UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය තේරුම් ගෙන ජීවත්වීම

ජීවිතය තේරුම් ගෙන ජීවත්වීම

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට දේවානම්පියතිස්ස රජතුමා මුල් කරගෙන ප්‍රධාන දේශනා කිහිපයක් දේශනා කළා. ඒ අතරින් එක දේශනාවක් ලෙස විමානවත්ථු, පේතවත්ථු දේශනා දැක්විය හැකියි. පේතවත්ථු අට්ඨකථා පාලි භාෂාවෙන් තිබුණ අතර නුවර යුගයේදී එය පේතවත්ථූ වර්ණනා නමින් සිංහලට පරිවර්තනය කළා.

මුගලන් මහ රහතන් වහන්සේ, සැරියුත් මහ රහතන් වහන්සේ,අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙහි සැරිසරණ අවස්ථාවලදී මේ රහතන් වහන්සේලාට විවිධ තාලවල පේ‍්‍රතයන් මුණ ගැහුණ ආකාරය එම ග්‍රන්ථයෙහි අන්තර්ගත වෙනවා. හමුවන පේ‍්‍රතයන්ගෙන් රහතන් වහන්සේලා විමසනවා ඇයි? ඔබ මේ පේ‍්‍රත ආත්ම ලැබුවෙ කියලා. එවිට එම පෙරේතයන් තමන්ගේ එම පේ‍්‍රත ආත්මය ලබන්න පෙර ආත්මවල කරන ලද අකුසල කර්ම එකිනෙක ප්‍රකාශ කිරීමට පටන් ගන්නවා. එහි අන්තර් ගතවන කතාපුවත් විමර්ශනය කරන විට පුද්ගලයන්ගේ මනස තේරුම් ගත හැකි වන්නේ එම අවස්ථාවේ කරන ක්‍රියාව දෙස බලනවාට වඩා එම ක්‍රියාව කවදා හෝ දවසක ඔවුන්ට ලබාදෙන විපාකය දෙස බලන විට එදා ඔවුන්ගේ මනස ක්‍රියාත්මක වූයේ කුමන ආකාරයෙන්ද ? යන වග තේරුම් ගත හැකියි.

කෙත්ථුමක පේ‍්‍රත වස්තුවේ සඳහන් ආකාරයට අනුව පෙර ආත්මයකදී තෙරුවන්ට අපහාස කරමින් බැණ වැදීම නිසා ලැබෙන විපාක ලෙස එම පේ‍්‍රතයන් විඳින දුක් සඳහන් වෙනවා. ප්‍රතිමුක පේ‍්‍රත වස්තුවට අනුව ගව්ගණනාවක් දුරට විහිදී යන ආකාරය මුඛයෙන් හමන දුර්ගන්ධය පිළිබදව පූතිමුත්‍ය පේ‍්‍රතයන්ගෙන් රහතන් වහන්සේ විමසනවා “මේ තරම් කට ගඳගහන තරමට විශාල විපාකයක් ලැබුණේ ඇයිද? කියලා. පෙර ආත්මයකදී මම තුනුරුවන්ට බොහෝ සෙයින් දෝෂාරෝපණය කළ බව ප්‍රකාශ කළා. එම අවස්ථාවලදී දොස් කියූ බව පෙනෙන්නට නොතිබුණත් මේ ආත්මවල ලබන ලද විපාක දෙස බලන විට එම මනස එම අවස්ථාවේ තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ වෛරයකින් ක්‍රෝධයකින් තිබුණ බව පැහැදිලි වෙනවා. පංච පුත්‍ර කාටක පේ‍්‍රත වස්තුවෙහි හා සප්ත පුත්‍ර කාටක පේත්‍ර වස්තුවෙහි සඳහන් කරන ආකාරයට එක පේ‍්‍රතියක තමන් මෙලොවට බිහිකරන දරුවන් එම පේ‍්‍රතිය විසින්ම කා දමනු ලබයි.

එම පේ‍්‍රතිය පෙර ආත්මයකදී ඊර්ෂ්‍යාවෙන් දරුගැබක් විනාශ කිරීම සඳහා බෙහෙතක් දෙනු ලබනවා. එහෙත් එම පෙර ආත්මය තුළ ඇය එවැනි දෙයක් නොකළ බවට දිවුරා ප්‍රකාශ කරනවා. දරුවකු ලැබීමට සිටින මවකට දරුවන් නැති කාන්තාවක් එම මව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් යුතුව තමන්ට දරුවන් නොලැබීම නිසාම දරුගැබ විනාශ කිරීම සඳහා බෙහෙත් ලබාදෙනවා. එයින් එම දරු ගැබ විනාශ වෙනවා. එය නොකළ බවට එම අවස්ථාව තුළ ඇය දිවුරා ප්‍රකාශ කරනු ලැබුවත් ඇයට විපාක දෙනු ලබන අවස්ථාවේදි ඇයගේ මනසෙහි ඒ වේලාව තුළ සිතෙහි පැවතුණ සිතිවිල්ල ක්‍රියා කළේ කුමන ආකාරයෙන් ද? යන්න පැහැදිලි වෙන්නේ,ඇයට විපාක ලබා දෙන ආකාරය තුළිනුයි. තමන් බිහිකරන දරුවන් තමා විසින්ම කා දැමීම තුළින් විපාක දෙන ආකාරය පැහැදිලි වෙනවා. තමන් බිහිකරන දරුවන් තමන්ම අනුභව කිරීම තරම් ලෝකයේ පව්කාර අත්දැකීමක්, අමිහිරි අත්දැකීමක් ලෝකයේ තවත් නැහැ. එනිසා දරුවකු විනාශ කිරීමට අදාළ සිතිවිල්ලට අදාළ විපාකය ස්වභාව දහම විසින් ලබා දෙනවා.

මෙවැනි කථාවල ප්‍රධාන අර්ථය වන්නේ මිනිසුන්ගේ වචන දෙස බැලූවිට ඒ වචන වලින් ක්‍රියාවෙන් පුද්ගලයකුගේ මනසෙහි සිතිවිලි තේරම් ගත නොහැකියි. සමහර විට මනසෙහි පවතින වෛරය, ක්‍රෝධය පළිගැනීම එළියට එන විට සුමුදු , විසිතුරු, පියකරු සිනහවක් බවට හෝ එළියට එනවිට මිහිරි සත්‍ය වදන් බවට පරිවර්තනය වෙනවා. මඟට පැමිණිලා වෙස්මාරු කරනවා. එවැනි ඒවා වංචනික ධර්ම ලෙස දහමෙහි උගන්වනු ලබනවා.සමහර විට වෛරය, ක්‍රෝධය පළිගැනීම මනසෙහි තිබිය හැකියි. ඒ හිතෙහි පවතින්නේ වෙනත් දෙයක්. ප්‍රකාශ කරනු ලබන්නේ. තවත් දෙයක්, ක්‍රියාත්මක කරන්නේ තවත් ආකාරයක මිනිසෙකුගේ වචන දෙස බලා ක්‍රියාව දෙස බලා එම පුද්ගලයාගේ මනසෙහි ස්වභාවය අපට තේරුම්’ ගත නොහැකියි. තේරුම් ගැනීමට හැකියාව ලබාදෙන දවසක් උදාවන්නේ එයට අදාළව ස්වභාව දහම කවදා හෝ දවසක ලබාදෙන විපාක වලට අනුව,මේ පුද්ගලයාගේ මනසෙහි පැවති මානසික තත්වය ක්‍රියාකාරිත්වය එහිදී කුමන ආකාරයෙන් පැවතියාද? යන්න එවිට පැහැදිළි වෙනවා මෙහි ස්වභාවය අදාළ වන්නේ මිනිසුන්ට පමණයි. කැලෑවේ තිරිසන් සතුන්ටවත්, ස්වභාව දහමටවත් පරිසරයටවත් මෙය අදාළ නැහැ. කොටි , වළස්සු සිංහයින් නයි,පොළොංගු වැනි නපුරු සතුන් කැලෑවල ජීවත් වෙනවා. මෙම පිරිස තමන්ගේ සැබෑ ස්වභාවය ලෝකයට ඉදිරිපත් කරනවා. නයා සමීපයට යන විට පෙනය පුප්පනවා. කොටියා සමීපයට යන විට ගොරවනවා.

ඒ සතුන්ගේ නපුරු බව ඔවුන් අවංකවම ප්‍රකාශ කරනු ලබනවා. ඔවුන් ලෝකයටම ඔවුන්ගේ මනස විවෘත කර ප්‍රදර්ශනය කරනු ලබන්නේ අප සමීපයට පැමිණෙන්න එපා. අප නපුරු සතුන් වන නිසා, ඔවුන් කැලෑවේ තිරිසන් සතුන් ලෙසට අප විසින් සතුන්ව කැලෑවට ඇදල දැම්මත්, එම සතුන් කෙතරම් අවංකද ? තිරිසන් කියන වචනය තුළින් පහත් සංකල්පයක් පැමිණිලා තිබුණත් මේ සතුන් කැලෑවට ඇදල දැම්මත් මේ ලෝකයේ ජීවත්වන කැලෑ සතුන් මිනිසාට වඩා සත්‍ය වශයෙන්ම අවංකයි. ස්වභාව දහම දෙස බැලුවත් ස්වභාව දහම පරිසරය දෙස බැලුවත් ඈත ආකාසයේ මේඝයක් පැමිණෙන විට පළමුව සුළඟ මගින් අපට වර්ෂාව ළඟ ළඟ පැමිණෙන බව ප්‍රකාශ කරනු ලබනවා.මේ වැස්සට මිනිසා සූදානම් වෙනවා. ස්වභාව දහම මිනිසාට කෙතරම් ලෙන්ගතුව අවංකද? උදාහරණයක් ලෙස ගතහොත් දැවැන්ත නුග රුකක් ස්වභාව දහම ලෝකයාට දායාද කර තිබෙනවා. එය විශාල දැවැන්ත ගසක් නිසාම මහ පොළාවෙහි විශාල ප්‍රමාණයක් නුගරුක විසින් වසාගනු ලබනවා. මහා දැවැන්ත නුගරුකක් ලෝකයට දායාද කරන ස්වභාව දහම නුග ඵලය කුඩාවට නිර්මාණය කරයි. ස්වභාව දහම මොන තරම් අසාධාරණයක් කර ඇතිද යන්න කෙනෙකුට සිතිය හැකියි. දැවැන්ත නුග ගසක් නිර්මාණය කළත්, ඵළය කුඩාවට නිර්මාණය කරනු ලබන්නේ මිනිසාටත් සත්ත්වයාටත් ප්‍රයෝජනවත් වන ආකාරයටයි. එම ගසෙහි ගෙඩි විශාල ඵල ලා නිර්මාණය වූවා නම්, එම ඵල බිමට ඇද වැටීම නිසා එම ගස යට සතුන්ට නිදාගත නොහැකියි. සතුන් අනතුරට ලක්වෙනවා. එනිසා මිනිසුන්ටත් සත්ත්වයාටත් සෙවණ සදන්න ස්වභාව දහම විසින් දැවැන්ත නුගරුක නිර්මාණය කරනු ලැබුවේ නුග ඵලය කුඩාවට ලැබෙන ආකාරයටයි. මිනිසුන්ට අසීමිතව හිතවත්ව දයාබරව සෙනහසින් කරන ක්‍රියාවක්. ඒ තරමට ස්වභාව දහම මිනිසාට පි‍්‍රයමනාපයි.

ඒ තරමටම ස්වභාව දහම මිනිසාට හිතවත්. තේරුම් ගැනීම අපහසු නැහැ. “දූරියන්” කියන ගස් වර්ගයේ ඵලදාව හැදෙන කාලයට දූරියන් ගස් යටින් ඇත්තු යන්නේ නැහැ. එම දූරියන් ගෙඩි ඇතුන්ගේ ශරීර මත වැටීමෙන් අනතුරට ලක්වෙන බව ප්‍රකාශ කරනු ලැබුවේ දූරියන් ගෙඩිය තමාගේ ශරීරයෙන් නිපදවන ලද කිසියම් සුගන්ධයක් සුළඟ විසින් රැගෙන ගොස් අනතුරක් තිබෙන බවට ඇතාට දැනුම් දෙනු ලබනවා. ස්වභාව දහම පරිසරයට මිනිසාට සත්ත්වයාට ලෙන්ගතුව දයාබරව කටයුතු කිරීම නිසා තේරුම් ගැනීම අපහසු නැහැ.

කොටියා සිංහයා ගොරවා රවා පනියි
එනිසා ඔවුන් රුදු බව ලෝකයා දනියි
මිනිසා සිනාසී කරුණා දයාවෙනි
අත ගා ඔළුව ඇස්දෙක සූරලා ගනී

කැලෑවල කොටි, නයි, පොළොං ආදි නපුරු සතුන් සිටිනා බවත් ඔවුන් නපුරු බවත් අප දන්නවා.

මිනිසුන් එහෙම නැහැ. එකට බත් පත අනුභව කරමින් එක නිවහනක වාසය කරමින් තමාගේ කර මතින් අත දමාගෙන එකට ජීවත්වන මිනිසා තමාගේ සමීප මිත්‍රයා තමාට අනතුරක් කරන තුරු තමාම දන්නේ නැහැ.මේ ලෝකය තුළ තේරුම් ගැනීම අපහසුම සත්ත්වයා මනුෂ්‍යයායි. පේ‍්‍රතයන් බවට පත්වුණේ පෙර ආත්මවල සිටි සමහර මනුෂ්‍යයන් එම පිරිස එම ආත්මවල ක්‍රියාත්මක කළ ක්‍රියාදෙස බලන විට එම අවස්ථාවල කරන ලද ක්‍රියාවල බැලූ බැල්මට සුන්දරත්වයක් තිබෙනවා.

බැලූ බැල්මට එම ක්‍රියාවල යහපත් බවක් තිබෙනවා. බැලූ බැල්මට එම ක්‍රියාවල සාධාරණ බවක් තිබෙනවා. බැලු බැල්මට එම ක්‍රියාවන් සුන්දර වුවද මනස ඉතාම නපුරුයි. සිතිවිල්ල දූෂණයට පත්වෙමින් හැම විටම නපුරුවෙලා ක්‍රියාවන් දෙස බලමින් මිනිසුන් ඒ අවස්ථා වලදී කුමන ආකාරයෙන් තේරුම් ගනු ලැබුවත් එම සිතිවිලිවල සැබෑම ස්වභාවයට සොබාදහම මිනිසාට කවදා හෝ දවසක දඬුවම් ලබාදෙනවා. බුදුපියාණන් වහන්සේ වදාළ කර්ම විපාක සංකල්පය ලෝකයට වටිනාකමක් එකතු කරන්නේ මෙම කරුණු කාරණා හේතු කොට ගෙනයි. දැනට ලෝකයේ පවතින රෝම ලන්දේසි නීතියට අනුව අද මිනීමරුවකු වන පුද්ගලයකු නිදහස්ව හෙට ගෙදර පැමිණිය හැකියි. අද බරපතල වැරැදි කරන පුද්ගලයකු හෙට නිවැරැදිව නිදහස් විය හැකි වන අවස්ථාවලදි මිනිසුන් සිතන්නේ කර්ම විපාක ලබාදුන්නේ කුමන ආකාරයෙන්ද? යන්නයි. එය රෝම ලන්දේසි නීතියේ ස්වභාවය එසේ වුවද එම ක්‍රියාවට අදාළ වන නිවැරැදිම විපාකය ස්වභාව දහම විසින් කවදා හෝ දවසක ඔහුට ලබාදෙනවා. එයින් පිට පැනීමට කාටවත් හැකියාවක් නැහැ. එනිසා බුදුපියාණන් වහන්සේගේ කර්ම විපාක සංකල්ප බැලූ විට මේ ලෝකයේ විශ්ව සාධාරණය තීන්දු තීරණ ලබාදෙන්නේ මේ ලෝකයේ කර්ම විපාක සංකල්පය තුළිනුයි. එම විපාකයේ ස්වභාවය අනුව නිවැරැදිව තීන්දු තීරණය කර්ම විපාකය ලබාදෙනු ලබයි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලූ බැල්මට බැලු විට ඒ වේලාව තුළ මිනිසුන් අපට හොඳ වගේ පෙනුනට සෑම දෙයට සිත මුල්වන බව අප වටහා ගත යුතුයි. දවසක් අම්මාගේ වචනයට අකීකරුව කැලෑවට යන පුතා ඉදිරියට කොටියකු පැන්න අවස්ථාවේ එම ළමයා ප්‍රාර්ථනා කරනු ලැබුවේ අම්මා කියු දෙය වෙන්න එපා. අම්මගේ සිතෙහි තිබූ දෙය වෙන්න කියායි. අකීකරුව කැලෑවට යන පුතාව කොටියකු කාපන් කියමින් වචනයෙන් ප්‍රකාශ කරනු ලැබුවත්. එම අම්මාගේ සිතෙහි තිබුණේ කොටියෙක් පැනපන් කියන සිතිවිල්ල නොවේ’. වචනයයි. සිතිවිල්ල දෙකක් මිස එකක් නොවෙයි. එනිසා කොටියා ආපසු යන්න ගියා. දරුවාට අනතුරක් නොවිය යුතු බවට අම්මාගේ සිතෙහි වූ සිතිවිල්ලයි. සමස්තයක් ලෙස පේ‍්‍රත වත්ථු වර්ණාවෙන් තේරුම් ගත යුත්තේ පේ‍්‍රත ආත්මවල ඉපිද ඇත්තේ පෙර ආත්මවල හොඳ මිනිසුන් බවයි. එම ආත්මවල තමන් කරපු වැරැදි වැඩ එම ආත්ම වල වරදක් හැටියට ඔවුන්ට පෙනුනේ නැහැ. සිනහව සුන්දර වුවත්, වචනය පි‍්‍රයමනාප වුවත් ක්‍රියාවන් සුන්දරවුවත් ඒ අවස්ථාවේදී ඒ මිනිසුන්ගේ මනසෙහි ක්‍රියාකාරිත්වය කුමන ආකාරයෙන් තිබුණාද? කියලා අපට තේරුම් ගත හැකි වූයේ එම ක්‍රියාවලට පසු ආත්මයක දුන් විපාක දිහා බලන විටයි. එනිසා සමස්තයක් ලෙස බලන විට මිනිසුන්ගේ මනස තේරුම් ගත හැකි වන්නේ ක්‍රියාව දිහා බලා නොව ලැබෙන විපාකය දෙස බලමිනුයි. එම ස්වභාවය දහමෙන් ලබාදෙන විපාකය රෝම ලන්දේසි නීති තුළින් ලබාදෙන විපාකය නොවේ. සප්ත ජටිල සූත්‍රයේ සඳහන් වන ආකාරයට ගසක් යට වැඩ සිටින බුදුපියාණන් වහන්සේ ළඟට කොසොල් රජතුමා පැමිණි අවස්ථාවක පාර දිගේ පිරිසක් ගමන් කරනා ආකාරය දක්නට ලැබෙනවා. කොසොල් රජතුමා පාරේ ගමන් කිරීමට පෙරපාර සෝදිසි කිරීම සඳහා වෙස් වලාගෙන යන චරපුරුෂයන් පෙන්වමින් රජතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ පාරේ යන පිරිස දැක්කාද? ඔය ගමන් කරන්නේ රහතන් වහන්සේලායි යනුවෙන්. රහතන් වහන්සේලා බව ඔබ ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමසන බුදුරජාණන් වහන්සේට දුක් දොම්නස් වලින් පිරුණු ජීවිතවල අනිත්‍ය ස්වභාවය තමන්ගේ ජීවිතවලින් ප්‍රකට කරමින් යන හැටි පෙනෙන්නේ නැද්ද? යනුවෙන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා රජතුමනි, ඔබතුමා රජකෙනෙකු හැටියට පුද්ගලයකු තේරුම් ගත් ආකාරය වැරැදියි. ඔය ආකාරයට තේරුම් ගත නොහැකියි.

වරණයෙන්, පැහැයෙන්,රූපයෙන් ,ඇඳුමෙන් , පැළඳුමෙන් කනබොන කෑමෙන් මිනිසුන් කරන ක්‍රියා වන්ගෙන්, මිනිසුන්ගේ වචන තුළින් කවදාවත් මිනිසකුට මිනිසකු තේරුම් ගත නොහැකියි. සද්පුරුෂයන්ගේ ඇඳුම් ඇඳගෙන අසද්පුරුෂයන් ලෝකය තුළ ඇවිදිනවා. ගුණවතුන්ගේ ඇඳුම් ඇඳගෙන නුගුණයන් ලෝකයේ ඇවිදිනවා. සිල්වතුන්ගේ ඇඳුම් ඇඳගෙන දුසිල්වතුන් ලෝකයේ ඇවිදිනවා. එනිසා මිනිසාගේ ස්වභාවය තුළින් මිනිසකු තේරුම් ගැනීම අපහසුයි. මිනිසුන්ගේ සැබෑම ස්වරූපය හඳුනාගත හැක්කේ විපාකය තුළිනි. සැබෑවටම අව්‍යාජ හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකරන මිනිසුන්ද ලෝකය තුළ නැතුවා නොවේ. නමුත් සමස්තයක් ලෙස බැලූවිට මෙම කර්කෂ වූ විෂම වූ සංකර වූ ලෝකය තුළ අපට මිනිසා තේරුම් ගැනීම අපහසුයි. හෘද සාක්ෂියට එකඟව මිනිසා කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගිනිගෙන දැවෙන බිහිසුණ කර්කෂ ලෝකයක් නිර්මාණය වෙලා තිබෙනවා. තිරිසන් සතුන්ගේම ක්‍රියා කලාපත්, ස්වභාව දහමේ ක්‍රියාකලාපයත් පරිසරයේ ක්‍රියාකලාපයත් නිසා නොව මේ තරම් බිහිසුණු පරිසරයක් නිර්මාණය වී ඇත්තේ මිනිසා තමාගේ හෘද සාක්ෂිය පසෙකට තබා කටයුතු කිරීමට යාම නිසා මෙම බිහිසුණු බව උදාවී ඇත. එනිසා හෘද සාක්ෂියට එකඟව යමෙකුට යමක් කියන්න හැකි නම්, යමක් කරන්න පුළුවන් නම් මේ ලෝකය සුවදායක මිහිරි මුළු මහත් සත්වයාටම ජීවත් විය හැකි ක්ෂේම භුමියක් බවට පත්වෙනවා. එනිසා අප එම ස්ථානයට පැමිණිය යුතුයි. මෙතරම් බිහිසුණු කර්කෂ සංකර, විෂමාචාර පිරුණු ලෝකයක් බවට පත්වෙලා තිබෙන්නේ ස්වභාවදහම ගත්තු තීන්දු තීරණ නිසා නොවෙයි. මිනිසා හෘදසාක්ෂියට එකඟව කටයුතු නොකිරීම නිසයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව යමක් කළා නම්, යමක් ප්‍රකාශ කළා නම්,මේ ලෝකය මේ වන විට සුන්දර ලෝකයක් වෙලා තිබිය යුතුයි. එනිසා මිනිස්සු තමන්ගේ හදවතට එකඟව කටයුතු කරනවා නම් එවැනි ලෝකයක මුළු මහත් සත්ත්වයාට ම සුවසේ සහජීවනයෙන් සමානාත්මතාවයෙන් ජාති ආගම් කුල භේද පසෙක තබා සමස්ත මානවයාටම මානව දයාවෙන් පිරුණු ලෝකයක ජීවත්වීමට හැකි තෝතැන්නක් බවට මේ ලෝකය පත්විය හැකියි. මහා දානපති කෝටිපති, කිලෝ ගණනින් රත්තරන් පැළදගෙන මහා මන්දිරවල ජීවත් වන මහා ධන කුවේරයන් මැරුණ පසුත් තම ඇඳිවතට පමණක් උරුමකම් කියන එම ඇඳිවතත් වැරහැල්ලක් වුණ බොහෝ පිරිසක් අපි‍්‍රය කරන යාචකයෙකු මැරුණ විටත් මේ ශරීර දෙකටම අවසානයේ පොදු ඉරණමකට මුහුණ පාන්නට සිදුවෙනවා. මේ ශරීර දෙකම එකම ආකාරයට ශරීරයට පණුවන් ගසමින් පොළවට පස්වෙනවා. මහා දානපතියෙකු කෝටිපතියකු මිය ගියා කියා ස්වභාව දහම වෙනම ආකාරයෙන් විශේෂ ක්‍රමවේදයක් දක්වා නැහැ. දෙදෙනාගේම ක්‍රම වේදය පොළොවට පස්වන එකයි. මේ තුළින් ජීවිතය තේරුම් ගෙන ජීවත් විය යුතුයි.

සටහන - හේමමාලා රන්දුනු

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]