UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුහිමි දෙසූ විවිධ පුද්ගලයෝ

බුදුහිමි දෙසූ විවිධ පුද්ගලයෝ

ඇතැම් පුද්ගලයෝ තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් ,නොලැබුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උත්තරීතර වු ධර්ම විනය අසන්නට ලැබුණත්, නොලැබුණත් කුසල ධර්මයන්හි යෙදී කුසල් පක්‍ෂය ප්‍රවර්ධනය කර ගනිති. මෙවන් පුද්ගලයෝ ඉතාම දුර්ලභය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර ධර්මයන් අනුව, පෙර පුරුදුතාවයටම අනුව මෙලෙස වූ පුද්ගලයන් ධර්මය සොයාගෙන යති.

තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේ සමාජය පියුම් විලකට උපමා කරමින් සමාජගත පුද්ගලයන් පියුම් විලෙහි විවිධ ආකාර වු පියුම් ලෙස කෙලෙස් අඩුවැඩි බව අනුව විග්‍රහකොට පෙන්වා වදාළා සේක. පුද්ගල වේමත්තතාව පදනම් කොට සමාජයේ යහපත් පුද්ගලයින් අයහපත් පුද්ගලයින් ලෙස ප්‍රභේදගත විය. ඒ අනුව ඇසුරු කිරීමට භජනය කිරීමට සුදුසු, නුසුදුසු වශයෙන් බෙදිය හැකිවේ. සද්පුරුෂ, කල්‍යාණ මිත්‍ර , යහපත් යැයි සම්මත පරමාදර්ශි පුද්ගලයන්ගේ ඇසුර තුළින් ජීවිත සාර්ථකත්වය කරා ළඟාවනවාසේම අසද්පුරුෂ ගුණ හීන පුද්ගල ඇසුරින් පරිහානිත්වයට පත්වීමේ ප්‍රවණතාව බහුලය.

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අධ්‍යාත්මික ගුණ හා හැසිරීම් අනුව විවිධ පුද්ගල ප්‍රභේද හඳුනාගෙන මනාව දේශනා කොට වදාළ සේක. ඒ අනුව අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වග්ගයේ දී මෙසේ වේමන්නතාවයෙන් යුතු පුද්ගලයන් පිළිබඳව විග්‍රහ කරන ලද ආකාරය අපූරුය.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වාසය කරන කළ සවිට්ඨ තෙරුන් වහන්සේ, මහාකොට්ඨික තෙරුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේ වෙත එළඹ සිටි කළ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කොට වදාළේ.

සවිට්ඨ ආයුෂ්මතුනි, ලෝකයෙහි පුද්ගලයෝ තිදෙනෙකි. කායසක්වි, දිට්ඨීප්පත්ත, සද්ධාවිමුත්ත පුද්ගලයන්ය. ශ්‍රද්ධා විමුත්ත පුද්ගලයා නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වූ පුද්ගලයාය. කායසක්වි නම් සමාධි ඉන්ද්‍රිය බලවත් වූ පුද්ගලයාය. දිට්ඨීප්පත්ත නම් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වූ පුද්ගලයාය. මෙම පුද්ගලයන් තිදෙනා අතුරින් වඩා ප්‍රහීණ වඩා හොඳ වඩා රුචි කවරුහුද යන්න පිළිබඳ ගැටලුව ඇතිවූ කළ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ විමසූ කළ මෙම පුද්ගලයන් තිදෙනාම සමවන බවත්, වඩා ප්‍රහීණ එක් පුද්ගලයෙකුයැයි ප්‍රකාශ කිරීම සුකර නොවන බව දේශනා කර වදාළ සේක.

ඒ ඇසුරෙන් භාග්‍යවතුන් වහන්සේ ලොව වාසය කරන පුද්ගල ත්‍රිත්ව දහයක් පිළිබඳව පෙන්වා වදාළ සේක. පළමුව උන්වහන්සේ පෙන්වා වදාළේ. මේ ලෝකයේ ගිලනුන් තුන්දෙනෙකි. ඉන් පළමු ගිලනා නම්, ප්‍රත්‍ය ආහාර ලැබුණත් පත්‍ය ආහාර නොලැබුණත් උපස්ථායකයෙකු ලැබුණත්, සුදුසු උපස්ථායකයෙකු නොලැබුණත් අසනීපය සුව නොවන ගිලනාය.මෙවැනි ගිලන් පුද්ගලයෝ සමාජයේ බහුලව දැකිය හැකි වන්නේය. දෙවන ගිලනා ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ප්‍රථ්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් උපස්ථායකයෙකු ලැබුණත් නොලැබුණත් ලෙහෙසියෙන්, පහසුවෙන් සනීප වන ගිලනාය.තෙවන ගිලනා ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ප්‍රථම ආහාර නොලබා නොව ලබාම , ප්‍රථ්‍ය බෙහෙත් නොලබා නො ලබාම , සුදුසු උපස්ථායකයෙකු නොලබා නොව ලබාම අසනීපය සුවපත් වන්නා වූ ගිලනාය.

මෙසේ වාසය කරන්නාවූ තෙවැදෑරුම් වු ගිලනුන් බුද්ධ ශාසනයට ආරෝපණය කරමින්, ධර්මයට අනුගත කරගනිමින් සමාජීය පුද්ගලයන් විවරණය කිරීම භාග්‍යවතුන් වහන්සේ සිදුකළ සේක. පළමුවන ගිලනා කෙබඳුද යත්, තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් නොලැබුණත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සසර නිමා කිරීමේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබුණත් නොලැබුණත්, කිසිදු අයුරකින් මාර්ගයට එනම් කුසල මාර්ගයට පිවිසීමක් නොලැබූ පිරිස හා සමානවෙති, එනම් අසනීපය සුවනොවනා ගිලනාය. එවන් පුද්ගලයෝ පේ‍්‍රත, තිරිසන්, අසුර නරක යන සතර අපා දුකට වැටී, සසරෙහි කෙළවරක් නොදැක නොවිසමින් කටයුතු කරති. කිසිදු අයුරකින් බුද්ධ රත්නය ධර්මරත්නය,ආර්යමහා සංඝරත්නය ගරු නොකරමින් මෙලොව පමණක්ය යන දෘෂ්ඨීයෙහි වෙලී වාසය කරමින් සදාතනික සැපත වූ නිවනට ප්‍රවිශ්ඨයක්ද නොලබා එම පුද්ගලයෝ අනන්ත අප්‍රමාණ සසර දුක් විඳිති. ගිලනා සදාකාලික දුකෙහි නිමග්නව වාසය කරන්නාක් මෙනි.

එමෙන්ම ඇතැම් පුද්ගලයෝ තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් නොලැබුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උත්තරීතර වු ධර්ම විනය අසන්නට ලැබුණත් නොලැබුණත් කුසල ධර්මයන්හි යෙදී කුසල් පක්‍ෂය ප්‍රවර්ධනය කර ගනිති.

මෙවන් පුද්ගලයෝ ඉතාම දුර්ලභය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර ධර්මයන් අනුව, පෙර පුරුදුතාවයටම අනුව මෙලෙස වූ පුද්ගලයන් ධර්මය සොයාගෙන යති. බුද්ධ ගෞරවය ඇතිකරගනිමින් වීර්යයෙන් යුක්තව ඔවුහු ක්‍රියා කරති. කිසි ප්‍රත්‍ය ලැබුණත් නොලැබුණත් රෝගය සනීප වන පුද්ගලයා මෙනි. සැබවින්ම එවන් උත්තමයෝ සංසාරය නමැති දුකින් රෝගයෙන් විමුක්ත වූ විමුක්ත නිරෝග උත්තමයෝ බවට පත්වන්නේය.

අනෙක් පුද්ගලයා නම් තථාගතයන් වහන්සේ දක්නට නොලබා නොව ලබාම, දේශිත ධර්මය අසන්නට නොලබා නොව ලබාම කුසල ධර්ම විෂයෙහි මාර්ගයට පිළිපන්ව කටයුතු කරන්නා වූ පුද්ගලයාය.

අනතුරුව මෙම දේශනාවෙහිදි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව විද්‍යාමාන වන්නා වූ තවත් පුද්ගල ත්‍රිත්වයක් පිළිබඳව දේශනා කොට වදාළ සේක. එයින් පළමු පුද්ගලයා නම් දුක් සහිත කාය සංස්කාර රැස් කරමින්, දුක් සහිත වාග් සංස්කාර රැස්කරමින්, දසුනක් සහිත මනෝ සංස්කාර රැස් කරමින්, දුක් සහිත පේ‍්‍රත , තිරිසන්, නරක, අසුර යන සතර අපායන්ට පත්ව අනේක දුක් විඳින්නා වූ පුද්ගලයින්ය. දෙවන පුද්ගලයන් නම් නිදුක් කාය සංස්කාර නිදුක් වාග් සංස්කාර හා නිදුක් මනෝ සංස්කාර රැස්කරමින් නිදුක්, සැපදායක ස්පර්ශ ලබන්නාවූ සුභකිත්තක දෙවියන් මෙන් ඒකාන්ත වු සැප ලබන්නා වූ පුද්ගලයන්ය. තෙවන පුද්ගලයන් නම් දුක් වූත් නිදුක් වූත් කාය , වාග්, මනෝ සංස්කාර රැස්කොට මිනිසුන් මෙන් දෙවියන් මෙන් දුක, සැප, දුක් – නිදුක් මිශ්‍ර වේදනා ලබමින් වාසය කරන පුද්ගලයන්ය. මෙලෙස තම , තමන් විසින් ප්‍රකටව සිදුකරනු ලබන සංස්කාරයන්ට අනුරූපව සතර අපාය, මනුෂ්‍ය සම්පත්ති, දිව්‍යලෝක සම්පත්තීන්ට අනුයාත වන ආකාරය අනුව පුද්ගල ත්‍රිවිධ ප්‍රභේදයෝ භාග්‍යවතුන් වහන්සේ මනාව පෙන්වා වදාළ සේක.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ පුද්ගල ජීවිතය සාර්ථකත්වයේ හිනිපෙත්ත කරා ළඟා වීමට උපකාරක වන්නා වූ පුද්ගලයන් ත්‍රිත්වය පිළිබඳවයි. යම් අයෙකු බුදුන්, දහම්, සගුන් යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකු නම් සරණයාමට එළඹුම් ඇති පුද්ගලයෙකුට උපකාරක අයෙකු වේ. සද්පුරුෂ ,කල්‍යාණ මිත්‍රයෝ මෙවැනි ගුණ දරති. ශ්‍රද්ධාවෙන් තුණුරුවන් සරණගිය එක් පුද්ගලයකු නිසාවෙන් මුළු විශ්වයක්ම ඒකාලෝක කිරීමේ සක්‍යතාවයක් ඇත්තේය.එම සද්පුරුෂයා මුළු ලොවටම උපාකරක වන්නේය.

එසේම දෙවන පුද්ගලයා ලෙස දුක, දුක ඉපදීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ තත් වූ පරිදි දැනගත් ආචාර්ය පුද්ගලයෙකු අන් අතවැසියන්ට උපාකරක වේ.තෙවන පුද්ගලයා ලෙස ආසවක්ෂය කිරීම, චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය ලද අතවැසියකු පුද්ගලයාට උපකාරක වන්නේය. සම්බුද්ධ ශාසනය වු කලි ක්ලාන්ත වූ සසුනකි. එකිනෙකාට කල්‍යාණ මිත්‍රවණ කටයුතු කිරීම තුළින් සසර ගමනින් එතෙරවීමේ මාර්ගය සකස් වේ. ලොව්තුරා ශාන්තිනායක දශබලධාරින් වහන්සේ සියල්ල අවබෝධ කළ උත්තරීතර කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ සේක. ඒ උතුම් මඟට පිළිපන් පුණ්‍යවන්ත සද්පුරුෂයෝ මාර්ගඵල ලබමින් සසර ජයගත් සේක. එවන් වූ කල්‍යාණ පිරිසෙන් නිපන් සැවොම එකිනෙක පුරුකක් මෙන් ගොඩනැගී සද්පුරුෂ ධර්මයට යටත්ව සසර ජයගැනීම උදෙසා පුද්ගල වශයෙන් උපකාරකත්වයට පත්වෙති. මෙම පුද්ගල ත්‍රිත්වය යහපත් උතුමන් පිළිබඳ වූ විමසුමකි.

අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තවත් පුද්ගල ත්‍රිත්වයක් පිළිබඳව දේශනා කොට වදාළ සේක. පළමු පුද්ගලයා පරණ තුවාලයක් බඳු සිත් ඇති පුද්ගලයාය. පරණ තුවාලය විගසින් පෑරීමට සමත්වන්නකි. ද්වේෂය, කෝපය නොසතුටෙන් වාසය කරන්නේය. ඇස් ඇති පුරුෂයෙක් රෑ ගනඳුරෙහි විදුලිය ගසන වේලෙහි රූප දකින්නා සේ මෙලොව යථාර්ථය දකින්නා වූ පුද්ගලයා විදුලිය වැනි සිත් ඇති පුද්ගලයාය. තෙවන පුද්ගලයා වනුයේ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් චේතෝ විමුක්තිය , ප්‍රඥා විමුක්තිය, ලද දියමන්තියක් බඳු සිත් ඇති පුද්ගලයාය. දියමන්තිය හෙවත් වජ්‍ර කිසිදු හේතුවක් මත මැණිකකින් හෝ වෙනත් පාෂාණයකින් බිඳ විනාශ කළ නොහැකිය. ආර්ය උත්තමයන්ගේ එවැනි සිත් ඇත්තේ වෙති. මිහිමත එවන් උතුමෙකු වසන්නේ නම් එසමය භාග්‍යවන්ත වූ සමයක් වන්නේය.

බුදුරජාණන් වහන්සේ විසින් සේවනය කළ යුතු තවත් පුද්ගල ත්‍රිත්වයක් පිළිබඳ දේශනා කොට වදාළ සේක.

එයින් පළමු පුද්ගලයා නම් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තමාට සමාන නම් එම පුද්ගලයන් සේවනය කළ යුතුය. සත්කාරයෙන් ගරුකාරයෙන් සේවනය කළ යුතුය. භජනය කළ යුතු පයිරුපාසානය කළ යුතු පුද්ගලයා නම් ශීලයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් මෙලොව යම් කෙනෙකු තමාට වඩා ඉහළ නම් එබඳු පුද්ගලයා සේවනය කළ යුතුය. එබඳු පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පිරිහුනු සිල් ඇති විට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරති. සමාධියෙන් පිරිහුණු විට අනුග්‍රහ කරති.මෙලෙස තමාට වඩා උසස් ගුණයන් ඇති පරමාදර්ශි සද්පුරුෂයන් ඇසුරු කිරීමෙන් තම ගුණධර්ම වඩා දියුණු කරගැනීමේ සක්‍යතාවයක් ඇත.මෙලොව ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කිසියම් පුද්ගලයකු තමාට වඩා හීන නම් ඒ අය බාලයන් ලෙස සලකා සේවනය නොකළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

බුදුපියාණන් වහන්සේ නැවතත් පුද්ගල ත්‍රිත්වයක් දේශනා කොට වදාළ සේක. ඉන් පළමුවැන්න නම් මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෝ දුද්ශීලයෝය. පාපධර්ම ඇති අපවිත්‍ර සැක කටයුතු හැසිරීම් ඇති සැඟවුණූ කර්ම ඇතිව ආශ්‍රමණව ශ්‍රමණයැයි කියාගන්නා අබ්‍රහ්මචාරිව බ්‍රහ්මචාරියයි කියාගන්නා ඇතුළත කුණූ වු දුගඳ වහනය වන කෙලෙස් කසළ ඇති පිළිකුල් කටයුතු පුද්ගලයෝය. මෙම පිරිස් පාපි සිත් ඇති පාපින් වෙත නැමුණු සිත් ඇත්තෙක් වේ. අශූචියට ගිය සර්පයා අශුචියෙන් තැවරෙන්නා සේ මෙබඳු දුර්ගුණ ඇත්තන් අසුරු කිරීමෙන් පරිහානියට පත්වන්නේය.

එමෙන්ම කිපෙන සුළුවූ කොටුවකින් හෝ කැබිලිත්තකින් ගටනලද පරණ වණය වැඩියෙන් ලේ සැරව වගුරන්නාක් මෙන් කෝටුවකින් කැබිලිත්තකින් ගටන ලද අශූචිවල වැඩියෙන් ගඳ ගසන්නාක් මෙන් මේ ලෝකයෙහි කිසියම් පුද්ලයකු නොසතුට පහළ කරන අයෙකු වේ නම් එම පුද්ගලයා උපේක්‍ෂාවෙන් ඇසුරු කළ යුතුය. සේවනය කිරීම භජනය කිරීම පයිරුපාසානය නොකළ යුතුය.

යම් පුද්ගලයකු සිල්වත් වේ නම්, කල්‍යාණධර්ම ඇත්නම් සද්පුරුෂ නම් එබඳු පුද්ගලයා සේවනය කිරීම කළ යුතු වන්නේය. එම සද්පුරුෂ ඇසුර නිසාවෙන් ඇසුරු කරනු ලබන පුද්ගලයා කල්‍යාණ මිත්‍රයන් ඇත්තෙක් වෙත යොමු වූ අයකු ලෙස කීර්තිය පැතිරෙන්නේය. ඒ උතුමන් භජනය කිරීමෙන් වඩා දියුණු වූවකු වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ නම් වූ ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රයාණෝ දේශනා කොට වදාළ සේක.

මෙලෙස සත්ත්වයා සසර කතරින් එතෙර කරවීමට වෙරදැරූ භාග්‍යවත් අර්හත් සම්බුදුපියාණෝ පුද්ගල සම්පත්ති පිළිබඳ පෙන්වාදෙමින් යහපත් කල්‍යාණ මිත්‍ර ධර්මයක් ඉටු කොට වදාළ සේක. ඒ උතුම් ගෞතම සසුනේ ශ්‍රී සද්ධර්මය ඇසුරු කරන්නේ යහපත් උතුමන් නුවණින් තෝරාගෙන යහපත් ඇසුර ප්‍රාර්ථනා කිරීමට උත්සුක වන්නෝ වෙමු.

 

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 22 වැනිදා අඟහරුවාදා
පූර්වභාග 02.30 ට ලබයි.
23 වැනිදා බදාදා පූර්වභාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 28 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]