UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කථාවෙන් - 22 නිවන් දුටු නළු -නිළි සිටු යුවළ

ධම්මපදට්ඨ කථාවෙන් - 22

නිවන් දුටු නළු -නිළි සිටු යුවළ

පෙර කාශ්‍යප බුදුරදුන්ගේ සමයෙහි චෛත්‍යයක් කරවීම පිණිස අවශ්‍ය දෑ රැගෙන බරණැස බලා පැමිණි කුල පුත් පිරිස හමුවෙහි එක් තෙරනමක් පිඬුසිඟා වැඩිසේක. මෙය දුටු කල දුවක් තම රථයෙහි බොහෝ ආහාර පානාදිය ඇති බැවින් උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරන්නට යැයි තම ස්වාමියාට යෝජනා කළේය.

ඒ අනුව ඔහු තෙරුන්ගේ පාත්‍රය රැගෙන ආහාරපාන, කැවිලි පෙවිලි ආදියෙන් පුරවා දෙදෙනාගේම දෑතින් තෙරුන් වහන්සේට පිදූහ. එම දානයේ පුණ්‍ය මහිමයෙන් දෙදෙනාගේම ප්‍රාර්ථනය වූයේ මතු භවයක රඟන්නන් බවට පත් වීමයි. එම තෙරුන් රහත් තෙරනමක වු බැවින් ඔවුන්ගේ පැතුම එලෙසම ඉටුවේවායි ප්‍රාර්ථනා කළහ. මේ කුශල මහිමයෙන් මරණින් මතු දෙව්ලොව පිවිසෙන ඔවුන් දෙපළ බොහෝ දෙව්සැපත විඳ ගෞතම බුද්ධ කාලයෙහි දෙව් ලොවින් චුතව බිරිද නළු, ගෙදරක දියණියක වී ඉපදුණු අතර සැමියා සිටු ගෙදරක උග්ගසේන නමින් සිටු ගෙදර පුත්‍රයෙකු වී ඉපදුණේය.

මේ කාලයෙහි සිය ගණන් නළු, නිළි පිරිස් තැන්හි තැන්හි එක්ව විවිධ සූරකම් පළ කරමින් කරනු ලබන ප්‍රසංග බොහෝ විය. බොහෝ මහජනයා රැස්වන තන්හි දහස් ගණන් පිරිස් පිරිවරා ඔවුන් මවිතයට පත් කරවන විවිධ රංගනයන්හි ඔවුහු යෙදුණහ. විශේෂයෙන් රජවරුන් ඉදිරියේ දින ගණන් මෙවැනි සංදර්ශන පවත්වා බොහෝ තෑගි බෝගද ඔවුහු ලබා ගත්හ. මොවුන්ගේ සංදර්ශන නැරඹීමට පැමිණි බොහෝ පිරිස් සංදර්ශන භූමියෙහි විවිධ වේදිකාවන් ඉදිකොට ඒ මත සිටිමින් සංදර්ශන නැරඹූහ.

මෙසේ රජගහනුවර රජතුමා ඉදිරියේ පැවැති එක් සංදර්ශනයකදී පෙර කී නළු දියණිය ද ඊට සහභාගි වෙමින් විවිධ රංගන පාමින් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත්තාය. එක් වරෙක ඇය අහසට එසවූ උණ ගසක් දිගේ ඉහළට ගොස් එහි මුදුනේ සිට විවිධ රැඟුම් පෑවේ දකින්නන් ත්‍රාසයටත්, භීතියටත්, පත් කරවමිනි.

මෙම සංදර්ශනය නැරඹීමට පැමිණ සිට උග්ගසේන සිටු පුත්‍රයා එම නළඟනගේ වීර රංගනයන් බලා සිටියේ මහත් ඕනෑ කමකිනි. ඇය අත්,පා විසුරුවමින් කළ අපූරු රංගනය දැක ඇය කෙරෙහි සෙනෙහස බැඳි උග්ගසේන සිටුවරයා තම නිවසට ගොස් නළඟන ලබාගැනීම සඳහා වෑයමක නිරත වූයේය.ඔහු නළඟන කෙරෙහි කවර තරම් බැඳුනාද යත් ඇය නොලැබතොත් මියෙන බවට පළ කොට කිසිදු ආහාරයක් නොගෙන ඇඳක් මත සිටිමින් වර්ජනය කළේය. ඔහුගේ දෙමාපියන් ඔහුට නිසි විවාහයක් කර දෙන්නට පොරොන්දු වුවද මෙම තරුණයා ඇයව පමණක් ඉල්ලා සිටියේය. අවසානයේ උග්ගසේන සිටු පුතුගේ පියා තම මිත්‍රයෙකු අත කහවණු දහසක් එම දියණිය වෙත යවා තම පුතුව විවාහ කර ගන්නට යැයි යෝජනා කළේය. නළඟනගේ පියා එම කහවණු ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම දියණිය විවාහ කර ගැනීමට නම් තම ක්‍රීඩා සමාගමෙහි කටයුතුවලට සම්බන්ධව කටයුතු කළ යුතු බවයි. දෙමාපියෝ උග්ගසේන සිටු පුත් වෙත ඒ බව දැන්වූහ. එයට එකඟ වූ සිටුපුත්‍රයා වහාම නළඟනගේ නිවෙසට ගොස් ඔවුන්ට මෙහෙවර කරන්නට විය. ගම් නියම්ගම්හි පැවැත්වෙන සංදර්ශනවලදී ඔවුන්ට උදව් කිරීම උග්ගසේනගේ වගකීම විය.අනතුරුව නළඟනගේ පියා තම දියණිය වැ සිටු පුතුට විවාහ කර දුන්නේය.

ඔවුන් විවාහ වූ පසුවද තම බිරිඳ සංදර්ශනයන්හිදි පෙර සේම දක්ෂතා පෙන්වද්දී සැමියා මෙහෙවර කිරීමෙහි නිරත විය. කල් යාමේදි ඔවුනට පුතෙකු ඉපදුණි. පුතුගේ කටයුතු ඉටු කරමින් සිටි ඇය තම සැමියා කිසිදු ශිල්පයක් නොදත් මෙහෙකාරයෙකු පමණක් බව වටහා ගෙන දරුවා නළවන විට ඔහුට අපහාස වන ලෙසින් “කරත්ත අඳින්නාගේ පුතා, බඩු ඔසවන්නාගේ පුතා, කිසිවක් නොදන්නාගේ පුතා” යනුවෙන් අපහාස වදන් තෙපළන්නට විය. එය තමා වෙනුවෙන් කියන බව දුටු සැමියා එසේ කියන්නේ ඇයි දැයි බිරිඳගෙන් විචාළේය. මෙහෙකාර සැමියෙකුගෙන් තමාට කිසිදු පලක් නැතැයි කියු ඇය නැවත නැවතත් එවැනි උපහාස වදනින් දරුවා නළවන්නට වූවාය. එවිට සිටු පුත් ඇයගෙන් වෙන්ව පලා යන බව කී විට ඇය එයට එකඟත්වය පළ කළාය.

නළගන ලද රූපශ්‍රීයත්,ඇයගේ සංදර්ශන කුසලතාවත් උඩඟු බව හේතු කර ගනිමින්, තම ස්වාමියා නොතකා පවුල් දිවිය සිඳ බිඳ ගන්නට කල්පනා කළාය.රූපයෙන් හා ශිල්ප ඥානයෙන් උඩඟු වු බිරිඳගෙන් වෙන්ව යන උග්ගසේන සිටු නළුවා සමාගමකට එක්ව දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත් විය. විවිධ සංදර්ශනයන්හිදී ඔහු කැපී පෙනෙන දක්ෂතාවලින් පිරිපුන්ව බොහෝ දෙනා ත්‍රාසයට පත් කරවන රංගනයන්හි යෙදෙන්නට විය. ගමින් ගම මෙවැනි සංදර්ශන පවත්වමින් අනතුරුව රජගහනුවරට ද පැමිණියේය.

එසේ පැමිණ, තවත් දින පහකින් නගර වැසියන් ඉදිරියේ තමා ශිල්ප දක්වන්නේ යැයි ප්‍රසිද්ධ කළේය. නාගරිකයෝ මොහුගේ දස්කම් බලන්නට පාර දෙපස මැසි පිට මැසි ගස්වා එක්රැස් වූහ. එදින විවිධ දස්කම් පෑ උග්ගසේන අනතුරුව සැට රියනක් උස උණ ගසකට නැග එහි මුදුණේ සිට ත්‍රාසජනක රංගනයෙහි නියැළුණේය.

මේ අතරෙහි බුදුරදුන්ගේ ඥාන ජාලයට ද උග්ගසේන සිටුගේ ක්‍රියාවලිය මුසු වූ අතර මේ සංදර්ශනය බලන්නට රැස් වූ සියලු දෙනාට ධර්මාවබෝධය ලබා දීමටත් උග්ගසේන සිටු පුත්‍රයාට රහත් බව ලබා ගැනීමටත් පුරාකමත පුණ්‍ය මහිමයක් ඇති බව දුටු බුදුහිමියෝ සංදර්ශන බිමට වැඩම කළහ. උග්ගසේනගේ රැඟුම් බලා පී‍්‍රතිවෙමින් සිටි පිරිස සියල්ලෝම බුදු රදුන් දෙස බලන්නට වූහ. එයින් උග්ගසේන සිටු මහත් සේ දොම්නසට පත්විය. උග්ගසේන තමාගේ ශිල්ප දැක්වීම හිස්දෙයක් යැයි සිතා කලකිරීමට පත් විය. ඒ බව දුටු බුදුහිමියෝ මුගලන් හිමි ලවා සිටු පුත්‍රයාගේ දස්කම් නැවත ඉදිරිපත් කරවූහ.

අනතුරුව ඔහුගේ වීර්යවන්ත ජීවිතය අගයමින් බුදුහිමියෝ ඔහුට දහම් දෙසූහ. පෙරත්, මතුත් දැනුත් සිරුර පිළිබඳ ආශාව දුරැලිය යුතු බවත් නැවත ජාති,ජරා, මරණ නොලැබීමට ඔබේ වීර්ය භාවිත කළ යුතු බවත් බුදුහිමියෝ උග්ගසේනට ඉගැන්වූහ. එය ධාරණය කළ උග්ගසේන නළු සිටුතුමා රහත්ඵල ලැබූහ. ඔහුගේ බිරිඳ වූ නළඟන ද මේ ගැන අසා මෙහෙණි සස්නේ පැවිදිව රහත්ඵල ලැබූහ. පෙර භවයකදී රහත් තෙරනමකට දුන් දානයෙහි අනුසස් නිසා දෙදෙනාටම එකම භවයක නිවන් දකින්නට හේතු වීය.


ධම්මපදට්ඨ කතාවෙන් - 21 විශාඛාවෝ මිගාර සිටුතුමා මිථ්‍යාදෘෂ්ටියෙන් ඉවත් කරවති

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]