UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමි

දශක දෙකකට ආසන්න කාලයක් තුළ අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේ කීපවතාවක්ම ඉතාමත් ළඟින් ඇසුරු කරන්නට ලැබීමෙන් මට ලැබුණු අත්දැකීම් සම්භාරය වචනයෙන් කියා නිම කළ නොහැකිය.

ප්‍රථම වතාවට උන්වහන්සේ 1982 වර්ෂයේ ටිබෙට් ජාතික බෞද්ධයන්ගේ හා අපගේ ආරාධනයෙන් ප්‍රංශයට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලාංකික විහාරස්ථානයක් ප්‍රංශයේ නොවුවත්, එවකට පැවති බෞද්ධ විහාරස්ථාන කීපයකදීම උන්වහන්සේ විසින් පවත්වනලද දේශන අද පවා අප විහාරස්ථානයේ සුරක්ෂිතව තබා ඇත්තේ බුදු දහම සම්බන්ධව ප්‍රංශ ජාතිකයන්ට මූලික අවබෝධයක් ලබා දීමට උන්වහන්සේගෙන් ලැබුණු ඉමහත් මගපෙන්වීම නිසාය.

දෙවන වතාවට උන්වහන්සේ අපගේ ආරාධනාව අනුව ප්‍රංශයට වැඩම කළේ 1985 වසරේදීය. ඒ අවස්ථාවේ උන්වහන්සේ විසින් පැරිස් නගරයේ ස්ථාන ගණනාවකදීම දේශන කීපයක්ම පවත්වන ලද අතර අභිධර්මය අලලා කරණ ලද දේශනය තුළින් පෙන්වාදුන් කරුණු අදත් ප්‍රංශ ජාතිකයන් සිහිකරන්නේ තමන්ට එවන් දේශනයක් අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව ලෙසයි.

1989 වසරේදී ප්‍රංශයට උන්වහන්සේ වැඩම කළ තෙවන අවස්ථාව, ඉතාමත් වැදගත් අනුස්මරණීය අවස්ථාවකි. ඒ ප්‍රථම වරට පැරිස් නගරයට ආසන්නව ලබුර්ෂේ නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ හා අනෙකුත් සියලුම බෞද්ධයන්ගේ ද සම්බන්ධයෙන් ගොඩනගන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා උන්වහන්සේගේ වැඩමවීමයි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වැනි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකු ලවා ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරන්නට ලැබීම අප වසර කීපයක් තිස්සේ සිදුකරණ ලද ඉමහත් සේවයේ මල් ඵල දැරීමක් ලෙස අපි අදත් සිහිපත් කරමු.

උන්වහන්සේ ප්‍රංශයේ වැඩ සිටියදී ලියන ලද ආනාපානසති භාවනාව සම්බන්ධ පොත භාවනාව ගැන මඟ පෙන්වීම සඳහා වූ මූලික ග්‍රන්ථයකි. මාස තුනක කාලයක් වස් සමාදන් වී අපගේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගතකළ කාලය තුළ මහානාහිමියන්ගේ ජීවිතය තුළින් අප ලද අත්දැකීම් සම්භාරය පිටු සිය ගණනක පොතකින් මිස මෙවන් ලිපියකින් පෙන්වා දිය නොහැකිය.

උන්වහන්සේ පෙර කළ පින් ඇති මහා පුරුෂ ශ්‍රේෂ්ඨයාන කෙනෙකි. සුවිශේෂ දේහ ලක්ෂණ තුළින්ම පුරාකෘත පුණ්‍ය මහිමය මොනවට පැහැදිලි වෙයි. වරක් විදෙස්ගතව ධර්මදූත සේවයෙහි යෙදී සිටි උන්වහන්සේ බැහැ දැකීමට සිය දෙමාපියන් සමඟ පැමිණි විදේශයක උපන් අවුරුදු හතක (7) පමණ කුඩා ළදැරියක් මහානාහිමිපාණන් දකිත්ම සුරතල් බසින් ප්‍රකාශ කළේ කම්ප්ලීට් නෝස් (ඛ්ධථනතඥබඥ ව්ධඵඥ) කියායි. කුඩා දරුවකුට පවා වහා වැටහෙන සේ සුවිශේෂිත වූ උන්වහන්සේ ගේ දේහ ලක්ෂණ තුළින් පුරාකෘත පුණ්‍ය මහිමය මෙන්ම පාරමී දම් පුරන බෝධිසත්ත්වවරයකු ද දර්ශිත වෙයි.

ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මෙන්ම ලෝකවාසි බෞද්ධයන්ගේ ද අතිශය ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටි අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේගේ 118 වැනි ජන්ම දින සමරු උළෙල හා ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය මෙම මස 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමියන්ගේ 118 වැනි ජන්ම දින සැමරුම

අපවත් වී වදාළ අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමියන්ගේ 118 වැනි ජන්ම දින සැමරීමේ උළෙල මේ මස 24 වැනිදා සවස 3 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහ නා හිමියන්ගේ මූලිකත්වයෙන් හා කථානායක චමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එම සමරුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

 

 නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 24 වැනි දා අපර භාග 05.17 ට ලබයි. 25 වැනි දා සඳුදා අපරභාග 07.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු මස 24 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 02 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]