UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානසික ආතතිය දුරු කිරීමට සතිපට්ඨාන භාවනාව

මානසික ආතතිය දුරු කිරීමට සතිපට්ඨාන භාවනාව

මිනිස් සිත් තුළ පවතින අසහනකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට හොඳම ප්‍රාතිකාර්යක් ලෙස සතිපට්ඨාන භාවනාව වත්මන් බටහිර විදු ලොව තුළ ජනපි‍්‍රයත්වයට පත්වෙමින් පවතී. ඇමරිකාව, එක්සත් රාජධානිය ආදී රටවල ජාතික සෞඛ්‍යය සේවයට පවා සතිපට්ඨාන භාවනාව මානසික ආතතිය සහ විශාදයට ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කර ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවය (NHS) දැනට මානසික ආතතියෙන් පෙළෙන අයට ප්‍රතිකාර කරන අතර එමෙන්ම මානසික ආතතිය වර්ධනය වී විශාදයට පත්වීමට ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍යවරු විසින් සති අටක සතිපට්ඨාන භාවනාව හදාරා එන ලෙස එම රෝගීන්ට නියම කරනු ලැබේ.

දැනට බටහිර රටවල් අතර විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්සටියුට් විශ්වවිද්‍යාලයේ වසර තිහකට පෙර අරඹා මානසික ආතතිය පිළිබඳ බුදුදහම හදාරා සෙන් භාවනා අධ්‍යයනය කළ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වූ “ජෝන්” නමැති වෛද්‍යවරයා භාවනාව හදාරා ඇති අයෙකු නිසා තමා වෙත පැමිණෙන රෝගීන් සඳහා එම භාවනාව මඟින් ප්‍රතිකාර කරනු ලැබේ. එම වෛද්‍යවරයා විසින් ස්වකීය වෛද්‍ය සායනය තුළින්ද භාවනාව මඟින් ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙසේ තිස් වසරක් පුරා එය සිදුකරගෙන යන හෙයින් විශාදයට පත්වන රෝගීන් විවිධ ආකාරයේ පර්යේෂණවලට ලක්කිරීම තුළින් මානසික ආතතිය සඳහා භාවනාව මඟින් ප්‍රතිකාර කර සුවපත් කළ හැකි බව සොයා ගන්නා ලදී.

සරල උදාහරණයක් ලෙසරෝගියා භාවනාවට යොමු කිරීමට පෙර රුධිර ධාවනය, හෘද ස්පන්දන තත්ත්වය ආදී කරුණු සමඟ ප්‍රශ්නාවලියක්ද ඉදිරිපත් කර එමඟින් රෝගියාගේ මානසික සුවතාවය පිළිබඳ හඳුනාගැනීමක් කරනු ලැබේ.

අනතුරුව සති අටක භාවනාවෙන් පසු නැවතත් රෝගියා වෙත එම ප්‍රශ්නාවලියම නිකුත් කර ඊට අදාළ තොරතුරු ලබා ගනු ලැබේ. ඒ තුළින් මනුෂ්‍යයා වෙත වැළඳුණු එම රෝගී තත්ත්වයන් බැහැරවී සුවපත් මනසක් උදාවී ඇති බව එම වෛද්‍යවරයා එමඟින් තහවුරු කර ගෙන තිබේ. විශේෂයෙන් සතර සතිපට්ඨාන භාවනාවේ කායානු පස්සනා සහ වේදනානු පස්සනා භාවනාව වඩන ලද රෝගීන් විසින්ම තමන්ගේ කායික වේදනාවන් දුරු වී ගිය ආකාරය සඳහන් කරනු ලැබේ. ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන ත්‍රිලක්ෂණය දැක්වෙන වේදනාව ඇතිවන විට වේදනාව ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා යන කරුණ කියා දෙනු ලැබේ.

මෙයට පෙර බටහිර රට වැසියන්ට මෙම පුරුදුතාවය නොතිබුණි. ඒ නිසා බටහිර රටවල වැසියන් බොහෝ බරපතළ වේදනාවන්ට පත් වූ අය පවා භාවනාව තුළින් වේදනාව ඇතිවන ආකාරය සිහියෙන් බලනු ලැබේ. එමෙන්ම වේදනාව පවතින ආකාරය සිහියෙන් බලනු ලැබේ. එමෙන්ම වේදනාව නැතිවන ආකාරයද සිහියෙන් බලනු ලැබේ. මෙසේ වේදනාව පාලනය කර ගැනීමට වේදනාව ලෙස දැකපු නිසා ඔවුන්ගේ පෙර පැවැති හිතට දැණුනු බර ගතිය අඩු වී ගොස් ඇති බව ඔවුන් විසින් සඳහන් කරනු ලැබේ.

එමෙන් පිළිකා රෝගය, ඒඩ්ස් රෝගය ආදී රෝග වැළඳුණු රෝගීන් වෙත පවා මහා බියක් ඇතිවීම ස්වභාවිකය. එහෙත් එබඳු රෝගීන්ට පවා එම රෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳ පර්යේෂණයක් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මා විසින් ද කරගෙන යනු ලැබේ. එම රෝගීන්ට එහි යථාර්ථය වටහා ගැනීමට මෙම භාවනාව කෙතෙක් දුරට හේතුවනවාද? යන්න පිළිබඳ පර්යේෂණය ස්කොට්ලන්තයේ ග්ලාස්ෆෝ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ.

ඇමරිකාවේ විවිධ පර්යේෂණ සිදුකරගෙන ගොස් ඇමරිකාව තුළ ආරෝග්‍යශාලා දෙසිය හතළිකට වැඩි ප්‍රමාණයක රෝහල තුළම මානසික රෝගීන් වෙත මෙම භාවනා පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම එක්සත් රාජධානියේ NIVE ආයතනය එක්සත් රාජධානිය වෙත ගෙන්වනු ලබන ඖෂධ නිර්දේශ කරනු ලැබේ. එම ආයතනයේ නිර්දේශය සියලු රෝහල් වෙත හා වෛද්‍යවරුන් වෙත නිකුත් කරනු ලැබේ. එහි නිර්දේශය නොමැතිව ඖෂධ නිකුත් කළ නොහැකිය.

මානසික විශාදයට ඖෂධ දීමට පෙර සතිපට්ඨාන භාවනාවට යොමු වී පැමිණෙන ලෙස දන්වනු ලැබේ.

මානසික විශාදය තුන්වතාවකට වඩා වැළඳුණු රෝගීන් පිළිබඳ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් කරනු ලැබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේම වෙනම වූ ආයතනයක් වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, වෛද්‍ය ශිෂ්‍යයන්ට, හෙදියන් ඇතුළු මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සේවය කරන ඕනෑම කෙනෙකුට එම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා ගත හැකිය.

පළමු සතියේ කායානුපස්සනාව තමන්ගේ ශරීරයේ තිබෙන කැක්කුම්, වේදනා සතියෙන් බැලීම හා ආහාර ගැනීම, සිහියෙන් ඇවිදීම එදිනෙදා ජීවිතයේ අවම වශයෙන් කටයුතු දෙක තුනක්වත් සිහියෙන් කිරීමට උපදෙස් දෙනු ලැබේ. අප ඇතැම්විට කටයුතු කරන විට අපගේ සිහිය සමහර විට අතීතයේ හෝ අනාගතයේ පවතී. එහිදී සඳහන් කරනුයේ හිත වර්තමානයෙහි තබා ගනිමින් බත් කටවල් තුන හතරක් හෝ මම මේ ආහාර හපනවා, ගිලිනවා, ආදී වශයෙන් සිහියෙන් කළයුතු බවයි. තේ කෝප්පයක් සාදා ගැනීමේ දී මම තේ කෝප්පය සාදා ගන්නවා, කෝප්පයේ රස්නය අතට දැනෙනවා, ටික ටික බොනවා යනුවෙන් එය සිහියෙන් පානය කිරීමයි. එසේ නොමැති නම් පෙරදා රාත්‍රියේ නිදා ගත් ඇඳ උදේ අවදි වී යළි සකස් කරන්නේ නම් සිහියෙන් යුතුව පිළිවෙළට ලස්සනට සකස් කළ යුතුයි. එසේත් නොමැති නම් දත් මැදීම කරන විට පවා එය සිහියෙන් සිදු කිරීම, කමිසයෙහි බොත්තම් දමා ගැනීමේ දී පවා එය සිහියෙන් සිදුකළ යුතු ආකාරය සතිය පුරා එබඳු ක්‍රියාකාරකම් කීපයක් සතියෙන් හෙවත් සිහියෙන් සිදු කිරීම පිළිබඳව ඔවුන් උපදෙස් දෙනු ලැබේ.

වර්තමානයේ දී සතිපට්ඨානය නිවන සඳහාම වුවක් යැයි ඇතැම් දෙනා කල්පනා කිරීම නිසා සතිපට්ඨානභාවනාවෙන් ඈත්වීමට හේතුවක් වී ඇති බව පෙනේ. සතිපට්ඨාන භාවනාව සිදු කරන්නේ නිවන සඳහාම වූ එකක් යැයි අත්ථි ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා දන්තා යනුවෙන් කායානුපස්සනාව වඩනුයේ එකවරම ශරීරයේ පවතින පිළිකුල් ස්වභාවය පිළිබඳව එය සතිපට්ඨානයේ කොටසකි. බටහිර දී එය උගන්වනු ලබන්නේ වේදනාව පවතින්නේ කොහිද? තමන්ගේ ශරීරයේ පවතින වේදනාවන් දෙස බැලීමටය. එය ඉතාම සරලය. අනතුරුව කරන කියන කටයුතු සිහියෙන් සිදු කිරීමට උපදෙස්දීමය. ඒ අයුරින් පටන් ගෙන ඒ ඒ අයගෙන් හයවන සතියෙන් පසු දවසකට පැයක් කිසිදු වචනයක් හෝ කතාවේ නොයෙදී භාවනාවේ යෙදෙනු ලැබේ. කෑම ගැනීම පවා කතා බහ නොමැතිව සිහියෙන් කරනු ලැබේ. එදිනෙදා කටයුතු සිහියෙන් කරනු ලැබේ. ඒවා සතිපට්ඨාන සූත්‍රයේම අඩංගු කරුණු වේ. එහෙත් ඒ අය මානසික ආතතියට, මානසික විශාදයට ප්‍රතිකාරයක් ලෙස මෙම පාඨමාලාව සකස් කර පවත්වාගෙන යනු ලැබේ. ඒ නිසා සති පට්ඨාන භාවනාව සති අටක් සිදු කිරීම තුළින් මානසික ආතතිය මඟ හරවා ගන්නට පුළුවන් බව NIVE මඟින් නිර්දේශ කර තිබේ. තුන්වතාවකට වඩා එය වැළඳුණු අයෙකු මෙසේ මෙම භාවනාවට යොමු කළත් නැවත ඊළඟ වසරේ සීත සමයේ දී හෝ නිවසේ ස්වාමිපුරුෂයා අමනාප වුවහොත් හෝ ආදී ඇති වන කරුණු නිසා නැවත මානසික විශාදය ඇතිවීමට ඉඩ ඇත.

ඒ නිසා ඒ අය පවසනු ලබන්නේ සතිපට්ඨාන භාවනාව දිගින් දිගටම කරගෙන යනවා නම් එය නැවත ඇතිවීමට ඇති ඉඩ කඩ අඩු බවය. ඔවුන්ගේ පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවද කියයි. මෙසේ සතිපට්ඨාන භාවනාව වඩන අයට මානසික ආතතිය දුරුකර ගැනීමට දවසකට විනාඩි තුනක් හෝ එය සිදුකරන ලෙස උපදෙස් දෙනු ලැබේ. විනාඩි තුන බැගින් දවසකට තුන් වරක් ආනාපාන සතිය වැඩීම තුළින් මානසික ආතතිය අඩුකරගත හැකි බව ඔවුන් කරන ලද පර්යේෂණ මඟින් තහවුරු වී ඇති අතර, වෛද්‍යවරුන්ට, ව්‍යාපාරිකයන්ට ආදී කාර්ය බහුල ජීවිත ගත කරන හැම දෙනාටම සතිපට්ඨාන භාවනාව විනාඩි තුන බැගින් දවසකට තුන් වරක් පුහුණු කර ඖෂධ නොගෙන සුවබර මානසිකත්වයක් ලබා ගැනීම සඳහා ඔවුන් කටයුතු කරගෙන යනු ලැබේ. එය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, වේල්ස්හි විශ්වවිද්‍යලයක් සහ ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාල තුනක දැන් මේ පිළිබඳ පර්යේෂණ පවත්වනු ලැබේ. ආචාර්ය උපාධි හදාරන ශිෂ්‍යයෝ ග්ලාස්ෆෝ විශ්වවිද්‍යාලයේම ආචාර්ය උපාධිය සඳහා සතිපට්ඨාන භාවනාව හදාරන සිසුන් තුන්දෙනෙකු සිටිති. මේ අනුව දිගින් දිගටම බටහිර රටවල සතිපට්ඨාන භාවනාව ජනපි‍්‍රය වී යනු ලැබේ. දැනට බටහිර ජනපි‍්‍රයම දහම ලෙස හැඳින්වෙනුයේද බුදුදහමය. බුදුදහමෙහි සඳහන් සතිපට්ඨාන භාවනාව ආගමික මුහුණුවරක් නොමැතිව අධ්‍යාපනික හා සෞඛ්‍යය වැඩසටහනක් ලෙස ඔවුන් සතිපට්ඨාන භාවනාව බටහිර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගනු ලැබේ. බටහිර රටවල ඇති ඉහළම ප්‍රවණතාව සතිපට්ඨාන භාවනාවයි. එය ජනතාව අතර තව තවත් වර්ධනය කිරීමටද කටයුතු කරනු ලැබේ.

 

 දුරුතු පසළොස්වක පෝය

දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග 9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 04

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]