UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරුරෙහි අනිත්‍යතාව හැම විට මෙනෙහි කළ යුතුය

සිරුරෙහි අනිත්‍යතාව හැම විට මෙනෙහි කළ යුතුය

සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයෙහි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තිස්ස නමින් පැවිදිව මහණදම් පුරණ ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. “තිස්ස” හාමුදුරුවන් ගේ නම කියූ පමණින් කවුරුත් දැන හඳුනන ස්වාමීන් වහන්සේ නමකි. තිස්ස හාමුදුරුවන් භික්ෂු සමාජය තුළ පැවිදිව භික්ෂු සමාජය සමඟ කටයුතු කාරණා කළාට, උන්වහන්සේට හිතවත් යහලු මිත්‍රාදීන් සිටියේ නැහැ. උන්වහන්සේ තුළ තිබුණ සැඩ පරුෂකම නිසාම උන්වහන්සේ ඇසුරු කරන පිරිස උන්වහන්සේ සමීපයෙන් ඈත් වී ගියා. වයස්ගත වනවාත් සමඟ උන්වහන්සේගේ ශරීරයෙහි හමෙහි කිසියම් රෝගයක් හටගත්තා. එම රෝගය දවසෙන් දවස වැඩිවෙන්න පටන් ගත්තා. පිට හමෙහි බුබුලු හටගන්න පටන් ගත්තා. ඒ නිසාම මෙම බුබුලු පැසවා තුවාල වී ශරීරයට විශාල වේදනාවක් ගෙන ඒමට පටන් ගත්තා. තමන්ගේ වැඩ කටයුතු වුවත් බොහොම අපහසුවෙන් කරගත්ත.

ඒ ස්වාමීන් වහන්සේ පසුකාලීනව “පූතිගත්ත තිස්ස” නමින් ප්‍රසිද්ධ වුණා. ශරීරය පිළිකුල් සහගතයි. ශරීරය වියළී ගිය ස්වභාවයක් තිබුණ නිසාත් සම අව පැහැවී තිබුණ නිසාත්, උන්වහන්සේ ඒ නමින් අමතන්න පටන් ගත්තා. එම හේතුව නිසයි තිස්ස හාමුදුරුවන් පූතිගත්ත තිස්ස නමින් ප්‍රසිද්ධ වුණේ. මේ හාමුදුරුවෝ මෙබඳු තත්වයකට පත්වුණේ උන්වහන්සේ පෙර සංසාරයේ කළ අකුසල කර්මයක් හේතුවෙනි. පෙර සංසාරයේ කළ අකුසල කර්ම ඒ ආත්මය තුළඳීමත් පලදෙනවා. එම ආත්මය තුළදීම විපාක දෙන කර්ම “දිට්ඨ ධම්ම වේදනීය” කර්ම නමින් හඳුන්වනු ලබනවා. ඇතැම් අකුසල කර්ම පල දෙන්නේ ආත්ම ගණනාවකට පසුවය. බුදුරජාණන් වහන්සේගේ සමයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි මහණ දම් පුරන්න තරම් සංසාරය පුරා කළ පින් දහම්වල පින් වැඩී මෝරා තිබුණත් පුණ්‍යවතෙක් වුණත් පෙර කළ අකුසල්වල ඵලදීම නතර වූයේ නැහැ. ඒ නිසාම උන්වහන්සේට මේ වගේ රෝගී අසනීපයකින් දුක්විඳින්න වුණා. එක දවසක් බුදුරජාණන් වහන්සේ විහාර චාරිකාවෙහි වැඩම කරන විට පන්සලේ සංඝාවාසය තුළ අමිහිරි වේදනාවෙන් කෑ ගසමින් සිටින මේ හාමුදුරුවන්ගේ කටහඬ ඇසුණා. කටහඬ ඇහිල ඇවිත් බලන විට රෝගී තත්වයෙන් වේදනාවෙන් වැඩ සිටින මෙම ස්වාමීන් වහන්සේ දකින්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ද කැටුව මේ ස්වාමින් වහන්සේට උදව් උපකාර කරන්නට ඉදිරිපත් වුණා. උණුවතුර නිවා ශරීරය බාහිරව පවිත්‍ර කර, උන්වහන්සේ පරිහරණය කළ සිවුරු පිරිකර සෝදා උන්වහන්සේගේ ගත සිත තැන්පත්වන ආකාරයට ශරීරය පිළියෙල කළා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතින්ම මේ රෝගී ස්වාමින් වහන්සේට සලකන අවස්ථාව තුළ අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් එම ස්ථානයට වැඩම කරමින් රැස්වෙන්න පටන් ගත්තා. එක්කෙනා දෙන්නා බුදුරජාණන් වහන්සේට උදවු කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත්, බුදුරජාණන් වහන්සේ සිදු කළ ඒ ක්‍රියාදාමය අදහා ගැනීමටත් බැරිවුණා. මේ බුදුහාමුදුරුවෝ නේද? කියන හැඟීමක් ආවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අසරණ වූ අයට උදවු උපකාර කරන්න කියනවා වගේම එබඳු අය දුටුවිට ඒ අය සොයා ගොස් ඒ අයට උදවු උපකාර කරන ආකාරය බුදුහාමුදුරුවන්ගේ චරිතය තුළින්ම ආදර්ශවත්ව පෙන්වපු නිසා. පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ මේ සිද්ධිය අපේ බොහෝ දෙනාට ඉතාමත් වැදගත් දහම් පණිවුඩයක් රැගෙන එන කතාවකි. අප ජීවත්වෙන විට බොහෝ දෙනා ජීවත්වෙන්නේ අනෙක් අය මැරුණත් තමා මරණයට පත්වෙන්නේ නැති කෙනකු ලෙස සිතලයි. අනෙක් අයගේ ශරීරය අස්ථිර වුණාට, තමාගේ ශරීරය අස්ථිර වෙන එකක් නැහැකියලා. තමන් පිළිබඳව ඇතිකරගත් උඩඟු සිතිවිල්ලකින් සහ අනෙකුත් අය පිළිබඳව ඇතිකරගත් පහත් සිතිවිල්ලක් බොහෝ මිනිස්සු තුළ තිබුණා. එකම සිතිවිල්ල දෙයාකාර වෙනවා. එය ධර්මයෙහි විස්තර කරන්නේ “අත්තුක්කංසනය” සහ “පරවම්භනය” කියල කියන වචන දෙකින්.

අත්තුක්කංසනය කියලා කියන්නේ. තමන් නිවැරැදි කෙනෙකු බවත්, තමන් බොහෝ දේ දන්නා කෙනෙකු බවත්, තමන් උතුම් කෙනකු යන තමා පිළිබඳව උතුම්වූ විශිෂ්ට අර්ථයෙන් සිතීමයි. පරවම්භනය කියල කියන්නේ අනෙකුත් පුද්ගලයන් පහළට දමා ඔහු පහත් කෙනෙකු ලෙස සිතමින් ඔහු කොන් කරන ස්වභාවයයි. මෙම තත්වය කිසියම් කෙනකුගේ මනසෙහි තිබෙනවා නම්, ඒ අකුසලයක් ලෙසයි බුදු දහමෙහි සලකන්නේ . එම අකුසලය මනසෙහි තිබෙන පුද්ගලයා මේ ලෝකය තුළ ජීවත් වන කෙනකු නොවෙයි. ඔහු කිසියම් විකෘති මානසිකත්වයකින් පෙළෙන කෙනෙකු හැටියටයි බුදුදහම සලකන්නේ. එනිසා මෙම ශරීර ස්වභාවය මැනවින් වටහාගෙන එහි ක්‍රියාකාරිත්වය මැනවින් වටහාගෙන ඒ අනුව හැසිරීම තමයි බුදුදහමේ උතුම් දිවි පැවැත්ම ලෙස සලකන්නේ.ඇතැම් පිරිස් ජීවත් වෙන්නේ බුදුදහමේ උගන්වන මේ අනිත්‍යතාවය නිතර නිතර කල්පනා කරමින් එය සිහිපත් කරමින්. ඒ වගේම මනසෙහි තිබෙන රෝගී තත්වයටත් එබඳු සිතිවිලි එන්න පටන් ගන්නවා. එනිසා නිවැරැදි අවබෝධයෙන් කල්පනාවෙන් සමාජය තුළ ජීවත්වන්නට ඕනෑය කියන ආදර්ශය පූතිගත්තතිස්ස හාමුදුරුවන්ගේ කතාවෙන් අපට පේනවා. උන්වහන්සේ ජීවත්ව සිටි කාලය තුළ වුවත් අනෙකුත් අයගේ උදවු උපකාර මට අවශ්‍ය වෙන්නේ නැහැ. මට වුවමනා නැහැ කියන උඩඟු හැඟීම මනසෙහි තියාගත්ත නිසාම අනෙකුත් පිරිස උන්වහන්සේ අතහැරලා ගියා. නමුත් බුදුරජාණන් වහන්සේ පුතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අතහැර දැම්මේ නැහැ. ඒ ආදර්ශය මේ සමාජය තුළ ජීවත්වන අය කොයි කාටත් එකවගේ ම වැදගත්ය කියන කාරණාව අපේ සිහියට ගත යුතුයි.

- හේමමාලා රන්දුනු

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]