UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
(සං:නි:04 සගය්හ සූත්‍ර 256 පිට බු,ජ,මු)

ජනසම්මත දුක පිළිබඳව බුද්ධ දේශනාවකි මේ ‘රූපා - සද්දා,රසා, ගන්ධා, ඵස්සා, ධම්මාච කෙවලා ඉට්ඨා කන්තා මනාපා ච යාවත්ත්ථිති වුච්චති , සදෙවකස්ස ලොකස්ස එතෙවො සුඛ සම්මතා යත්ථ චෙවිතො නිරුජ්ඣන්ති තං තෙසං දුක්ඛ සම්මතං”

දෙවියන් සහිත ලෝකයා සැපය ලෙස සම්මත කරගනුයේ යම්තාක් ඇතැයි සිතන පි‍්‍රය කැමැති මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ධර්ම යෝය.මේ කාමගුණ යම් තැනෙක නැතිද එය ඔවුනට දුක්ඛ සම්මතයකි.”

මෙම ජන සම්මතය ‘පටිසොතගාමී’ (වෙනස් මගකට යොමුකරලීම බුදුන් වහන්සේ ගේ කාර්ය වීය. පැහැදිලි කරන්න.

පිළිතුර
ජරා මරණ දුකට නිමාවක් පැන වීම බුදුරජාණන් වහන්සේගේ අපේක්‍ෂාව නම් උන්වහන්සේගේ ධර්ම සන්නිවේදනය ඒ අරමුණ උදෙසාමය. රාගයත් මෝහය ත් ද්වේෂයත් විසින් මැඩුණ සිත් ඇති සත්වයා ඉන් වෙනත් මගක් වූ පටිසොත ගාමී මඟකට (උඩුගංබලා) අවතීරණ කරලීමට නම් පුද්ගලයා තුළ ගැඹුරු කායික හා මානසික පරිවර්තනයක් කළ යුතුව තිබේ. ඉහත සඳහන් ජන සම්මත දුකකට නැඹුරු වූ ලෝකයාට දම් දෙසුවද ඔවුන් එය අවබෝධ නොකරන්නෙ නම් තමන්ට වෙහෙස පමණක් වේදෝය සලකා දම් දෙසීම පිළිබඳව බුදුවීමෙන් අනතුරව සැකයක් ඇතිවූ බව බුදුහු වදාළහ. එහෙත් අල්ප රජස්ක වූ ද (කෙලෙස්) මහා රජස්ක වූද තියුණු (ශ්‍රද්ධාදී) ඉන්ද්‍රියන් ඇත්තාවූද මෘදු ඉන්ද්‍රියන් ඇත්තාවූද යහපත් හා අයහපත් ආකාර ඇත්තාවූ ද පහසුවෙන් හා අපහසුවෙන් අවබෝධ කළ හැක්කාවූ පරලොව භය දකින්නා වූද නොදකින්නාවූද සත්වයන් ඇති බව බුදුනුවණින් සළකා අද්දසාඛො අහං භික්ඛවෙ බුද්ධ චක්ඛුනා ලොකං ඔලොකෙනේතො “ (අරිය පරියේසන සූත්‍ර) දම් දෙසීමට තීරණය කළහ.

ප්‍රශ්නය
බුදු දහමට අනුව ‘ජීවිතින්ද්‍රිය “ යනුවෙන් භාවිතා කරන්නේ කුමක් සඳහාද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
ඉන්ද්‍රිය යන වචනය නිෂ්පන්නව ඇත්තේ අධිපති හෙවත් පාලකයා “ යන අරුත දෙන “ඉන්ද්‍ර” ශබ්දයෙන් වන අතර ඒ අනුව ඉන්ද්‍රිය යන්නෙහි අධිපති අධිමොක්ඛ සහ අභිබවන යන ලක්‍ෂණ පවතී. ඒ අනුව ජීවින්ද්‍රිය යන්නෙන් මිනිසාගේ කායික සහ මානසික ක්‍රියාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ ශක්තිය අදහස් කළ බව පෙනේ. වෙනත් වචන වලින් කියතොත් ජීවිතයම ඉන්ද්‍රියයක් වේ. සප්‍රාණිකත්වයෙන් (ප්‍රාණය ඇති) පරිබාහිරව පවත්නා එය පාලනය කරුණු ලබන වෙනත් බල වේගයක් ජීවිතින්ද්‍රිය යන්නෙන් බුදුදහම අවධාරණය කොට නැත. බුදුගොස් හිමියන් “ඨිතිය හෙවත් අඛණ්ඩ පැවැත්ම ජීවිතින්ද්‍රියට යෙදිය හැකි තවත් නමක් ලෙස (ඨිතීති ජීවිතින්ද්‍රියස්ස එතං අධිවචනං (වි.ම.වි. 24 ) හඳුන්වා දී ඇත.

ප්‍රශ්නය
ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන ගාථාධර්මයකි මේ.

නත්ථි රාග සමො අග්ගි
නත්ථ දොස සමො කලී
නත්ථි ඛන්ධා සමා දුක්ඛා
නත්ථ සන්ති පරං සුඛං
ධ,ප.සුඛවග්ග 6

නත්ථී රාග සමො අග්ගි
නත්ථි දොස සමො ගහො
නත්ථී මොහ සමං ජාලං
නත්ථි තණ්හා සමා නදී
ධ.ප.18 මලවග්ග 17

ගාථා ධර්ම දෙකහිම සමානාර්ථ එක්ව ගත්විට රාගය සමාන ගින්නක්, ද්වේෂය සමාන අපරාධයක් මෝහය සමාන දැලක් තණ්හාව සමාන නදියක් පංචස්කන්ධයට සමාන දුකක් නැත. නිවනට වැඩි සුවයක් නැත.

බුදු දහමට අනුව බෞද්ධයෙකුගේ සම්මා සංකප්පය විය යුත්තේ මෙම දේශනාවයි පැහැදිලි කරන්න.

පිළිතුර
ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා දිට්ඨිය සම්මා සංකප්ප වෙත යොමුවෙයි. නිවැරැදි අදහස් නිවැරැදි සිතිවිලි යනු මෙය දැක්විය හැකිය.කෙනෙකු පිරිසුදු වන්නේ හෝ කිලිටි වන්නේත් ඔහුගේ සිතිවිලි නිසාය. සිතිවිලි වලින් ඔහුගේ ස්වරූපය විනිශ්චය වන අතර අනාගතය ද හැඩගැසේ. නරක සිතිවිලි නිසා පුද්ගලයා පහත හෙළන අතර යහපත් සිතිවිලි නිසා ඔහු උසස් වේ. සමහරවිට එක සිතිවිල්ලක් ලොවම විනාශකිරීමට හෝ රැක ගැනීමට සමත් විය හැකිය.

මේ කුසල හා අකුසල සිතිවිලි සියලු දෙනාගේම සිත තුළ නිලීනව (සැඟවී) තිබෙන පුහුදුන් මනසේ අනපේක්‍ෂිත අවස්ථාවලදී පාලනය කරගත නොහැකි තරම් වේගයෙන් යුතුව මතුවිය හැකිය. රහත් බවින් මේ සියලු කර්මයන් මුළුමනින්ම නැසී යන හෙයින් එතෙක් සසර පුරා සිත කය එක්ව (පුද්ගලයා) ගමන් කරයි.මෝහය හා එක්වු රාගය හා ද්වේෂය මේ මුළාවූ ලෝකයෙහි සියලු පාපයන් ගේ මූලික හේතුවයි. වර්තමාන බොදුනුවන් මේ පිළිබඳව වඩා සිතිය යුතුයි. සමස්ත ලෝකයාගේම සතුරා රාගයයි. සත්වයා වෙත සියලු පාපයන් ළංකර ගන්නේ පාපයන් නිසයි.මෙම රාගයට යම් බාධකයන් පැමිණිවිට ද්වේෂය වැළඳගත් අපරාධයක් බවට පත්වෙයි. පි‍්‍රය හෝ අපි‍්‍රය අරමුණ කෙරේ දක්වන ඇල්ම අනුව කායික හා මානසික උත්තේජනය ක්‍රියාත්මක වෙයි. කායික හෝ මානසික උත්තේජනය පංචස්ඛන්ධ මුල්කොට පවතී. තම භාවනාමය ප්‍රඥාවෙන් ආත්මය (මම) යන හැඟීම දුරලීමෙන් රාගය මෙන්ම ද්වේෂය ද දුරුකරගැනීම පරම සුවය වූ නිවන සාක්‍ෂාත් කරගත හැකිය.

ප්‍රශ්නය
ඉවසීම වඩන්නයි ආනන්ද හිමියන්ට අවවාද කළ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

අහං නාගොව සංගාමෙ
චාපාතො පතිතං සරං
අති වාක්‍යං තිතික්ඛිස්සං
දුස්සීලොහි බහුජ්ජනො

යුද බිමට ගිය ඇතෙක් ඊතල පහර ඉවසාගන්නාක් මෙන් මමද නින්දා බස් ඉවසාගතිමි. වැඩිදෙනා හික්මීමක් නැති මිනිස්සුය.

දන්තං නයන්ති සමිතං
දන්තං රාජාහි රූහති
දන්තො සෙට්ඨො මනුස්සෙසු
යොත වාක්ඛ්‍යං තිතික්ඛති

හික්මුණු ඇතාගේ අශ්වයා සභාමැදට ගෙන යති. හික්මුණු සතාගේ පිටමත රජුද නගිය. මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ නින්දා බස් ඉවසිය හැකි අයයි.

වරං අස්සතරා දන්තා
ආජානි යාව සන්ධවා
කුංජරාච මහානාගා
අත්ත දන්තො තතොවරං

හික්මුණු අශ්වතරයෝ උතුම් වෙති

අජානීය අශ්වයෝද දළ ඇති මහ ඇත්තුද එසේම උතුම්ය. එහෙත් මනාව හික්මුණු මිනිසුන් ඒ හැමටම වඩා උතුම් වෙති.

මෙම අවවාදය බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ අවස්ථාව කුමක්ද?

පිළිතුර
බුදුරජාණන් වහන්සේ නවවන වස කොසැඹෑ නුවර ගත කළහ. එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් නම් මාගන්දියා නම් රුසිරින් අගපත් යුවතිය තම දෙමව්පියන් සමඟ බුදුරජාණන් වහන්සේ හමුව ඇතිවූ සාකච්ඡාවෙහිදි බුදු බණ අසා මාගන්දියාගේ දෙමව්පියෝ අනාගාමී වූහ. එහෙත් බුදු වදනට කුපිත වූ මාගන්දියා උන්වහන්සේ කෙරේ බැඳගත් වෛරයෙන් වෙලී සිට පසුකලෙක රාජකීය දේවියක වීමෙන් උදේනි රජුගේ අග මෙහෙසිය වූවාය. එතැන් සිට රාජ්‍ය බලය යොදා දාමරික මිනිසුන්ට අල්ලස් දී බුදුරදුන්ට නින්දා අපහාසවන කටයුතු සැලසුම් කළාය. නගරයෙන් බුදු හිමි පලවා හරින්නට නොසරුප් වදනින් උන්වහන්සේ ඇතුළු මහ සඟනට ගැරහුම් කළහ.මෙම අපහාස දරා සිටින්නට නොහැකි ආනන්ද හිමියන් ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වූ විට ඉහත සඳහන් අවවාදය කළ සේක.

බුහුමන දෙමව්පියන් උදෙසාය.
පුබ්බාදේවාති –පූර්ව දෙවිවරු
පුබ්බාචරිය – පූර්වාචාර්ය වරු
ආහුනෙය්‍ය – දන්දීමාදී පරිත්‍යාගයන්ට සුදුසුය
මෙසේ වන්නට -හේතු

බහුපකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරෙති, මහණෙනි මව්පිය දෙදෙන දරුවනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිත ආරක්‍ෂාව හා පෝෂණය කරන්නෝ පමණක් නොව යහපත හා අයහපත කියාදෙන්නෝද වෙති.

ප්‍රශ්නය
කාමාවචර කුසලය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න

පිළිතුර
“කුස “ නමැති බුද්ධියෙන් ගත යුතු බැවින් “ කුසල “ නම්වෙයි. පාපී සිතිවිලි වනසන බැවින්ද කුසල නම් වෙයි. සිතත් සිතිවිලිත් පිරිසුදු කොට සැප විපාක ලබා දෙන නිසාද කුසල යන්න. පෙළදහමෙහි යෙදී ඇත.

කාමාවචර කුසල් කිරීමෙහිදී ශෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ඒ කුසල් සිත් සමඟ උපදී. ඉන් කුසලයට මුල් වන චෛතසික ධර්ම තුනකි. එනම් අලොභ, අදොස, අමොහ, යන කුසල් මුල් තුනයි.

කාය කර්ම වාග් කර්ම මනඞ කර්ම වශයෙන් කාමාවචර කුසලය තෙවදෑරුම් වෙයි. කාමාවචර කුසලය දාන ශීල භාවනා වශයෙන් ද තෙවදෑරුම්ය. සිත් වශයෙන් අටක් දස පින්කිරිය වත් වශයෙන් දස වැදෑරුම්ය. දස පින් කිරියවත් (දශ පුණ්‍ය ක්‍රියා වස්තු) කාමාවචර කුසල් සිත් අට යෙදේ.

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]