UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියානං

හිඟුල්වල සරණංකර නා හිමි

මොලගොඩ, කොටමුදුන්ගල, රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත,අස්ගිරි මහා විහාරයෙහි උපාධ්‍යාය ධුරන්ධර සිද්ධාන්ත විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යාලංකාර රත්න විභූෂණ හිඟුල්වල ශ්‍රී සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් 15 වෙනි දින 94 වෙනි වියට පාතැබූහ.

අස්ගිරි මල්වතු උභය මහාවිහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ නොමද ගෞරවයට පාත්‍රව ඇති උන්වහන්සේ විසින් මේ වන විට සිදුකර ඇති සේවාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු බෞද්ධ ජනතාවගේ ද නොමද පැසසුමට ලක්ව ඇත.1922 ජුනි මස 15 වෙනි දින හාරිස්පත්තුවේ හිඟුල්වල කුලතුංගරාල නම් වූ ගම් දෙටුවන් හා ගල්ලෑල්ලේ ලොකුමැණිකේ යන දෙපළට සහජාත වූ කුලතුංග නම් වු කුමරුවන් පැවිදි බව ලබන්නේ සිය 12 වෙනි වියෙහිදීය. උන්වහන්සේගේ පැවිදි ආචාර්යන් වහන්සේලා වන්නේ කීර්තිධර සග පරපුරකට අයත් සිවුසල් ශාසනික ජාතික මෙහෙවරක් සිදුකොට අපවත් වී වදාළ දෙහිදෙණියේ සුමනසාර හා පලීපාන මේධංකර යන නාහිමිවරුන් දෙදෙනා වහන්සේය.උන්වහන්සේලා දෙනම යටතේ මූලික ශාසනික ප්‍රතිපදාවන් හා ධර්මවිනය හදාරා අධ්‍යාපන කටයුතු සඳහා 1939 වසරේදි හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනටත් 1945 වසරේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනටත් ඇතුලත්ව ඉහළම පැවිදි අධ්‍යාපනය ලෙස සම්භාවිත රාජකීය පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබීමට උන්වහන්සේ වාසනාවන්ත වූහ.

සාහිත්‍යාචාර්ය හා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත්ව ඇත්තේද විද්‍යාලංකාර පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන කාලයේ දීමය.විද්‍යාලංකාර මහ පිරිවෙනෙන් අධ්‍යාපනය නිමා කළ පණ්ඩිත හාමුදුරුවෝ තම ශාස්ත්‍රිය සේවාව ආරම්භ කරනුයේ දිවයිනේ අදටත් ප්‍රකට පිරිවෙන් විද්‍යාස්ථානයක් ලෙස වැජඹෙන මලියදේව පිරිවෙනේ ආචාර්යවරයකු ලෙසින්ය. දිවයිනේ විවිධ පිරිවෙන්වල මෙන්ම රජයේ විද්‍යාලයන් ගණනාවක සේවය කොට මල්වතු මහා විහාරයේ අතිගරු අනුනායක, නියංගොඩ විජිතසිරි නාහිමියන් වහන්සේ පණ්ඩිත හාමුදුරුවන් තම ධර්මාචාර්යන් වහන්සේ ලෙස සළකා ගනිමින් උන්වහන්සේට දක්වන ගෞරවයම උන්වහන්සේගේ සේවාවට ප්‍රමාණවත් සාධක වන්නේය.

විනය ගරුකත්වය, අල්පේච්ඡතාව, නිහතමානීබව, උපේක්ෂාව තම පැවිදි ජීවිතයේ විශේෂාංගයන් බවට පත්කරගෙන ඇති උන්වහන්සේ ආගමික, සාමාජික කටයුතුවල යෙදෙමින් තම යොවුන් විය පසුකොට තම වයෝවෘද්ධ ජීවිතය ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නියැලෙමින් සොම්නසින් යුතුව සිය 93 වෙනි විය ගත කරමින් පසුවෙති. පොතපත කියවීම හා ලිවීම තම ජීවිතයේ පුරුද්දක් බවට පත්කරගත් උන්වහන්සේ විසින් වයෝවෘද්ධ වියෙහි දී ලියන ලද ලිපි එකතුවක් වන ‘උසස් සංස්කෘත ව්‍යාකරණය ‘ යන ග්‍රන්ථය උන්වහන්සේගේ පාණ්ඩිත්වයට කදිම නිදසුනක් වෙයි.

මෙකී සේවාවන්ට අමතරව උන්වහන්සේ පැවිදි ශිෂ්‍යවරයන් වහන්සේලා හදාවැඩීමෙන් සිදුකොට ඇති ශාසනික සේවාවද අතිශය ප්‍රශංසනීය වෙයි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයා වන අතර මොරගස්වැව විජිත, කරගස්වැව වජිර දෙනම උපාධිධාරින් ලෙස ඉහළ සාමාර්ථයන් හිමි කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි සේවයෙහි යෙදී සිටීම උන්වහන්සේ මෙතෙක් සිදු කොට ඇති සේවාවට කුසල විපාකයක් වැන්න.


එගොඩමුල්ලේ ඤාණසිරි හිමි

මහනුවර දංගොල්ල ශ්‍රී තිස්සාරාමාධිපති විමලධර්ම මහ පිරිවෙණෙහි පරිවේණාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ ඤාණසිරි හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ ශ්‍රී සුමනජෝති මහා කාරක සංඝ සභාව මගින් “සිරි චන්ද්‍රජෝති විමලබුද්ධි වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී” ගෞරව සම්මුතිය සහිත මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදී.

පිහිඹුව මිරිස්සල ශ්‍රී විජයාරාමය, මහනුවර දංගොල්ල ශ්‍රී තිස්සාරාමය සංස්කෘතික සමාජසේවා ආයතනාධිපති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ වයඹ මධ්‍යම දෙදිසා පළාත් සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරීව වැඩ සිට අපවත් වී වදාළ ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී මිරිස්සල ශ්‍රී විමල බුද්ධි මාහිමිපාණන්ගේ ශිෂ්‍ය භික්‍ෂු නමක් ලෙස 1976 .07.29 වන දින එගොඩමුල්ලේ ශ්‍රී සුගතාරාමයේදී පැවිදි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එගොඩමුල්ල ගම්පියසේ කේ.ජී. ධර්මසේන පියාණන් හා පී.ජී. ඤාණවතී මෑණියන්ට දාව 1963 මැයි 16 දින උපත ලැබූහ. කේ.ජී. නිමල් ධර්මසිරි නමින් එගොඩමුල්ල කනිෂ්ට විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා 1976 ආරම්භයේදීම පැවිදි දිවියට ඇතුලත් වීම සඳහා මහනුවර දංගොල්ල ශ්‍රී තිස්සාරාමයට පැමිණියහ. පතින්ගොල්ල ශ්‍රී වාලුකාරාමාධිපති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ වයඹ මධ්‍යම පළාත් සංඝ සභාවේ පළාත් භාර සංඝනායක මකුලේමඩ සාරානන්දාභිධාන නායක ස්වාමින් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ විය.රාගම වල්පොල ශ්‍රී විද්‍යානිවාය මහ පිරිවෙනෙහි සිය පිරිවෙන් අධ්‍යාපනය ඇරඹූහ. 1983 ජූලි 15 දින කළුගෙඟ් උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදාව ලැබීය. පසුව සිය ද්විතික අධ්‍යාපනය සඳහා හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඤාණේස්වර පිරිවෙනට 1983 දී ඇතුලත් විය.

1986 පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ ඤාණසිරි හිමියෝ 1992 දී සිංහල ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ.

1989 දී උපගුරුවරයෙකු වශයෙන් දංගොල්ල විමල ධර්ම පිරිවෙනෙහිදි ගුරු සේවය ආරම්භ කළ ඒ හිමියෝ 1993 ජනවාරි පළමුවන දින එම පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත්විය. 1997 දී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලැබූ ඤාණසිරි හිමියන් 1998 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබීය. බුදුදහමේ චිරස්ථිතිය සඳහා කැපවීමෙන් කරන සේවාවන් වෙනුවෙන් ඒ හිමියන් 1995-2007 අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය පාර්ශ්වයේ වයඹ මධ්‍යම පළාත් සංඝසභාවේ භික්‍ෂු සුබසාධක සංගමයේ භාණ්ඩාගාරික තනතුරට පත්කරන ලදී. පසුව 2008 දී කාරක සංඝසභික ධුරයක් දැරූ ඒ හිමියන් 2013.03.15 දින සිට මහනුවර හා කඩවත්සතර ගඟවට කෝරළයේ දකුණු ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට පත් විය.

දංගොල්ල ශ්‍රී තිස්සාරාමස්ථ සංස්කෘතික සමාජ සේවා ආයතනයේ විහාරාධිපතිත්වය දරමින් හා විමලධර්ම දහම් පාසැලේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කරමින් විහාරස්ථානයේ හා ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් කළ සේවාවන් අපමණය. ඒ අතුරින් දංගොල්ල ශ්‍රී තිස්සාරාම විහාරය සියලු විහාරාරාංග වලින් අංග සම්පූර්ණ කළහ.

තවද 1987 සිට ශ්‍රී විමලධර්ම දහම්පාසල මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මිහිඳු පෙරහර ආරම්භ කිරීම, දංගොල්ල, මරණාධාර සමිතිය, තරුණ බෞද්ධ සමිතිය, කුලඟන සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය යන සමිතිවල අනුශාසක ධුරය දරමින් සිදුකළ සේවාවන් අපමණය.මීට අමතරව මිරිස්සල විජයාරාම හා ඔගස්ටාවත්ත සුගත බිම්බාරාම විහාරය විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ කර බිබිල මැද පිටිය ශ්‍රී විමලගිරි විහාරස්ථානයේ ශ්‍රී විමලබුද්ධි දහම් පාසල හා එක්සත් මරණාධාර සමිතියද උන්වහන්සේගේ සමාජසේවා කටයුතු අතර විය.නව සංඝනායක ධුරය ලැබූ උන්වහන්සේට බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා තව තවත් කටයුතු කිරීමට හැකිවේවායි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නෙමු.


අඹන්වැල්ලේ සුමංගල හිමි

මහනුවර, මල්වතු මහා විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින්, මල්වතු මහා විහාරයේ මාලිගා දර්ශනාරාමය, මහනුවර නාගවිමන කන්දේ විහාරය බෝගොඩ රජමහා විහාරය යන විහාරයන්හි අධිපති සමස්ත ලංකා සාමදාන විනිසුරු කම්මාචාර්ය, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත අඹන්වැල්ලේ සුමංගල හිමියන්, මල්වතු මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට පත් කර ඇත.අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ 17 වෙනි මහනායක පරපුරෙන් පැවැත එන, අඹන්වැල්ලේ ධම්මානන්ද අනුනායක, අඹන්වැල්ලේ පියදස්සි, අඹන්වැල්ලේ මේධංකර යන මහ තෙරවරුන්ගේ ආචාර්යත්වයෙන් 1976 දී අඹන්වැල්ල සීමාමාලකයේ දී පැවිදි බිමට ඇතුළත්ව, 1981 දී පණ්ඩිත සිරිමල්වත්තේ ශ්‍රී සුමන ආනන්ද මා හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු විහාරයේ දී උපසම්පදාව ශීලයෙහි පිහි වූ සුමංගල හිමියන්, මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙන, වෑත්තෑව ශාස්ත්‍රාලෝක පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රය ලබා 1990 දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්තේ ය. දන්තුරේ ප්‍රවචනෝදය පිරිවෙනේ ධර්මාචාර්ය වශයෙන් සේවය කළ සුමංගල හිමියන් නාගවිමන විහාරයේ පියදස්සී දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් මහනුවර ශාසනාරක්‍ෂක මණ්ඩල තරග ගණනාවකින් උසස් ප්‍රතිඵල දහම් පාසලට ලබාගෙන ඇත. නුවර බෞද්ධ සමිති සංවිධාන රැසකම තනතුරු දරන සුමංගල හිමියන් මල්වතු මහා විහාරයේ ආගමික කටයුතුවල මුල් තැනක් ගෙන කටයුතු කරති.


සිටිනාමළුවේ සුධම්ම හිමි

සිටිනාමළුවේ සුධම්ම හිමියන් වෙත.ශ්‍රී ධර්ම රක්ෂිත අමරපුර මහානිකායයේ සංඝ සභාව විසින් ‘විනයකීර්ති ශ්‍රී ධර්ම රක්‍ෂිත වංසාලංකාර අනුවිජ්ජක’ යන ගෞරවනාම සම්මුතිය සමඟ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.උන්වහන්සේ තල්පේ වැල්ලෙතොට පරම ශ්‍රී නිකේත සුධර්මාරාමය කොලොන්නාවේ සාලමුල්ලේ විජයපාරේ එදිරිසිංහාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී ධර්මරක්‍ෂිත අමරපුර මහා නිකායේ අධිකරණ මණ්ඩලයේ සම්මාන නායක, හබරාදුව සමථ මූල මණ්ඩලයේ හිටපු සභාපති තල්පෙ ගා/සුගතනන්ද මහ විදුහලේ හිටපු විදුහල්පති, ගාල්ල කලාප ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානාධිපති ද වේ.


මඩුකොටන් අරවේ උදිත හිමි

වීරප්පෙරුම ආරච්චි අතුකෝරලලාගේ නිමල් චන්ද්‍රසිරි මහතා (පියා) විජේසිංහ මුදියන්සේලාගේ රමණි මහත්මිය (මව) දම්පතින්ගේ පුත්රුවන වන, සියඹලාන්ඩුව සිරි විජිතාරාම විහාරාධිපති උඩගංගොඩ ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය දැනට ගලබැද්ද කිඹුලාවෙල පුරාණ විහාරස්ථානයේ වැඩ වසන ශ්‍රී පුඤ්ඤානන්ද පිරිවෙනේ අධ්‍යාපනය හදාරන මඩුකොටන් අරවේ උදිත කුඩා හිමිපාණන් වහන්සේ ජූනි මස 5 වැනි දින මහනුවර මල්වතු මහා විහාරස්ථ රාජකීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබිණි. සීනිගම මහානාම මංගලසිරි

 

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]