UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චිත්තවේග පාලනය

චිත්තවේග පාලනය

චිත්තවේග යහපත් ඒවා මෙන්ම අයහපත් ඒවාද විය හැකිය. බුදුසමයට අනුව අයහපත් චිත්තවේග අකුශල සහගත පාප සහගත ඒවා යනුවෙන් හඳුන්වන අතර යහපත් චිත්තවේග කුශල සහගත පුණ්‍ය සහගත චිත්ත වේග වශයෙන් නම් කෙරේ. අප සිතෙහි ඇතිවෙන ඇතැම් චිත්තවේග නිරුත්සාහයෙන් ඇතිවෙන අතර ඇතැම් ඒවා උත්සාහයෙන් ඇතිවේ. පුද්ගලයා කිසියම් යහපත් හෝ අයහපත් ප්‍රතිචාරයක් සඳහා මෙහෙයවීමේ හැකියාව චිත්තවේග සතුවේ. එමෙන්ම සෑම චිත්තවේගයක්ම පුද්ගලයාගේ මනැස පමණක් නොව ශරීරය සමගද සම්බන්ධ වේ. ඒ අනුව චිත්තවේග පුද්ගලයාගේ මනැසෙහි පැවැත්මට මෙන්ම කයෙහි පැවැත්මට බලපෑම් කරයි

පුද්ගලයාගේ මනසෙහි යම් ප්‍රකම්පනයක් හෝ චලනයක් ඇතිකරන මානසික තත්ත්වයන් චිත්තවේග වශයෙන් සරලව හඳුන්වනු ලැබේ. එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන්ම මානසිකව අත්දකින මෙම චිත්තවේග වින්දනය (වේදනා) චින්තනය, (විතක්ක) චර්යා (හැසිරීම් රටාව හෙවත් කායික වාචසික චර්යා) සමග අනිවාර්යෙන්ම සම්බන්ධ වේ.අපගේ එදිනෙදා කල්පනා, හැසිරීම් කවර ආකාරයේ ඒවා විය යුතුද යන්න තීරණය කෙරෙන්නේ අපගේ සිතේ ඇතිවෙන විවිධ චිත්තවේග මගින්ය.

මෙම චිත්තවේග යහපත් ඒවා මෙන්ම අයහපත් ඒවාද විය හැකිය. බුදුසමයට අනුව අයහපත් චිත්තවේග අකුශල සහගත පාප සහගත ඒවා යනුවෙන් හඳුන්වන අතර යහපත් චිත්තවේග කුශල සහගත පුණ්‍ය සහගත චිත්ත වේග වශයෙන් නම් කෙරේ. අප සිතෙහි ඇතිවෙන ඇතැම් චිත්තවේග නිරුත්සාහයෙන් ඇතිවෙන අතර ඇතැම් ඒවා උත්සාහයෙන් ඇතිවේ. පුද්ගලයා කිසියම් යහපත් හෝ අයහපත් ප්‍රතිචාරයක් සඳහා මෙහෙයවීමේ හැකියාව චිත්තවේග සතුවේ. එමෙන්ම සෑම චිත්තවේගයක්ම පුද්ගලයාගේ මනැස පමණක් නොව ශරීරය සමගද සම්බන්ධ වේ. ඒ අනුව චිත්තවේග පුද්ගලයාගේ මනැසෙහි පැවැත්මට මෙන්ම කයෙහි පැවැත්මට බලපෑම් කරයි. යහපත් චිත්තවේග මගින් පුද්ගලයා කායික හා මානසික වශයෙන් නීරෝගී අයෙකු බවට පත්කරන අතර අයහපත් චිත්ත වේග පුද්ගලයා රෝගී අයෙකු බවට පත් කරයි.

උදාහරණයක් වශයෙන් කෝපය වැනි අයහපත් චිත්තවේගයකින් පුද්ගලයාගේ කායික මානසික දෙඅංශයම පීඩාවට පත් කරන අතර මෛත්‍රිය වැනි චිත්ත වේගයන් සිත කය සිසිල් සුවදායක එකක් බවට පත්කරයි. මෙනිසා චිත්තවේග පිළිබඳ ඉගැන්වීම මනෝවිද්‍යාවෙහි විශේෂ කොටසක් වේ. බෞද්ධ මනෝවිග්‍රහය ඒ පිළිබඳ බටහිර සියලු ඉගැන්වීම් අභිභවා පවතී. මනස හා සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම් මනෝවිද්‍යාව යනුවෙන් හැඳින්වීමට වඩා මනෝවිග්‍රහය යනුවෙන් හැඳින්වීම යුක්තියුක්ත වන්නේ මනෝවිද්‍යාව තුළ එළඹෙන නිගමන නිරන්තරයෙන්ම වෙනස්වන බැවිනි.

චිත්තවේග යටතේ දැක්වෙන මානසික ස්වභාවයන් හැඳින්වීම පිණිස විවිධ පද ත්‍රිපිටකයේ ඇතුළත්වන අතර ඒ සියල්ල යටතේ චිත්තවේග වර්ග කෙරෙන අතරම ඒවා පිළිබඳ යහපත් හා අයහපත් යනුවෙන් සදාචාරමය ඇගයුම් පද්ධතියක්ද ඉදිරිපත්කර තිබේ. ඒ යටතේ කිලෙස, උපක්කිලෙසද, ආසව, අනුසය, නීවරණ,අංගණ යන පද මගින් ඉදිරිපත් කරන චිත්තවේග අකුශල වේ.කුශල පක්‍ෂයට අයත් චිත්තවේග වශයෙන් අලෝභ, අදෝෂ, අමෝහ, සතර බ්‍රහ්මවිහරණ, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, සප්තබෝධ්‍යංග ධර්ම ආදිය නම් කළ හැකිය. අකුශල සහගත චිත්තවේග බැහැරකොට කුශල සහගත චිත්තවේග වර්ධනය කරගැනීම පිණිස බුදුසමයෙන් විවිධ උපක්‍රම යෝජනා කෙරේ. එම උපක්‍රම අතර ප්‍රතිකාරාත්මක හා නිවාරණාත්මක යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් ඇතුළත් වේ. පළමු ක්‍රමයේදී හටගත් අයහපත් අකුශල චිත්තවේග කළමනාකරණය කරගනු ලැබේ. දෙවන ක්‍රමයේදී අකුශල සහගත චිත්තවේග ඇතිවීමට පෙර නිවාරණය කරගනු ලැබේ. පළමු ක්‍රමය යටතේ අනුගමනය කළ හැකි ක්‍රමවේද පහක් විතක්ක ඝණ්ඨාන සූත්‍රයේ ඇතුළත් වේ. දෙවන ක්‍රමය යටතේ අනුගමනය කළ හැකි ක්‍රමවේද හතක් සබ්බාසව සූත්‍රයෙහි ඇතුළත් වේ. මෙම ලිපියෙන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයේ ඉදිරිපත් කරන ක්‍රමෝපාය සාකච්ඡා කෙරේ. එම ක්‍රම පහ ඉදිරිපත් කෙරෙන්නේ කිසියම් අනුපූර්ණ ක්‍රමයකට අනුවය. එසේම එක් එක් ක්‍රමවේදය පැහැදිලි කිරීම පිණිස උපමා භාවිතාකොට ඇති හෙයින් එය පහසුවෙන් වටහා ගැනීමට හැකිවේ.

අරමුණ වෙනස් කිරීම

දක්‍ෂ වඩුවෙකු ලී පුවරුවක ඇති මහ ලී ඇණයක් සියුම් ලී ඇණයකින් ගසා ඉවත් කරන්නාක් මෙන් සිතේ ඇතිවෙන යම් සිතිවිල්ලක් හෝ අරමුණක් මෙනෙහි කරන විට අකුශල සහගත හැගීම් ඇතිවන්නේ නම් එය අමතක කොට වෙනත් යහපත් සිතිවිල්ලක් හෝ අරමුණක් මෙනෙහි කළ යුතුයි. සිතා මතාම අරමුණ වෙනස් කිරීමෙන් මනස අපිරිසුදු කෙරෙන, පාපය සඳහා යොමුවෙන චිත්තවේග පාලනය කරගත හැකි පළමු ක්‍රමය වේ.

ආදීනව මෙනෙහි කිරීම

පළමු ක්‍රමය මගින් චිත්තවේග පාලනය කරගත නොහැකි නම් දෙවන ක්‍රමය යටතේ එම චිත්තවේග ක්‍රියාත්මක වීමෙන් තමාට විඳීමට සිදුවන අයහපත, ආදීනව, හානිකර බව මෙනෙහි කළ යුතුවේ.මේ යටතේ අයහපත් චිත්තවේග මගින් තමාටත් සමාජයටත් සිදුවන හානිය විමසා බැලිය හැකිවේ. අලංකාර ලෙස සැරසී සිටීමට කැමැති තරුණියක් හෝ තරුණයෙක් තම ගෙලෙහි දවටන ලද සර්ප කුණක්, බලු කුණක් හෝ මිනිස් කුණක් ඇති බව ක්‍ෂණිකව වටහා ගැනීමෙන් ලජ්ජාවට පත්ව පිළිකුලෙන් එය බැහැර කරන්නාක් මෙන් අකුශල සහගත චිත්තවේග හේතුවෙන් ඇතිවන ආදීනව දෙස පිළිකුලෙන් යුක්තව බලා බැහැර කළ යුතුවේ.

මෙනෙහි නොකර සිටීම

අකුශල සහගත චිත්තවේගවල ආදීනව මෙනෙහි කරන විටත් තවදුරටත් ඒවා සිත තුළ පහළවන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. නැතහොත් ඒ පිළිබඳ දිගින් දිගට මෙනෙහි කිරීමෙන් වැළකිය යුතුවේ. අකුශල සහගත චිත්තවේග නැවත නැවත මෙනෙහි නොකිරීමෙන් ඒවා තවදුරටත් මනස තුළ ක්‍රියාත්මක වීම ක්‍රමයෙන් දුර්වල වනු ඇත. අකුශල සහගත චිත්තවේග පවත්වා ගැනීමට මනසින් කිසිම උපකාරයක් නොලැබෙන හෙයින් ඒවා මනසින් පහව යනු ඇත. තමන් අකමැති රූපයක් දැකීමට සිදුවූ විටෙක ඒ දෙස නොබලා තම දෑස් පියා ගන්නාක් මෙන් අකුශල සහගත චිත්තවේගවලට අවධානය යොමු කිරීමෙන් වැළකිය යුතුවේ.

මුල් හේතුව විශ්ලේෂණය කිරීම

සිහි නොකර සිටින විටත් තවදුරටත් එම අකුශල සහගත චිත්තවේග මනස තුළ ක්‍රියාත්මක වන්නේ නම් එම අකුශල චිත්තවේග ඇතිවීමට බලපෑ හේතු සාධක කවරේදැයි ආපස්සට විමසා බැලිය යුතුවේ. මෙම අභ්‍යාසය මගින් අකුශල සහගත චිත්තවේගවල පදනම එහි ආරම්භක හේතු මැනවින් වටහා ගත හැකි වේ. වේගයෙන් ගමන් කරන පුද්ගලයෙක් තමන් එසේ වේගයෙන් ගමන් කරන්නේ ඇයි දැයි තමන්ගෙන්ම විමසා විශේෂ හේතුවක් නොදැක ක්‍රමයෙන් හෙමින් යාමටත්, නැවතීමටත් නැවතී හිඳ ගැනීමටත් කල්පනා කරන්නාසේ අකුශල සහගත චිත්තවේග ඇතිවීමෙහිලා බලපෑ හේතු සාධක මැනවින් පරීක්‍ෂා කළ යුතුවේ. එසේ අකුශල සහගත චිත්තවේග විශ්ලේෂණාත්මකව අවබෝධකරගත් විට ඒවායේ ප්‍රබලත්වය ක්‍රමයෙන් දුර්වල වේ.

දැඩි ලෙස පාලනය කිරීම

අකුශල චිත්තවේග කෙරෙහි බලපෑ හේතු සාධක විශ්ලේෂණය කිරීමේදීත් තවදුරටත් ඒවා මනස තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහිදී දතින් දත ගටා, දිවෙන් තල්ල පෙලා දැඩි උත්සාහයකින් එම අකුශල චිත්තවේග පාලනය කළ යුතුවේ.මුල් පියවර හතරම අසාර්ථක වුවහොත් පමණක් දැඩි වීර්ය යොදමින් අකුශල සහගත චිත්තවේග පාලනය කිරීමේ අවසන් පියවර අනුගමනය කළ යුතුවේ.

බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසින් හෝ කඳීන් ගෙන පෙළන්නාක් මෙන් දැඩි වීර්ය උපයෝගීකරගෙන ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පස්වන ක්‍රමයෙන් ඉදිරිපත් කෙරේ.

ඉහතින් දැක්වූ ක්‍රමෝපායන් පහෙන්ම සිදුකරන්නේ අකුශල සහගත චිත්තවේගයන් ඇති වූ විට එය පාලනය කරගැනීමට අවශ්‍ය පියවර පෙන්වා දීමය. ඒ යටතේ අරමුණ වෙනස් කිරීම,ආදීනව මෙනෙහි කිරීම, අරමුණ අමතක කිරීම, අරමුණ විශ්ලේෂණය කිරීම, අරමුණ දැඩිලෙස පාලනය කිරීම යන ක්‍රම පහ අනුගමනය කිරීමට බුදුසමයෙන් උපදෙස් ලබාදේ. එබැවින් එය ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගල මනසේ ඇතිවෙන විවිධ අකුශල සහගත චිත්තවේගවල ස්වභාවය හා ප්‍රමාණය මත ඉහත සඳහන් එක් එක් ක්‍රමෝපායන් භාවිත කළ හැකිවේ. ඇතැම් කෙනෙකුට මෙහි එක් ක්‍රමයක් හෝ නැතහොත් සියල්ලම අනුගමනය කළ හැකිය. කවර අකුශල සහගත චිත්තවේගයක් පහළ වුවද එය කයින් වචනයෙන් ප්‍රකට වන්නට නොදී වළක්වා ගැනීම තමන්ට මෙන්ම සමාජයටද යහපත් පිණිස හේතු වේ. සිත දමනය කිරීම යහපත්ය. (චිත්තස්ස දමතො සාධු) සිත රැකගත් විට සැප ලැබේ (චිත්තං ගුත්තං සුඛාවාහං)

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]