසා ය. එවන් පවුල් දිවියක කිසි දිනෙක සතුට සොම්නස ඇති නොවේ. හිතේ අසහනයට මෙන් ම විවිධ වූ රෝග උපද්‍රවයනට ගොදුරු වන්නේ කාමමිථ්‍යාචාරයේ ප්‍රතිඵලයක් වශයෙනි. කාමමිථ්‍යාචාරයෙහි විපාක පෙන්වන තැන දී එහි යෙදෙන්නා පිරිස් මැද නින්දාවට බඳුන් වෙයි. සදාචාර ධර්ම නසාලන පුද්ගලයෙක් වෙයි. ධනහානි කැර ගනී. කුල පරම්පරාව නසයි. උමතු බවට පත්වේ. බොහෝ සතුරන් ඇති වෙයි. මේ ආදී වූ විවිධ උපද්‍රවයන්ට මුහුණ දෙයි. එබැවින් ධර්මය පැත්තෙන් බලන කල අකුසලයක් වන්නාවූත් සමාජමය පැත්තෙන් බලන කල ලෝකයා විසින් පිළිකුල් කරන්නාවූත් කාමමිථ්‍යාචාරයෙන් වැළකීම සදා සැනසිල්ල පිණිස හේතුවනු නො අනුමානය.

මුසා යනු සිදු නොවූ, සත්‍ය නොවූ දෑයි, වාද යනු එකී සිදු නොවූ, සත්‍ය නොවූ දෑ සිදු වූ සත්‍ය දේ ලෙස හැඟවීමයි. යමෙක් බොරු කියන්නේ නම් බහුලව පුරුදු කරන්නේ නම් ඔහු “අභූතවාදී නිරයං උපේති” යි වදාළ ආකාරයට නරකාදී සතර අපායෙහි වැටෙයි. දැන දැන කියන බොරුව සම්පජාන මුසාවාද නමින් හැඳින්වෙයි. බොරු කියන්නා ගෙන් චතුර්විධ වාග් දුශ්චරිතය ම සිදුවන්නේ ය. බුදුරජාණන් වහන්සේ කිසිවිටකත් බොරුව අනුමත නොකළ අතර සත්‍ය ලොව ඇති උතුම් ම රසය බව “සච්චං භවේ සාධූතරං රසානං” යනුවෙන් ආලවක යක්ෂයා අමතා දේශනා කොට ඇත. එබැවින් සත්‍යයට ප්‍රතිපක්ෂ වූ බොරු කියන තැනැත්තා සමාජය විසින් පිළිකුල් කරයි. කපිල මත්ස්‍යයාට මෙන් දුර්ගන්ධ මුඛ ඇති වෙයි. නුවණ නැති වෙයි. ගොළු බවට පත් වෙයි. මෙවන් වූ දරුණු විපාක ලැබෙන බැවින් මුසා බිණීමෙන් වළකින්නට වැර දරන්න.

මිනිසා මත් බවට ප්‍රමාදයට පත් කරන සුරාව හා මේරය යමෙක් පානය කරන්නේ නම් ඔහුට සුරා පානය කිරීමේ අකුසලය සිදුවන්නේ ය. නොයෙක් ලෙසින් බත් පිටි ගෙඩි ආදී ද්‍රව්‍ය හා වතුර එක්කොට පල් කරගත් මද්‍ය විශේෂය සුරා නමින් හඳුන්වයි. පිට්ඨ, පූව, ඕදන, කිණ්ණපක්ඛීත්ත හා සම්භාරසංයුක්ත යැයි සුරාව පස් වැදෑරුම් වෙයි.

සුරාව ඈත අතීතයේ සිටම ජනතාව අතර තිබෙන පාන වර්ගයකි. එහෙත් බුදුරජාණන් වහන්සේ සුරාව පව් උනන උල්පතක් යැයි දේශනා කොට බෞද්ධයනට එයින් වැළකීමට සිකපදයක් ද දේශනා කළහ. සුරා පානය නිසා මිනිසා දෙලොවින් ම පිරිහෙන ආකාරය ද උන්වහන්සේ මැනවින් පැහැදිලි කළහ. වසල, පරාභව ආදී නොයෙක් සූත්‍රයන් හි ද ධර්මද්වජ ආදී ජාතකයන් හි ද සුරා පානයෙහි ආදීනව මැනවින් දේශනා කොට ඇත.

සුරා පානය වස්තු විනාශයට හේතු වන්නකි. ධනය උපයන්නා තමන් සතු සියලු ධනය ම යොදවන්නේ සුරාපානයටම ය. ඒ සඳහා ධනය නොමැති වූ විට තම ගේ, දොර, ඉඩ කඩම් පවා විකොට ආශාව සපුරා ගන්නේ ය. බුදුරදුන් දවස විසූ මහා ධනයකට හිමිකම් කියූ සිටුවරු මද්‍ය පානයට යොමුවීමෙන් තමා සතු වස්තුවෙන් පිරිහී හිඟමනයට පවා පත් ආකාරය බණ පොතින් අපට පැහැදිලිය.

මත්පැන් පානය කරන්නා නිරතුරුව ම කලහ ඇති කරන්නෙකි.ජන සමාජය තුළ සිදුවන බොහෝමයක් කලකෝලාහල හා මිනී මැරුම් වලට මූල හේතුව මද්‍ය පානයයි. මත්පැන් කායික හා මානසික රෝග වලට ද හේතුවකි. සුරා පානය හේතුකොටගෙන ඇතිවන රෝග රාශියක් යුරෝපීය වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ. උගුරේ, පපුවේ, ආමාශයේ ආබාධ බොහෝමයක් මත්පැන් නිසා හටගන්නා බව වෛද්‍යවරුන්ගේ අත්දැකීමයි. මද්‍යපානය නිසා විපත් සිදුවන්නේ එය පානය කරන්නාට පමණක් නොවේ. ඔහු නිසා අන්‍යයන්ට ද වන විපත් බොහෝ ය. මහමඟ දී වන්නාවූ රිය අනතුරු හා වෙනත් මිනිසුන් රැස්වන තැන්වල දී එබඳු පුද්ගලයන්ගෙන් වන්නා වූ කරදර ඒ සඳහා හොඳම නිදසුන් ය.

“පාණාතිපාතා පටිවරතෝ භික්ඛවේ අරියසාවකෝ අප්පමාණානං සත්තානං අභයං දේති, අවේරං දේති, අඛ්‍යාපජ්ජං දේති” යනාදී බුද්ධ භාෂිතය අනුව පස් පවින් වැළකී වාසය කරන්නා අපමණ වූ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. එබැවින් මෙලොව සාමකාමී සැපවත් දිවියක් ගෙවා සසර උපනූපන් භවයන් හි සදාචාරශීලී තැනැත්තෙකු වීමට පඤ්ච සීලය උපකාරී වෙයි. ඒ අභ්‍යාසය තුළින් එයට වඩා උසස් සීලයන් සම්පූර්ණ කොට භයජනක වූ සසරින් එතෙර වන්නට උත්සාහවත් වන්න.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]