UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ දී මහත් හරසර මැද රෝපණය කළ බෝ සමිඳු...

තායිලන්තයේ දී මහත් හරසර මැද රෝපණය කළ බෝ සමිඳු...

තායිලන්ත රජ පවුලට අයත් රාජකීය විහාරස්ථානය වන ඓතිහාසික වට් අරූන් විහාරස්ථානයේ මෙන්ම එරට උතුරු ප්‍රාන්ත අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තවත් ස්වාමීන්වහන්සේලා 09 නමකගෙන් සැදුම්ලත් තායිලන්ත විශේෂ බෞද්ධ ධර්ම දූත කණ්ඩායමක් පසුගිය වෙසක් මාසයේ දී මෙරට කරන ලද වන්දනාමය සංචාරයකදී අතිගරු ජනාධිපතිතුමන් හා ගරු අග්‍රාමාත්‍යතුමන් බැහැදකින ලදී. එම ගමනේ දී කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් තායිලන්තය වෙත බෝධීන් වහන්සේ නමක් පූජා කරන්නට අවැසි කටයුතු සූදානම් කරන්නට යෙදුණි.

ඒ අනුව, මහත් හරසර මධ්‍යයේ මෙරටින් පසුගියදා වැඩම කරවන ලද බෝ සමිඳුන්, තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී එරට ගෞරවණීය මහා සංඝරත්නය පෙරටු කරගත් බොදු බැතිමතුන් විසින් අභිමානයෙන් යුක්තව පිළිගන්නා ලද්දේ තම රටට, තම ජනයාට පිරිනැමුණු මහා දායාදයක් වශයෙනි.

මහත් ගෞරව බුහුමන් මධ්‍යයේ එදා පිළිගත් බෝ සමිඳුන්, බැංකොක් අගනගරයේ සිට කිලෝමීටර් 75 ක දුරකින් පිහිටි අයුත්තායා පළාතේ විශාලතම විහාරස්ථානය වන ‘වට් පයිලොම්’ විහාරස්ථානය වෙත පෙරහරකින් වැඩම කරවන ලද්දේ බොහෝ ජනකායකගේ සහභාගීත්වයකිනි. සුන්දර ගම් දනව් පසු කරමින් පුරා පැය දෙකකට ආසන්න ගමනකින් අනතුරුව අප එම විහාරස්ථානය වෙත සම්ප්‍රාප්ත වූ අතර, විහාරස්ථානයේ තනන ලද විශේෂ කුටියක තබා බෝ සමිඳුන් වෙනුවෙන් සියක් නමක් වූ මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර විශේෂ ආගමික වතාවත් පවත්වා පිරිත් පැන් ඉස ඉතාමත් ඉහළ පූජෝපහාරයන් දක්වන ලදී.

විශාල බිම්කඩක පිහිටි මෙම විහාරස්ථානයේ, ඉන්දියාවේ බුද්ධගයා විහාරයේ අනුරුවක් ද දැනට ඉදිවෙමින් පවතී. ඒ ආසන්නයේ ම බෝ සමිඳුන් රෝපණය කරන්නට තීරණය කළ වට් පයිලොම් විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවාර්හ, පාරා සන්තූර්දමනුවට් නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඒ වෙනුවෙන් විශේෂ බිමක් ද සාදා එහි නෙළුම් මල් අතුරා තිබිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විහාරාධිපති නාහිමියන් ඇතුළු ආරාධිත ප්‍රභූ පිරිස විසින් රෝපණය කළ බෝ සමිඳුන් වෙත තායිලන්ත වත් පිළිවෙත් අනුව උපරිම ගෞරවය පූජෝපහාරයන් පූජා කෙරිණි.

අයුත්තායා පළාත් බොදු බැතිමතුන්ට පුද සද්කාර කරන්නට, වැඳුම් පිදුම් කරන්නට, ආශිර්වාදයන් ලබා ගන්නට බොහෝ කලක පටන් බෝධීන් වහන්සේ නමකගේ අඩුවක් පැවතිනි. එවන් කාලවකවානුවක වැඩම කරවන ලද මෙම බෝධීන් වහන්සේ නිසා මහත් සතුටට පත්ව විහාරස්ථාන පුදබිමට රැස්ව සිටි දහස් සංඛ්‍යාත බොදු බැතිමතුන් දොහොත් මුදුන් දී බෝ සමිඳුන් වෙත සාධුකාර පවත්වා තම තමන් විසින් රැගෙන එන ලද විවිධාකාර වූ මල්වලින් බෝ සමිඳුන් පුදන්නට වූයේ හද පුරා උතුරා ගිය භක්තියකිනි.

එම උත්සව අවස්ථාව වෙනුවෙන් විශේෂ ශූභාශිංසන පණිවිඩයක් එවා තිබූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, සිය පණිවිඩය ඔස්සේ පෙන්වා දී තිබුණේ, මෙලෙස පූජා කරන්නට යෙදුන මෙම බෝධීන් වහන්සේ තායිලන්ත වැසියන්ගේ පුද සත්කාර මැදින් බොහෝ සරුසාරව වැඩෙන්නා සේම, දෙරටේ සබැඳියාවන් තව තවත් දළු දා වැඩෙන බවයි. එමෙන්ම ආධ්‍යාත්මික පරිසරයක් තුළින් දීර්ඝ කාලීන සාමයක් හා මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විණි.

අප මහා බෝසතාණන් වහන්සේට එදා සාරා සංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට සෙවන සලසා දුන්නේ බෝධි වෘක්ෂයකි. බෝ සෙවණේ සිසිලස මැදින් ලබා ගත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය. සියලු ලෝ වැසියන්ගේ හිත සුව පිණිසම හේතු විණි.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]