UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

කටුගස්තොට උපරතන නා හිමි

පොළොන්නරුවේ දියබෙදුම ගම්මානයේ විසූ ජේමිස් ඩයස් පාඬිගම හා වීරසිංහ ආරච්චිගේ සානුහාමිනේ යන දම්පතීන්ට 1954 අප්‍රේල් 8 වැනි දා උපන් පින්වත් කුමරුවා, ඒ ඩබ්ලිව්. පාඬිගම නමින් හැඳින්විණි. මෙම කුමරුවා පැවිදි බිමට පත්ව සියලු ශාසනික හා අධ්‍යාපනය ජයග්‍රහණයන් ලබමින් අදවනවිට ඇමෙරිකාවේ ප්‍රධාන අග නගරයේ මේරිලැන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති හා විශ්වවිද්‍යාලවල උසස් තනතුරු දරමින් තම උපන් මව්බිමට ආශිර්වාදයක් වී ඇත.

මේරිලැන්ඩ් බෞද්ධ විහාරයේ අධිපති, උතුරු ඇමෙරිකාවේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නායක හාමුදුරුවෝ ඉකුත්දා සැට විය සැපිරූහ. පොළොන්නරුවේ ‘ඉරහඳ කොටුවැව‘ මහා විද්‍යාලයෙන් ද පසුව මල්දෙනිය විද්‍යාලයෙන්ද ඉගෙනුම ලත් මේ කුමරුවා රන්වලගෙදර විහාරස්ථානයේ දී 1966 නොවැම්බර් මස පැවිදි විය.

තම පැවිදි ආචාර්යෝත්තම වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමිපාණන්ගේ මඟ පෙන්වීම අනුව 1968 දී කුරුණෑගල මලියදේව විද්‍යාරක්‍ෂක මහ පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර ආරාමික අධ්‍යාපනයේ නිරතවූහ.

ප්‍රාමාණික ධර්ම,විනය, ශාස්ත්‍රීය ඤාණය ලැබූ මුන්වහන්සේ 1977 දී උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට පෙර 1974 දී මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍රී පුෂ්පාරාම උපෝෂථාගරයේ දී උපසම්පදා වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් පසුව කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙන් ආයතනයේ සහ තදනුබද්ධ ධර්ම විද්‍යාලයේ ද ආදර්ශමත් ගුරුවරයෙකු ලෙස තමන් උගත් සිප්සතර කියාදෙමින් සිටි අවධියේ එවකට ඇමෙරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහාරයේ සභාපති ධූරය හෙබවූ ආචාර්ය හේනේපොල ගුණරතන නා හිමියන්ගේ ආරාධනයෙන් 1981 ඇමෙරිකාවට වැඩම කළ උපරතන හාමුදුරුවෝ එම වෙහෙරෙහි වෙසෙමින් පුරා අවුරුදු 8 ක් ආගමික හා ශාසනික වශයෙන් මහඟු සේවාවක නිරතවූහ.

උන්වහන්සේ මුලින්ම වොෂින්ටන්හි කොලොම්බියා විශ්වවිදයාලයේ වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවී ය. කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් තම දෙවන උපාධිය 1989 දී ලබාගත් මුන්වහන්සේ එදා සිට අද දක්වාම ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේ බුද්ධධර්මය හා භාවනාව පිළිබඳව උපදේශක තනතුරක් දරමින් ඒ සම්බන්ධයෙන් ඉතා උසස් සේවයක් ඉටු කරන්නේ එසේ ලත් ඉහළ සුදුසුකම් නිසාමය.

ඇමෙරිකාවේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා උපදේශක තනතුර උසුලමින් දීර්ඝ කාලයක් තානාපති සේවයේ කටයුතු කිරීමට ලංකාවට යන නිලධාරින්ට භාෂා පුහුණුව ලබාදීමට තෝරාගත් ප්‍රථම භික්ෂුවවීමට උන්වහන්සේට අවස්ථාව ලැබිණි.

උන්වහන්සේ වෙස්ට් වර්ජිනියා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උපදේශක සභාවේ යාවජීව අධ්‍යක්‍ෂක තනතුර හොබවමින් එහි ප්‍රගමනයට ඉටු කෙළේ අනූපම සේවාවකි.

බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි, හින්දු ,ඉස්ලාම්, වැනි ආගමික සංවිධානවල ද ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ අතරම උන්වහන්සේ ථෙරවාද හා මහායාන බෞද්ධයන්ගේ මූලිකත්වයෙන් වොෂින්ටන් නුවර මුළු ගැන්ව ඇති ජාත්‍යන්තර වෙසක් කමිටුවේ උපසභාපතිත්වය දරමින් බුදුදහමේ ඉතා වැදගත් පැතිකඩක් ඇමෙරිකාවේ අබෞද්ධ පින්වතුන් අතර ප්‍රචලිත කිරීමට ගත් උත්සාහය ඉතා අගනේ ය.

1996 දී මේරිලැන්ඩ් ප්‍රාන්තයේ වීටන් නගරයේ මේරිලැන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැඟූහ.

මනා සංවිධිත ලෙසින් උන්වහන්සේ පවත්වාගෙන යන ආගමික වත්, පිළිවෙත් වලින් සැනසිලි සුවය විඳින්නේ ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව අනෙකුත් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, තායිලන්තය, වියට්නාමය, කොරියාව, වැනි රටවල බෞද්ධයෝද ඒ අතර වෙති. උන්වහන්සේ ටෙස්සස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ ඔස්ටින් විහාරයත් ඩෙල් වැලි නිම්නයේ බෞද්ධ විහාරයත් ආරම්භ කළහ.

ශ්‍රී ලංකාවේ ද බෞද්ධ වෙහෙර විහාර දියුණු කිරීම සඳහා අත හිත දෙන මේ නායක හාමුදුරුවෝ ඉතා මෑත භාගයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ලගස්කඩවර මන්දාරම්නුවර සමාධි බුදුපිළිම වහන්සේ ස්ථාපිත කෙළේ වැඩියෙන්ම සම්බුද්ධ ශාසනයට දරුවන් පුජා කළ මෑණිවරුන් වෙසෙන ගමේ අම්මාවරුනට කෘතගුණ පිදීමට ය.

‘කටුගස්තොට පදනම’ මඟින් පොළොන්නරු ජයන්තිපුර ගමේ පාසලට මෙන්ම ගමට ද සැලසුනේ ඉමහත් අනගි ප්‍රතිලාභයකි. තම සමාජ හා ශුභසාධන සේවාවන් පුළුල් කරමින් තම මාතෘ භූමියේ දරු දැරියන්ගේ අධ්‍යාපනයට අත හිත දෙනු වස් මේරිලැන්ඩ් බෞද්ධ විහාරය මුල් කරගෙන ශිෂ්‍යත්ව ක්‍රමයක් පවත්වා ගෙන යන අතරම ගම්මානවල වෙසෙන වයස්ගත වූ අය සඳහා ඇස් කණ්ණාඩි හා කාච ලබාදීම ද ඉතා උසස් සේවාවකි.

කුරුණෑගල ශික්‍ෂණ රෝහල මුල්කරගෙන පළාත්බද මහජනතාවගේ සෞඛ්‍යය නගාසිටවීම සඳහා උන්වහන්සේ විශාල වැඩකොටසක් සිදුකර ඇත.

උපරතන නාහිමියන් ඇමෙරිකාවේ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සංවිධානවලට සම්බන්ධ වෙමින් ඉටුකළ අනූපම සේවාවන් නිසා සම්මානයට ලක්වෙමින් ලැබූ සම්මාන, තිලිණ මෙන්ම ප්‍රදාන බොහෝ ය.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා උපදේශක වශයෙන් ඉටු කළ සේවය අගයමින් උන්වහන්සේ 2011 මැයි මාසයේ ඉහළ සම්මානයට පාත්‍රවූහ.

ධ්ඕඛ් සංවිධානයේ උපසභාපති ලෙස පුරා අවුරුදු 20 ක් තිස්සේ පිදුම් ලබමින් සිටින අතරම උන්වහන්සේ රජයේ රියදුරන් පුහුණු කරන ආයතනයේ පුහුණුවන්නන්ට අවශ්‍ය අධ්‍යාත්මික උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පාඨමාලාවන් සකස් කරමින් හා උපදෙස් ලබා දෙමින් කළ සේවය නිසා අවුරුදු පතාම සම්මානයට පාත්‍රව ඇත.

ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාත්මික ගුරුවරයා ලෙස සමාජගත කළ අපරිමිත කරුණාව, දයාව, මෛත්‍රිය සන්නිස්ශි‍්‍රත මානසික සංහිදියාව නිසා උන්වහන්සේ 2002 මැයි මාසයේ එම විශ්වවිද්‍යාලය මඟින් ද (ඉනඥජඪචත අඥජධඨදඪබඪධද ඒඹචපඤ) තිළිණ ප්‍රදානයකට පාත්‍රවිණි. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ සේවා භාෂා පුහුණු විද්‍යාලය මඟින් උන්වහන්සේ ඉටු කළ භාෂා පුහුණු කටයුතු අගයමින් 2004 වසරේ ද සහතික සහ තිළිණ ප්‍රදානය කරමින් අගැයීමට ලක්කොට තිබේ.

“සසුන් කෙත සුපසන් ලෙසින් දල්වන්නට නිතැතින්ම තිබිය යුතු උපාධි සම්පතින් මෙන්ම ශ්‍රමණාකල්පවලින් සාර සැට වයස් සැපිරූ මේරිලෑන්ඩ් බෞද්ධ විහාරයේ අධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.”


රත්මලවින්නේ පුඤ්ඤානන්ද නා හිමි

ඉඹුල්පේ, මාමල්ගහ ශ්‍රී ජිනජෝතිකාරාමාධිපති රත්මලවින්නේ පුඤ්ඤානන්ද නා හිමියන් පින්වත් කුල කුමරුවකු ලෙසින් වර්ෂ 1940 පෙබරවාරි 14 වන දින මෙලොව එළිය දුටුවේ ය. මූලික අධ්‍යාපනය සඳහා වැලිගෙපොළ වළගම්බා මහා විද්‍යාලයට ද වැඩිදුර අධ්‍යාපනය සඳහා රත්මලවින්න මහා විද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ 1955 පෙබරවාරි මස 11 වන දින පැවිදි දිවියට ඇතුළත් වූහ.

පිළිවෙලින් පානදුර පින්වත්තේ සද්ධර්මාකාර පිරිවෙනින් සහ ගම්පොළ සිරි සුමනජෝති පිරිවෙන් වලින් වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේ ය. උන්වහන්සේ 1960 ජූනි 30 වන දින උපසම්පදා විය.

1962 උසස් පෙළ සමත්වීමත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබාගත්තේ ය. 1964 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1967 පෙබරවාරි 10 වන දින ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. 1970 දී ඕපනායක අභයරාජ පිරිවෙනෙහී ගුරු වෘත්තියට ඇතුළත් උන්වහන්සේ 1971 දී බදුල්ල කන්දේගෙදර විද්‍යාසාගර පිරිවෙනෙහි පරිවේනාධිපති වූහ.

1976 දී බදුල්ල කන්දේගෙදර මහා විද්‍යාලයේ ද 1978 සිට බලංගොඩ ඉඹුල්පේ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ද ගුරු හිමිනමක් ලෙස සේවයට එක්වූහ. පසුව එම විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පති වූ උන්වහන්සේ 1997 විශ්‍රාම ගනු ලැබීය. තම ගුරු දේවයාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව 1982 මාමල්ගහ ශ්‍රී ජිනජෝතිකාරාමයේ විහාරාධිපති වූහ.

1988 දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබාගත්තේ ය. ශාසනයට සිදුකළ ශාසනික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ 2002 දී උඩරට අමරපුර මහා නිකායේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද, 2003 දී ගරු නාම සම්මුතිය සහිත කාරක සංඝ සභික පදවියද එම වසරේම අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකාය මගින් පිරිනමන ලද ශාසන කීර්ති ශ්‍රී ජෝතීර් විද්‍යා පදවියෙන් ද පිදුම් ලැබුවේ ය.

2004 දී අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ එක්නැලිගොඩ විහාර පාර්ශවය මඟින් සද්ධර්ම වාගීශ්වර ඡ්‍යොතීර්විද්‍යා චක්‍රවර්තී පදවියද පිරිනමනු ලැබීය.

රත්මලවින්නේ පුඤ්ඤානන්ද නාහිමියන් ශ්‍රී ජිනජෝතිකාරාමයෙහි විහාරාධිපති තනතුර ලැබීමට පෙර විහාරයේ සංවර්ධන කටයුතු සඳහා මහත් වෙහෙසක් දැරීය.

උන්වහන්සේ අගලේගම ශ්‍රී ජනනන්දනාරාම විහාරය ආරම්භ කිරීමටත්, සීලගම සිරි ඛෙත්තාරාම පුරාණ විහාරය ප්‍රතිසංස්කරණය කිරීමටත්, ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතුව අසරණ පවුලක් සඳහා නිවසක් සාදා දීමටත්, වාර්ෂිකව ගවයන් නිදහස් කිරීමටත්, ඇස්කණ්ණාඩි සහ කාච ලබා දීමටත් කටයුතු සිදුකල උන්වහන්සේ ප්‍රදේශයේ ආගමික කටයුතු නිසි ලෙස ඉටු කිරීමටත් පැවිදි ආචාර්යන් වහන්සේලා වෙනුවෙන් වාර්ෂික ගුණානුස්මරණ පින්කම් පැවැත්වීමටත් කටයුතු කළහ.

උන්වහන්සේගේ අනුගාමිකත්වය යටතේ බුදුගල රජමහා විහාරය, කල්තොට ශ්‍රී ජිනේන්දාරාමය, මුල්ගම මූලාරාමය, මුල්ගම පුරාණ ශ්‍රී අග්‍රබෝධි විහාරය, උඩගම ශ්‍රී පරම බෝධිරාජාරාමය, සීලෝගම සිරි ඛෙත්තාරාමය සහ අගලේගම සිරි ජනනන්දාරාමය සැලකිය හැකිය. පළාතේ විහාරස්ථාන දියුණුවට හිමිපාණන් වහන්සේගෙන් ඉටුවූ සේවය ඉමහත්ය.

උන්වහන්සේගේ දිවියේ 74 වන ජන්ම දිනය සහ පැවිදි දිවියේ 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 15 සහ 16 දෙදින පුරා බලංගොඩ, කල්තොට බුදුගල රජමහා විහාරයේදී ආශිර්වාද බෝධිපූජා, සෙත් පිරිත් දේශනා ඇතුළු පින්කම් රැසක් සිදු කෙරිණි.

 

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 22 වැනිදා අඟහරුවාදා
පූර්වභාග 02.30 ට ලබයි.
23 වැනිදා බදාදා පූර්වභාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 28 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]