UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රථම ධර්ම සංගායනාව ඇරැඹි නිකිණි පොහොය

ප්‍රථම ධර්ම සංගායනාව ඇරැඹි නිකිණි පොහොය

නිකිණි පොහොය ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම ,ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මග හැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය සම්බන්ධයෙන් වැදගත් තැනක් ගනියි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධි දෘෂ්ටීන් සියල්ල මුලිනුපුටා දමා ශාසනය චිරස්ථායි කිරීමේ උදාරාධ්‍යාශයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව පැවැත්වීය. බුදුරදුන් දේශනා කළ ධර්මය ක්‍රමානුකූලව සකස්කොට එය ආරක්ෂා කරලීම සඳහා ගත් මූලික පියවර වශයෙන් එය හැඳින්විය හැකිය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධිය වේ. ධර්ම සංගායනාවට පෙර බුදුරදුන් ගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීමද තවත් වැදගත් සිදුවීමකි.

විනය විරෝධීන් ගේ එක් සංකේතයක් වූ සුභද්‍ර භික්ෂුවගේ විනය විරෝධි ප්‍රකාශය ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා මූල හේතුව වූ බව චුල්ල වග්ග පාලියෙහි දැක්වෙයි. ශාස්තෘ වියෝගයෙන් වැලපෙන භික්ෂූන් වහන්සේ අමතා ඔවුන් අස්වැසීම් වස් සුභද්‍ර මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කෙළේය.

අලං ආවුසො මා සොචිත්ථ , මා පරිදේවිත්ථ ,
සුමුත්තා මයං තෙන මහා සමණෙන උපද්දුතාච
මයං හොම ඉදං වො කප්පති, ඉදං වොන
කප්පතී’ති ඉදානි පන මයං ය ඉච්ඡිස්සාම
තං කරිස්සාම ,යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමාති,

මෙහි සිංහල අර්ථය මෙසේය

ඇවැත්නි, කම් නැත, ශෝක නොකරමු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැපය.මෙය තොපට නොකැප යයි, කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නොකරන්නෙමු.

සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයෙකු ගේ ප්‍රකාශයක් පමණක්ම මෙම සංගායනාව පැවැත්වීමට හේතු වී යැයි, සිතීම දුෂ්කරය. සුභද්‍රගේ ප්‍රකාශය ඒක පුද්ගල ප්‍රකාශයක් වශයෙන් තක්සේරු කිරීමට වඩා එම පසුතලයෙහි සිට ඒ හා සමාන ආකල්පවලින් යුතුව එය අනුකරණය කළ පිරිසක් එකල සිටි බව නිගමනය කිරීම සහේතුකය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසනභාරධාරි මහතෙරවරුන් වහන්සේලා විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක් සේ සැලකීම වඩා උචිතය.

බුද්ධ කාලීනවම භික්ෂූන් වහන්සේ අතර විවිධ මතභේද ඇති වූ බව ත්‍රිපිටක සාහිත්‍යය විමසීමේදී පැහැදිලිව දැකිය හැකි කරුණකි. දේවදත්ත , සාතිය ,අරිට්ඨ , සුනක්ඛත්ත, ඡබ්බග්ගිය , ඡන්න ආදී භික්ෂූන් ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන් ගේ ක්‍රියා කලාපයන් තුළින් එය වඩාත් ප්‍රකට කෙරෙයි. මින් ඇතැම් භික්ෂූහු ධර්ම විනය තම තමන් ගේ රුචිඅරුචිකම් අනුව විග්‍රහ කිරීමට පෙළඹුණාහ. බුදුරදුන් පෙන්වාදුන් චින්තන නිදහස අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන් මෙවන් දේ සිදු වූ බැව් පෙනේ. ක්‍රමික ලෙස සංවර්ධනය වූ භික්ෂු සංස්ථාව තුළ නා නා මතධාරි භික්ෂූන් සිටි බව මෙයින් පැහැදිලිය.

බුදුරදුන්ගෙන් පසු ශ්‍රාවකයන් පාලනය කිරීමේ නායකයෙකු නොසිටි හෙයින් ධර්මයේ චිරස්ථිතිය සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුව පැවතිණ, එසේ නොවූයේ නම් විවිධ මතධාරි භික්ෂූන් නිසා ධර්මය දුර්මත හා මිශ්‍රව විනාශ මුඛයට යාමට ඉඩ තිබුණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනභාරය ඉසිලීමට සුදුසුව සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරදුන් ඒ ඒ ස්ථානවලදී දේශනා කළ නානා වර්ගයනට අයත් ධර්ම කොට්ඨාසයන් ක්‍රමානුකූලව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත්, ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කිරීම තුළින් ඒ බව වටහාගත හැකිය. බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව රජගහනුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහා ද්වාරයෙහි දී මෙම ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීය.

මෙය ඉතා පිරිසුදුව සිදු කිරීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අභිප්‍රාය විය. එබැවින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේලා එකුන් පන්සිය නමක් (499) සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා අතරින්ම තෝරා ගැනිණි. මේ වන විට රහත් නොවූහෙයින් ආනන්ද හිමියෝ මෙයට ඇතුළත් නොවූහ. එහෙත් ආනන්ද හිමි නොමැතිව මෙය කළ නො හැකි බැවින් උන්වහන්සේ සංඝ සම්මතයෙන් මේ සඳහා තෝරා ගත්හ. එසේ වුවද සංගායනා දිනට පෙර දින රැයෙහි ආනන්ද හිමි රහත් ඵලයට පත් වූ හෙයින් රහතන් වහන්සේලාම 500 නමක ගෙන් යුක්තව සංගායනාව සිදු කිරීමට හැකි වූ බව පෙනේ.

සප්තපර්ණී ගුහාද්වාරයට රැස් වූ භික්ෂූහු ධර්ම සංගායනාවට සූදානම් වූහ. ආනන්ද හිමියෝ රහත්බව ලබා අන්තිමටම සභාගැබට පිවිසියහ. සංගායනාවේ ථෙරාසනය හෙබ වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ “සුණාතු මෙ ආවුසො සංඝො, යදි සංඝස්ස පත්තකල්ලං අහං ආයස්මන්තං උපාලිං විනයං පුච්ඡෙය්‍යන්ති” ලෙස ප්‍රථම වරට විනය ප්‍රශ්නය ආරම්භ කළහ. මුළු විනය පිටකයම උපාලි හිමියන් ලවා සජ්ඣායනා කරවූයේ පුච්ඡා විසජ්ජන ක්‍රමය (ප්‍රශ්නෝත්තර ක්‍රමය) මගිනි. සෑම විනය ශික්ෂා පදයක්ම වස්තු, නිදාන, පුද්ගල , ප්‍රඥප්ති ,අනුප්‍රඥප්ති, ආපත්ති, ආනාපත්ති ආදි සියුම් විස්තර සහිතව සංගායිතය.

අනතුරුව ධර්මය සංගායනා කළේය. මෙයද පෙර කී ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ආනන්ද හිමියන් ලවා පංච නිකායම සංගායනා කරවීමෙන් නිම කළේය. ඛුද්ධානුඛුද්දක (කුඩා –අනුකුඩා) ශික්ෂා පද බැහැර කිරීමට බුදුරදුන් අවසර දුන් බව සංගායනාව අවසානයේදී ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. එම නිවේදනය ඇසූ භික්ෂූන් වහන්සේලා කුඩා – අනුකුඩා ශික්ෂාපද කවරේදැයි වාදවිවාද ඉපදවූහ.ආනන්ද හිමියෝ බුදුරදුන් වෙතින් ඒ පිළිබඳ නිර්වචනයක් ලබා නොතිබුණාහ. එම නිසා සතර පාරාජිකා හැර සෙසු සියල්ලම ඒ ගණයට ඇතුළත් කිරීමට ඇතැම් භික්ෂූහු පෙළඹුණාහ. ඇතැම්හු ඊට වෙනස් මත දැක්වූහ. මෙහිලා පහසු විසඳුමක් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරිපත් කළහ. එනම් කුඩා –අනුකුඩා ශික්ෂාපද වෙනස් කිරීමට බුදුරදුන් අවකාශ ලබා දුන්නද පැන වූ ශික්ෂාපද සියල්ලම එලෙසින්ම පවත්වාගෙන යාමට සම්මත කරගත යුතු බවයි. උන්වහන්සේ ඉදිරිපත් කළ මෙම යෝජනාව කර්ම වාක්‍යයකින් ස්ථිර කෙරිණි. පසුව පෙර බුදුරදුන්ගේම ඉල්ලීමක් පරිදි ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩය සම්මත කර ගත්තේය. එනම් හික්මෙන තුරු කතාබහ නොකිරීම හා අවවාද අනුශාසනා නොකිරීමයි. එම දඬුවම අසා සිහි මුර්ජිත වූ ඡන්න හිමියෝ කෙලෙස් තැවීමේ වීර්යය ඇතිව ක්‍රියාකොට නොබෝ කලෙකින්ම රහතන් වහන්සේලා අතර එක්නමක් වූහ. එවිට බ්‍රහ්ම දණ්ඩය ද සන්සිඳුණේය.

ප්‍රථම සංගායනා වාර්තාව අනුව භික්ෂූහු ආනන්ද හිමියන්ට චෝදනා පහක් ද ඉදිරිපත් කළහ. එනම් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කවරේදැයි , බුදුරදුන්ගෙන් නොවිචාරීම , බුදුරදුන්ගේ වැසිසළුව පයින් මැඩගෙන මැසීම, පිරිනිවි බුදු සිරුර පළමුව කාන්තාවන් ලවා වැන්ඳවීම හා ඒ නිසා හඬන්නා වූ ඔවුන්ගේ කඳුළු බුදු සිරුර ගැල්වීම, බුදුරදුන්ට ආයුෂ් කල්පයක් වැඩසිටින සේක්වායි, ඇරයුම් නොකිරීම, ශාසනයෙහි කාන්තා පැවිද්දට උත්සාහවත්වීම යන චෝදනාවන්ය. ආනන්ද හිමියෝ මේවා සියල්ලටම තමා නිවැරදි කරුවීමට ඇති හේතු ඉදිරිපත් කළහ. එසේ වුවත් සංගීතිකාරක මහතෙරුන් වහන්සේලා කෙරෙහි ඇති ගරුත්වය නිසා ඒ සියල්ලම වරදවා කරන ලදැයි, ප්‍රකාශ කළහ. සංගායනාව අවසානයේදී ස්ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා සුරක්ෂිත කරගැනීම පිණිස භික්ෂු පරම්පරාවනට පැවරූ බව පෙනේ. බුදුදහම චිරාත් කාලයක් පවත්වාගෙන ඒම සඳහා මෙම කාර්යය උපස්ථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ. මේ අනුව බුදුදහම ක්‍රමානුකූල පදනමක් මත ස්ථාවර වූයේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුව බව සඳහන් කළ හැකිය.

අවසන් රන්දෝලි මහ පෙරහර

මහනුවර ඇසළ මහ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කරනුයේ නිකිණි පොහෝදා රාත්‍රි කාලයේය. දළදා වහන්සේට ගෞරව දැක්වීම සඳහා පෙරහර පැවැත්වීමේ සිරිත ලංකාවට දළදාව වැඩමවීම දක්වාම අතීතයට දිව යයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]