UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරාගි සිත විරාගි බවට හැරවීම

 සරාගි සිත විරාගි බවට හැරවීම

සංයෝග පැත්තට යොමු වන සෑම සිතිවිල්ලක් ම විසංයෝග පැත්තට යොමු කිරීමට උත්සාහයක යෙදීම නිසා ම ඇය තම ආර්ය මාර්ගය ස්ථීර වශයෙන් සාක්ෂාත් කර ගැනීමක් වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵලයට පියවරෙන් පියවර පිය නගනවා. එමෙන්ම එහිම අනික් විරුද්ධ පාර්ශ්වය වන පුරුෂයා ද ස්ත්‍රියගේ සිත බැඳ ගැනීමට උනන්දු වන මේ සංයෝග ක්‍රියාවලිය සද්පුරුෂ ආශ්‍රයෙන් හෝ කල්‍යාණමිත්‍ර අනුශාසනයෙන් අවබෝධ කරගෙන විසංයෝග ක්‍රියාවලිය තුළට යොමු වුවහොත් ඔහු ද ආර්ය මාර්ගය ඒ ආකාරයෙන් ම සඵල කරගන්නවා. මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ කාමාදී සිතිවිලි පිළිබඳ විසංයෝග ක්‍රියාවලියේ අවශ්‍යතාවයි. එහෙම නැතිනම් බෞද්ධ ඉගැන්වීමෙහි අවසාන ඉල්කකය වන නිවන යි

මෙහිදී පළමුවෙන්ම ස්ත්‍රියක් කිසියම් පුරුෂයෙකු පිළිබඳ කාම රාගය ඉස්මතු කොට ගෙන මෙනෙහි කරන ආකාර හතක් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන හැටි කෙටියෙන් වුවත් පැහැදිලි කර දෙන්නට අප විසින් උත්සාහයක් දරනවා. ඇත්තෙන් ම බුදුරජාණන් වහන්සේගේ එම පැහැදිලි කිරීමෙහි දක්නට ලැබෙන්නේ අපූරු ආකාරයක්. ස්වාභාවික තත්ත්වයක්. මම ඔබට එම කරුණ ඒ විදියට පෙන්වා දෙන්නේ කාමෝන්මාදයෙන් යුතුව කිසියම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රියා කරන විට ඇයගේ හෝ ඔහුගේ සිතිවිලි නොදැනුවත්වම වේගවත්ව දුවන්ට පටන්ගන්න නිසයි.

සංයෝග පරියාය

මෙහිදී ස්ත්‍රිය පුරුෂයා පිළිබඳව සරාගි වන විට ඇය එක්වර ම සිතේ ඇති කරගන්නේ තම ස්ත්‍රින්ද්‍රිය පිළිබඳවයි. ඇය ඒ පිළිබඳව විවිධාකාරයෙන් මත් වී සිහින මවන්නාක් මෙන් කල්පනාවෙහි ඇලෙනවා. එයින් ඇයගේ සිතිවිලිවල ගමන නවතින්නේ නැහැ. තවදුරටත් සිත පුරුෂ සිත ඇද බැඳ ගැනීම කෙරෙහි ම යොමු කරවනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයෙන් මේ සිත හිතන්නට බැරි තරම් වේගයෙන් දුර ගමන් කරනවා. එබඳු සිත එකින් එක පියවර මෙනෙහි කරමින් විවිධාකාර සරාගි සිතිවිලි උපදවනවා. ඊළඟට මේ ආකාරයෙන් ඉලක්ක කරගත් පුරුෂයා තමා කෙරෙහි ඇද බැඳ ගන්නට විවිධ අවස්ථාවල මෙන්න මේ ආකාරයෙන් සිතිවිලි ඇති කර ගෙන ක්‍රියා කරතියි සිතෙන ආකාරය මෙනෙහි කරන්නට ස්ත්‍රිය පටන්ගන්නවා. මෙහිදී ස්ත්‍රිය පළමුවෙන් ම තම ස්ත්‍රින්ද්‍රිය ගැන සිතිවිලි ඇති කරගෙන ක්‍රියා කරන බව පුරුෂයා විසින් ඒත්තු ගත්තොත් ඇය ඊට ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. මේ අවස්ථාවේදී ස්ත්‍රියගේ සිතට නැගෙන්නෙ මේ විදිහටයි. එසේ නම් මේවන විට පුරුෂයා ද සරාගී වන ආකාරයයි ඇය කල්පනාවට ගන්නේ. එහෙම වෙන කොට පුරුෂයා ස්ත්‍රිය පිළිබඳ ඇති කරගන්න ක්‍රියාත්මක ආකල්පයි ඇගේ සිතට නැගෙන්නේ. ඈ එක්වර ම හිතනවා පුරුෂයා සරාගිව තමන්ගේ (මෙම ස්ත්‍රියගේ) සිතිවිල්ල ඉඟියෙන් හෝ වටහා ගෙන තමන් පිළිබඳ සරාගී වශයෙන් සුබවාදී ආකල්පයක් ඇති කරගන්නවා කියා ඇය සිතන්නට පටන් ගන්නවා. අනතුරුව තවදුරටත් මෙම සිතිවිලිවල ගිලෙන මේ ස්ත්‍රිය තවත් ආකාරයකින් හිතනවා ඇගේ මානය සම්බන්ධව.ඒ පුරුෂයා වසඟයට ගැනීම සඳහා මේ ගැන මෙනෙහි කරමින් තවත් පියවරක් සිතිවිලි වශයෙන් ඉදිරියට යනවා. කෙසේ වුවත් අවසාන ඉලක්කය වන්නේ පුරුෂයා තම වසඟයට පත් කරගෙන තමාගේ සිතැඟි කවරාකාරයකින් වුව ද ඉටු කර ගන්නටයි. මෙහිදී ස්ත්‍රිය එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධාකාර උපක්‍රම යොදනවා. මෙහිදී ඇය පුරුෂයාගේ කැමැත්ත අකැමැත්ත විමසීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදන්ට කල්පනා කරනවා. එම උපක්‍රම යොදන්නේ ඉලක්ක කර ගත් පුරුෂයා දන්නා හඳුනන යහළුවන්, මිතුරු මිතුරියන් මාර්ගයෙන් වෙන්නට පුළුවන්. සමහර විට ඇගේ ඥාතියෙකු ලවා වෙන්නට පුළුවන්. ඒ මඟින් හෝ තවත් විටෙක පුරුෂයාට බරපතළ ලෙස දාස භාවයක්. යටහත් පහත් භාවයක්, කීකරු බවක් හෝ එසේත් නැත්නම් ඔහු කැමැත්තක් දක්වන කෑම බීම වර්ගයක් ගෙනවුත් දීමෙන් තෑගි භෝග, ඇඳුම්, පැළඳුම් දීමෙන් ආදරබර වදන් පැවසීමෙන් හෝ ඔහුට තවත් විටෙක හිංසක ක්‍රියාමාර්ගයක්, බිය වැද්දීමක්, තැති ගැන්වීමක්, වැනි විවිධ ක්‍රම අනුගමනය කරමින් පුරුෂයාගේ කැමැත්ත තමන්ට දිනා ගැනීමේ බරපතළ උත්සාහයක යෙදී තම අරමුණ ඉටු කර ගැනීමට උත්සාහවන්ත වෙනවා.

මීළඟට ස්ත්‍රිය මෙනෙහි වන්නේ ඇයගේ ස්වරයයි. එහෙම නැත්නම් ස්ත්‍රිය තම කටහඬ පිළිබඳවයි. තම කටහඬට පුරුෂයා වසඟ කරගන්නා ආකාරය ඇය සිතන්නට පුළුවන. තවත් විටෙක තමන් විවිධ විලාසිතා, ඇඳුම් පැළඳුම්, විවිධ මෝස්තර, කනකර ආභරණ, සුවඳ විළවුන් පාවිච්චි කරමින් පුරුෂයාගේ සිත ඇද බැඳ ගන්නට ක්‍රියා කරනවා. මෙහිදී ස්ත්‍රිය පුරුෂයාගේ සිත තමන් කෙරෙහි යොමු කර ගැනීමට උත්සාහවත් වීමේ දී අනුගමනය කරන ක්‍රම හතක් මේ සංයෝග වියෝග ධම්මපරියාය සූත්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. එසේ පෙන්වා දී ඇත්තේ ස්ත්‍රිය පුරුෂ සිත වසඟ කර ගැනීමට අනුගමනය කරන විවිධ ක්‍රමයි. මේ එකින් එක අත්හදා බලමින්, එම ක්‍රම මඟින් ඇය අපේක්ෂා කරන්නේ තම එකම අරමුණ වන තම සිත දිනාගත් පුරුෂයා තමන් කෙරෙහි ඇද බැඳ ගැනීමයි. මේ නිසා මේ ආකාරයෙන් පියවරෙන් පියවර මෙයට පෙර සඳහන් කර ඇති පරිදි විවිධ ක්‍රම අනුගමනය කරන ස්ත්‍රිය ඒවායෙහි ඇලෙනවා, බැඳෙනවා. ඇය මෙයින් බලාපොරොත්තු වන්නේ එයින් තාවකාලික සුවයක් සොම්නසක් විඳීමට යි. මේ ආකාරයෙන් පුරුෂයන් හා එක්වීමේ අවසාන අරමුණ ඉටු කර ගැනීමට සමත්වන ස්ත්‍රිය තමන් විශාල ජයග්‍රහණයක් ලැබූ ආකාරයෙන් මහත් සතුටක් භුක්ති විඳිනවා. මෙහිදී අය අනුගමනය කළ මෙම සූත්‍රයෙන් පැහැදිලි කරන ක්‍රම හත සරලව ප්‍රකාශ කළහොත් තම ස්ත්‍රීභාවය, ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මානය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ශබ්ද ස්වරය හා ස්ත්‍රී අලංකාරය යන මේවායි.

මේ ආකාරයෙන්ම පුරුෂයා ද ස්ත්‍රිය පිළිබඳව ක්‍රියා කරනවා. ඒ අනුව පුරුෂයා ද මෙම සංයෝග ක්‍රියාවලිය තුළ ස්ත්‍රියගේ සිත තමා කෙරෙහි ඇද බැඳ ගැනීම පිණිස තමා හැසිරිය යුතු ආකාරය මෙනෙහි කරනවා. ඒ අනුව ඔහු ද පළමුවෙන් ම පුරුෂ බව පිළිබඳව කල්පනා කරනවා. මෙය පළමු පියවරයි. ඒ වගේ ම ස්ත්‍රිය තමා කෙරෙහි ඇදබැඳ ගැනීමට ක්‍රියා කළයුතු ආකාරය විවිධ පැතිකඩ ඔස්සේ මෙනෙහි කරනවා. තම ආකල්පය ඊට අවශ්‍ය විදියට මුවහත් කරගන්නවා. එපමණක් නොව ස්ත්‍රිය මෙන්ම පුරුෂයාගේ ද තම පුරුෂබව පිළිබඳ ඇති කර ගත් මානයක්, ස්වභාවයක් පවතිනවා. ඒ ගැනත් ඔහු උනන්දු වෙනවා. තම කැමැත්ත තේරුම් ගෙන ඒ කැමැත්තට අනුව ස්ත්‍රිය පිළිබඳව ක්‍රියා කරනවා. ඒ තුළිනුත් ස්ත්‍රියගේ සිත තමා වෙත ඇද බැඳ ගන්නට උපක්‍රම යොදනවා. එමෙන්ම තමන්ගේ කටහඬ තුළින් ස්ත්‍රී සිත තමන්ට ආකර්ෂණය කර ගන්නා ආකාරය පිළිබඳ සිත යොමු කර ඊට ද විවිධ ක්‍රමවලට හුරු පුරුදු වෙනවා. එපමණක් නොව මෙම විවිධාකාර ක්‍රම උපක්‍රම යොදමින් පුරුෂයා විසින් ස්ත්‍රිය ආකර්ෂණය කර ගැනීමට නොහැකි වුවහොත් ඔහු විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවන් හෝ ඒ වෙනුවෙන් අනුගමනය කරනවා. මේ ස්ත්‍රිය හා පුරුෂ යන දෙපාර්ශ්වය විසින් යොදවනු ලබන සංයෝග ධර්ම පරියාය මේ ආකාරයෙන් පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ මෙහි විසංයෝග ස්වභාවය මීළඟට පෙන්වා දෙනවා.

විසංයෝග පරියාය

ආර්ය මාර්ගය අනුගමනය කිරීමට අරමුණු කර ගන්නා තැනැත්තා අනුගමනය කරන්නේ මේ විසංයෝග ක්‍රම පිළිවෙතයි. මීළඟට අපේ අවධානය ඒ කෙරෙහි යොදා බැලීම ඉතා වැදගත් වෙනවා. මෙහිදී සිදුවන්නේ ස්ත්‍රිය පුරුෂයා තමා කෙරෙහි ඇඳ බැඳ තබා ගැනීම සඳහා අනුගමනය කරන පිළිවෙත ඊට විරුද්ධ පැත්තට යොමු කිරීමයි. ඒ අනුව ස්ත්‍රිය තම ස්ත්‍රීභාවය සරාගි සිතිවිලිවලට මැදි වී මෙනෙහි කරන්නේ නැහැ. ඒ පැත්තට යොමු වූ ස්ත්‍රී ක්‍රියාවලට යොමුවන්නෙත් නැහැ. ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මානය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ආභරණ විලාසිතා හා අලංකාර, සුවඳ විලවුන් ගැන ද යොමු වන්නේ නැහැ. ඒ මක්නිසා ද කියනවා නම් ආර්ය මාර්ගය අරමුණූ කර ගෙන ඒ සඳහා උත්සාහවත් වන පිළිවෙත් පුරන, දහමට යොමු වූ ස්ත්‍රිය නිතර ම කල්පනා කරන්නේ මෙම රාග, ද්වේෂ, මෝහ යන මෙකී අකුසල මුල් යටපත් කරවන ආකාරයේ සිතිවිලි ගොඩනඟා ගැනීමයි. එහිදී ඇය තම ස්ත්‍රී රූපය පිළිබඳ අනිත්‍යාදී වශයෙන් යොමු වන සිතිවිලි ඇති කර ගෙන ඊට අවශ්‍ය පිළිවෙත් පිරීමෙහි යොමු වෙනවා. මේ නිසා විදර්ශනා භාවයට යොමුවන මේ තැනැත්තිය, රූපය හෝ ස්ත්‍රින්ද්‍රිය ආදී මෙතෙක් සාකච්ඡාවට භාජන කළ ස්ත්‍රී භාවය, ස්ත්‍රී ක්‍රියාකාරකම්, ආකල්ප, ස්ත්‍රී මානය, ස්ත්‍රී කැමැත්ත, ආභරණ විලාසිතා හා සුවඳ විළවුන් ආදී සංයෝග පැත්තට යොමු වන සෑම සිතිවිල්ලක් ම විසංයෝග පැත්තට යොමු කිරීමට උත්සාහයක යෙදීම නිසා ම ඇය තම ආර්ය මාර්ගය ස්ථීර වශයෙන් සාක්ෂාත් කර ගැනීමක් වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵලයට පියවරෙන් පියවර පිය නගනවා. එමෙන්ම එහිම අනික් විරුද්ධ පාර්ශ්වය වන පුරුෂයා ද ස්ත්‍රියගේ සිත බැඳ ගැනීමට උනන්දු වන මේ සංයෝග ක්‍රියාවලිය සද්පුරුෂ ආශ්‍රයෙන් හෝ කල්‍යාණමිත්‍ර අනුශාසනයෙන් අවබෝධ කරගෙන විසංයෝග ක්‍රියාවලිය තුළට යොමු වුවහොත් ඔහු ද ආර්ය මාර්ගය ඒ ආකාරයෙන් ම සඵල කරගන්නවා. මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ කාමාදී සිතිවිලි පිළිබඳ විසංයෝග ක්‍රියාවලියේ අවශ්‍යතාවයි. එහෙම නැතිනම් බෞද්ධ ඉගැන්වීමෙහි අවසාන ඉල්කකය වන නිවන යි. ඒ සඳහා අප විසින් අනුගමනය කළ යුතු පිළිවෙතයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]