UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසනික ආගමික සාමාජික අධ්‍යාපනික වශයෙන් නොනිමි මෙහෙවරක් පිහිට විය යුතු තැන නිර්ලෝභීව පිහිට වන පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

ශාසනික ආගමික සාමාජික අධ්‍යාපනික වශයෙන් නොනිමි මෙහෙවරක් පිහිට විය යුතු තැන නිර්ලෝභීව පිහිට වන පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

රටක අගනාම සම්පතකි. අධ්‍යාපනය ලබන දරු පරපුර, අද දරුපරපුර හෙට වැඩිහිටි පරපුර වෙයි. එබැවින් හෙට දින වෙනුවෙන් හැදෙන වැඩෙන දරු පරපුර දැනුමෙන් පෝෂණය කිරීමෙහි ලා යම් මෙහෙවරක් සිදු කළ හැකි නම් එය මහ මෙහෙවරකි. ඓතිහාසික යුග මෙහෙවරකි. පාසල් අධ්‍යාපනය ලබන දරුවා ගුණ නැණ බෙලෙන් පෝෂණය කිරීමේ උදාර අරමුණෙන් අත්තනගල්ල රජ මහා විහාරාධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ධුරන්දර ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිගුකලක සිට ශාසනික, ආගමික, සාමාජික හා අධ්‍යාපනික ආදී වශයෙන් උදාර මෙහෙවරක නිතරවන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් අත්තනගල්ල වල්පොල කනිටු විදුහලට රුපියල් ලක්ෂ එකසිය අසූ දෙකක මුදලක් වැය කර නව තෙමහල් ගොඩනැගිල්ලක් පසු ගියදා ඉදිකර දුන්හ. එහි සිසු දරුවන් හයසියයකට පමණ එකවර අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වේ. එම නව තෙමහල් ගොඩනැගිල්ලෙහි පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ 68 වන ජන්ම දිනය යෙදී තිබු ඉකුත් දා 26 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්විණි.

අත්තනගල්ල ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයට ද එවැනිම තෙමහල් ගොඩනැගිල්ලක් ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉදිකරවීමටද පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් පසුගියදා මුල්ගල තැබූහ.

ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලබන පන්සිය දෙනෙකු ඉක්මවා ඇති සිසු දරු දැරියන් පිරිසකට පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා මසකට රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් ප්‍රදානය කැරේ. ඒ අතර වෛද්‍ය සිසුන්ද වේ.

පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දශක දෙකකට ආසන්න කාලය තුළ සිදු කළ ආගමික, ශාසනික, සාමාජික, අධ්‍යාපනික හා සුව සේවා කටයුතු අතර කීපයක් පමණක් මෙහිදී සඳහන් කරමු.

අභිනව තෙමහල් ගොඩනැගිල්ලේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැති අවස්ථාව

ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලට පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් ඉකුත්දා (26) මුල්ගල තැබූ අවස්ථාව

වල්පොල කනිටු විදුහලේ නව ගොඩනැගිල්ල අභියස පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් සහ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය හා සිසු පිරිසද මෙහි වෙති

අත්තනගල්ල රජ මහා විහාරයේ සිසුන් දෙදහසකට ආසන්න පිරිසක් දහම් අධ්‍යාපනය ලබන දහම් පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක පමණ වියදමෙන් අංග සම්පූර්ණ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරදීම, රුපියල් ලක්ෂ 40 ක පමණ වියදමෙන් භාවනා ශාලාවක් හා ධාතු මන්දිරය සහිත කෞතුකාගාරයක් ඉදිකරවීම, ශාසනික පුනරුදය වෙනුවෙන් අත්තනගල්ල සිර ිසඟබෝ පිරිවෙන අරඹාභික්ෂූන් වහන්සේලාගේ පහසුව සඳහා රුපියල් කෝටි 05 ක වියදමෙන් ගොඩනැගිලි දෙකක් ඉදිකරවීම, ඇතුළු සිල් සමාදන් වන උපාසක, උපාසිකාවන් සඳහා දෙමහල් ධර්ම ශාලාවක් තැනවීම ආදී විහාරංග රැසක් නවීකරණය කිරීමටද ආනන්ද නාහිමියෝ ක්‍රියා කරති. ඒ සඳහා උන්වහන්සේට විදේශීය දානපති හිතවතුන් ආධාර කළ බවද උන්වහන්සේ කෘතවේදීව පවසති.

ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ ගුණ වඩනු සඳහා සිරි සඟබෝ මහජන පුස්තකාලය ඉදිකරවීම, ස්වකීය ජන්ම ග්‍රාමයට, පන්නිල ග්‍රාමයේ පොදු කටයුතු සඳහා “පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි” ප්‍රජා ශෘලාව ඉදිකරවීම ආදියද

සුනාමි උවදුරෙන් පසු අභිනව නිවාස 336 ක් හික්කඩුවේ තෙල්වත්ත, පැරෑලිය, දළුවතුමුල්ල, හම්බන්තොට සහ රිදීගම ආදි ප්‍රදේශවල ඉදිකරවීමත්, දළුවතුමුල්ලේ දෙමහල් සංඝාවාසය හා සම්බුද්ධ මන්දිරයත්, හික්කඩුව සුමංගල විදුහලේ සම්බුදු මැදුරත්, ගොඩගම සහ තෙල්වත්ත විහාරස්ථානවල ළදරු පාසල් දෙකක් ආරම්භ කිරිමට කටයුතු සැලසීමත්, තෙල්වත්තේ ඓතිහාසික රන්පත් රජමහා විහාරය ප්‍රතිසංස්කරණයට දායකවීමත්, අම්පාර කල්මුණේ සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශයේ දරුවන් සඳහා ළදරු පාසලක් ඉදිකරවීමත්, පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් සිදු කළ මෙහෙවර අතර වේ. කවර කටයුත්තක් සඳහා වුවද ආධාර නොපතන උන්වහන්සේ සිදුකරන මෙහෙවර දැක විදේශීය මිතුරෝ ඊට දායකත්වය දැක්වීමද අගනේය.

වතුපිටිවල මූලික රෝහලේ ළමා වාට්ටුව ඉදිකරවීම, එම රෝහලේ සියලු පහසුකම්වලින් යුත් භික්ෂු වාට්ටුවක් ඉදිකරවීම, එම රෝහලේ සිල්මාතාවන් සඳහාද වාට්ටුවක් ඉදිකරදීම, සෙමපටල පරික්ෂාව සඳහා විද්‍යාගාරයක් ඉදිකරවාදීම, වතුපිටිවල රෝහලේ නඩත්තු කටයුතු වෙනුවෙන් ඊ.සී.ජී. යන්ත්‍ර ඇතුළු විවිධ උපකරණ පරිත්‍යාග කිරීම ආදි මහඟු සුව සේවා රැසක් සිදු කර ඇත.

එමෙන්ම අවට විහාරස්ථාන රැසක නව විහාරාංග ඉදිකරවීමටද පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායක වූහ. විහාරස්ථාන හතරක චෛත්‍යය හතරක් ඉදි කරවා ඇත.

අත්තනගල්ල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන නවයක අධිපතිත්වය දරමින් ඇමරිකාවේ හියුස්න්ටන් බෞද්ධ විහාරය සහ තායිවානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරයේ අධිපති ධුරයත් ඇමරිකාවේ ලොස්ඇන්ජලීස්හි ධර්ම විජය විහාරයේ ලේඛකාධිකාරි ධුරයද දරන පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් සම්බුද්ධ ශාසනයටත් , පළාතටත්, රටටත් සිදුකරන උදාර මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන නායක කාරක මහා සංඝ සභාව මඟින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය ධුරයක්ද පුදනු ලැබූහ.

පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ වෙසෙන අතර උන්වහන්සේ ආගමික, ශාසනික, අධ්‍යාපනික හා සාමාජික ආදි විවිධ සේවාවන් සිදුකරන ආදර්ශවත් නිහඬ මෙහෙවරක් ඉටු කරන සංඝ පීතෘන් වහන්සේ නමකි.

වල්පොල කනිටු විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම නිසාම ගෙවී ගිය දෙවසර තුළ එම විදුහලේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ ලකුණු හිමිකර ගැනීම නිසා පාසල් දරුවන් තව තවත් උනන්දු කිරීමේ අරමුණින්, කිසිවකුගේ ඉල්ලීමකින් තොරව එම විදුහලට නව ගොඩනැගිල්ල ඉදිකර දීමට පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ ඉදිරිපත් වූහ.

1947 ජනවාරි 26 වනදා උපත ලබා නිසි වියේදී කඹුරාගල්ල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා 1959 මැයි මස 18 වනදා පණ්ඩිත වල්ගම්මුල්ලේ පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වූ පන්නිල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෝපැත්ත සිරි සඟබෝ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූහ. දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. මල්වතු මහා විහාර මංගල උපීෂථාගාරයේදී 1976 ජුනි 20 වනදා උපසම්පදාව ලැබූහ. 1971 දී බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපතිධුරයටද පත්වූහ. 1976 දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලද ශිෂ්‍යත්වයක් මත ජපානයට වැඩම කළ පන්නිල ආනන්ද නාහිමියෝ ජපානයේ කියොතෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහි අධ්‍යාපනය ලැබීමෙන් පසු 1978 දී ඇමරිකාවට වැඩම කළ පන්නිල ආනන්ද හිමියෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඇමරිකාවේ ථේරවාදී බෞද්ධ විහාරයක් ආරම්භ කිරීමටද පුරෝගාමී වූ පන්නිල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වල්පොල පියනන්ද නාහිමියන් සමඟ එක්ව ථේරවාදී බෞද්ධ විහාරස්ථාන කීපයක් ඇරැඹීමට උන්වහන්සේලාට හැකි වූහ. ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ මධ්‍යස්ථානය අරඹන ලද්දේද පන්නිල ආනන්ද ස්වමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් තායිවානයේද ආරම්භ කර ඇති පන්නිල ආනන්ද නාහිමියන් විසින් භාෂා කීපයක් ප්‍රගුණ කරමින් ලොව රටවල් කීපයකටම වැඩම කර ථේරවාදී බුදුදහමේ ව්‍යාප්තියට ඉමහත් මෙහෙවරක් සිදු කර ඇත.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියන්ගේ මුලසුනින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පාසල් නව ගොඩනැගිල්ල මෙම 08 වනදා පස්වරු 2 ට විවෘත කැරේ.

 

 

 

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]