UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි දළදා තේවාව

සිරි දළදා තේවාව

සෙංකඩගල පුරවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝවන අතර ඉතා විසිතුරු හා ප්‍රාතිහාර්ය කතාන්තර වලින් සමලංකෘතය.

අනුරාධපුර දළදා මාලිගාවේ පටන් සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාව දක්වා සියලු රාජධානිවල සුවිශේෂයෙන් නිම වන ලද මාලිගා, මන්දිර , මණ්ඩප්වල වඩාහිඳුවා මහා සංඝරත්නය,රජමැති, අගමැතිවරුන්, සිටුවරුන්, මහජනතාව කළ පුද පූජා ,ආවතේව වන්දනාමාන වර්ණනා විෂය අතික්‍රාන්ත වන්නේය.

වර්තමාන ශ්‍රී දළදා මාලිගාවේ තේවාමුරය සිදුවන්නේ අස්ගිරි මල්වතු උභයමහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් පත්කරන මහා සංඝරත්නය විසිනි. ශි‍්‍ර දළදා තේවාව මහා භාරධූර කාර්යක් වන අතර එය ශ්‍රද්ධාවෙන්, බුද්ධියෙන්,දිරියෙන් කළ යුතු වන්නේය. මේ පිළිබඳව ප්‍රධාන කරුණු කීපයක් ඇත.

1. තේවාවේ නියුක්ත මහා සංඝරත්නය
2. රාජකාරි නිලධරයන්
3. සම්බන්ධ ස්ථාන
4. තේවාව කරන පිළිවෙළ

අස්ගිරි මල්වතු මහාවිහාරයේ මහා සංඝරත්නය වසරින් වසර තේවාමුරය බාරගෙන සිදුකිරීම රජ කල පටන් සිදුවන ඉතා උතුම් චාරිත්‍රයක් වන අතර ඇසළ පුර පසළොස්වක් පෝදින පෝයකොට පසුදින වස් විසීම සඳහා උභය විහාරයෙන් නියමිත විහාර පාර්ශ්වයේ ශී‍්‍රමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය පරිදි පත්කළ නායක හිමිනමක් ප්‍රධාන පස්නමක් ශ්‍රී දළදා මාලිගාවට වැඩමවා තේවාමුරයේ වැඩ බාරගනු ලැබේ. වර්ෂ 2014 ඇසළ පුරපසළොස්වක් පෝදිනට පසුදින මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට තේවාමුරය මාරු විය.

ශ්‍රී දළදා තේවාමුර මාරුවීමේදී පැරණි චාරිත්‍රානුකූලව විශාල කාර්ය භාරයක් සිදුකිරීමට ඇති බැවින් දින ගණනක් ඒ සඳහා කැප කිරීමට මෙන්ම බාහිර කාර්යන් සියල්ල අත්හළ යුතු වන්නේය. දළදා තේවාව බාරගත් දින සිට එම භික්ෂූන් වහන්සේලා දවසට තෙවරක් පිරිසුදුව තුන් සිවුරු හැඳපොරවා ඉතා ශ්‍රද්ධාවෙන් එම කාර්යන් නිසි වෙලාවට නිසි අයුරින් කළ යුතු වන්නේය.

1. සවස සොළොස් පූජා සහිත ගිලන්පස පූජා
2. උදෑසන පූජා තේවාව
3. දිවා භාගයේ සොළොස් පූජා සහිත බුද්ධ පූජාව
4. ජනතාව වැන්දවීම හෙවත් කාලවේලා අනුව අවකාශ ලබාදීම

මෙසේ සිදුකරන පූජාවන් සියල්ල නියමිත ගාථා කියමින් ශ්‍රද්ධාවෙන් සතිපට්ඨානයෙන්, කායික මානසික ධෛර්යයෙන්, චාරිත්‍රානුකූලව කරන බැවින් මෙම දළදා පූජා අසහාය වන්නේය.

මෙම වසරේ දළදා තේවාව භාරගෙන දළදා මන්දිරයේ වේඬරුවේ උපාලි අභිධාන අස්ගිරිමහා සංඝ සභාවේ කාරක සභික ධුරන්ධර පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අස්ගිරිමහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහා විහාර පරිවේණාධිපති නාරන්පනාවේ ආනන්ද නාහිමි, කාරක සංඝ සභික අරඹේගම සරණංකර නාහිමි. අස්ගිරි මහා විහාර පිරිවෙණේ ආචාර්ය ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද හිමි, කොලුගල සීලරතන යන මහා සංඝරත්නය වැඩ සිටිති.

අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපස්ථායක තනතුර සඳහා ආනන්ද හාමුදුරුවන් පත්කළ ආකාරය හා එම මහා භාග්‍ය ලබාගත්. උන්වහන්සේ දිවා රාත්‍රි බුද්ධ උපස්ථානයේ යෙදී සිටි ආකාරයත් ශාසන ඉතිහාසයේ ප්‍රකට වන්නේය. එම උපස්ථානයන් සිහියට නංවාගෙන ජීවමාන බුදුරදුන් සිතේ අරමුණු කරමින් මෙම මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ සුවාසුදහසක් දම් කඳින් පහස ලද වම් සිරි දළදා වහන්සේට පුද පූජා පවත්වති. ආවතේවා කරති. ජනතාවට සිත් පරිදි වැඳුම් පිදුම් කරන්නට අවකාශ ලබාදෙති.

ශ්‍රී දළදා මාලිගාවේ නිලධරයන්

1.ගරු දියවඩන නිලමේ 2.කාරිය කෝරාළ 3.වට්ටෝරුරාළ 4.ගෙපරාළ 5. කත්තියරාළ 6.හක්ගෙඩිරාළ 7.පල්ලේමාලේ රාළ 8.ආරච්චිරාළලා 2 9.මුලුතැන් රාළ 2 10.ආලත්ති අම්මලා 11. මොහොට්ටාල 12. නැකැත් රාළ 13.පණික්කයෝ 14.කවිකාර 15.පන්දම්කාර 16.මුරකාර

මෙම රාජකාරි නිලධරයන් පත්කිරීම පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ වන අතර මහනුවර රාජධානි සමයේ රජගෙදර නිලතල දැරුවන් රජදරුවන් විසින් දළදා මාලිගාවේ පුද පුජාවන්ට අනුයුක්ත කරන ලද්දේ විය.කෝට්ටේ රාජධානි සමයේ පටන් දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රධාන වගකීමක් දියවඩන නිලමේ තුමන්ලාට පැවරී ඇත. මේ නිසා ශි‍්‍ර දළදා මාලිගාවේ පාලනය පිළිබඳ නීතිමය වශයෙන්ද චාරිත්‍රමය වශයෙන්ද දියවඩන නිලමේතුමන්ලාට ඇති බව ප්‍රකට වන්නේය.

කුරුණෑගල යුගයේ ලියනලද දළදා සිරිත නම් ග්‍රන්ථයේ සඳහන් නීතිරීති අනුව ඉතා විශිෂ්ට පුද පූජා ආවතේව පිළිබඳ චාරිත්‍ර ක්‍රමයක් තිබුණ නමුත් රජතුමන් ඇරුණ කොට පාලක නිලධාරියෙක් පත්කොට නැත. දළදා වහන්සේගේ ආරක්ෂාවට හේවායන් යෙදූ බවට ඓතිහාසික කරුණු දක්නට ඇත.

දළදා මාලිගාවේ සියලු ගොඩනැගිලි වෙන්වන්නේ දළදා තේවාව ප්‍රධාන කරගත් සිරිත්විරිත් සඳහාමය.

1.ගඳකිළිය උඩමාලය 2.පල්ලේමාලය 3.ගෙපලුම්බරාඳ 4.කත්තියනබරාඳ 5.හඳුන්මණ්ඩපය 6.සළු මණ්ඩපය 7.කවිකාර මඩුව 8.හේවිසි මඩුව 9.මුර ගෙවල් 10.මුළුතැන්ගේ 11.දර්ශන මණ්ඩපය

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි මන්දිරය ගඳකිළිය හෙවත් සුගන්ධ වාසිත කුටිය නමින් හැඳින්වූ අතර ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව තැන්පත් කළ කුටියද ගඳකිළිය වශයෙන් ප්‍රකටව ව්‍යවහාර වන්නේය. බුද්ධ පූජා, ගිලන්පස පූජා, මල් පූජා, දැහැත් පූජා, දැහැටි පූජා, ආදී සොළොස් පූජා විධි පවත්වන්නේද මෙම ගඳකිළිය තුළදීමය. දළදා තේවාවේ නියුක්ත භික්ෂූන් වහන්සේලා හැර වෙනත් කිසිම කෙනෙකුට එම ගඳකිළියේ රැඳීමට අවසර නැත. සියලු භික්ෂූන් වහන්සේලා එම භික්ෂූන්ගේ අවසරය පරිදි සඟ සිවුරු පොරවා පටිබැඳ මල් ඉල්ලා ගෙන පූජාකොට පිටවිය යුතුය.

රන්පිළිම, මැණික්, පිළිම වැඩ සිටින පල්ලේමාලේද තේවාවන් කරන වෙලාවන්ට පමණක් විවෘත කරන අතර ඒ කාලය තුළ ජනතාවට වන්දනාමාන කළ හැකි වන්නේය. දළදා මාලිගාවේ ලොකු කුඩා කාමර මණ්ඩප වෙන් කර ඇත්තේ එහි සිදු කරන පුද පූජාවන් සඳහා මෙන්ම නියමිත භාණ්ඩ තැන්පත් කිරීම පිණිසය. හේමකඳ හෙවත් බුද්ධ පූජා තැන්පත් කර ගෙන වැඩමවන කඳ කියන මණ්ඩපය කත්කියන බරාඳ නමින්ද හඳුන් තබන තැන හඳුන් මණ්ඩපය නමින්ද ව්‍යවහාර වන්නේය.

දළදා මාලිගාවේ ව්‍යවහාර කරන සිංහල භාෂාවේද සුවිශේෂ බවක් ඇති අතර එම භාෂාව ව්‍යවහාරයෙන් ආගමික ශ්‍රද්ධාව මෙන්ම රාජකීයත්වයක්ද සංඥාපනය වන්නේය.

1.පයිණ්ඩ කිරීම
2.මල් බැහැ ගැනීම
3.ආලත්ති බෑම
4.කණ්ඨස්නානය
5.සතර මංගල්‍යය

මේ වැඩීම ආදි වචන දළදා තේවාවන් හා සංයුක්ත වන්නේය.

ආතත, විතත, විතතාතත, ඝන සුසිර, යන පංච තූර්යනාද පූජාව හේවිසි මණ්ඩප දෙසින්, ඇසෙන විට යතුරු පයිඬකරන වට්ටෝරුරාළ පෙරටුකරගත් තේවාභාර නාහිමියන් ප්‍රධාන කරගත් මහාසංඝරත්නය සංවර ඉරියව්වෙන් ශ්‍රද්ධාදී චේතනාවෙන් නේවාසික ආරාමයෙන් පිටත්ව පැන්සැලින් පා සෝදා ක්‍රමයෙන් දොරවල් විවරකොට තේවාවට සූදානම් වෙති. තිරවසා සෝරස විඳ පූජා පවත්වා දොරටුව විවෘත කොට බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවකාශ ලබාදෙති. මේ අයුරින් දවසට තෙවරක් පූජා පවත්වන විට ඇතිවන ශ්‍රද්ධා භක්තිය නිසා මහා කුසලයක් සිදු වන්නේය.

ඓතිහාසික ගෙඩිගේ රාජමහ විහාරයත්, ශි‍්‍ර දළදා මාලිගාව ප්‍රධාන සිව් දේවාල ඇසළ පෙරහර මංගල්‍යයත් අතර පවතින්නේ ශාසනික සම්බන්ධතාවයකි. දළදා වහන්සේ ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ වැඩ සිටි බව සිහිපත් කරනුවස් වර්තමානයේද ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් දින රාත්‍රි මහා පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට වැඩමකර, පසුදින දවල් පෙරහරෙන් කරඬුව නැවත ශ්‍රී දළදා මාලිගාවට වැඩමවන තෙක් ගෙඩිගේ රාජ මහා විහාරයේ තැන්පත් කොට එහි වගකීම් හා භාරකාරත්වය අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත පැවරේ. පෙරහර කරඬුවේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සපයන අතර දියවඩන නිළමේ ගේ සහ ශී‍්‍ර විෂ්ණු මහ දේවාලයේ බස්නායක නිළමේ නිර්දේශයෙන් කරඬුවේ ආරක්ෂාව වෙනුවෙන් බස්නායක නිළමේ කෙනෙකුද පත් කෙරේ. සංඝයා වහන්සේ විසින් සිදුකරනු ලබන තේවා කටයුතු සහයට ශ්‍රී දළදා මාළිගාවේ පල්ලේමාලේ රාල පත් කරයි. තුන්තිස් පැයේ ශබ්ද පූජාවන් අඛණ්ඩව පැවැත්වීමට කවිකාර මඩුව සහ හේවිසි වාදකරුවන් පත් කෙරේ. ශී‍්‍ර දළදා සමිඳු උදෙසා ශී‍්‍ර දළදා මාලිගාවේදී සිදුකරන සියලු හේවිසි ශබ්ද පූජාවන්, මාලිගාවේ රාජකාරිය සිදු කරන අතර මුළුතැන් පූජා ශ්‍රී දළදා මාලිගාවේ සිට පංචතූර්ය නාද හේවිසියෙන්,ගෙඩිගේ විහාරයට රැගෙන එවූ ලබන්නේය.දවසේ සියලු රාජකාරියන් බුද්ධ පූජාවන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක මා හිමි ප්‍රධාන ගෙඩිගේ විහාරයේ නායක හිමි ඇතුළු අස්ගිරි මහා විහාරයෙ මහා සංඝරත්නය විසින් ඉටුකරති. ශ්‍රී දළදා සමිඳු උදෙසා සිදුකෙරෙන සියලු පුදසිරිත් චාරිත්‍ර සියල්ල මෙදින ඉටුකරනුයේ ශ්‍රී දළදා මාලිගාව හැර මෙම ගෙඩිගේ රජමහා විහාරයේ පමණි. දළදා පෙරහර ගමන් කරන මෙරට එකම සිද්ධස්ථානයද ගෙඩිගේ රාජමහ විහාරයයි. ශී‍්‍ර දළදා මාලිගාවට වන්දනා මාන කිරීමට ඇසළ පෙරහර සමයේ පැමිණෙන සැදැහැවතුන් ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරය වැඳ පුදාගෙන සිදුකරනු ලබන දළදා සමිඳු තේවා චාරිත්‍ර දැක බලා ආසිරිවාදයත් මෙන්ම අවබෝධයක් ලබා ගනිති. ඈත අතීතයේ සිට පවත්වාගෙන එනු ලබන මෙම පුද චාරිත්‍ර අඛණ්ඩව අද දක්නට ලැබෙන්නේද මෙම සිද්ධස්ථානයේ පමණි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]