UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය සාර්ථකව ගත කරන්නේ කෙසේද?

ඇතැම් මිනිස්සු වැඩි ආදායමක් ලබමින් යන්තමින් යැපේ. ඉතාම දුකසේ ජීවත්වේ. එබඳු අයගේද දියුණුවක් දැකිය නොහැකිය. ඔවුහුද නොකා මැරෙන්නෝ යැයි සමාජයේ ගර්හාවට ලක්වේ. බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයා මෙම වැරදි ක්‍රියා කලාප දෙකෙන්ම වෙන්වී මධ්‍යස්ථ ජීවන රටාවක් අනුගමනය කරයි. මෙහිදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන අංශ කිහිපයකි.

බෞද්ධ දර්ශනයෙහි ගිහි පැවිදි දෙපාර්ශ්වයෙහිම උභයාර්ථ ජීවන සාධනය උදෙසා ඉවහල්වන බොහෝ කරුණු ඇතුළත්ව ඇත. ත්‍රිපිටකාන්තර්ගත සෑම ධර්ම කරුණක්ම ලොව ජීවිතයට වැඩදායක ඒවාය.

ඒවා අතරින්

ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය ප්‍රධාන තැනක් ගනී. ව්‍යග්ඝපජ්ප සූත්‍රයේ දෙලොව දියුණුව සලසා ගැනීමට ඉවහල් වන කරුණු අටක් දැක්වේ.

එම සූත්‍ර ධර්මය බුදුරජාණන් වහන්සේ “දීඝජාණුූ” නම් කෝලිය පුත්‍රයාගේ ආරාධනයෙන් දේශනා කර ඇත. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ “කක්කර පත්ත” නම් කෝලිය ගමට වැඩම කළේය. එසේ වැඩම කළ අවස්ථාවේදී දීඝජානු නමැති කෝලිය පුත්‍රයා තවත් පිරිසක් සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයට පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකත් පසෙක සිටියේය. එකත්පස්ව සිටිනුයේ මෙසේ කීය.

“ස්වාමීනි, අපි පස්කම් සැප අනුභව කරමින් වුන් නිසා වන කරදර සහිතව මල් ගඳ විලවුන් ආදිය දරමින් රන් රිදී මසු කහවනු පරිභෝග කරමින් ගිහිව ජීවිත ගත කරන්නෙමු.

ස්වාමිනි ,එසේ ජීවිත ගත කරන අපට අනුකම්පා කරමින් මෙලොව දියුණුව පිණිස උපකාර වන පරලොව දියුණුව පිණිස උපකාර වන මෙම උභයාර්ථ අභිවෘද්ධිය සඳහා උපකාර වන ධර්මයක් දේශනා කරන සේක්වා” යැයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කර සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ එම දීඝජානු කෝලිය පුත්‍රයා ඇතුළු පිරිස කළ ආරාධනාව අනුකම්පාවෙන් ඉවසා ඔවුන්ට මෙලොව හිත සුව පිණිස පවතින්නා වු දිට්ඨධම්ම හිත සම්පදා , දිට්ඨධම්ම සුඛ සම්පදා කරුණුූ සතරක් ද පරලොව හිත සුව පිණිස පවතින සම්පරාය හිත සම්පදා ,සම්පරාය සුඛ සම්පදා කරුණූ සතරක්ද ඇතුළත් කරමින් මෙම ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාව කළ සේක.

එම සූත්‍ර ධර්මයේදී මෙලොව දියුණුව සලසන කරුණු සතරක්ද, පරලොව දියුණුව සලසන කරුණු සතරක්ද ආදි වශයෙන් දේශනා කර තිබුණද පොදුවේ මෙම කරුණු අටම (8) දෙලොව දියුණුව සඳහා ඉවහල් වන බව විශේෂයෙන් දැනගත යුතුය. එය සූත්‍රය විමර්ෂණාත්මකව අධ්‍යයනය කිරීමේදි මනාව ප්‍රත්‍යක්ෂ වේ.

මෙම ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පළමුව පුද්ගලයකුගේ මේ ලෝකය වශයෙන් ජීවිතය සලසාගත හැකිවන කරුණු සතරක් ඉදිරිපත් කරයි.

චත්තාරෝ මේ ව්‍යග්ග පජ්ජ ධම්මා දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය

ආදි වශයෙන්

මෙම ව්‍යග්ඝපජ්ජ ධර්මයෝ මෙලොව හිත පිණිස මෙලොව සුව පිණිස පවතී.

එම ධර්මයන් නම්

1.උට්ඨාන සම්පදා – උත්සාහ සම්පත්තිය
2.ආරක්ඛ සම්පදා – ආරක්ෂා සම්පත්තිය
3.කල්‍යාණ මිත්තතා – කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
4.සමජීවිකථා – පමණ දැන සමව ජීවත්වීම

උත්සාහ සම්පත්තිය

මෙහිදී පළමුව උට්ඨාන සම්පදා වශයෙන් දේශනා කරන්නට යෙදුනේ උත්සාහ සම්පත්තියයි. සෑම ක්‍රියාවකදීම උත්සාහය අත්‍යවශ්‍ය කරුණකි. කිසිම පුද්ගලයෙකුට උත්සාහයෙන් තොර දියුණුවක් ලැබිය නොහැකිය. දියුණුව කැමැති යම් පුද්ගලයෙක් වේ නම් , ඔහු තුළ උත්සාහය ඇතිකර ගත යුතුම වේ. එම නිසා දියුණු වේ අත්තිවාරම ලෙස උත්සාහය දැක්විය හැකිය. උත්සාහ සම්පත්තිය බුදුරජාණන් වහන්සේ සෑම තැනකදීම ඇති කරගත යුතු වැදගත් ගුණාංගයක් ලෙස දේශනා කර ඇත.

මෙම සූත්‍රයේදී උත්සාහය යන ගුණය මෙලොව දියුණුව සඳහා නිර්දේශ කර ඇත. පරලොව දියුණුවටද උත්සාහය එකසේම උපකාරිවේ. නිදසුනක් ලෙස මෙලොවදී පින් කිරීමට උත්සාහයක් නොදැක්වුවහොත් එය පරලොව පිරිහීමට හා දුගතිගාමී වීමටද හේතුවකි.

මෙලොවදී උත්සාහයෙන් යුතුව කුසල් කර ගතහොත් ඔහුගේ පරලොව දියුණුවට හා සුගතිගාමී වීමට හේතුවේ.

එම නිසා මෙලොව සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන මෙම උට්ඨාන සම්පදා හෙවත් උත්සාහ සම්පත්තිය පරලොව දියුණුවටද හේතුවන ගුණධර්මයක් බව දැනගත යුතුය.

ව්‍යග්ඝපජ්ජ සුත්‍රයේදී උට්ඨාන සම්පදා හෙවත් උත්සාහ සම්පත්තිය ලෙස දක්වන්නට යෙදුනේ උත්සාහයෙන් යුතුව ධනය ඉපයීමයි.

එය මෙම සූත්‍රයේදී
උට්ඨාන වීරියාධිගතා
බාහාබල පරිචිතා
සෙදාවක්ඛිත්තා
ධම්මිකා ධම්මලද්ධා

ආදි වශයෙන් විස්තර කරයි.

උත්සාහයෙන් යුතුව උට්ඨාන වීරියාධිගතා, දෙබාහුවේ වීර්යයෙන් බාහාබල පරිචිතා දහඩිය හෙළා, සෙදාවක්ඛිත්තා, ධාර්මිකව ධම්මිකා ධාර්මික ක්‍රියා අනුගමනය කරමින් ධම්ම ලද්ධා ධනය උපයා ගැනීමයි.

ධනය,ජීවන යාත්‍රාවේ මූලික කරුණකි. එම නිසා ධනය ඉපයීම සඳහා උත්සාහය ඇතිකරගත යුතුම වේ. අඹූදරුවන් පෝෂණය කරමින් ජීවත්වන සමාජගත පුද්ගලයාට ධනය අත්‍යවශ්‍ය වේ. ධනය නැතිව ගිහිගෙදර විසිය නොහැකිය. දියුණුවක් ලැබිය නොහැකිය. එම නිසා පළමුව ධනය ඉපයීම සඳහා උත්සාහ කළ යුතුය.

මෙම සූත්‍රයේදී දැහැමිව ධනය ඉපයිය යුතු ධාර්මික රැකියා අංශ හයකට අවධානය යොමුකර තිබේ.

ඒවා නම්

1.කෘෂිකර්මය 2.වෙළෙඳාම 3. ගව පාලනය 4.ආරක්ෂක සේවය 5.රාජ්‍ය සේවය 6. වෙනත් ශිල්ප කර්මාන්තාදිය

මෙම රැකියා ක්‍රම සයෙන් එකක් හෝ කිහිපයක් තෝරාගෙන ධාර්මිකව උත්සාහයෙන් යුතුව ධනය ඉපැයීම කළ යුතු වෙයි. එය භමරසේසව ඉරියතො ආදි වශයෙන් දක්වන ලද පරිදි මී මැස්සා මලෙන් රොන් ගන්නා ආකාරයෙන් කළ යුතුය. එසේ කරන පුද්ගලයාට මෙලොව දියුණුව නිරායාසයෙන් උදාකරගත හැකිය.

ආරක්ෂා සම්පත්තිය

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී මෙලොව දියුණුව පවත්නා කරුණු සතරෙන් දෙවන කරුණ ලෙස දැක්වෙන්නේ

ආරක්ඛ සම්පදා හෙවත් ආරක්ෂා සම්පත්තියයි

මෙහිදී ආරක්ෂාව ලෙස දක්වන්නේ ඉහත උට්ඨාන සම්පදා යටතේ දක්වන්නට යෙදුනු පරිදි උත්සාහයෙන් ධාර්මිකව උපයාගත් ධනය ආරක්ෂා කර ගැනීමයි. මෙහිදී ධනය විනාශ වී යා හැකි ක්‍රම මනාව වටහාගත යුතුය. ධන විනාශ වන ක්‍රම කිහිපයක් කෙරෙහිද මෙහිදි අවධානය යොමු කර ඇත.

ඒවා නම්

1.රාජසන්තක වීම 2.සොරුන් විසින් පැහැර ගැනීම 3. ගින්න, ජලය ආදි ස්වභාවිකව විපත්වලින් 4.තමා පි‍්‍රය නොකරන අයට අයත්වීම ආදි වශයෙන් ධනය විනාශ වී යා හැකිය.

තවද සිඟාලෝවාද සූත්‍රයෙහි පුද්ගලයෙකුගේ ධනය විනාශ වීමට මුල්වන ධන විනාශ මුඛ හෙවත් ධනය විනාශ වී හැකි දොරටු හයක් දක්වා ඇත.

ඒවා නම්

1.සුරාපානය කිරීම
2.නොකල්හි වීථි සංචාරය කිරීම
3.උත්සව, දර්ශන ආදියෙහි ලොල් වීම
4. දූ කෙළියෙහි යෙදීම
5. පවිටු මිතුරන් ආශ්‍රය කිරීම
6.අලසකම ආදියයි

මේ ආදි වශයෙන් සඳහන් වන ධනය විනාශ වී යා හැකි ක්‍රම මනාව අවබෝධ කරගෙන ඒවායින් ඈත්වී ධනය ආරක්ෂා කර ගැනීම කළ යුතු වේ. නැතහොත් පිරිහුණු පුද්ගලයෙක් බවට පත්වේ.

පරාභව සූත්‍රයේද පිරිහීමට කරුණු ලෙස මේවා දක්වා ඇත.

ඉත්ථි ධුත්තො සුරා ධූත්තෝ
අත්ථ ධූත්තො ච යෝ නරො
ලද්ධං ලද්ධං විනාසෙති
තං පරාභවතෝ මුඛං

ස්ත්‍රීන් කෙරෙහි, සුරාව හා සූදුව කෙරෙහි යම් මිනිසෙක් ගිජුවේද ඔහු ලබන ධනය විනාශ කරයි. එය පිරිහීමට දොරටුවකි.

මේ ආදි වශයෙන් රැස්කළ ධනය රැකීම බෞද්ධ දර්ශනයෙහි ඉතාම අගය කොට දක්වා ඇත. එම නිසා පුද්ගලයෙකුගේ මෙලොව දියුණුව පවතින දෙවන කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී ආරක්ෂා සම්පත්තිය සඳහන් කර ඇත.

කල්‍යාණ මිත්‍ර ආශ්‍රය

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි පුද්ගලයෙකුගේ මෙලොව හිත සුව පිණිස පවතින තෙවන කරුණ වශයෙන් කල්‍යාණ මිත්තතා – කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දක්වා තිබේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඉතා වටිනා ගුණ ධර්මයකි. මෙය බොහෝ සූත්‍ර දේශනාවන්හි වැදගත් ධර්ම කරුණක් ලෙස දේශනා කර ඇත. ප්‍රධාන වශයෙන් මහා මංගල සූත්‍රයේදී මංගල කරුණු අතර දෙවන මංගල කරුණ ලෙස,

පණ්ඩිතානංච සේවනා පණ්ඩිතයන්ගේ ආශ්‍රය වශයෙන් දක්වා ඇත.

මේ ආදි වශයෙන් පුද්ගලයෙකුගේ මෙලොව අධ්‍යාත්මික හා බාහිර යන උභය දියුණුවම ලබා ගැනීමට ඉතා වැදගත් කරුණක් ලෙස කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දැක්විය හැකිය. කල්‍යාණ මිත්‍රයන් සතර දෙනෙකු ධර්මයෙහි සඳහන් වේ. ඔවුන් නම් 1.උපකාර මිත්‍රයා 2.සමාන සුඛ දුක්ඛ මිත්‍රයා 3.අනුකම්පක මිත්‍රයා 4.අත්තක්කායි මිත්‍රයා

යන කල්‍යාණ මිත්‍රයෝ සතර දෙන ආශ්‍රය කළ යුතු වෙයි. ඔවුන්ගේ ආශ්‍රය තුළින් පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික හා බාහිර යන උභය අංශයේම දියුණුව ලබාගත හැකිය.

සමජීවිකථා

සමජීවිකථා යන්න සිව්වන කරුණයි. සමජීවිකථා යනු පමණ දැන සමව ජීවත්වීමයි. දියුණුව කැමති පුද්ගලයා අය වැය තුලනය කර ගැනීම අවශ්‍ය කරුණකි. තමා උපයන ධනයට වඩා වියදම් කළහොත් එම පුද්ගලයාගේ දියුණුවක් දැකිය නොහැකිය. සුළු ආදායමක් ලබා වැඩියෙන් වියදම් කරන්නා මෙහිදී දිඹුල් කන්නෙකුට උපමා කර තිබේ.

තමා උපයන ධනයෙහි ප්‍රමාණය මනාව අවබෝධ කරගෙන ඒ හා සමානව තමාගේ අවශ්‍යතා සපුරාගත යුතුය. නූතන සමාජගත බොහෝ මිනිස්සු අඩු ආදායමක් ලබමින් අසීමිත අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කරති. එවැනි පුද්ගලයින්ගේ පිරිහීම මිස දියුණුවක් දැකිය නොහැකිය. එවැනි පුද්ගලයින් සමාජයේ ගැරහුමට ලක්වේ. එම නිසා දියුණුව සඳහා අය වැය තුලනය කර ගැනීම අවශ්‍ය වේ.

එසේම ඇතැම් මිනිස්සු වැඩි ආදායමක් ලබමින් යන්තමින් යැපේ. ඉතාම දුකසේ ජීවත්වේ. එබඳු අයගේද දියුණුවක් දැකිය නොහැකිය. ඔවුහුද නොකා මැරෙන්නෝ යැයි සමාජයේ ගර්හාවට ලක්වේ. බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයා මෙම වැරදි ක්‍රියා කලාප දෙකෙන්ම වෙන්වී මධ්‍යස්ථ ජීවන රටාවක් අනුගමනය කරයි. මෙහිදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන අංශ කිහිපයකි. ඒවා නම්

1.ආයෝජනය කිරීම 2.ඉතිරි කිරීම 3. වගකීම් , යුතුකම් ඉටු කිරීම 4. ස්වකීය සුව පහසුව සලසා ගැනීම

ධනය වියදම් කළ යුත්තේ කෙසේද?

මෙම අංශ හතරට ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතුය. පළමුව ඉපයීම කළ යුතුය. එසේ ඉපයූ ධනය ක්‍රමානුකූලව වියදම් කළ යුතුය.එසේ වියදම් කළ යුතු ආකාරය සිඟාලෝවාද සුත්‍රයෙහි මෙසේ දක්වා තිබේ.

ඒකේන භෝගේ භුඤෙජය්‍ය
ද්වීහි කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති

තමා උපයන ධනය කොටස් හතරකට බෙදා වියදම් කළ යුතු ආකාරය එම ගාථා පාඨයේ දැක්වේ.

01. ඒකෙන භොගේ භුඤෙජය්‍ය

කොටස් හතරෙන් එක් කොටසක් (භුඤෙජය්‍ය) අනුභවය පිණිසද තමාගේ හා අඹුදරුවන්ගේ යැපීම පිණිස යොදාගත යුතුය. නිදසුනක් ලෙස රුපියල් 10000 ක් උපයන පුද්ගලයා එය හතරට බෙදා 1/4ක් හෙවත් රුපියල් 2500 ක් තමා ඇතුළු පවුලේ අයගේ යැපීම පිණීස යෙදවිය යුතුය. දානාදි පොදු කටයුතු වලට පරිත්‍යාග කිරීම ආදියද එයින්ම කළ යුතුය.

02.ද්විහි කම්මං පයොජයෙ –

ඉන් කොටස් දෙකක් හෙවත් 2/4 තමා ධනය උපයන රැකියාව හෝ කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා යෙදවිය යුතුය. ධනය උපයන අංශය දියුණු කර ගැනීම සඳහා යෙදවිය යුතුය. ධනය උපයන අංශය දියුණු කර ගැනීම සඳහා මෙහිදී වැඩි අවධානය යොමුකර තිබේ. තමාට ඉදිරියටත් ධනය උපයා ගැනීමට නම් තමා කරන කර්මාන්තය පැවතිය යුතුය. දියුණු විය යුතුය. එම නිසා මෙහිදී වැඩි අවධානය ඒ සඳහා යොමුකර තිබේ.

03.චතුත්ථංච නිධාපෙය්‍ය

කොටස් සතරෙන් ඉතිරි කොටස හෙවත් 1/4ක් ඉතිරි කළ යුතුය. කුමක් නිසාද යත් ආපදාසුභවිස්සති. ආපදාවක් ලෙඩක්, දුකක් වූ විට ගැනීම සඳහාය. සෑම පුද්ගලයෙක්ම ආපදාවනට ලක්වීම, ලෙඩ වීම සාමාන්‍ය දෙයකි. එබඳු අවස්ථාවන්හිදි ඒවා සමනය කර ගැනීම සඳහා ධනය අවශ්‍ය වේ. එම නිසා කොටසක් ඉතිරි කිරීම කළ යුතුම ක්‍රියාවකි.

මේ අනුව තමා උපයන ධනය අනුව වියදම් කිරීම කළ යුතුය. එය සමජීවිකථා හෙවත් පමණ දැන ජීවත්වීම වශයෙන් දක්වා තිබේ. එය මෙලොව දියුණුව සඳහා විශේෂයෙන් වැදගත් වේ.

මේ ආදි වශයෙන් දැක්වූ ව්‍යග්ඝපජ්ජ සූත්‍රාන්තර්ගත මෙලොව දියුණුවට හේතුවන

1.උට්ඨාන සම්පදා (උත්සාහය)
2.ආරක්ඛ සම්පදා (ආරක්ෂාව)
3.කල්‍යාණ මිත්තතා (කල්‍යාණ මිත්‍ර ආශ්‍රය)
4.සමජීවි කථා (පමණ දැන සමව ජීවත්වීම)

යන කරුණු සතර අනුව ජීවිතය හැඩගස්වා ගන්නා වූ පුද්ගලයා දිනෙන් දින දියුණුව කරා ගමන් කරයි. ඔහුට දියුණුවේ රුවන් දොරටු විවර වේ.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය
අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]