UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕස්ටේ‍්‍රලියාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන මීගහකුඹුරේ ධම්මගවේසි නා හිමි

ඕස්ටේ‍්‍රලියාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන මීගහකුඹුරේ ධම්මගවේසි නා හිමි

1992 වෙසක් පුණු පොහෝ දින ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවරට පැමිණ, සිය ප්‍රථම ධර්ම අනුශාසනාව කළ රාජකීය පණ්ඩිත මීගහකුඹුරේ ධම්මගවේසි හිමිපාණෝ, සිය දූරදර්ශී දර්ශනය හා කළමනාකරණ නිපුණතා උපයෝගී කර ගනිමින් වර්තමාන ලංකාරාම විහාරය අද්විතීය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇත. තමන් වහන්සේගේ නමට අතිශයින්ම සරිලන පරිදි ධර්ම ගවේෂණයෙහි නියුතු උන්වහන්සේ ,පෙර අපර දෙදිග භාෂාන්තර දැනුමෙන් හා මනෝ විද්‍යාව ඇතුළු සමකාලීන විද්‍යා ශාස්ත්‍රීය දැනුමෙන් අනූන වන සේක.

1981 පෙබරවාරි මස 9 වන දින පැවිදි දිවිය වෙත පා තැබූ උන්වහන්සේගේ පැවිදි ආචාර්යවරයාණන් වහන්සේ වූයේ දැනට ඉංගිරියේ මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති අම්පිටියේ මංගල නා හිමිපාණෝය. 1982 ජුනි මස 7 දින උන්වහන්සේගේ උපසම්පදා ප්‍රාප්තිය සිදුවූයේ එවකට මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක ධුරය දැරූ අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා නා හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙනි.

පැවිදි ආචාර්යයන් වහන්සේලාගේ මග පෙන්වීම යටතේ මූලික ධර්ම විනය හදාළ උන්වහන්සේ, කොළඹ, හුණුපිටියේ ගංගාරාම විහාරස්ථ පිරිවෙන හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිදුර ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූහ. එසමයෙහි මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන්ගේ හා අම්පිටියේ රාහුල හිමිපාණන්ගේ ඇසුර ලැබූ උන්වහන්සේ රාජකීය පණ්ඩිත උපාධියද ලැබූහ.

1992 දී සිඩ්නි ලංකාරාමයේ නියමුවාණන් ලෙස භාරදූර ධර්ම ශාස්ත්‍රීය මෙහෙයක් ඉටුකරන අතර බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ මනෝ මූලික සමාජ විද්‍යා විෂයයන් හදාරා සමාජ විද්‍යාවේදී (B.S.Sc) උපාධිය හිමිකර ගත් හ.

සියලු විහාර අංගයන්ගෙන් සමන්විත අලංකාර බෞද්ධ සිද්ධස්ථානයක් සකස් කිරීමට පුරෝගාමී වූ ධම්මගවේසී හිමිපාණෝ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංක්‍රමණය වී ඇති, නොයෙකුත් රැකියාවන්හි නියුතු පවුල් 1000 ක් පමණ සිය දායකයන් බවට යොමු කර ඇත. උන්වහන්සේ ගේ අනුශාසකත්වය හා මගපෙන්වීම යටතේ ලංකාරාම දහම් පාසල, තරුණ හමුව, භාවනා වැඩසටහන්, ශීල වැඩසටහන් හා දෛනික උපදේශක සේවා අඛණ්ඩව සිදු කැරේ.

මේ හැර උන්වහන්සේගෙන් කෙරෙන සමාජ හා ප්‍රජා සේවාවන් අතර කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ‘සහන වැඩිහිටි නිකේතනය’ විශේෂ වැදගත් කමකින් යුක්තය. දැනට වැඩිහිටියන් 15 දෙනෙක් පමණ මෙහි නේවාසිකව සිටී. කිසිදු අයකිරීමකින් තොරව පවත්වාගෙන යන මෙම ආයතනය දූ දරුවන් සියයකට පමණ වාර්ෂිකව පොත් පත් හා ලිපි ද්‍රව්‍ය බෙදා දීම සිදු කරයි.

නිව් සවුත් වේල්ස් වාසී සැදැහැවතුන් රෝගී වූ අවස්ථාවන්හිදී ඔවුනට ආශිර්වාද පූර්වක සෙත් පැතීම්වලට සහභාගි වීමෙන්ද, පවුල් උපදේශක අනුශාසනා වැඩසටහන් හා විභාගාපේක්‍ෂක තරුණ තරුණියනට සෙත් පැතීම හා මාර්ගෝපදේශකත්වයද උන්වහන්සේ අතින් කෙරෙන මහඟු සේවාවන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.

ග්‍රන්ථකරණයෙහි විශේෂ දක්‍ෂතාවයකින් හෙබි ධම්මගවේසී හිමියා දැනට ඉංගී‍්‍රසි හා සිංහලෙන් ධර්ම ග්‍රන්ථ 20 ක් පමණ ප්‍රකාශයට පත් කොට තිබේ. දේශීය හා විදේශීය ජනයා අතර දහම් සුවඳ පැතිරවීමේ කාර්ය භාරයට මෙනයින් ලැබෙන පිටිවහල ඉමහත්ය.

සිඩ්නි ලංකාරාම බෞද්ධ විහාරය ආරම්භයේ පටන් මේ දක්වා එහි වර්ධනයට මහෝපකාරි වූ රාජකීය පණ්ඩිත මීගහකුඹුරේ ධම්මගවේසී හිමිපාණන් අතින් සිදුවූ අද්විතීය සේවාවන් අගය කිරීම් වස් අප හිමිපාණන්වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර කාරක මහා සංඝ සභාව විසින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී මංගල’ යන ගෞරව නාම සම්මුතිය සමග ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක’ පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 2013 දෙසැම්බර් මස 14 වන දා මල්වතු මහා විහාරීය රාජකීය උපෝෂථාගාරයේදී උත්සවශ්‍රීයෙන් සිදුකිරීම ඕස්ට්‍රේලියානු වාසීන්ගේ විශේෂ ගෞරවයට කරුණකි.

ක්‍රි.පූ. 236 දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු දහම ශ්‍රී‍්‍ර ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේ ශාසනයේ චිරස්ථිතිය සඳහා ‘ මහා විහාරය’ නිර්මාණ කරන ලදී. මහනුවර යුගය තෙක් අඛණ්ඩව පැවති මෙම සම්ප්‍රදාය වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමිපාණන් වෙතින් පුනර්ජීවයක් ලැබුණි. ඒ සියමෙන් උපසම්පදා යළි ගෙනැවිත් ශ්‍රී‍්‍ර ලංකාවේ සසුන පුනරුත්ථාපනය කිරීමත් සමගය. ශ්‍රී‍්‍ර ලංකාවේ සිංහල- බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය ආරක්‍ෂා කොට ගොඩනැංවීමේ ලා ඉමහත් කාර්යයක් ඉටුකළ මහාවිහාර සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට, සිඩ්නි නුවර ලංකාරාම විහාරස්ථානය පත්වීම දේශීය සංස්කෘතිය අගයන බෞද්ධ-අබෞද්ධ කාගේත් අමන්දානන්දයට හේතුවනු නොඅනුමානය.

සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ී උත්සවය දෙසැ. 14 සවස 3.00 ට මහනුවර මල්වතු මහා විහාරයේදීද පිළිගැනීමේ උත්සවය දෙසැම්බර් 23 සවස 1.00 සිට මහරගම නාවින්න ජයතුංග යෝගාශ්‍රමයේදී දි.මු. ජයරත්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්ද සිදු කැරේ.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]