UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

කඩහපොල පේමානන්ද නා හිමි

කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමික පරිවේණාධිපති සාහිත්‍යාචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මංගල ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සී කඩහපොල පේමානන්දාභිධාන වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සසුන්ගත වී මේ මස 18 වනදාට වසර 70 සපිරිණි. දඹදෙණිය කඩහපොල පහළගම ගම්මානයේ දී කඩහපොල නා හිමියන්ගේ ජන්ම ලාභය සිදු වී ඇත්තේ 1931 සැප්තැම්බර් 19 දාය. වයස අවුරුදු 14 දී එවක කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාධිපති සුපතළ වෙදැදුරු ගිරිල්ලේ අත්ථදස්සී නාහිමිපාණන් වෙතින් පැවිදි දිවියට පත්වනුයේ 1945 මාර්තු 18 වනදාය. නාරම්මල ප්‍රවචනාලංකාර මහ පිරිවෙනින් හා කුරුණෑගල මලියදේව මහ පිරිවෙනින් සිය අධ්‍යාපනය ලබාගත් නා හිමියෝ සාහිත්‍යාචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත වැනි උපාධි හා ගෞරවනාමයන් ලබා ගැනීමට සමත් වූහ. නාරම්මල ප්‍රවචනාලංකාර මහ පිරිවෙන්හි වසර 25 කට අධික කාලයක්ද කෑගල්ල ඇදුරාපොත සදර්ථෝදය මහ පිරිවෙනෙහි අවු. 08 කට ආසන්න කාලයක් ද නියෝජ්‍ය පරිවෙණාධිපති, පරිවේණාධිපති වශයෙන් ගුරු සිසු දෙපාර්ශවයේම බලවත් ප්‍රසාදයට පාත්‍රවෙමින් උන්වහන්සේ සිදු කළ ධර්ම ශාස්ත්‍රිය සේවාව අති විශිෂ්ටය.කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාධිපති ගිරිල්ලේ මේධානන්ද නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් කඩහපොල නා හිමියෝ මේධානන්ද හිමියන් ඉදිරියට ගෙන ගිය ආගමික සහ සමාජයීය මෙහෙවර ඉදිරියටම ගෙන ගියහ. කඩහපොළ විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කිරීම, අවට ගම්මාන රැසකට විදුලිය ලබා දීම, මං මාවත් ඉදි කිරීම හා හා අලුත්වැඩියා සුබ සාධන සංගම්, දහම් පාසල් පෙර පාසල්, කුළ ඝණ සමිති, තරුණ සමිති, වෙසක්, පොසොන් දන්සැල් කමිටු පිහිටුවීමට උන්වහන්සේ දුන් දායකත්වය සදා අමරණීය වේ. අනුබුදු මිහිඳු හිමියන් ගුණ සමරණ පොසොන් පොහොය වෙනුවෙන් හා පුරා කොළඹ තොරණ ගමට ගෙන ඒමට මූලිකත්වය ගන්නේද කඩහපොල හිමියෝ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර ගණනාවක් විහාරස්ථානයේ මෙන්ම නාරම්මල නගරයේ ද පොසොන් තොරණ ඉදි විය. සුවිසල් ආගමික සමාජ මෙහෙවර ඇගයීම වස් කඩහපොල පේමානන්ද හිමිපාණන්ට වර්ෂ 2000 ජූලි මස 08 දින මල්වතු මහා විහාරයේ දී, මංගල ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සී ගෞරව නාමයත් සමඟ වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණි. ජනපි‍්‍රය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ නා හිමියෝ වර්තමාන ගුවන් විදුලි හා රූපවාහිනි විද්‍යුත් මාධ්‍යයන් තුළින් සුවහසක් ප්‍රේක්ෂකයින්ට වඩා සමීප වූ විචිත්‍ර ධර්ම කථික යතිවරයාණන් වහන්සේ නමකි. නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක ධුරය හොබවන නා හිමියෝ වසර 19 ක් පුරාව ලේඛකාධිකාරීධූරය හොබවමින් කළ මෙහෙය අප්‍රමාණය. නා හිමියන් සසුනට එක් වී වසර 70 ක් සපිරෙන මේ මොහොතේ වත්මන් නාරම්මල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අධ්‍යාපනවේදී පුවක්ගහ කොටුවේ ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගේ අදහසක් අනුව මේ මස 18 වන දා දවස පුරා ආශිර්වාදාත්මක මහා පුණ්‍යකර්ම රැසක් සිදු කෙරිණි. උදාර වූ ශාසනික සේවාවන් රැසක් ඉටු කරන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තව තවත් ලෝ සසුන් වැඩ පිණිස දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


තපෝවනයේ සතිමන්ත නා හිමි

වර්ෂ 1953 අප්‍රේල් මස 27 වෙනි දින ඇල්පිටිය, කුරුඳුගහහැතැප්ම ග්‍රාමයෙහි විසූ එච්.ඒ. සිරිපාල මහතා, කාරියවසම් වීරසිංහ ඇල්පිනෝනා මහත්මිය යන දම්පතීන් දෙදෙනාගේ දහහතරක් තරම් වූ දූ දරුවන් අතර පස්වැන්නා ලෙස මේ කුමරුවා මෙලොව එළිය දුටහ. කුරුඳුගහහැතැප්ම ශ්‍රී සිද්ධත්ථාරාම බුද්ධගයා මහා විහාරාධිපති වැඩවිසූ බටපොළ බුද්ධමිත්ත නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පැවිද්දට අවැසි මූලික බණ දහම් හැදෑරීමත්, රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර නාහිමියන් වැනි සාධුගුණෝපේත යතිවරයන් වහන්සේ වෙතින්ද පුරුදු පුහුණුව කුඩාවැල්ලේ වංගීස අධිකරණ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1966 වර්ෂයේ මැයි මස 21 වන දින පැවිදි බවට පත්වූහ. හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ද සමත් වූහ. 1975 ජූලි මස 10 වන දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූල මහා විහාරස්ථ උදකුක්ඛෙප සීමාමාලකයේ දී දෙවිනුවර අමරසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් කුඩාවැල්ලේ වංගීස නාහිමියන්ගේ සහ දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සුපරිශුද්ධෝපම්පදාව ලැබූහ. 1975 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයට ඇතුළත්ව 1979 දී ත්‍රිපිටකවේදී උපාධිය හිමිකරගත්හ. කළපළුවාව ගෝතම තපෝවන පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් ද, යක්කල වජිරඤාණෝදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයෙහි සමස්ත ලංකා භාවනා උපදේශකවරයකු වශයෙන් ද උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව ලබාදෙනු ලැබූහ. කුඩාවැල්ලේ වංගීස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව 1982 දී සිට මහනුවර දළදා තපෝවනයෙහි කටයුතු කිරීමෙහි වගකීම උන්වහන්සේ වෙත පැවැරිණි. එතැන් සිට දිවා රෑ නොබලා වෙහෙසෙමින් ස්ථානයෙහි විවිධ විහාරාංග ගොඩනැංවීමෙහිලා ද සැදැහැවතුන් වෙනුවෙන් කළයුතු ආධ්‍යාත්මික වැඩසටහන් ද නොපිරිහෙලා ඉටු කළ උන්වහන්සේ වෙහෙසවී වැඩ කිරීම සතුටක් කරගත්හ. ආයතනික වශයෙන් පමණක් නොව තපෝවන සංඝ සභාවෙහිද ස්වනිකායෙහිද ක්‍රියාකාරී ජනපි‍්‍රය යතිවරයාණන් වහන්සේ කෙනෙකු වශයෙන්ද ප්‍රකට වූහ. එබැවින් 1999 දී ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක ලේඛකාධිකාරී ධුරයට පත්වූහ. අනතුරුව අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ මහනුවර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද උන්වහන්සේ පිදුම් ලැබූහ. මෙසේ ඉමහත් ලෝක ශාසනික මෙහෙවරෙහි යෙදී සිටි උන්වහන්සේ අපවත්වී තෙමසක් සපිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා ශතාධික මහාසංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් මහනුවර උඩවත්ත කැලය දළදා තපෝවන භූමියේ දී පැවැත්විණි.තවද මාර්තු මස 03 දින තපෝවනයේ සන්තකුෂල, පියභාවිත, සුසංචිත නමින් කුල දරුවන් තිදෙනෙක් ද කලපළුවාව, ගෝතම තපෝවනයේ දී සසුන් ගත කෙරිණ. මේ සියලු කුසල් අවපත්වී වදාළ තපෝවනයේ සතිමන්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව පිණිස හේතුවේවා.


ගුරුසිංහගොඩ මහානාම නා හිමි

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කර්මාචාර්ය, මීටියාගොඩ , මානම්පිට ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම මහා විහාරය, හික්කඩුව ,හෙට්ටිගොඩ ශ්‍රී තිලකාරාම පුරාණ විහාරය , මිරිස්වත්ත, ශ්‍රී ආනන්ද බෝධි විහාරය යන විහාරත්‍රයාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණක, සාමවිනිසුරු, ප්‍රවචන කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, ගුරුසිංහගොඩ මහානාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගාලු දිසාවේ අම්පේගම, ගුරුසිංහගොඩ ග්‍රාමයේ විසූ කන්නන්ගර කෝරළගේ බේබි සිංඤ්ඤො හා හපුතන්ත්‍රි කංකානම්ගේ ඇල්පිනෝනා යන සැදැහැවත් මාපිය දෙපලට දාව 1949 නොවැම්බර් මස 27 වන දින කන්නන්ගර කෝරාළගේ කරුණාසේන නමින් උපත ලැබීය. ගුරුසිංහගොඩ මහා විද්‍යාලය, අමේපේගම ශ්‍රී නන්දසාර මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූහ. මානම්පිට ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාමය තත් විහාරාධිපති, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත විමල කීර්ති ශ්‍රී රෑකඩහේනේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1964 නොවැම්බර් මස 11 වන දින ගුරුසිංහගොඩ මහානාම හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. බද්දේගම, ගණේගම ශී‍්‍ර රතනසාර විද්‍යායතන පිරිවෙන, කොළඹ,දෙමටගොඩ පධානඝර මහ පිරිවෙන යන විද්‍යස්ථාන තුළින් සිය පැවිදි අධ්‍යාපනය ලැබූ මහානාම සාමණේරයන් වහන්සේ උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් තෙල කී ආචාර්යත්වයෙන් 1969 ජුනි මස 22 වන දින මහනුවර මල්වතු මහා විහාරයේදී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්හ. ගුරුසිංහගොඩ, මිරිස්වත්ත ග්‍රාමයේ දර්ශනීය ආරාමයක් ගොඩනඟන්න ද අප්‍රමාණ උත්සාහයක් ගත් මහානාම හිමියෝ 1983 නොවැම්බර් මස 23 වන දින ශී‍්‍ර ආනන්ද බෝධි විහාරය නමින් විහාරාංගවලින් සමන්විත දර්ශනීය විහාරස්ථානයක් ගොඩනැගූ හ. ගමට අවශ්‍ය පන්සල, දහම් පාසල, අන්‍යෝන්‍යාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති ආරම්භ කරමින් සමාජ සංවිධාන රැසක මධ්‍යස්ථානය බවට ශී‍්‍ර ආනන්ද බෝධි විහාරය පත් කරමින් ගමට නායකත්වය ලබා දුන්හ. කරන්දෙණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පසුව දිවිතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද ප්‍රදේශයේ ජාතික, ආගමික, සමාජීය හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා උත්සාහයක් ගෙන කටයුතු කළහ.

රෑකඩහේනේ චන්ද්‍රජෝති නා හිමියන් අපවත් වීමෙන් මනම්පිට විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට ද පත් මහානාම හිමියන්ට ගෞරවයක් ලෙස මල්වතු මහා විහාරය ගුරු හිමියන් දැරූ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට ද පත් කරන ලදී. න ාහිමි තෙමස් පූර්ණ ගුණසමරුව නිමිති කරගෙන මාර්තු මස 13 වන දින රාතී‍්‍ර ධර්ම දේශනාවක් පවත්වා 14 වන දින දහවල මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. විහාරාධිපති, පිටුවල චන්දිම හිමියන් ඇතුළු සිසු පිරිස හා දායක සභාව සංවිධානය කර තිබිණි, අපවත් වී වදාළ නාහිමියන් වහන්සේට නිවන් සුව ලැබේවා!


කොත්මලේ සුධර්මා සිල්මාතාව

මහනුවර කටුකැලේ ලේඩිබෙලේක් ආරාමාධිපතිනි, කොත්මලේ සුධර්මා සිල්මෑණියන් අඩසිය වසරකට අධික කාලයක් තිස්සේ ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී පාදස්ථානය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, රුවන්වැලි මහ සෑඳුන් මුල්කරගෙන සිදුකරනු ලබන ආගමික හා සම්බුද්ධ ශාසනික වන්දනාමාන කටයුතු ද දහම්පාසල් අධ්‍යාපන සේවාවන් ද අගය කරමින් මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායකමා හිමි, සානුනායක ප්‍රමුඛ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව විසින් සිල්මෑණියන් වෙත සද්ධා ප්‍රසාදනී ධර්මචාරී යන ගෞරව නාම සම්මුතිය පිරිනමා ඇත.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමිපාණන් විසින් සිය ගෞරව නාම සම්මුතිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය මාර්තු මස 14 වෙනි දින සවස 2.00 ට අස්ගිරිය මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී පවත්වනු ලබන ගිහි පැවිදි සම්භාවනීය උත්සවයේ දී, සිල්මෑණියන් වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී සන්නස් පත්‍රය ලද කොත්මලේ සුධර්මාසිල් මෑණියන් පිළිගැනීමේ උත්සවයක් මාර්තු මස 22 වෙනි දින සවස 3.00 ට කටුකැලේ ධර්ම වික්‍රම බාලිකා විද්‍යාලයේ දී පැවැත්වේ.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]