UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලස්සන වීමේ රහස

ලස්සන වීමේ රහස

වර්තමාන යුගය වන විට ශරීරය හැඩ කර ගැනීමට විවිධ තාක්ෂණ ක්‍රමත්, ඒ සම්බන්ධ වෛද්‍ය ක්‍රමත්, ඊට සාපේක්ෂව ආලේපන, ක්‍රීම්, දියර, සායම් ආදියත් ශරීරයට නිමක් නැතිව සම්බන්ධ කරන අයුරු දැක ගැනීම සුලබ කරුණකි. ඒ කරණ සෑම දේකින්ම අපේක්ෂාව වී ඇත්තේ අන්‍යයාට සමාජයට නිතර ලස්සනක් පෙන්වීම බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා සූත්‍රානුසාරයෙන් දේශනා කොට ඇත.

මිනිසුන් ගත් කල්හි විවිධ විෂම අයුරින් උපදිති. ඒ පිළිබඳ සුබ මානවක බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළ පසු බුදුරදුන් දේශනා කළේ “කම්මස්සකා මානව සත්තා කම්මයෝනි, කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං සන්තෙ විභජති යදිදං හිනප්පණිතතායානි යනුවෙන් ම.නි. චුල්ලකම්ම විහංග සූත්‍රය තුළින් සුබ මානවකට පහදා දෙන්නේ මානවකය සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුය. කර්මය තුළින් සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදෙන්නේය යනුවෙනි.

කරන ලද කුසලාකුසල කර්ම සත්ත්වයාගේ සියලුදේ ම නිර්ණය කරන අයුරු අමුතුවෙන් කිව යුතු නැත. ඒ බවට සූකර මුඛ ප්‍රේතයාගේ කතාව ඉතා වැදගත්වේ. ශරීරය රන්වන් වුවත් මුහුණ සුකරයෙකුගේ මෙන් අසෝභනය. එලෙසම රූප සම්පත්තිය ගත් කල්හි විශාඛා, කෝසල, මල්ලිකා, උප්පලවන්නා, ආනන්ද හාමුදුරුවො ආදී චරිත කතා කියවීම වැදගත් වේ. ඒ අනුව කර්ම ශක්තිය රූප සම්පත්තියටත් සෘජුවම බලපාන බව බුද්ධ දේශනාවලට අනුව පැහැදිලි වේ.

අද බහුල වශයෙන් ලස්සන වීමට උත්සාහ කළ ද එය සසර කරන ලද පිනත් සමඟ මිනිසෙකුට ලැබෙන දායාදයෙකි. බුදුරදුන්ගේ රූප සම්පත්තියට සම කළ හැකි කිසිවෙකු නැති තරම්ය. උන්වහන්සේ දෙතිස් මහා ලක්ෂණවලින් හා අසීති අනුව්‍යංජනවලින් සැදුම්ලත් උත්තමයෙකි. වක්කලී ඇතුළු බොහෝ පිරිස් රූප සම්පත්තිය නිසා ම නිවන් මඟට පිළිපන් අය වූහ. එයට හේතුවන්නේ සසර කරන ලද අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියයි. නමුදු මෙම ආත්මයේ දී වුවද කෙනෙකුට ලස්සන වීමට අවශ්‍ය නම් බාහිර වශයෙන් විකෘති වීම් නොකොට ගෙන ධර්මයෙන් අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට පුළුවන. ඒ සඳහා ධර්මයේ උගන්වා වදාළ කරුණු කාරණා උපදෙස් පිළිපැදිය යුතු ය.

බුදුරදුන් මෙත්තානිසංස සූත්‍රය තුළින් මෛත්‍රී වැඩීමේ අනුසස් දේශනා කිරීමේ දී “මුඛ වන්ණෝ විප්පසීදති” යනුවෙන් මුහුණ පැහැපත් වීම පිළිබඳ දේශනා කොට ඇත. කෙනෙකුගේ හදවත මුහුණෙන් කීමට පුළුවන. හදවත පිරිසුදු නම් එහි අකුසල මල අඩු නම් එය ශරීර වර්ණය සඳහා බලපානු ඇත. විශේෂයෙන් මුහුණ ලස්සන වීම සිදු වේ. විවිධ ආලේපන, ක්‍රීම් වර්ග, දියර වර්ග, පුයර ආදිය තුළින් අද සිදු කරන ලස්සන වීමේ උත්සාහය නිස්ඵල දෙයකි. එයින් ලස්සනයි කියා සිතා සිටිය ද ප්‍රඥාවෙන් බලන කල්හි මුහුණ එවැනි ලස්සනකට යොමු වූයේදැයි සිතා බැලිය යුතු ය.

දන් දීමේ අනුසස් අතර වුව ද “වණ්ණ” යනුවෙන් වර්ණය සම්බන්ධව දේශනා කළේ ශරීර වර්ණයයි. ශරීරය සීයට සීයක් අංග සම්පූර්ණව පිහිටීම කලාතුරකින් දැකිය හැකි ලක්ෂණයකි. කුමන හෝ අඩුවක් ඉස්මතු වී ඇත. සියලුදෙනාගේ ම මුහුණ ඇස්, කන්, නාස, කට තිබුණට මුහුණට මුහුණක් වෙනස්ව පවතී. “නානත්ත කායා නානත්ත සඤ්ඤා” ලොව සියල්ලෝම එක්කෙනෙකුට එක්කෙනක් වෙනස් වේ. රූප කාය අතින් ටිකක් හෝ සමාන වූවත් මිනිසුන් සිතින් නම් බොහෝ වෙනස්කම් දක්වති. එය බුද්ධ දේශනයයි.

උපතින් මේ සිත ප්‍රභාස්වර වුවද බාහිරව එන කෙලෙස් තුළින් සිත අපවිත්‍ර වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම වැනි සිත කිළිටි කරන සිතිවිලි ශරීරයට ද බලපානු ඇත. ඒ තුළින් ලේ ධාතුව ද අපවිත්‍ර වී රූපය ද විරූපි වේ. ඒ අනුව මෛත්‍රිය ප්‍රගුණ කිරීම තුළින් ලේ ධාතුව පිරිසුදු කොටගෙන රූපය ද වර්ණවත් කර ගැනීමට පුළුවන. ලෝවැඩ සඟරාවෙහි 111, 112 වෙනි කවිවලින් ද මෛත්‍රීය වැඩීමේ අනුසස් දක්වා ඇත. එහි 112 තුළින් මෛත්‍රී වැඩීම හා මෙලොව පරලොව කායික මානසික සුවය සලසා දෙන අයුරු පැහැදිලි කොට ඇත.

යහපත නොසිතන සැටි මේ දනයා
කිපිසත උනුනට දෙති වේදනයා
හැම සත වෙත කළ මෙත් භාවනායා
සැක නැත සඟමොක් සැප සාදනයා

ලෝකයා යහපත ගැන නොසිතන සැටි බලව්. කෝප වූ අය උනුනුන් හට දුක් වේදනා දෙත්. හැම සතන් වෙත කළ මෛත්‍රී භාවනාව ස්වර්ගමෝක්ෂ සම්පත් සාදා දෙනු නිසැකයි.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන ලස්සන වීමට කැමැත්තෝ මෛත්‍රී භාවනාව නිතර ප්‍රගුණ කළ යුතුව ඇත. බාහිර වශයෙන් ශරීරයට අගුණ ආලේපන දල්වා වියදම් දරනවාට වඩා නොමිලයේ ම මහන්සියකින් තොරව ලස්සන වීමට බුදුරදුන් අවශ්‍ය කරුණු දේශනා කළහ. ඒවා සිතට ගෙන පුළුවන් තරම් සිතම පවිත්‍ර කරගත යුතු ය. තමන්ටත් ලෝක සත්වයාටත් නිතර මෛත්‍රීය පැතිර විය යුතු ය. ඒ තුළින් මනස ලස්සන වීමත් එය සෘජුව ම කයට සම්බන්ධ වී රූප කායත් ලස්සන වෙනු නියතය. එපමණක් නොව මෙලොව දිවිය සේ ම පරලොව දිවිය ද රූපවත්ව හා සැප සම්පත්වලින් අනූනව ඉපදීමට ද එය බලපානු ඇත. ලස්සන පිවිතුරු නිර්මල සිතිවිලි තමනට පමණක් නොව මුළු විශ්වයටම දැනෙනවා සේම ඒ තුළින් තමන්ටත් ලෝ සතුනටත් යහපත්කම සිදු වනු ඇත.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]