UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කම් සුවය හඹා යෑම සහ සදාකාලික සැපය

කම් සුවය හඹා යෑම සහ සදාකාලික සැපය

ඇතැමෙක් යෞවන මදය, නිරෝග මදය, ජීවන මදය මහත් වූ ලාභය කොට සිතා උද්දාමයට පත්වෙති. කය කෙරෙහි ඇලීම් බහුල කොට වාසය කරති.  මට ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය නැතැ’යි ස්ථීර කොට සිතති. රූප, ශබ්ද, ගන්ධ,රස,පහස, ධම්ම අරමුණු වින්දනය කිරීම පරම ලාභය කොට ඒ මත්තේම සිත යොමු කරති.

කාම ලෝකයන්වල උපත ලබන සත්වයන්ගේ ආවේණික ලක්ෂණය වන්නේ අරමුණු වින්දනය කිරීමයි. එහි ආදීනවය, දෝෂය, තේරුම් ගැනීමට උත්සාහයක් නොගන්නේය. අරමුණුවල නිත්‍ය වූ සොම්නසක් ඇතැයි විශ්වාසයෙන් දාසව ක්‍රියාකිරීම සාමාන්‍ය ලක්‍ෂණය වන්නේය. තාවකාලික වූ සාමිස සුවය තුළ ආස්වාදය,ආදීනවය, නිස්සරණය වටහාගන්නේ ස්වල්ප දෙනයි.

චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වන මහබෝසතාණන් වහන්සේ පහළ වන්නේ මනුෂ්‍ය ලෝකයෙහිය. අන්ත දෙකට වැටීමෙන් වන පරිහානිය මැනැවින් තේරුම්ගෙන මධ්‍යම ප්‍රතිපදාව වඩා සියලු ක්ලේශයන් නසා සම්බෝධියට පත්වන සේක. අෂ්ටලෝක ධර්මයන් හමුවේ තම සිත කම්පා නොකරගෙන යථාර්ථය මෙනෙහි කොට සසර ගිනි නිවා ලොව්තුරු සුවයට පත්වන සේක.

එම උත්තරීතර සුවය පුහුදුන් සිතට ප්‍රත්‍යක්‍ෂ නොවන්නේය. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ අවබෝධ කරගත් නිර්වාණ සුවය අවේදිත වන්නේය. එයම පරම ශාන්ත නිදහස වන්නේය. එම ලාභය නොගෙවෙන්නේය.නොදිරන්නේය. නොමැරෙන්නේය. විනාශයට පත්නොවන්නේය. එහි විපරිණාමය සිදු නොවන්නේය.

සාමාන්‍ය ලෝකයා නිරතුරු ලාභ ලබන්නට මහත් වෑයමක් කැපකිරීමක් දරයි. ඒ තුළින් සදාකාලික ලාභයක් විවේකයක් ලැබිය හැකි වෙතැයි බලාපොරොත්තු තබයි. ඒ පසු පස හඹා එන දුක් ගිනි සහිත මාරපාක්‍ෂික අඳුර වැටහෙන්නේ නැත. නුවණින් කරුණු විමසා නොබලා තම තමන්ට වඩා රුචි ලාභ පසුපස දිව යන්නේය. කෙනෙක් පුත්‍රලාභ අපේක්‍ෂා කරමින් එය ප්‍රාර්ථනා කරති. එයම මහත් වූ ලාභය බව කල්පනා කරමින් සිතිවිලි ගොඩනඟති. සමහරෙක් රුවැති කාන්තාවන් හිමිවීම ලාභය කොට සිතති. එයම මහත් වස්තුව කොට කල්පනා කරති. ඒ සඳහා ආරක්‍ෂක වැඩපිළිවෙළ සකස් කරති. තමා වසඟයේ පවත්වා ගැනීමට වෙහෙසෙති.

ඇතැමෙක් ඊටත් වඩා ධනලාභය උසස්කොට සිතති. රන්, රිදී, මුතු, මැණික් තරම් සුවදායක ඵලදායක වටිනා දෙයක් ලොව නැති තරම්යැයි අදහා ඒවා හැකිතාක් ලැබීම, නැවැත නැවැත ලබා ගැනීම පරම ලාභය කොට සිතා මත්වෙති. ඉඩකඩම් , යානවාහන ලාභ කොට සලකා ඒවා ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති. එයින් තොර ජීවිතයක් නැතැයි සිතති.

ඇතැමෙක් පරිවාර සම්පතම ලොව ලාභය කොට සිතා එයින් උඩගු වෙති. අන් අය පහත් කරති. ඒ ගැන සිතිවිලි සිතා ආඩම්බරයට පත්වෙති. සුඛ, ස්ථිර, ආත්ම කොට දෘෂ්ඨී ගතවෙති. පෘථිවි තලයම ලැබීම මහත් ලාභයයි ඇතැමෙක් සිතති. එහි ආධිපත්‍යයට පත්වීම, අභිෂේක ලැබීම මහත්වූම ලාභයයි සිතති.

තවත් සමහරු දිව්‍ය කාමයම මහත් සම්පතක් ලාභයක් කොට එහිම ඇලෙති. නිත්‍ය වූ සාරවූ සුඛයක් ඇතැයි මුළාවට පත්වෙති. ශක්‍රදේවේන්ද්‍ර වීම ලොව මහත් වූ ලාභය කොට සිතා ඒ සඳහා වෙහෙසෙන්නේය. ඒ සඳහා පුණ්‍ය ක්‍රියා කොට “ ස්ථීර ලාභයක්” සලසා ගැනීමට උනන්දු වෙති. ඊටත් වඩා බ්‍රහ්ම ලෝකය සුඛ ලාභය කොට සිතන පිරිස් ද වෙති. එහි ස්ථිර විවේකයත් නිදහසත් ඇතැයි සිතති. මෙසේ පෘථග්ජන පුද්ගලයෝ ලොව අස්ථිර වූ සැපයම තව තවත් ප්‍රාර්ථනා කරති.

මෙබඳු අය ආර්ය ධර්මයෙන් බැහැර වූ මිසදිටු මහණ බමුණන් සරණ යමින් වැඳීම් පීදීම ආදිය සිදුකොට එහිම ඇදැහීම ලබති. එම දහම තරම් සත්‍ය වූ නිත්‍ය දෙයක් තවත් නැතැයි විශ්වාස කරති. තම ශ්‍රාවකයන්ද එහි සමාදන් කරවති.

එම දෘෂ්ඨියට අනුගතවීම සඳහා බලපෑම් කරති. ඒ සඳහා විවිධ පහසුකම් සලසා දෙති. ප්‍රතිලාභ යෝජනා කරති. සම්මත කර ගනිති. එසේ පිරිස වැඩිකොට ගෙන එයම මහත් වු ලාභය යැයි අදහා සතුටු වෙති.

ඇතැමෙක් යෞවන මදය, නිරෝග මදය, ජීවන මදය මහත්වූ ලාභය කොට සිතා උද්දාමයට පත්වෙති. කය කෙරෙහි ඇලීම් බහුල කොට වාසය කරති. මට ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය නැතැයි ස්ථීර කොට සිතති. රූප, ශබ්ද, ගන්ධ,රස,පහස,ධම්ම අරමුණූ වින්දනය කිරීම පරම ලාභය කොට ඒ මත්තේම සිත යොමු කරති. ආස්වාදය, සොම්නස, පී‍්‍රතිය, රාගය, ඇලීම ජීවිතයේ සදාකාලික සැපත, නිදහසම යැයි සිතා මුළාවට පත්වෙති. ඒ පිළිබඳ මිථ්‍යා දිට්ඨියට පැමිණෙති.

මසුන් මරන්නන් හට සිය දැලට මසුන් වැඩි ප්‍රමාණයක් අත්පත් වීම මහත් ලාභයයි. තව තවත් මසුන් ඇල්ලීම සඳහා දිවා රාත්‍රි එම කර්මාන්තයේ යෙදෙති. මසුන් වැඩි ප්‍රමාණයක් දැලට අසුවීම මහත් පී‍්‍රතියක් බව ඔවුන්ට සිතේ. අද මගේ ලාභය වැඩිවී ඇතැයි සොම්නස් වෙති. අදත්තාදානයට යොමු වී බහුල වශයෙන් සොරකම් කරන සොරදෙටුවා සොර කණ්ඩායම යොදවා මහත් ධනය රැස් කරන්නේය. පැහැර ගන්නා අන්සතු ධනය තුළින් ලාභ ලබන්නේය.

අන්සතු කාම වස්තුන් බලයෙන් පැහැරගෙන, කාමමිච්ඡාචාරයේ යෙදීමද දක්නා ලැබේ. රූප කාම, ශබ්ද කාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශ කාම, ධම්ම කාම, ආදිය මනුෂ්‍ය ලෝකයේ මහාර්ඝ දේ සැටියට සිතා සමාජ සම්මතයෙන් තොරව සීමාව ඉක්මවා එහිම දාසභාවයට පත්වී කටයුතු කිරීම සමාජයේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී ඇත.

මුසාව ලොව වසාගෙන ඇත. සත්‍ය වසා අසත්‍ය රජයනු පෙනේ. මුදල් බලය යොදවා ලොව යුක්තිය අයුක්තිය කොට,අයුක්තිය යුක්තිය කොට මුසාවෙන් ජය ගන්නෝද බොහෝ වෙති. ඒ අය පව විපාක දෙන බව නොදැන බහුල වශයෙන් මුසාවෙන් ලාබ ලබති. ගරුබුහුමන් ලබති. මුසාවම සමාදන් වෙති. අන්අයද ඒ සඳහා යොමු කොට තම ලාභය සලසා ගනිති. මුසාවන් කතා කරන අයට ලොව නොකළ හැකි පාපයක් නැති බව තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළසේක.

ආහාර පානාදියේ රසයට මත්වීමද ලොව කවදත් ඇත්තේය. ඒ සඳහා ශරීරයට යහපත් දෑද අයහපත් දෑද නිෂ්පාදනය කොට අලෙවි කොට ලාභ ලබන්නේය. ඉක්මනින් දියුණුවීමට වුවමනායැයි ඇතැම් අය ශරීරයට අහිතකරදේ, රසකාරක අඩංගු කර වංචා සහගත ලෙස අලෙවි කොට ලාභ ලබති. එයින් සුරාව සමාජයේ ලාභ ලබනදේ අතරින් ප්‍රමුඛස්ථානය ගෙන ඇත.සුරාව මෙන්ම දුම්පානයද විවිධ මත් පෙතිවර්ග හා මත් කුඩු වර්ගද සමාජය වසාගෙන ඇත.බීමතින් කලහ වාද විවාද ඇති කරගෙන නොයෙක් අයුරින් දුකට පත්වෙන පුද්ගලයෝ සමාජයේ හිඟ නොවෙති. ඇතැම්හු සිරගත වී බොහෝ දුකටද පත්වෙති.

අප පැහැදිලි කර දෙන්නේ ඉන්ද්‍රිය පිනවන මේ සියලු ලාභ තාවකාලික බවයි.වෙනස්වීම් ක්ෂණිකව සිදුවන බවයි. ආර්ය සුඛ විහරණයෙන් දුරස් වූ හීන වූ ග්‍රාම්‍ය වූ උමතු භාවයට එමඟින් සිත පත් කරවයි. ලොව්තුරු සුවයෙන් ද්වාරයන්ගේ කලකිරීමට පත්නොවෙයි. විරාගය ට පත්නොවේ. නිරෝධයට පත්නොවෙයි. නීවරණ ආදි කොට ඇති කෙලෙස් සන්සිදීමක් නොවෙයි. විවේකයට පත් නොවේ. ත්‍රිලක්‍ෂණ අවබෝධයට නොවැටෙයි. සම්බෝධියට පත්නොවෙයි.නිවන් පිණිස හේතු නොවෙයි. සදාකාලික විවේක සුවයට පත් නොවෙයි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]