UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක 2014 පෙබරවාරි 06 වන දා

රැක ගත යුතු සිත

ප කරන ක්‍රියා අයහපත් වේ නම් එමඟින් ලැබෙන ප්‍රතිඵලය ද අයහපත් ය. අප වැරැදි අයුරෙන් අනවශ්‍ය ආහාර වෙත හුරු පුරුදු වී ඒවා භාවිතයට ගැනීමෙන් වුවද අපගේ සනීපාරක්‍ෂාව පිරිහී රෝගී තත්ත්වයට පවා පත් වීමට ද ඉඩ ඇත.

එසේම අපගේ සිතිවිලි වැරැදි වුවහොත් අපගේ සිත පවා විවිධ අසහනයට යොමු වෙයි. සිතේ සහනය ගිලිහීයාමට ඉඩ ඇත. ගතෙහි සුවය බාහිර වශයෙන් පවත්වා ගත හැකි වුවද සිතෙහි සුවය එසේ ළඟා කර ගත හැකි නොවේ. සිත නරකට, කිලිටට පත්ව තිබෙන විට එසේ කිලිටි වූ සිතින් කරන සිතන කියන සියල්ලම යහපතෙන් ඈත් වූ ඒවා වෙයි.

සහජයෙන් සිත පවිත්‍රය, සිතෙහි පිවිතුරු බව හෝ අපවිත්‍ර බව ඇතිවනුයේ තම තමාගේ සිතෙහි හට ගන්නා වූ පහළ වන්නා වූ සිතිවිලි අනුවමය.

යම් දෙයක් පිළිබඳ එහි යථා තත්ත්වයෙන් නොදැකීම, එමෙන්ම නරක ක්‍රියාවන්හි යෙදීමට පෙලඹීම, ලෝභකම, තරහ ගතිය ආදිය හිත නරකට යොමු කරවන, අපහසුවට පත් කරවන හිතෙහි හට ගන්නා කරුණු වේ.

සිත නරකට නපුරට පත් කරවන, සිත රෝගී කරවන අධෛර්යමත් කරවන එවන් ගතිවලට අකුසල් යැයි දහමෙහි විස්තර කෙරේ. නරක ගති සිරිත් සිත තුළ පැළපදියම් වී ඒ සිත මුල් වීමෙන් නරක දෑ කියවෙයි. ඊට වචනයෙන් සිදුවන අකුසල යැයි ද සඳහන් වේ. මෙසේ සිතෙහි පාලනය නොමැතිව කියන කියුම් මොනවාදැයි මොහොතකට කල්පනා කළ යුතුව ඇත. බොරු කීම, කේලාම් කීම, රළු වචන කීම, හිස් වචන කීම වචනයෙන් කෙරෙන අකුසල් ය.

වචනයෙන් කරන්නා වූ අකුසල් මෙන්ම නපුරු සිත මුල්වීමෙන් කයින් කරන අකුසල් ද වේ. එසේම සිත නපුරට යොමුවීමෙන් ඒ සිතෙන් සිදුවන අයහපත් දෑ සිතෙන් කෙරෙන අකුසල් වේ.

මනුෂ්‍ය ජීවිතය දෙස කල්පනා කර බලන විට මනුෂ්‍යයාගේ සිත සහජයෙන් ප්‍රභාශ්වර විය හැකි ය. එහෙත් මනුෂ්‍යයා සමාජය තුළ ජීවත් වන කෙටි කාලය තුළ ඒ ප්‍රභාශ්වර වූ සිතට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී අයහපත් නරක නපුරු පාපී සිතිවිලි නිරන්තරයෙන් ගලා ඒමට පටන් ගනී. එවන් අයහපත් සිතිවිලි හා ඇලීමෙන් ගැටීමෙන් මුලදී පැවැති ප්‍රභාශ්වර වූ සිත තමා විසින් ම කිලිටට පත් කර ගනී. එසේ කිලිටට පත් කර ගන්නා වූ සිත නිසා ම අකුසල් රැස් කර ගනු ලැබේ.

නුවණැතියා විසින් සිතෙහි ස්වභාවය දහමට අනුව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. තේරුම් ගත යුතු ය.

විටෙක ඉතා හීලෑ අන්දමින්, සංවරව සන්සුන්ව සැරිසරන සිත නිමේශයකින් ඉතා දැඩි වෙයි. එසේ සිත දැඩිවීමෙන් තමාට පමණක් නොව අනුනටත් සිදු වනුයේ විපතකි.

සියලු යහපත් අයහපත් ක්‍රියා මෙහෙයවීමට මනුෂ්‍යයාට මූලික වන්නේ ප්‍රධාන වන්නේ සිතය. ප්‍රසන්න වූ සිතින් කරන ක්‍රියා හැම විට තමාට සුව ගෙන දෙයි.

කිලිටි වූ සිතින් කරන ක්‍රියා නිසා තමාට හැමවිට පසුතැවීමට සිදුවෙයි.

තමා පසු පස එන සෙවනැල්ල මෙන් යහපත් ක්‍රියාවෙහි විපාකය තමා පසුපසම එයි. සමාජයේ වෙසෙන විට ගැටලු ඉඳහිට ඇතිවුවද ඒ ගැටලුවලට ද විසඳුම් තමා බුද්ධිමත්ව සිතීමෙන් ඒ තුළින්ම විසඳා ගත හැකි වනු ඇත. එය නැණවත් සද්පුරුෂයාගේ ලක්‍ෂණයයි.

ජීවිතයක පැවැත්ම උදෙසා ගැටලු නිරාකරණය කර ගැනීම මඟින් ඉදිරියට ගමන් කළ හැකි වේ. පුද්ගලයාගේ භෞතික දියුණුවට පමණක් නොව ආධ්‍යාත්මික දියුණුවට ද හේතුවන ප්‍රධාන වන සිත ආරක්‍ෂා කර ගත යුතු වන්නේ ද තමා විසින්ම ය.

මනැසෙහි ඇති උදාරත්වය සලකා එය ආරක්‍ෂා කර ගනිමින් පුද්ගලයාගේ දෙලොව දියුණුවට ම එය මෙහෙයවීමට තමා විසින්ම වග බලා ගත යුතු වේ. දැමුණු සිත සංවර සිත හැමවිට තමාටත් අනුනටත් යහපත උදාකර දෙයි.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]