UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

බුදුන් දුටු යුවතියෝ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ
බුදුන් දුටු යුවතියෝ
සම්පාදනය –සංජීවිකා සමරතුංග
ප්‍ර‍්‍රකාශනය - සාහිත පොත් පියස , 10/7,දේවානන්ද පාර, නාවින්න හන්දිය, මහරගම,
මිල රු. 250 යි

මාධ්‍යවේදිනී සංජීවිකා සමරතුංග විසින් පූජ්‍යපාද රාජකීය පණ්ඩිත, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ, මාර්ගෝපදේශකත්වය යටතේ සම්පාදිත, බුදුන් දුටු යුවතියෝ’ කෘතිය කාන්තාවන්ගේ වැදගත්කම බුද්ධිමත්ව අවබෝධකර ගැනීමටත් ඇයගේ සුන්දරත්වය හදවතින්ම පසක් කර ගැනීමටත් පාඨකයාට අවස්ථාව සලසන කාලීන ප්‍රයත්නයක් මෙන්ම ප්‍රතිභාපූර්ණ නිර්මාණයක් ලෙස අගය කළ හැකිය. බෞද්ධ සංස්කෘතිය තුළින් ඉතා සැලකිල්ලෙන් තෝරා බේරා ගත් කථා පුවත් චිත්තාකර්ෂණීය අන්දමින් අවස්ථාවෝචිත රමණීය බස්වහරකින් වර්තමාන සමාජයට උචිත අයුරින් ප්‍රතිනිර්මාණය කර තිබීම පැසසිය යුතු බව පොතට පසුවදනක් සපයමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා සටහන් කර තිබේ.


අහෝ මක්නිසා ද එසේ වූයේ ...?

කර්තෘ - කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල රු. 250 යි

මෙය දඹදිවින් සදහටම අතුරුදහන්ව ගිය ගෞතම බුදු සසුන පිළිබඳව ලියැවුණු අනුවේදනීය නවකතාවකි. වසර සිය ගණනක් මුළුල්ලේ දඹදිවැ සිදුවූ මහාබෞද්ධ සංහාරයෙන් විනාශ වූ මිනිස් ජීවිත ගණන ගිණිය නො හැකි තරම්ය.අහසින් වට වැසි දහරින් ගලායන ජලය ලෙසින් බෞද්ධයන්ගේ රුධිරයෙන් පෘතුවිය තෙමාලමින් සියවස් ගණනක් තිස්සේ නිහඬව ගලා ගියේය. මෙහිලා පර්යේෂකයන්ට විමසන්නට ඉතිරි වූ දෙයක් නැත. මෙම ශෝකජනක මාතෘකාව පිළිබඳව සත්‍ය වූ මූලබීජයන් ඇසුරෙන් මෙම නවකතාව ප්‍රබන්ධ කර තිබෙයි.


 


ගෞරවනීය ආචාර්ය බ්‍රහ්මවංසෝ මහ තෙරුන්ගේ ජීවන වෘතාන්තය

පරිවර්ථක – ඩී.එම්.එස්. ආරියරත්න
ප්‍රකාශනය – නිදස ග්‍රන්ථ ප්‍රකාශන , 245, සූරියමල් මාවත, දිවුල්පිටිය, බොරලැස්ගමුව
මිල සඳහන් නොවේ

පොතේ පසු වදෙනහි මෙසේ සඳහන් වෙයි. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ජීවිතය අව්‍යාජත්වයෙත් මහා කරුණාවේත් ප්‍රතිමූර්තියක් වැනිය. වර්තමාන භික්‍ෂු සමාජයට සුපැහැදිලි ආදර්ශයක් වන උන්වහන්සේ කුඩා කාලයේ පටන් ධර්මය ගවේෂණය කළ ගවේෂකයෙකි. භද්‍ර යෞවනයේදීම ධර්මය පිළිබඳ අවබෝධයෙන් සසුන් ගත වී මුල් අවදියේ ඉතා දුක් පීඩා විඳ අද වන විට නිදහස් සිනහවකින් මුව සරසාගෙන සිටින මහා පුරුෂයෙකි. සම්මා සම්බුද්ධ ශාසනයේ තථාගත ධර්මයේ සන්දිට්ඨික ගුණය කියාපාන මෑත යුගයේ පහළ වූ බුදු පුතෙකි. මෙම පොතෙන් බ්‍රහ්මවංසෝ භික්‍ෂූන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි.

 


මිළිඳු රාජ ප්‍රශ්නය

කර්තෘ – කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල රු. 200 යි

මිළින්ද ප්‍රශ්නය – ඉතා පැරැණි සැදැහැවත් බෞද්ධයන්ගේ සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථයකි. මිළිඳු මහ රජුගේත් නාගසේන මහරහතන් වහන්සේගේත් දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය.

මින් පෙර මිළින්ද ප්‍රශ්නය නමින් සිංහලයෙන් පොත් පළ වී ඇතත් මෙය ඉතා සරල භාෂාවෙන් අනුවාදිත හෙයින් පහසුවෙන් තේරුම් ගත හැකි ය. නාගසේන මහරහතන් වහන්සේ උපමා ඇසුරු කරමින් ඉතා සුක්‍ෂම ධර්මයන් විස්තර කොට වදාරන විට අප කළ යුත්තේ ද ඒ උපමාවන්ට සතුටුවීමට නොව එහි අර්ථ වටහාගෙන තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. පොතේ පෙර වදනෙහි එසේ සඳහන් වී තිබේ.


බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය

කර්තෘ - මොහාන් විජයරත්න
පරිවර්තනය – ඩී.එම්. දසනායක
ප්‍රකාශනය – මයුරෝ පොත් ප්‍රකාශකයෝ
E-mail :[email protected]
මිල රු. 300 යි

මහාචාර්ය මොහාන් විජයරත්නයන් විසින් ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියන ලද “Buddhist Nuns” කෘතිය , ඩී.එම්. දසනායක මහතා විසින් ‘බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය’ නමින් සිංහලට පරිවර්තනය කර ඇත.

‘බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය ‘ වූකලි මානව ඉතහාසයේ පහළ වූ ඉතාමත් පැරණි වනිතා සමාජය පිළිබඳ කතාන්දරයයි. මෙම කාන්තා සංවිධානය ක්‍රි.පූ. 5 වෙනි ශත වර්ෂයේදි ආරම්භ වී ක්‍රමයෙන් වැඩි දියුණු වූ,ආකාරය පැහැදිලි කිරීමට, කතුවරයා මෙහිදී උත්සාහ කර ඇත. ශ්‍රමණ ජීවිතයේ ප්‍රධාන ගතිගුණ තුනක් වන අල්පේච්ඡතාව, බ්‍රහ්මචරියාව සහ නීතිගරුකත්වය සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂුණීන් අනුගමණය කළ ප්‍රතිපත්ති මාලාව විස්තර කිරීම සඳහා ද මෙහි පරිච්ඡේද කිහිපයක් වෙන් වී ඇත. ආධ්‍යාත්මික ජයග්‍රහණයන් සම්බන්ධයෙන් ද බෞද්ධ පැවිදි කාන්තාවන් විසින් අත්කරගන්නා ලද අති සම්භාවනීය ස්ථානය, මෙහි අවසාන පරිච්ඡේදයෙහිලා විස්තර වෙයි. භික්ඛුනී පාතිමොක්ඛ පාළි සහ එහි සිංහල පරිවර්තනය ද මෙහි උපග්‍රන්ථ අංක 2 හි ඇතුළත් ය.

බෞද්ධ ශිෂ්ටාචාරය ඉතිහාසය බෞද්ධ ආරාමික නීතිවේදය යන විෂයන්ට සම්බන්ධ මෙම ග්‍රන්ථය , වර්තමාන සමාජයේ වනිතා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරන උදවියට පවා ප්‍රයෝජනවත් විය හැකි අදහස් රැසක් රැගත් කෘතියකි. සෑම දස සිල් මාතාවක් මෙන් ම සෑම සික්ඛමාතාවක් විසින් ද කියවා පරිශීලනය කළ යුතු පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.


සමාධි - 10

වංගීස නාහිමි දම් දෙසුම්
සංස්කරණය සහ ප්‍රකාශනය – මාතික මාතා සමිතිය
ගෝතම තපෝවනය, කළපළුවාව, මුල්ලේරියාව
නවනගරය
මිල - සඳහන් නොවේ

ගෝතම තපෝවනය පිහිටුවා පනස් වසරක සැමරුමට සමගාමීව අතිපූජ්‍ය වංගීස නා හිමියන්ගේ ගුණානුස්මරණය කරමින් සමාධි – 10 වංගීස නා හිමි දම් දෙසුම් ග්‍රන්ථය සකස්කොට ප්‍රකාශනය කිරීම අප ගුරු දේව නාහිමියන්ගේ ශ්‍රී නාමයට උපාහරයක්ම වන්නේය. එසේම දහස් සංඛ්‍යාත පිරිසකට බණ පදයක් කියවා ඉගෙන ගෙන ආධ්‍යාත්මික වශයෙන් මහත් අස්වැසිල්ලක් ලබන්නට අවස්ථාව සැලසෙන්නේම ය.

පොතට හැඳීන්වීමක් සපයමින් මේ බව පවසන්නේ ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි.‍


ධම්මපදයේ සිහළ ගී සරණිය

සම්පාදක – විමලරත්න ලියදිපිටිය
ප්‍රකාශනය – ලියදිපිටිය ප්‍රකාශන, අංක 37 /128, නිසංසල මාවත, තලාහේන, -මාලඹේ
මිල රු. 150 යි

පොතට පසු වදනක් සපයමින් ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙසේ ය.

විමලරත්න ලියදිපිටිය මහතාණන් විසින් රචිත ධම්ම පදයේ සිහළ ගී සරණිය කියවා බැලීමි. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ගාථා රත්නයන් කාව්‍යයට නගා සරල සිංහලයෙන් ඉදිරිපත් කිරීමම කතුවරයා කෙරෙහි ඇති නිසඟ කුසලතාවයකි.

 


බොදු අභියෝග

කර්තෘ – චතුර පමුණුව
ප්‍රකාශනය – සාහිත පොත් පියස ,
මිල රු. 200 යි

මුල් භාගයෙහි ලංකාව, ඉන්දියාව, බුරුමය හා තායිලන්තය තුළ බෞද්ධයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ ගැන මෙම ලිපි මාලාව ලියා තිබේ. ජාතික බලවේග, ආරක්‍ෂා කර ගැනීමේ උවමනාව චතුර අපට මෙම ලිපි පෙළ තුළ පසක් කරන්නේ බුදුදහමට එරෙහිව ගොඩනැගෙන ලෝක ත්‍රස්තවාදයක ඉඟිද අප වෙත පාමිනි. බුරුමයේ බෞද්ධ උරුමය වනසන ජාතිවාදී කුමන්ත්‍රණ පරාජය කිරීමට විරාතු හිමියන්ගේ පහළවීම පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කළේ චතුරගේ මෙම ලිපි පෙළෙකි. බෞද්ධ විරෝධි මෙම අන්තවාදයට එරෙහිව නැගී සිටීමේ ධෛර්යය ලෝක බෞද්ධයා තුළ පැවැතීමේ අවශ්‍යතාවය ද චතුර පෙන්වා දෙන බව පොතට පෙරවදනක් සපයන මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියෝ අවධාරණය කර සිටිති.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]