UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2014.09.23

දාරක ප්‍රේමය

හොඳ නරක, යහපත අයහපත, කළයුත්ත නොකළයුත්ත, පිළිබඳ මූලික පාඩම මව්පියවරුන් විසින් තම දරුවන්ට කියාදීම නිසාම මව්පියවරු දෙපළ දරුවන්ගේ පූර්ව ආචාර්යවරු වේ. “පුබ්බාචරියානි වුච්චරේ” යනුවෙන් දැක්වෙන පරිදි නෑ හිතමිතුරන් ආදී සමාජයේ වෙසෙන තැනැත්තන් හඳුන්වා දෙමින් ඔවුන් ඇසුරු කළ යුතු නොකළ යුතු අය පිළිබඳවද දැනුම්වත් කරනුයේ මූලිකවම මව්පිය දෙපළ විසිනි.

මව්පියවරු තම දූ පුතුන් වෙත මඟ නොමඟ කියාදීමට ඔවුන්ද මූලිකවම දැනුම්වත් වී සිටිය යුතු ය. එසේ නොවූ විට උතුම් මව්පිය පදවිය සතු මූලික ගුණාංගවත් එබඳු මව්පියවරුන්ට නොපිහිටනු ඇත.

මව් පදවිය, පිය පදවිය, සමාජයේ උතුම් පදවියක් වනුයේ ආදර්ශවත් මව්පියවරුන්ගේ යහපත් දිවි පැවැත්ම හේතුවෙනි. එම උතුම් පදවියේ වටිනාකම තේරුම් නොගත්, අවබෝධකර නොගත් අතළොස්සක් පමණ කලාතුරකින් හෝ මව්පිය නාමයෙන් පෙනී සිටින ඇතැමෙක් තම දූ පුතුන් වෙනුවෙන් පූර්වාචාර්යවරුන් ලෙස කටයුතු කරන්නේ දැයි කල්පනා කර බැලීම කාලෝචිතය.

මෙලොවට බිහිවන දරුවාගේ පූර්වාචාර්ය ලෙස හඳුන්වනු ලබන මවගෙන් හෝ පියාගෙන් දරුවාට ජීවත්වීමට ඇති අයිතියවත් සුරැකීමට කලාතුරෙකින් හෝ මවකට හෝ පියෙකුට නොහැකි වේ නම් උතුම් මව්පිය පදවියට ඔවුන් කෙසේ ගැළපේද? මෙලොව බිහිවන සෑම දරුවකුටම ජීවත්වීමට අයිතිය තිබෙන බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. සුන්දර ළමාවිය නිදහසේ ගත කිරීමට අවස්ථාව තිබිය යුතු ය.

මවට පියාට ස්වකීය දරුවා කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සිව්බඹ විහරණ නො පවතී නම්, තම දරුවා ජීවත් කරවීමට උනන්දුවක් දක්වනු නොලැබේ. තම කුසින් බිහි කළ දරුවා රෝහලක, බස් රථයක, අතරමඟක අතරමං කර දැමීම ගුණවත් මවකට කළහැකිද? එසේත් නොමැති නම් ගඟට හෝ මුහුදට දරුවාගේ ජීවිතය අකාලයේ බිලිදිය හැකි තරම් කලාතුරකින් හෝ මවක් හෝ පියෙක් අකාරුණික වන්නේ කවර හේතුවක් නිසාද? සුරතල් දරුපෙම සියලු අඩුපාඩු මඟ හැරවීමට සමත් වේ.

ඇතැම්විට පවුල් අතර පවතින අසමගිකම් හේතුවෙන් ඊට වන්දි ගෙවීමට අහිංසක කුඩා දරුවන්ට සිදු වන්නේ නම් එය කෙතරම් නම් අවාසනාවක්දැයි කල්පනා කළ යුතු ය. මනුෂ්‍යයා පමණක් නොව තිරිසන් ගත සත්වයෙකු වුවද ජීවිත පරිත්‍යාගයෙන් තම දරුවා ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට කෙතරම් නම් උත්සාහ ගනිත්ද?

කිරිකැටි බිලිඳු දරුවන් ගැන මව්පියවරු යොමු කළ යුත්තේ දැඩි අවධානයකි. කුඩා දරුවකුට නිසි රැකවරණය සැලසිය යුත්තේ නිරන්තරයෙන්ම මව්පිය දෙපළ විසිනි. එවන් වගකිවයුතු වගකීම් රැසක් හිසමත දරා සිටිය යුතු දරා සිටින මව්පිය දෙපළගෙන් එක් අයෙකු තම කුඩා දරුවාගේ ජීවිතය කවර ආකාරයකින් හෝ අහිමි කරන්නේ නම් එබඳු තැනැත්තා හෝ තැනැත්තිය සැබැවින්ම මව්පිය තනතුරට සුදුසුදැයි කල්පනා කළ යුත්තකි. රටක ජීවනාලිය බඳු දරු පරපුර හෙට වැඩිහිටි පරපුර වෙයි. එබැවින් ඔවුන් ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සියලු මව්පියවරුන්ගේ වගකීම වේ. එම වගකීම පැහැර හැරිය නොහැකි බලවත් වගකීමක් වේ.

දරුවන් මෙලොවට බිහිකර දරු දුක දන්නා , දරු දුක හඳුනන මව්පියවරු තම දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම සැමදා අගය කළ යුතු ය. ස්වකීය දරුවා කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් යහමඟ යෙදවීමෙන් තමා වයස්ගතවූ කල ඒ දරුවන් වෙතින් තමන් අපේක්ෂා කරන බලාපොරොත්තු සඵල කර ගත හැකි වේ.

දරුවන් ආරක්ෂා නොකිරීමෙන් හා ස්වකීය දරුවන් ගැන තම යුතුකම පැහැර හැරීමෙන් තමන් විසින් දරුවා වෙත ඉටු කළ යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කළා යැයි සතුටු විය නොහැකිය. ඒ යුතුකම මැනවින් නොපිරිහෙලා ඉටු කළ නොහැකි වුවහොත් තම දරුවාගේ ජීවත්වීමේ අයිතිය පැහැර ගැනීමට, උදුරා ගැනීමට කිසිදු අයිතියක් මව්පියවරුනට පැවරී නොමැති බව කල්පනා කළ යුතුමය.

ස්වකීය දිවිමග ගුණ දහමෙන් පෝෂණය කර ගත යුතු ය. එවිට තමන් යහපත් ආධ්‍යාත්මික සුවයක් ද සලසා ගන්නා අතරම තම දරුවන්ටද තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ශක්තිය හා ධෛර්ය හිමිවේ. ගුණවත් නැණවත් ජීවිතයක් ගත කරමින් ආදර්ශවත් මව්පියවරු දෙපළක් වීමට මව්පියවරු කල්පනා කළ යුතු ය.

 

 

 බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් මස 23 වැනි දා අඟහරුවාදා පූර්වභාග 09.45 ට ලබයි. 24 වැනි දා බදාදා පූර්වභාග 11.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 01 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]