UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෘෂ්ඨි වලින් බැහැර වූ සම්මාදිට්ඨිය

මෙම ලිපියේ මුල් කොටස නිකිණි පුර පසොළොස්වක පත්‍රයේ පළවිය (ඍජුවම නිවනට හේතුවන සම්මාදිට්ඨිය)

පරතෝඝෝසය නැති නම් හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ ව අසන්නට නො ලැබේ නම් ඒ පිළිබඳව අවබෝධ කර ගත හැකි නොවේ. එසේ කලින් නො ඇසු විරූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරනුයේ බුදුරජාණන් වහන්සේලා පමණී. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු වශයෙන් දක්වා ඇත්තේ එබැවිනි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අසන්නට ලැබීමෙන් පළමුව ඇති වන්නේ හඳුනා ගැනීමයි. එය අවබෝධයට හේතුවේ. නිදසුනක් වශයෙන් දක්වතොත් මහනුවර දළදා මාලිගාව පිළිබඳව පොත්පත් වලින් කියවා වෙනත් විස්තර කථනවලින් අසා තොරතුරු දැන ගත හැකිය. එසේ වූ නමුදු නුවර ගොස් දළදා මාලිගාව දැක බලා වැඳ පුදා ගැනීමේදී ඇති වනුයේ ඊට වඩා වැඩි වු අවබෝධයකි. ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දළදා මාලිගාව යනු කුමක්දැයි දැන අවබෝධ කරගත් බැවිනි. එමෙන්ම සද්ධර්මය අසා කියවා බලා කිසියම් දැනීමක් හැඳිනීමක් ඇතැත් එය නිවනට ඍජුව ම හේතුවන සම්මා දිට්ඨියෙන් යුක්තවීමකැයි කිව හැකිය.

සම්මාදිටිඨියට උපකාරි වන දෙවන අංගය වන්නේ යෝනිසෝ මනසිකාරය යි. මෙහිදී යෝනිසෝමනසිකාරයෙන් අදහස් කරනුයේ අසන්නට ලැබුණු චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳ ව සිහිනුවණින් විමසා බලා කටයුතු කිරීමයි. සම්මා දිට්ඨිකයා යැයි නිවැරැදි ව පැවැසිය හැක්කේ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන තැනැත්තාට ය. නුවණින් විමසා නො බලන්නෙකුට සිවුසස් දහම පිළිබඳ ව අවබෝධයක් ඇති කරගත නො හැකිය. චතුරාර්ය සත්‍යය දැන ගැනීම හා යොදන පජානාති යන පදයේත්, යෝනිසෝ මනසිකාරයේත් පැහැදිලි සබැඳියාවක් තිබෙන බව පෙනේ. නුවණින් මනා කොට විමසා බලන විට විශ්ව ධර්මතාව පිළිබඳ මනා වූ දැනීමක් ඇති වේ. සම්මාදිට්ඨිය වශයෙන් දක්වා ඇත්තේ ඒ දැනුමයි. ඒ අවබෝධය යි. දළදා මාලිගාවට ගොස් වැඳ පුදා ගත් තැනැත්තාට ඒ පිළිබඳ ව ඇත්තේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් දැනීමක් සේ යෝනිසෝමනසිකාරයෙන් යුත් තැනැත්තා සම්මා දිට්ඨික වූ කල චතුරාර්ය සත්‍යය පිළිබදව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගනී.

බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රයේදි සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදා දක්වා ඇත. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි? සම්මාදිට්ඨිම්පහං භික්ඛවේ ද්වයං වදාමි අත්ථී භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා අත්ථී භික්ඛවේ සම්ිමාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මහණෙනි, සම්මා දිට්ඨිය කවරේද? මහණෙනි මම සම්මාදිට්ඨී දෙකක් කියමි. මහණෙනි ආශ්‍රව සහිත වූ පිනට නැඹූරු වූ උපධි විපාක සහිත වූ සම්මා දිට්ඨියක් ඇත. මහණෙනි, ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලොකෝත්තර මාර්ගාංගයට අනුගත වූ සම්මා දිට්ඨියක් ඇත. මෙම ප්‍රකාශයට අනුව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨි දෙකක් තිබෙන බව සරලව අවබෝධ කර ගත හැකිය. ලෞකික වශයෙන් ඇති වන්නා වූ සම්මා දිට්ඨියෙන් නිර්වාණගාමී ප්‍රතිපදාවට නැඹුරුවක් නැතත් පවෙන් වෙන්කොට පිනට නැඹුරු කිරීමේ සුවිශේෂ ලක්ෂණයක් ඇත. ලෞකික සම්මාදිට්ඨිය අංග දහයකින් සමන්විත වන බැවින් දසවත්ථුක සම්මාදිට්ඨීය වශයෙන්ද හැඳින්වේ. දුන් දෙයෙහි විපාක ඇත. (අත්ථි දින්නං) පුණ්‍ය යාගයෙහි විපාක ඇත. (අත්ථි යිට්ඨං) පුදන ලද දෙයෙහි විපාක ඇත. (අත්ථි හුතං) හොඳ නරක කර්මවල විපාක ඇත. (අත්ථි සුකට දුක්කටානාං කම්මානං ඵලං විපාකෝ) මෙලොවක් ඇත.(අත්ථි අයං ලොකෝ) පරලොවක් ඇත. (අත්ථී පරෝ ලෝකෝ) මවට සැළකීමෙහි විපාක ඇත. (අත්ථි මාතා) පියාට සැළකීමෙහි විපාක ඇත. (අත්ථි පිතා) උපදනා ඕපපාතික (ඉබේ පහළවන) සත්ත්වයෝ ඇත (අත්ථි සත්තා ඕපපාතිකා) මනා වූ ප්‍රතිපත්ති පුරන මෙලොවත් පරලොවත් සියනුවණින් මනාකොට දැන කටයුතු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. (අත්ථී ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමං ච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදන්ති) යන මේ කාරණා දහයෙන් යුක්තවීමත් සම්මාදිට්ඨිකයෙකුගේ ලක්ෂණයන්ය. එහෙත් එම සම්මාදිට්ඨිය ආශ්‍රව හෙවත් කෙලෙස් සහිත වූ පිනට නැඹුරු වූ උපධිවිපාක ගෙන දෙන්නා වූ එකකි. ඉහත දැක්වූ කාරණා දෙස විමසා බැලීමේදී පෙනී යන්නේ හොඳ යැයි සම්මත ක්‍රියාවලින් පිළිබඳව ඇති දැනුම ද සම්මාදිට්ඨිය වශයෙන් දක්වා ඇති බවකි. එහෙත් එය නිවනට ඍජු ව හේතු නොවන බව ආශ්‍රව සහිත වූ පිනට නැඹුරු වූ ආදි වශයෙන් යොදා ඇති විග්‍රහ වචනවලින් පැහැදිලි වේ. එසේ වූ සැණින් ම ලෞකික සම්මාදිට්ඨිය අනවශ්‍ය යැයි බැහැර කළ නොහැකිය. එසේ වුවහොත් සත්ත්වයා මිසදුටු අදහස්වල නිමග්නවීම නිසාම දුගතිගාමී වී නිවන් මගින් ඈතින් ඈතට විසිව යෙයි. නිවන් මගට බැස ගැනීමට නම් ලෞකික සම්මාදිට්ඨිය ද අවශ්‍ය කෙරේ. පරතෝඝෝෂයෙන් ධර්මය අසා පැහැදි ධර්මානුකූල ජීවිතයකට හුරුව කටයුතු කිරීම ලෞකික සම්මාදිට්ඨියේ ප්‍රතිඵලය යි. ඇසූ බව අණුව කටයුතු කරන ගමනේම සිහිනුවණින් කල්පනා කොට සත්‍යය අවබෝධ කර ගැනීම ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඵලය යි. ඒ අනුව සම්මාදිට්ඨිය පහළවීමට උපකාරි වන පරතෝඝෝසය ලෞකික සම්මාදිට්ඨිය හා සම්බන්ධ වන අතර යෝනිසෝමනසිකාරය ලොකෝත්තර සම්මා දිට්ඨිය හා සම්බන්ධ වන බව වටහා ගත හැකිය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ඍජුවම නිවන දෙසට යොමු කරනුයේ ලෝකුත්තර සම්මා දිට්ඨියයි.ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇත්තා ආර්ය භාවයට පත් උතුම් සිතැත්තෙක් ලෙස ද ආශ්‍රව ප්‍රහාණය කළ සිතැත්තෙක් ලෙසද ආර්ය මාර්ගයට අනුගත කෙනෙක් ලෙසද දක්වා අත. (අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨිඅරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා) මේ ලෝකෝත්තර මාර්ගයෙහි යන්නාගේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධර්ම විචය සම්බොජ්ඣංගය ලෝකුත්තර සම්මාදිට්ඨිය වශයෙන් දක්වා ඇත. එසේ ඇති වන සම්මාදිට්ඨිය ඔහුගේ මිසදිටු බව ප්‍රහාණය කිරීමට හේතු වේ.

ලෝකෝත්තර සම්මා දිට්ඨියට ප්‍රධාන වශයෙන් උපකාර වනුයේ යෝනිසෝමනසිකාරය යි. චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ කර ගැනීමේදී නුවණින් මැනවින් විමසා බැලීම අවශ්‍ය වේ. නුවණින් මෙනෙහි කරන්නාගේ ප්‍රඥාව, ප්‍රඥා බලය, ප්‍රඥා ඉන්ද්‍රිය, ධර්මවිචය සම්බොජ්ඣංගය හෙවත් නිවනට හේතුවන ප්‍රබල කාරණා දියුණු වන අතර එයම ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් හැඳින්වේ. සම්මාදිට්ඨි සූත්‍රයෙහි දක්වාලූ පරිදි කුසල අකුසලය පිළිබඳව ආහාරය පිළිබඳව චතුස්සච්ය පිළිබඳව හා පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධය ඇති වනුයේ එසේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන විටය. නුවණින් මෙනෙහි කිරීම නිසා එසේ කරන්නාගේ සිතෙහි මිසදිටු බව ප්‍රහාණය වී සම්මා දිට්ඨිය ඇතිවේ. ඒ සම්මා දිට්ඨිය ඇති කරගැනීමට කරන උත්සාහය ඔහුට සම්මාවායාම නම් වූ මාර්ගාංගය වෙයි. එසේම ඔහු මිසදිටු බව ප්‍රහාණය කරනුයේ සිහියෙන් බැවින් එයම ඔහුට සම්මාසති මාර්ගාංගය වෙයි.මේ මාර්ගාංගය හෙවත් සම්මාවායාමය හා සම්මාසතිය සම්මා දිට්ඨියට අනුව පවතී. සහජාත හෙවත් එකට පහළවීමේ ලක්ෂණයෙන් යුක්ත වෙයි. පුරේ ජාත හෙවත් පළමුව පහළවීමේ ලක්ෂණයෙන් යුක්ත වේ. සම්මා දිට්ඨියම පිරිවරා සිටින ලක්ෂණයෙන්ද යුක්ත වෙයි.

සිහිනුවණින් ධර්මය තේරුම් ගන්නා තැනැත්තා හෙවත් ලෝකුත්තර සම්මා දිට්ඨිකයා ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයක් ඇතිව කටයුතු කරන අතර ධර්මයට පැමිණ වාසය කරන්නෙක් ද වෙයි. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං) මෙසේ සළකා බලන කල ලෞකික සම්මා දිට්ඨියෙහි එන ඇතැම් කරුණු අන් ආගම්වලත් තිබෙන බැවින් සම්මාදිට්ඨිය යන වචනයේ නියම වූ අර්ථය ගැනීමට නම් ලෝකෝත්තර සම්මා දිට්ඨියම සැළකිය යුතු බව අවබෝධ කර ගත යුතුව පවතී. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ස්වරූපය ඇත්තේ සම්බුද්ධ දේශනාව තුළම පමණක් බැවිනි. ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන තැන දී දක්වා ඇත්තේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ම බැව් එම සම්මාදිට්ඨිය විස්තර කරන්නට යොදා ඇති මග්ගංගා යන පදයෙන් ම තහවුරු වේ. තවද පෘථග්ජන පුද්ගලයන්ට ලෞකික සම්මාදිට්ඨිය ඇති අතර ආර්ය මාර්ගයට බැසගත් ආර්ය පුද්ගලයන්ට ලෝකෝත්තර සම්මා දිට්ඨිය දියුණු කළ හැකිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් අග්‍රඵලය ලැබෙනුයේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමෙනි.

කච්චාන ලෝවාසි සත්වයා බොහෝ සෙයින් ශාෂ්වතවාදය හා උච්ඡේදවාදය යන දෙක ඇසුරු කළේ වෙයි . කච්චාන ලෝක සමුදය තත් වූ පරිද්දෙන් මනා වූ ප්‍රඥාවෙන් දකින කෙනාට ලෝකයෙහි යම් නාස්තිත්වයක් වේද එය නොවේ. (උච්ඡේදවාදය ප්‍රතික්ෂේප කරයි) කච්චාන ලෝක නිරෝධය තත් වූ පරිද්දෙන් මනා වූ ප්‍රඥාවෙන් දකින කෙනාට ලෝකයෙහි යම් අස්තිත්වයක් වේද එය නොවේ (ශාශ්වතවාදය ප්‍රතික්ෂේප කරයි) කච්චාන ලෝකයා උපාය උපාදාන අභිනිවේසනයන්ගෙන් බැඳුනේ නමුත් බොහෝ සෙයින් ඒ කෙලෙස් සිතිවිලිවලට සිත නො පමුණුවයි. මගේ ආත්මය යැයි නො ගනි. නොසිතයි. උපදින්නේ දුකම උපදි නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ යැයි සළකයි. සත්ත්ව පුද්ගල සඤ්ඤාව පිළිබඳව සැක නොකරයි. විචිකිච්ඡා නූපදව යි. මෙහිදී ඔහුට ම ප්‍රත්‍යක්ෂ ඤාණය පහළ වෙයි. කච්චාන මෙතෙකින් සම්මා දිට්ඨිය ඇත්තේ වෙයි.

ඉහත දක්වන ලද සංයුක්ත නිකායේ කච්චාන ගොත්ත සූත්‍ර දේශනාවට අනුව සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ ඤාණය ලැබීමෙන් තහවුරු වන බව පෙනේ. ඉහතින් දක්වන ලද සියලු ම කරුණු සැළැකිල්ලට ගත් කළ බුද්ධාදී උතුමන්ගෙන් ශ්‍රී සද්ධර්මය පිළිබඳ දේශනා ඇසීම නිසා ලෞකික සම්මාදිට්ඨිය පහළ වී ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයකින් යුක්තව කර්ම ඵල විශ්වාසයකින් යුක්තව ශ්‍රවණය කළ ධර්මය නුවණින් විමසා බැලීම නිසා ලෝකෝත්තර සම්මා දිට්ඨිය හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුම ඇති කර ගෙන එය මාර්ගාංගයක් වශයෙන් වැඩීම හේතු කොට ගෙන නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කළ හැකි වන බව අවබෝධ කර ගත හැකිය.

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]