UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය උපෝසථ ශීලය

ආර්ය උපෝසථ ශීලය

මිනිසත්භාවයක් ලද ක්ෂණය තුළ සසර දුකින් මිදීමට අප්‍රමාදව කටයුතු කරගත යුතු බව තථාගතයන් වහන්සේ ලෝකයාට මහා කරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සේක. එසේ දේශනා කිරීමට හේතුවන්නේ ප්‍රමාදය එතරම්ම බියකරු නිසාමය. ප්‍රමාදවූවන් සතර අපායට වැටී විඳින්නා වූ දුක් ගැහැට සම්මා සම්බුදුපියාණන්වහන්සේ දකින නිසාවෙනි.

වත්මන් සමාජයේ බොහොමයක් කුඩා, තරුණ, මැද සහ මහලු යන වියේ උවැසි උවැසියෝ සිල් සමාදන්ව කටයුතු කරති. සිල් සමාදන් වීම යහපත් කටයුත්තකි. එහෙත් එහි පරමාර්ථය කෙබඳුද යන්න විමසා බැලිය යුතුයි. ඇතැම් විට පවුලේ සියල්ලෝම පොහොය දින පෙහෙවස් සමාදන් වෙති. ස්වාමි දියණිය පමණක් සමහරවිට සිල්සමාදන් වෙයි. ස්වාමිපුරුෂයා සහ බිරිඳ දෙදෙනාමත් කලාතුරකින් එසේ සිල් සමාදන් වෙති. එසේ නොවී, කෙනකු සිල් සමාදන් වෙනවට විරුද්ධව කටයුතු කරමින් යහපත වළකන අයද සමාජයේ ජීවත් වෙති. උදාහරණයක් ගතහොත්, ස්වාමි දියණිය පෙහෙවස් සමාදන් වනවාට ස්වාමිපුරුෂයා විරුද්ධකම්පායි. නැතිනම්, ස්වාමිපුරුෂයා පෙහෙවස් සමාදන්වනවිට ස්වාමිදියණිය විරසක වන්නීය. දරුවන් පෙහෙවස් සමාදන් වන විට මහණ වේ යයි බියට සමහර මව්පියෝ ඔවුන් ඉන් වළකති. එදිනට බාහිර අමතර පන්තියකට හෝ යැවීමට කටයුතු කරති. එසේ නැත්නම්, සිල් සමාදන්වීමට තවකල් තිබෙනවායි පවසමින් සාරය අසාරය කොටගෙන අසාරය සාරය කොටගෙන ප්‍රමාද විහරණයේ යෙදෙති. ඒ කෙසේ වෙතත් ලොව ජනයා සම්බුදු ශාසනවලත්, බාහිරවත්, පෙහෙවස් සමාදන් වෙති. අතීතයේ එසේ සමාදන් වී තිබේ. අනාගතයටත් සිද්ධ වේ.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැඩවසන දවස සැවැත්නුවර පන්සියයක් පමණ උවැසියෝ (බාල, තරුණ, මැදවිය, වයස්ගත) පොහොය දින සිල්සමාදන්ව වෙහෙර සිටියහ. ඒ පිරිස් අතරට විශාඛා මහ උවැසි තොමෝ පැමිණ පෙහෙවස් සමාදන්වීමට කාරණා කවරේදැයි විමසුවාය. එය දැන ගැනීම කාහටත් වැදගත් වනු ඇත.

විශාඛා මහා උවැසිය – (වයස්ගත උවැසියන් වෙත පැමිණ) මෑණිවරුනි, ඔබ පෙහෙවස් සමාදන් වූයේ කුමක් පතාද?

මහලු උවැසියෝ – අපි මහලුබවට පත්වූයෙමු. දෙව් සැප පතා සිල් සමාදන් වූයෙමු.

විශාඛා මහ උවැසිය - (මැද වයස් පිරිස වෙත පැමිණ) නැඟණියනි, කුමක් පතා සිල්සමාදන් වූයේ ද?

මැදිවයස් උවැසියන් - සැමියාගේ අන් බිරිඳන් කෙරෙහි පවත්නා කෝපයෙන් මිදීම පිණිස සිල්සමාදන් වූයෙමු.

විශාඛා මහ උවැසිය – (තරුණ වයස් උවැසියන් වෙත පැමිණ) කුමක් පතා සිල් සමාදන් වූයේද?

තරුණ උවැසියන් – කුළුඳුල් පිරිමි පුතුන් ලබනු පිණිස සිල් සමාදන් වූයෙමු.

විශාඛා මහ උවැසිය – (බාලවයස් උවැසියන් වෙත පැමිණ) කුමක් පතා සිල් සමාදන් වූයේ ද?

බාලවයස් උවැසියන් – වැඩි වයසට නොපැමිණ කුඩා වියේදීම සරණයෑම සඳහා සිල් සමාදන් වූයෙමු.

සිල් රැකීමේ පරමාර්ථය (උතුම්බව) නොදත් සතර පිරිසම බුදුන්වහන්සේ වෙත පමුණුවා ඔවුන්ගේ අදහස් දන්වා සිටියා ය. පුහුදුන් සත්වයා කුමක් පිණිස සිල් රකින්නේ ද යන අදහස නොදන්නාතාක් මුළාවෙන් යුතුව ජරා මරණය කරා පැමිණෙන බව පහත සඳහන් ගාථා රත්නයෙන් වදාළ සේක.

යථා දණ්ඩෙන ගොපාලො
ගාවො පාචෙති ගොචරං
ඒවං ජරා ච මච්චු ච
ආයුං පාචෙන්ති පාණිනං

“ගවයන් බලන ගොපලුන් දණ්ඩක් රැගෙන ගවයන් තණබිම් කරා දක්කන්නේ යම් සේද, නිවන පිළිබඳ නොදන්නා සත්කැලද නොයෙක් බලාපොරොත්තු සහිත ව දුකසේම ජරා මරණ කරා නිරන්තරයෙන්ම ආයු ගෙවමින් ඇදී යති.”

දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාමයෙහි (විශාඛා මහ උපාසිකාව විසින් කරවන ලද) වැඩ වසන සේක. පෙහෙවස් සමාදන් වී මිගාර මාතාව වු විශාඛා මහ උපාසිකාව භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ වැඳ එකස්පසක සිටියා ය. එතුමියට පෙහෙවස් සමාදන් වීම පිළිබඳ මෙසේ දේශනා කළ සේක. “විශාඛාවෙනි, පෙහෙවස් තුනකි. ඒ කවරේද?

1. ගොපාල උපෝසථය
2. නිගන්ඨ උපෝසථය
3. ආර්ය උපෝසථය

විශාඛාවෙනි, ගවයන් බලන ගොපලුන්, දවස පුරා ගවයන් තණ බිම් කරා දක්කා සවස් කල ගව හිමියාට ගවයන් බාරදෙයි. එසේ දී මෙසේ සිතයි. අද දින ගවයෝ අසවල් අසවල් තැන තණ කෑහ. අසවල් තැනින් බීමට වතුර සලසාදුනි. හෙට දවස අසවල් අසවල් ප්‍රදේශයෙන් තණ කෑමට සලසනවා අසවල් බිම් ප්‍රදේශයෙන් වතුර බීමට සලසනවා. එපරිදිම විශාඛාවෙනි මෙලොව කිසිවෙක් පෙහෙවස් ඇතියේ මෙසේ සලකති. මම අද මේ මේ රස දේ කෑවෙමි.රසවත් දේ බීවෙමි. භොජ්‍ය අනුභව කෙළෙමි. හෙට දවසත් රසවත් ආහාර අනුභව කරන්නෙමි. ප්‍රණීත වූ පානය බොන්නෙමි. මෙසේ ලෝභයෙන් (අභිධ්‍යාසහගත සිතින්) කෑදරකමින් දවස ගෙවයි. මෙය ‘ගොපලු පෙහෙවස’ වෙයි. විශාඛාවෙනි, මේ පෙහෙවස මහත්ඵල නොවෙයි. මහානිශංස නොවෙයි. මහද්ගත නොවෙයි. මහාවිස්ථාර ද නොවෙයි. මෙසේ මතු සංකල්පනාවෙන් යුතුනම් ඔබත් සමාදන් වී ඇත්තේ ගොපලු උපෝසථය බව සැලකිය යුතු යි. රසයට ගිජුව කාම සිතිවිලි සිතන්නේ නම්, හෙට දවසත් රසයට ගිජුව වාසය කරන්නේ නම් සමාදන් වී ඇති පෙහෙවස හරයක් ඇති දෙයක් නොවේ. සැනසිල්ලක් විවේකයක් සන්සිඳීමක් මහත්ඵල අනිශංස ඔබට අත්පත් කර ගැනීමට හැකියාව නැත්තේ ය.

විශාඛාවෙනි, නිගණ්ඨ නම් මහණ පිරිසක් ඇත. එම පිරිස තම සව්වන් මෙසේ සමාදන් කරවති. එම්බා පුරුෂය, එව, තොප මෙසේ ප්‍රාණින්ට දයාව අනුකම්පාව පිණිස සමාදන් විය යුතු යි. ඒ කෙසේද? නැ‍ෙගනහිරින් යොදුන් සියයක් මෙපිට යම් ප්‍රාණීන් ඇත්ද ඔවුන් කෙරෙහි දඬු බහා තබවු. උතුරු දෙසින්, බටහිර දෙසින්, දකුණු දෙසින්, ප්‍රාණින් කෙරෙහි දඬු බහා තබවු. මෙසේ ඇතැම් සත්වයන්ට (ප්‍රාණීන්ට) දයා පිණිස, අනුකම්පා පිණිස සමාදන් වෙති. ඇතැම් ප්‍රාණීන්ට දයා පිණිස අනුකම්පා පිණිස සමාදන් නොවෙති. තවද මෙසේ සමාදන් කරවයි. එම්බා පුරුෂය, සියලු වස්ත්‍ර ගලවා (හැඳි පිළි) මෙසේ කියව. ‘මම කිසිතැනෙක්හිදි කිසිවෙකුගේ පළිබෝධයෙක් නොවෙමි. මාගේ ඇතුළත සහ පිටත කිසිදු තැනක පිරිකරෙක (වස්ත්‍රාභරණ) පළිබෝධකයක් ද නැත. එහෙත් තම මවුපියෝ මේ අපගේ පුතා වෙයි, හෙතෙමේද මෙ මගේ මවුපියන් වෙයි, දරුවෝද මේ අපගේ පියා යයිද, හෙතෙමේද මේ මගේ අඹු දරුවන් යයිද හඳුනාගනිති. දැසි දස් කම්කරුවෝ ද මේ අපගේ ස්වාමිපුත්‍රයායයිද, හේද මේ මාගේ දස්කම්කරුවන් යයිද දනිති. මෙලෙස සත්‍යයෙහි සමාදන් විය යුතුද එහෙත් අසත්‍යයෙහි සමාදන් කරවති. මෙය ඔහුගේ මුසාවයි කියමි. හෙතෙම ඒ රෑ ඉක්ම යෑමෙන් හොර රහසේ ඒ භෝග වළඳයි. මේ පෙහෙවස විශාකාවෙනි ‘නිවට පෙහෙවස’ (නිගණ්ඪුපෝසථය) වන්නේ වෙයි. මෙයද මහත්ඵල නොවෙයිමහත් අනුසස් නොවෙයි. බැබළීමක් නොවෙයි. මහද්ගත නොවෙයි.”

විශාඛාවෙනි, අරියුපෝසථය කවරේද? කෙලෙස් වලින් පිරී ගිය දුර්වර්ණ වූ සිත ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු භාවයට පැමිණෙයි. කෙසේ නම් වේද? බුදු සසුනෙහි ආර්ය ශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේ මෙසේ සිහිපත් කරයි (අනුස්මරණය කරයි). මාගේ ස්වාමි වූ ලොව්තුරා බුදුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් නම් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විද්‍යාචරණ නම් වන සේක. සුගත නම් වන සේක. ලෝක විදූ නම් වන සේක. අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක. දෙව් මිනිසුන්ට ශාස්තෘ නම් වන සේක. බුද්ධ නම් වන සේක. භාග්‍යවත් නම් වන සේක. මෙසේ නව අරහාදී බුදුගුණ සිහි නුවණින් යුතුව මෙනෙහි කරයි.

මෙසේ සිහිපත් කිරීම අනුස්මරණය කරන දේ අතුරින් ශ්‍රේෂ්ඨතම අනුත්තරිය ධර්මය වේ. රාගාදි කෙලෙස්වලින් බරිත වූ අය සිහිපත් කිරීමෙන් තවදුරටත් තම සිත අපිරිසුදු භාවයට පැමිණෙයි. ලොව්තුරා බුදු ගුණ සිහිපත් කිරීම, එයට අනුගතවීම සිතේ පහන්භාවය පිණිස පවතියි. පී‍්‍රති ප්‍රමෝදය පිණිස පවතියි. චිත්තයාගේ උපක්ලේශයෝ ද ප්‍රහීණ වෙති. සිත මුදුතර වෙයි. ක්‍රම ක්‍රමයෙන් කිලිටි සිත පිරිසුදු භාවයට පැමිණෙයි.

බොහෝ කලක් අපිරිසුදු වූ හිසෙහි (කෙස් කළඹ) ඇඹුල් කල්කය, බෙහෙත් ඖෂධ ද ගොනුකර මහත් උත්සාහයෙන් දියමුසු යොදා ක්‍රමිකව පිරිසුදු බව ඇති කරන්නේ ද, එසේ නීවරණ ආදි කෙලෙස්වලින් දහනය වූ තෙත් වූ දුර්වර්ණ වූ සිත වීතරාගී වූ ගුණස්කන්ධය ගුණ සාගරය සිහිපත් කරනවිට අතිශය පිරිසුදු භාවයට පත්වෙයි. ශාන්තවෙයි. දමනය වෙයි. සමාහිත වෙයි. විවේකයට පත්වෙයි.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]lakehouse.lk