UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව- 09

ස්වාමි – භාර්යා යුතුකම්

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ සාර්ථක විවාහ දිවියකට අංගුත්තර නිකායේ ඇතුළත් පඨමසංවාස සූත්‍රයේ එන ධර්ම විග්‍රහය කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමු වන්නේ කවුරුත් හොඳින් දන්නා සූත්‍ර ධර්මයක් වන දීඝනිකායේ ඇතුළත් සිඟාලෝවාද සූත්‍රයේ එන ස්වාමි – භාර්යා යුතුකම් විමසා බැලීමට යි.

අප ජීවත් වන සමාජය සැකසී ඇත්තේ සංස්ථාවන්ගේ එකතුවකිනි. එම සමාජ සංස්ථාවන් සිඟාලෝවාද සූත්‍රයේ දී හඳුන්වා ඇත්තේ දිසා වශයෙනි. දිසා හයකට මෙසේ සමාජය බෙදා දක්වා ඇත්තේ ලෝක සම්මතයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙනය. ඒ අනුව දිසා හය හා සමාජ සංස්ථාවන් මෙසේ ය.

දෙමාපියන් නැඟෙනහිර දිසාව, ගුරුවරුන් දකුණු දිසාව, අඹුදරුවන් බටහිර දිසාව, මිතුරන් සහ අමාත්‍යයන් උතුරු දිසාව, දාසයන් හා කම්කරුවන් පහළ දිසාව හා ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ඉහළ දිසාව වශයෙනි.

මාතාපිතා දිසා පුබ්බා, ආචරියා දක්‍ඛිණා දිසා
පුත්තදාරං දිසා පච්ඡා මිත්තාමච්චා ව උත්තරා
දාස කම්මකරා හෙට්ඨා, උද්ධා සමණබ්‍රාහ්මණා
එතං දිසා නමස්සෙය්ය, අලමත්තො කුලෙ ගිහී

මෙම කොටස් 06 ට මුළු සමාජයේම අප කවුරුත් නියෝජනය කරන ස්ථරයන් ඇතුළත්ව ඇත. සමාජයක් සක්‍රිය හෙවත් නිවැරැදිව පවතින්නේ ඔවුනොවුන් සතු යුතුකම් හා වගකීම් මනා ලෙස ඉටුවුවහොත් පමණි. එසේ නොවුණ කල එම සමාජ සංස්ථාවන් දෙදරා යෑමකට පත්වෙයි. එයින් කියැවෙන්නේ එම සමාජ සංස්ථාව යම්කිසි අඩුපාඩුවක් කොයි පැත්තකින් හෝ සිදු වී ඇති බවයි. එසේ වූ කල එම සමාජ සංස්ථාව තුළ ගැටුම් ඇති වීම සිදු වේ. එය සමාජ ප්‍රගමනයට බාධාවකි. මේ සමාජ සංස්ථාවන් අතර පවුලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඊට හේතුව අප කවුරුත් කුමන හෝ පවුලක සාමාජිකයන් වීමයි. පවුල ගොඩ නැගෙන්නේ විවාහයත් සමඟය. එයින් ඇතිවන සාමාජිකයින් සමාජයේ විවිධ පැතිකඩයන්ට බලපෑම් ඇති කරයි. ස්වාමි, භාර්යාවන් වශයෙන් මෙන්ම, දෙමාපියන් වශයෙන් ද සමාජයට වැදගත් කාර්ය භාර්යක් ඉටු කරනුයේ පවුල නමැති සමාජයේ ප්‍රාථමික සංස්ථාවයි. එබැවින් ස්වාමි භාර්යාවන් අතර ගොඩ නැඟෙන මනා සම්බන්ධය අනාගත සමාජ සංවර්ධනය සඳහා ඉටු කරනුයේ මහත් මෙහෙයකි. මේ නිසාම බුදුරජාණන් වහන්සේ පවුල නමැති සමාජ සංස්ථාව ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වාගෙන යෑමට අවැසි උපදෙස් මාලාවක් සිඟාලෝවාද සූත්‍රයේ ද ස්වාමි, භාර්යා දෙපාර්ශ්වයටම ලබා දී ඇත. මෙහිලා අපගේ සාකච්ඡාවට භාජනය වනුයේ එම ස්වාමි භාර්යා යුතුකම් හා වගකීම් ය.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි ස්වාමියාගෙන් භාර්යාවට ඉටුවිය යුතු යුතුකම් 05 මෙසේ ය.

1. බිරිඳට ආදර ගෞරවයෙන් කටයුතු කළ යුතු ය.

- සම්මානනාය

2. බිරිඳ කිසි විටෙක අවමානයට නින්දාවට පත් නොකළ යුතුය

– අනවමානනාය

3. තම බිරිඳ හැර වෙනත් ස්ත්‍රීන් නොපැතිය යුතුය

– අනතිවරියාය

4. ගෙදර සම්පත් කළමනාකරණය තම ස්වාමි දියණියට

පැවරිය යුතුය. – ඉස්සරියවොස්සග්ගෙන

5. බිරිඳ පි‍්‍රයකරන දේ ලබා දීමෙන් ඇය සතුටු කළ යුතුය

-අලංකාරානුප්පදානෙන.

සම්මානනාය

විවාහ ජීවිතයේ දී ස්වාමි භාර්යා දෙදෙනාගේ අන්‍යෝන්‍ය ගෞරවය ඉතා වැදගත් වේ. බොහෝ පවුල් ජීවිතවල අපට දක්නට ලැබෙන්නේ ස්වාමියා විසින් බිරිඳ යටත් කරගත් තත්ත්වයකි. විවාහය යනු එසේ කෙනෙක් තවෙකෙක් යටත් කරගැනීම නොව අන්‍යෝන්‍ය අවබෝධයෙන්, විශ්වාසයෙන් හා ආදර ගෞරවයෙන් එකිනෙකාගේ අවශ්‍යතාවයන් ඉටුකරගනිමින් ජීවත් වීමය.එබැවින් ස්වාමියා විසින් ස්වකීය බිරිඳගේ ගෞරවය ආරක්‍ෂා කරගතයුතු අතර මෙහිදී සම්මානනාය යනුවෙන් අදහස් කරන්නේ ස්වාමියා විසින් බිරිඳට ආදරයෙන් මෙන්ම ඇගේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමයි.

අනවමානනාය

අප සමාජයේ ජීවත්වන කවුරුත් අන් අයගේ අවමන් විඳීමට අකැමැති වෙයි. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ දී බිරිඳ ස්වාමියාගේ අවමන්වලට ලක් නොවිය යුතු ය. ඇතැම් ස්වාමියන් නිතරම කටයුතු කරනුයේ තම බිරිඳට අවමන් වන අයුරිනි. සමහර අවස්ථාවල පිරිසක් ඉදිරියේද බිරිඳට කතාකරනුයේ අවමන්වන අයුරිනි. පහත් අයුරිනි. තම බිරිඳගේ යම් වරදක් ඇත්නම් ඇයට එය ආදරයෙන් පෙන්වා දී සකස් කර ගැනීමට උත්සාහ කළ යුතු ය. අවමානයට ලක් කිරීමෙන් සිදු වනුයේ ඇය තව තවත් දරුණු වීමය.

අනතිචරියාය

බොහෝ අවස්ථාවල පවුල් තුළ ගැටලු ඇතිවීමට හේතුවන කාරණයකි, ස්වාමියා තම බිරිඳට අමතරව වෙනත් කාන්තාවන් ප්‍රාර්ථනා කිරීම, විවාහ ජීවිතයේ මෙය කිසිසේත් සිදු නොවිය යුත්තකි. ස්වාමියා, තම බිරිඳ හැර වෙනත් කාන්තාවන් ප්‍රාර්ථනා නොකළ යුතු ය. තම ස්වාමියා වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන බව තම බිරිඳ දැනගත් විට ඇයට දැනෙන්නේ විශාල කනගාටුවකි. දුකකි. එය සමාජයේ සෙසු අය දැනගත් විට ඇයට ඇති වන්නේ මහත් ලජ්ජාවකි. ඇය සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්වෙයි. සමහර විට මෙය සියදිවි නසා ගැනීමකින් හෝ දික්කසාදයකින් කෙළවර විය හැක.

ඉස්සරියවොස්සග්ගෙන

බොහෝවිට නිවසේ පරිපාලන කටයුතු සිදුකරනුයේ බිරිඳයි. ස්වභාවයෙන්ම ස්ත්‍රීන් ගේ දොර පිළිවෙළට තබා ගැනීමට රුචිකත්වයක් දක්වයි. එබැවින් ගේ දොර මෙන්ම එහි සම්පත් කළමනාකරණය තම ස්වාමි දියණියට පැවරිය යුතු ය. ස්වාමියා ඒ සඳහා ඇගේ රුචි අරුචිකම් තේරුම්ගෙන ඒවා ක්‍රමවත් කරගැනීම සඳහා තමාට හැකි අයුරින් උදව්විය යුතු ය.

අලංකාරානුප්පදානෙන

ස්වභාවයෙන්ම කාන්තාවන් ඇඳුම්, පැළඳුම්වලට ඇලුම් කරති. එබැවින් ස්වාමියා තමාට හැකි අයුරින් බිරිඳ පි‍්‍රයකරන දේ ලබා දීමෙන් ඇය සතුටු කළ යුතු ය. ඇය පි‍්‍රයකරන වස්ත්‍ර මෙන්ම ඇය පි‍්‍රය කරන ආභරණ ද තමාද අය වැය අනුව සලකා බලා වරින් වර බිරිඳට ලබා දෙමින් ඇය සතුටු කළ යුතු ය. තම අසල්වැසි නිවෙස්වල කාන්තාවන් මනාව ඇඳ පැළඳ සිටිනවිට තමාගේ ස්වාමියා තමාගේ අවශ්‍යතාවයන් සපුරන්නේ නැති නම්, ඇයට ඇති වන්නේ කනගාටුවකි. එබැවින් ස්වාමියා තම බිරිඳගේ රුචි අරුචිකම් තේරුම්ගෙන තමාට හැකි අයුරින් ඇය පි‍්‍රය කරන වස්ත්‍රාභරණ සපයා දීමෙන් සතුටු කළ යුතු ය.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි භාර්යාවගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් 05 මෙසේ ය.

1. නිසි කලට - වේලාවට පවුලේ කටයුතු සංවිධානය කළ යුතු ය. - සුසංවිහිතකම්මන්තා ච හොති

2. ස්වාමියාගේ පිරිවර ජනයාට හෙවත් ඔහුගේ යහළු මිත්‍රයන්ට සංග්‍රහ කළ යුතු ය. - සංගහිතපරිජනාව

3. තම ස්වාමියා හැර වෙනත් පුරුෂයෙකු නොපැතිය යුතුය. – අනතිචාරිනී ච

4. සැමියා උපයන ධනය නිකරුණේ වියදම් නොකොට ආරක්‍ෂා කරගත යුතුය. - සම්භතඤ්ච අනුරක්ඛතී

5. කම්මැළි නොවී සියලු කටයුතුවල නියැළිය යුතුය. – දක්ඛාච හොති අනලසා සබ්බකිච්චෙසු

සුසංචිහිතකම්මන්තා ච හොති

බිරිඳකගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් අතර වැදගත්ම කටයුත්තක් වන්නේ නිසි කලට වේලාවට පවුලේ කටයුතු සංවිධානය කිරීමයි. බිරිඳ සියලු දෙනාට කලින් අවදිවිය යුතුය. ආහාර පානාදිය පිළියෙළ කරමින් එම කටයුතු පිළිවෙළට මෙන්ම ක්‍රමවත්ව කළ යුතු ය. බිරිඳ සියලු දෙනාට පසුව නින්දට යා යුතු ය. නින්දට පෙර සියලු කටයුතු හමාර වී ඇද්දැයි විමසා බැලිය යුතු ය. ගේ, දොර, ජනේල ආදිය නිවැරැදිව වසා ඇද්දැයි විමසා බැලිය යුතු ය. මෙසේ බිරිඳ ක්‍රමවත්ව මෙන්ම කලට වේලාවට තමාගේ කටයුතු ඉටුකිරීම තුළින් පවුලේ දියුණුව ඇති වේ. එමෙන් එය ස්වාමියාට කරන සැලකිල්ලකි.

සංගහිතපරීජනාව

සමහර අවස්ථාවල ස්වාමියාගේ පිරිවර ජනයා හෙවත් ඔහුගේ යහළු මිත්‍රයන් තම නිවසට පැමිණිය හැක. ඔවුන්ට කිසි වෙනසක් නො දක්වා සංග්‍රහ කළ යුතු ය. එය ස්වාමියාට කරන ගෞරවයකි. එමෙන්ම සැලකිල්ලකි. සමහර පවුල්වල බිරින්දෑන් මෙසේ තම ස්වාමියාගේ යහළු මිත්‍රයන් තම නිවසට පැමිණෙනවාට රුචිකමක් නොදක්වයි. ඔවුන්ට ඇතැම් අවස්ථාවක වචනයකින් පවා සංග්‍රහයක් නොදක්වයි. එසේ වූ විට එහි අගෞරවය හිමි වන්නේ තම ස්වාමියාටය. ඔහු පිරිස අතර ලජ්ජාවට හා සමච්චලයට ලක් වේ. එබැවින් බිරිඳ නිවසට පැමිණෙන තම ස්වාමියාගේ යහළු මිත්‍රාදීන්ට මනාව සංග්‍රහ කළ යුතු ය.

අනතිචාරිනීච

බොහෝ අවස්ථාවල පවුල්තුළ ගැටලු ඇතිවීමට හේතුවන කාරණයකි. බිරිඳ තම ස්වාමියාට අමතරව තවත් පිරිමින් ප්‍රාර්ථනා කිරීම. විවාහ ජීවිතයේ මෙය කිසිසේත් සිදු නොවිය යුත්තකි. බිරිඳ තම ස්වාමියා හැර වෙනත් පිරිමින් ප්‍රාර්ථනා නොකළ යුතු ය. එසේ නැතිනම් සිදුවනුයේ විශාල ගැටලුවලට මුහුණ දීමය. සමහර බිරින්දෑවන් තම ස්වාමියාට නොදැනෙන පරිදි රහසේ වෙනත් පිරිමින් සමඟ සම්බන්ධතාවන් පවත්වාගෙන යති. එහෙත් එය කවදා හෝ එළිවෙනු ඇත. එයට හේතුව ලෝකයේ රහසක් නැති බැවිනි.

සම්භතඤ්ච අනුරක්ඛති

ගේ දොර කටයුතු ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වාගෙන යනවා මෙන්ම බිරිඳ විසින් තම ස්වාමියාට කළයුතු තවත් වැදගත් යුතුකමක් වන්නේ ස්වාමියා දුක් මහන්සි වී හරි හම්බ කරන, උපයන මිල මුදල් ධනය නිකරුණේ වියදම් නොකොට ආරක්‍ෂා කිරීමයි. බොහෝ පවුල්වල ගැටුම් ඇතිවීමට හේතු වන්නේ මෙසේ තම ස්වාමියා දුක් මහන්සි වී උපයන ධනය බිරිඳ විසින් නිකරුණේ අනවශ්‍ය දේ සඳහා වියදම් කිරීමයි. එබැවින් පවුලේ දියුණුව අපේක්‍ෂා කරන බිරිඳ ස්වාමියා උපයන වස්තුව - ධනය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ යුතු ය. ආරක්‍ෂා කරගත යුතු ය.

දක්ඛා ච හොති අනලසා සබ්බකිච්චෙසු

බිරිඳ කම්මැළි නොවී සියලු කටයුතුවල නියැළිය යුතු ය.ඇය කම්මැළි වුවහොත් සියලු කටයුතු අඩාල වේ. පවුලේ දියුණුව ඇති නොවෙයි.

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් -තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 08 දෙවි විමනක් බඳු විවාහ දිවිය

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]