UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

70 වන ජන්ම දිනය යෙදී ඇති මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි

70 වන ජන්ම දිනය යෙදී ඇති මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි

ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, රාජකීය පණ්ඩිත මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ 70 වෙනි ජන්ම දිනය අදට (10) යෙදී ඇත.

අසරණ මිනිසුන් සොයාගොස් රුපියල් මිලියන ගණනින් දන්දෙන දුකේ දී වහා සිත උණු වී පිහිටවන දුර්ලභ ගණයේ නායක ස්වාමීන් වහන්සේ නමකි මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණෝ. දශක තුනකට ආසන්න උන්වහන්සේගේ විදේශීය ධර්මදූත සේවයේ අග්‍රඵලය ලෙස මා දකින්නේ ඒ අසරණ සරණ සේවාවන් ය. හම්බන්තොට ගිරුවාපත්තුවේ මිද්දෙණිය මුරුංගාගස්යායේ විතාරන්දෙණිය ගෙදරදී එස්.ඒ. වීරක්කොඩි හා අමරකෝන් දිසානායක පුංචිහාමි යන දම්පතීන්ට දාව 1945 අගෝස්තු 10 වෙනි දින පවුලේ පස්වැනියා ලෙස ජන්මලාභය ලද නාහිමියෝ 1956 ජූනි 26 වෙනි දින මූලනේ අග්ගාරාම මහාස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි භූමියට පත්වූහ. මූලික අධ්‍යයන කටයුතු තංගල්ල ධම්මදින්න පිරිවෙනින් ලද නාහිමියෝ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙට ඇතුළත් වී වර්ග පටිපාටියෙන් ප්‍රමුඛයා වී 1968 දී ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්හි දීප්තිමත්ම ශිෂ්‍යයාට හිමිවන ශ්‍යාමරාජ ත්‍යාගය ද ලැබූහ. 1969 දී පේරාදෙණිය සරසවියට ඇතුල් වී පෙර අපර දෙදිග දර්ශන විෂයෙන් ගෞරව සාමාර්ථයක් සහිතව ප්‍රථම කලා උපාධිය ලබාගන්නා අප නාහිමියෝ 1985 දී උසස් අධ්‍යයන කටයුතු සඳහා ප්‍රංශයට වැඩම කළහ. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රංශ භාෂාව හා පාලි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරූ ඤාණිස්සර නාහිමියෝ ධර්මදූත මෙහෙවර සඳහා අත්‍යවශ්‍ය භාෂා ඥානයෙන් මෙන්ම ධර්ම ඥානයෙන් ද පරිපූර්ණ වූහ.

නාහිමියන් සිය විදේශ දායකකාරකාදීන්ගෙන් පිරිකර වශයෙන් පූජා කරනු ලබන මුදල් පරිත්‍යාග ලංකාවේ විශාල සාමාජීය මෙහෙවරකට යෙදවීම ප්‍රශංසනීය වේ. ආර්ථික අපහසුතාවයන් නිසා වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වූ ශිෂ්‍යාවක අධ්‍යාපනය අතරමග නවතාදමන්නට යොමුවූ විට ඇයට උදව්කිරීමෙන් සුවිශාල සමාජ මෙහෙවරකට අත්පොත් තැබූහ. එහි ප්‍රතිඵලය වන්නේ “මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම” බිහිවීමය. අද වන විට එම පදනමෙන් ශිෂ්‍යත්ව ලබා වෛද්‍යවරු 500 කට අධික පිරිසක් රටපුරා සේවය කරති. මේ වන විට ද වසරකට නවක වෛද්‍ය සිසුන් 160 ට අධික පිරිසකට ශිෂ්‍යත්ව ලබා දේ. සෑම මාසයකම රුපියල් දෙදහස බැගින් ඔවුන්ගේ ගිණුම්වලට බැරවන අයුරින් ඉතා විධිමත්ව උන්වහන්සේ මෙම සද්ක්‍රියාව සිදු කරති.

මීට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වී පළාත් නමයෙන් තෝරාගත් රණවිරු පවුල් නමයක 1, 2, 3, 4, 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් නව දෙනෙකුට අධ්‍යයන කටයුතු නිමවන තෙක් ශිෂ්‍යත්ව ලබාදේ. එසේම මිද්දෙණිය මහ විදුහලින් හා කදුරු පොකුණ මහ විදුහලින් සරසවි වරම් ලබන සිසු සිසුවියන්යට ශිෂ්‍යත්ව පිරිනැමීම හා ඇත්ගාලමුල්ල හා කුඩාබැඳිගම යන ගම්වලින් සරසවි වරම් ලබන දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරති. මීට අමතරව ඇත්ගාලමුල්ල අශ්වත්ථාරාමය කුඩා බැඳිගම සුදස්සනානන්ද විහාරය, ජුලම්පිටිය මුණසිංහාරාමය, රණසිංහගම විසුද්ධාරාමය යන සිය අධිපතිත්වය ඇති විහාරස්ථානවල දහම් පාසල් ගුරුවරුන්ට මාසික දීමනාවක් පිරිනැමීම ද කාලයක සිට සිදුකරනු ලබයි. එසේම තම අධිපතිත්වය ඇති විහාරස්ථානවල දායක නිවෙස්වල අවමංගල්‍යයක් සිදුවූ විට ආධාර සිදුකිරීම මෙන්ම මුරුංගාගස්යායේ සෑම අවමංගල්‍යයක් වෙනුවෙන්ම ආධාර කිරීම සිදු කරනු ලබයි. පළාතේ භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූ විට ආධාර කිරීමද කාලයක සිට සිදුකරගෙන එයි. එසේම තමන්වහන්සේගේ උපන් භූමිය වූ මුරුංගාගස්යාය ග්‍රාමය මුල්කොට ගෙන ද මාසිකව විශාල සමාජ මෙහෙවරක් සිදු කරති. උන්වහන්සේගේ උපන්දිනය සිහිකරමින් සෑම මාසයකම දහවෙනි දා ආර්ථික අපහසුතා ඇති වැඩිහිටියන් 43 දෙනෙකුට රුපියල් 2000 බැගින් මුදල් ආධාර කරති. මීට අමතරව ආර්ථික අපහසුතා ඇති දක්ෂ දරුවන් 21 දෙනෙකු තෝරාගෙන මාසිකව රුපියල් 1500 බැගින් ආධාර කිරීමද සිදු කරනු ලබයි. එසේම මහරගම පිළිකා රෝහල, තලාව රජයේ රෝහල, මිද්දෙණිය රෝහල ආදී රජයේ රෝහල්වලට අවශ්‍යතාවයන් මත විවිධ යන්ත්‍ර සූත්‍ර පරිත්‍යාග කිරීමද සිදුකරති.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් අද (10) මිද්දෙණිය පුරාණ විහාරයේ දී මහා සංඝගත දක්ෂිණාවකි. එසේම මුරුංගාගස්යාය විතාරන්දෙණිය ගෙදර දී දවල් වැඩිහිටියන්ට සහ ශිෂ්‍යාධාර ලබන සිසු දරුවන්ට රෙදිපිළි, පාසල් උපකරණ හා මූල්‍යම පරිත්‍යාගයන් සහිත මහා දානමය පින්කමකි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]