UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහමයි ගිහි දිවිය යි ගෘහස්ථ ජීවිතය සම්බන්ධ බෞද්ධ ආකල්පය

බුදුදහමයි ගිහි දිවිය යි

ගෘහස්ථ ජීවිතය සම්බන්ධ බෞද්ධ ආකල්පය

“පෘථග්ජන” යන ව්‍යවහාරය සමඟ ම බෞද්ධ කමක් තිබේයැයි අවිවාදයෙන් බොහෝ දෙනා පිළිගෙන තිබෙන බවක් සමාජයෙහි පෙනෙන්නට තිබේ. එබඳු පිළිගැනීමකට වැටී තිබෙන්නේ බෞද්ධකම යන්න කවර අයුරකින් අර්ථ කරගත යුතු වේද? යන්න පිළිබඳ ව ඇති අනවබෝධය නිසයි.

ඒ නිසා යුග ජීවිතය, සමාජ ජීවිතය, ආර්ථික ජීවිතය සමඟ බැඳී සිටින ගෘහස්ථ කාමභෝගී පුද්ගලයාට සිය ජීවිතය උදෙසා ධර්මානුකූල වටිනාකමක් ලබාදිය නොහැකි යැයි බොහෝ දෙනා කල්පනා කරති. සමාජ ජීවිතයක් ගත කරන පුද්ගලයා සෑම විටම පෘථග්ජනයකැයි බුදුසමය සලක්නේ නැත. එහෙත් අද්‍යතන යුගයේ සමාජ ජීවිතය දැහැමි වටිනාකමකින් තොර එකක් ලෙසම සැලකීම නිසා ජීවිතයට ධර්මය සමීප කරගන්නා පුද්ගලයන් අඩු වී තිබේ.

විද්‍යුත් හා මුද්‍රිත වැනි ප්‍රබල මාධ්‍ය ඔස්සේ මිනිසාට ධර්මය සන්නිවේදනය කිරීමේ ක්‍රමපෝයායන් අද වන විට ශීඝ්‍රව සිදුවෙමින් පවතී. එහෙත් ඒ දේශනා පැවැත්වෙන තරමටම මිනිසා ගුණදහමින් දියුණු වන බවක් පෙනෙන්නට නැත. කොතෙක් ධර්මය ප්‍රකාශ වුණද මිනිසා ධර්මයෙන් ඈත් වනුයේ එහි ඉගැන්වෙන කරුණු ප්‍රායෝගික ජීවිතය තුළ ක්‍රියාත්මක නොවීම නිසයි. එමෙන්ම අද බොහෝ දෙනා බුදු සසුන සංස්කෘතික ඇගයීම්වලින් පමණක් හෙබි ආගමික සංවිධානයක් ලෙස සිතන්නේ එහි දහම් පිළිවෙත හා ජීවිතය අතර පවත්නා සබඳතාව නොදන්නා බැවිනි.

බුදුසමය ගෘහස්ථ ජීවිතය ප්‍රව්‍රජිත ජීවිතයක් ලෙස ම නොදක්වයි. ගෘහස්ථ ජීවිතටද ආගමික වටිනාකමක් ලැබිය හැකිය. එය කෙසේද? යන්න පැහැදිලිව වටහා ගත යුතුය. විවිධ දුර්මත හමුවේ මෙවැන්නක් තේරුම් ගැනීම බෙහෙවින්ම අභියෝගාත්මක වූවකි.

බුදුසමය නියම වශයෙන් අර්ථවත් කරනු ලැබූ කල ගෘහස්ථ කාමභෝගී පිරිසත්, ගෘහස්ථ බ්‍රහ්මචාරි පිරිසත්, ප්‍රව්‍රජිත බ්‍රහ්මචාරි පිරිසටත් නියම ඵල දැරිය හැකි දහමක් බව වැටහෙනු ඇත. බුදු දහම මැනවින් ප්‍රකාශිත දහමක් (ස්වාක්ඛාත) ලෙස හැඳින්වෙන්නේ මිනිස් දිවිය හා ප්‍රායෝගික වන බැවින්ය. එහෙයින් මේ කරුණු ඉතා මැනවින් හා පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.

නූතන යුගයේ පුද්ගල ජීවිතයේ පුරුෂාර්ථයන් ධර්මයෙන් බැහැර වූ කරුණක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මිනිසා අධ්‍යාත්ම විද්‍යාවෙන් පිරිහෙන විට භෞතික සාරයන් ලුහුබැඳීම සාමාන්‍ය ස්වභාවයයි. බුදුරදුන් ලොවට හඳුන්වාදුන් සදහම් මඟට පුද්ගල ජීවිතය පිවිසෙන්නේ කෙලෙස ද යන්න අද බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. එනිසා කිසිදු භේදයකින් තොරව සදහම් මගට පිවිසීමට ඇති මුලික කරුණු පිළිබඳ මෙම ලිපි පෙළින් විස්තර කිරීමට අදහස් කරමි.

මේ සඳහා මජ්ක්‍ධිම නිකායේ දෙවන කොටසේ එන මහා වච්ඡගොත්ත සූත්‍රයෙන් කරුණු ගෙන බලමු. මෙහි ඇතුලත් වී තිබෙන්නේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා හා බුදුරදුන් අතර ඇති වූ සංවාදයකි.

බුදුදහම ජීවිතය සමග සම්බන්ධ වීම පිළිබඳව කොතරම් බලාපොරොත්තු තිබිය හැකි ද ? යන්න මේ සූත්‍රයෙන් මොනවට පැහැදිලි වේ. සදහම් මඟෙහි ගමන් කර ඇති ප්‍රමාණය අනුව උපාසක උපාසිකාවෝ දෙකොටසකට බෙදනු ලබති.

1.ගිහී ඕදාතවසනා බ්‍රහ්මචාරි (කාමරාගයත්, පටිඝයත් ප්‍රහාණය කර ඇති බැවින් අනාගාමී වූ බඹසර වසන සුදුරෙදි හඳින ගෘහස්ථ උපාසක උපාසිකාවෝ)

2.ගිහි ඕදාතවසනා බ්‍රහ්මචාරි (සෝතාපන්න හා සකදාගාමි අවස්ථාවන්ට පත් කාමභෝගී) සුදුරෙදි හඳින ගෘහස්ථ උපාසක උපාසිකාවෝ)

සුදුරෙදි හඳින කාමභෝගී ගෘහස්ථයන්ට ද උචිත ශාසනික මුහුණුවර එයින් කියවේ. ශාසනික කාර්යයෙහි නියුක්ත (සාසනකරො) තථාගත අවවාදය ක්‍රියාවට නඟන (ඔවාදපතිකරො) කුසලයෙහි සැක නැති කළ (තිණ්ණවිචිකිච්ඡො) අන්‍ය ශාසනයන් හි සාරයක් ඇත්ද යි කුහුලට නොපැමිණෙන (විගතකථංකථො) විශාරද භාවයට පත් වු (වෙසාරජ්ජප්පත්තො) මේ ශාස්තෘ ශාසනයෙහි ම තහවුරු වූ (අපරප්පච්චයො සත්ථුසාසනෙ) එනම්, සෝතාපන්න හෝ සකදාගාමී හෝ උපාසක උපාසිකා පිරිසක් ශාසනයට අයත් වෙති. මේ ශාසනික මුහුණුවර දැක් වූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඔබවහන්සේ සදහන් කරන මෙබඳු වූ උපාසක උපාසිකාවෝ ශාසනයෙහි එක් අයෙක්වත් සිටිත්දැයි “ ප්‍රශ්න කළේය. මෙහිදී බුදුරදුන් එක්අයකු දෙන්නකු නොව සිය ගණනක් නොව බොහෝ ගණනක් සිටින බව සඳහන් කරති.

මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වන්නේ ආය¸ ප්‍රවේශයට ගිහි පැවිදි භේදයක් නොවන බවයි. පැවිදි පක්ෂයට මෙන්ම ගිහියාට ද මාර්ග ඵල ලබා ගැනීමට ඉඩකඩ ඇත. මෙහිදී ගිහියාට වඩා පැවිද්දා වේගවත් වනු ඇත.

“සිඛී යථා නීලගිවෝ විහංගමො
හංසස්ස නොපෙති ජවං කුදාචනං
එවං ගිහි නානුකරොති භික්ඛුනො
මුනිනො විවත්තස්ස වනම්හි ඣායතො”

මොනරා ජව වේගය අතින් සලකා බලන විට හංසයා පසු නොකරයි. මේ පක්ෂීන් දෙදෙනාගේ රූප ස්වභාවය අනුව ද මේ උපමාව හොඳින් ගැළපේ. මොනරා වර්ණවත් විසිතුරු සතෙකි. හංසයා බෙහෙවින් චාම් සංවර බවක් පෙන්නුම් කරයි. ගෘහස්ථයා මොනරා මෙනි.

පැවිද්දා හංසයා මෙනි හංසයා ජවයෙන් මොනරාට වඩා ඉදිරියෙන් සිටින්නාක් මෙන් පැවිද්දා ආර්ය මාර්ගයේදි ගෘහස්ථයාට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. වෙනස එයයි. එහෙත් මාර්ගය පැවිද්දාට මෙන් ම ගිහියාට ද එකසේ විවෘතව පවතී. එබැවින් මෙය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

මතු සම්බන්ධයි

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]