UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විලච්චිය මන්නාරම් හන්දියේ සිරි සාලියවනාරාමයේ කුලදරුවන් පැවිදි කිරීමේ පුණ්‍යෝත්සවය

විලච්චිය මන්නාරම් හන්දියේ සිරි සාලියවනාරාමයේ කුලදරුවන් පැවිදි කිරීමේ පුණ්‍යෝත්සවය

වසර ගණනාවක්ම ත්‍රස්තවාදී උවදුරෙන් දැඩිව පීඩා විඳි ගම්මානයකි විලච්චිය මන්නාරම් හන්දිය ගම්මානය. අතිශය පීඩාකාරී සමයක වුවද විලච්චිය මන්නාරම් හන්දිය සිරි සාලියවනාරාමාධිපති ලෝලුවාගොඩ කුසලරතන හිමියෝ ගම හැර දා නොවැඩියහ. ඒ නිසාවෙන් ගමත් පන්සලත් රැකුණු බව බොහෝ දෙනා පවසති. උන්වහන්සේ ගම්මානයෙහි ගෙන් ගෙට ගොස් ජනතාවගේ බිය සැක දුරු කරමින් ගමට සිදු කළ සේවාව බොහෝ දෙනා අගය කරමින් කතා කරති.

පැවිදිවීමට සුළු වේලාවකට ප්‍රථම තම මවුපියන් වන්දනා කරන කුලදරුවන්

පැවිදි බිමට පත්වීමට සිවුරු ලබාගනිමින්

පැවිදි වූ සාමණේර හිමිවරුන්, නා හිමිවරුන් වෙතින් ආශිර්වාද ලබා ගත් අයුරු

පිරිවෙන ඇරැඹීම පිණිස වන ප්‍රථම මූල්‍යාධාරය ලෝලුවාගොඩ කුසලරතන හිමියන්ට භාරදෙන නියෝජ්‍ය ඇමැති ඩබ්.බී. ඒකනායක මහතා

සියම් නිකායේ කැලණි පාර්ශවයේ උතුරුමැද ප්‍රධාන සංඝනායක සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති බෝගමුවේ සද්ධාරංසි නාහිමිපාණන්ගේ උපදෙස් පරිදි ලෝලුවාගොඩ කුසලරතන හිමිපාණන් විසින් පනස් වසරකට පමණ පසුව විලච්චිය ප්‍රදේශයේ දී කුල දරුවන් සසුන්ගත කිරීමේ පින්කමක් පවත්වනු ලැබිණි. පසුගිය සැප්තැම්බර් 22 වැනි දා පවත්වන්නට යෙදුණු මෙම පින්කමෙහි දී කුලදරුවන් 13 දෙනකු පැවිදි කෙරිණි. වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩබ්. බී.ඒකනායක මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

සසුනෙහි ඉතාම භාරදූර කර්තව්‍යයක් වන්නේ කුල දරුවන් සසුන්ගත කිරීමයි. දරුවකු පැවිදි කිරීමෙන් පසුව එම කුඩා සාමණේර හිමිනම සසුන් කෙතෙහි මනාසේ ප්‍රතිපත්තියෙහි පිහිටුවාලීම අතිශය වගකීම්සහගත කටයුත්තකි. ඒ සඳහා වන කාර්ය සාධනයෙහි එක් අවස්ථාවක් වශයෙන්, 2014 ජනවාරි පළමුවැනිදා කුඩා සාමණේරයන් වහන්සේ ලවා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීම සිදුකෙරෙයි. අනුරාධපුර නගරයෙන් බැහැරව දුෂ්කර පළාතක් වන මන්නාරම් හන්දිය ප්‍රදේශයේ සිරි සාලියවනාරාමය මුල්කරගෙන, මහා සංඝරත්නයේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය තවදුරටත් විධිමත් කිරීම උදෙසා පිරිවෙනක් ද ආරම්භ කෙරේ.

පසුගියදා සිදුකරන්නට යෙදුණු, කුලදරුවන් සසුන්ගත කිරීමේ පින්කම පිළිබඳ සිරි සාලියවනාරාමාධිපති ලෝලුවාගොඩ කුසලරතන හිමිපාණෝ මෙසේ අදහස් දැක්වූහ.

“උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති බෝගමුවේ සද්ධාරංසි නාහිමියන් තමයි මගේ ගුරු හාමුදුරුවෝ. මන්නාරම් හන්දියට මා එන විට මේ පළාතේ ත්‍රස්තවාදී අරගල බොහෝ තිබුණා. හැමවිටම භයානක සිද්ධිවලට මුහුණ දුන්නා.

ඒ වාගේම මේ පළාත තුළ වකුගඩු රෝගය බහුලව පවතිනවා. ජනතාවට පානීය ජල ප්‍රශ්නය උග්‍ර ලෙස බලපා තිබෙනවා. නමුත් මේ කිසිවක් නිසා මා ගම අත්හැරදාලා ගියේ නෑ. මම ගියා නම් මේ ගමේ අයත් ගම දාලා යනවා. ගමේ අය හැම විටම කීවේ පොඩි හාමුදුරුවො ඉන්න නිසා බය නෑ කියලයි.

යුද්ධය අවසන් වී සතියක් පමණ ගත වන විට මම මන්නාරමේ දමිළ පාසල් දරුවන් අනුරාධපුරයට ගෙනැවිත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරගැනීමට අවස්ථාව ලබා දුන්නා. ජාති අතර සහජීවනය ඇති කිරීමට ප්‍රථමයෙන්ම කටයුතු කළා. එදා සිරි මහාබෝධිය ළඟට සිංහල සහ දමිළ දරුවන් ගෙනැවිත් එම ස්ථානයේ සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දුරකථනයෙන් කතා කර මේ පිළිබඳව කීවා. ජනාධිපතිතුමා කීවා මමත් ඉක්මනට එනවා දරුවන් ටික තබා ගන්න කියා. ජනාධිපතිතුමා විනාඩි 15ක් වැනි සුළු කාලයක් තුළ ජය සිරි මහාබෝධීන් වහන්සේ අසලට පැමිණියා.ඒ දරුවන් ජනාධිපතිතුමා මුණ ගැසී කතා කළා. දරුවන්ට මෙන්ම මටත් එදා දවස හරිම වැදගත් වුණා.

ජනාධිපතිතුමාගේ උත්සාහය උනන්දුව මත ආරක්‍ෂක අංශවල සහයෝගයෙන් යුද්ධය නිමා කර සාමය උදාකර දී තිබෙනවා. මෙවැනි පළාතක මහණ පින්කමක් පවත්වන්නට අද අපට නිදහස ලැබී තිබෙනවා. නොයෙකුත් ප්‍රදේශවලින් කුලදරුවන් 13 දෙනෙක් මහණ දිවියට ඇතුළත් කිරීමට හැකිවීම මාගේ පැවිදි ජීවිතයේ ලැබූ ලොකුම ජයග්‍රහණයක් කියා මට හිතෙනවා. අපේ නායක හාමුදුරුවන් යන මඟ අනුගමනය කරමින් මම වැඩකරගෙන යනවා. වර්තමානයේ හාමුදුරුවරුන් අඩුයි. එම අඩුව පුරවා ගැනීමටත් ධර්මය ඉගෙනීමටත් මෙම ස්ථානයේ පිරිවෙනක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.

හොඳ ආකල්පවලින් හෙබි ගුණගරුක භික්‍ෂු පරපුරක් ඇතිකිරීමට දායක වීම මගේ අරමුණයි. ඕමරන්කඩවල, කහටගස්දිගිලිය, මහවිලච්චිය, තන්තිරිමලේ, බණ්ඩාරගම යන ප්‍රදේශවල වයස අවුරුදු 7 ත් 14 ත් අතර දරුවන් පැවිදි දිවියට ඇතුළත් වූවා. ඉදිරියේ දී මෙම දරුවන් රටට, ලෝකයට ආගමික සේවාවක් සිදු කරනු ඇති. මේ ගම පිහිටා තිබෙන්නේ විල්පත්තු මායිමේ අනුරාධපුර කෙළවර.

මම ශ්‍රී ලංකාවාසී සැමටම ආරාධනා කර සිටිනවා, මෙම කුඩා සාමණේරයන් වහන්සේලාට වාර්ෂික දාන වේලක් ලබා දීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා අනුව පොත් ලබා දීමටත්, ගොඩනැඟිලි වැසිකිළි කැසිකිළි ආදිය ලබා දීමටත් ඒවාගේම උග්‍ර ප්‍රශ්නයක්ව පවතින පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස ජල ටැංකි ලබා දීමටත් කටයුතු කරන ලෙස. මේ පළාතේ හාමුදුරුවරු දුෂ්කර ජීවිත ගත කරන්නේ. මෙම පළාත්වල හාමුදුරුවරු කෙරෙහි හැමෝම වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. එවිට ලොකු සේවාවක් ශාසනය තුළින් කළ හැකි වෙනවා. හැමෝටම පින් සිදු වෙනවා. මහවිලච්චිය, පේමඩුව, සිරිසාලියවනාරාමය යන ලිපිනයට යොමු කර හෝ 078 3877249 දුරකථන අංකයට සම්බන්ධ වීමෙන් ඔබට උදව් කිරීමට අවස්ථාව උදාකරගත හැකියි.”

ලෝලුවාගොඩ කුසලරතන හිමිපාණන්ගේ මෑණියෝ ද මෙම පින්කමට සහභාගී වී සිටියහ. පනස්වැනි වියේ පසුවන එම මෑණියන් වන යූ.පී. සිරියාවතී මහත්මිය මෙසේ කියා සිටියා ය. “ජීවිතයේ ලැබූ බොහෝ අත්දැකීම් අනුව සිතා බලන විට මම හරිම වාසනාවන්තයි. මගේ දරුවන් තිදෙනයි. එක් දරුවෙක් ශාසනයට භාරදී මේ ප්‍රදේශයේ ජනතාවට ආගමික සේවාවක් සිදු කරනවා. එක පුතෙක් මිය ගියා. අනෙක් පුතා යුද හමුදාවට භාර දී සේවය කරමින් සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැනට ආබාධිත වී සිටිනවා. රට දැය වෙනුවෙන් සහ ශාසනය වෙනුවෙන් දරු දෙදෙනාම වැඩකටයුතු කිරීම මට ලොකු සතුටක්. පොඩි හාමුදුරුවන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන ගමන් මහණ වුණා. එදා මම දුකෙන් සිටියත් අද සතුටු වෙනවා. ත්‍රස්තවාදී කරදර නිසා විඳපු දුක දැක්කම මම හැමවිටම කීවා, හාමුදුරුවනේ ගමට එන්න කියලා. පොඩි හාමුදුරුවන් හැම විටම කීවේ ගම අතහැරලා මම ආවොත් මේ ගමට කොටි ගහලා ගම අල්ලා ගන්නවා. ඒ හින්දා ගම ආරක්‍ෂා කරන්න ඕන. හැමදාම එහෙමයි කීවේ. නමුත් අද වන විට දරාගන්න බැරි සතුටක් ඇතිවෙනවා. මම හරිම පින්වන්තයි කියා හිතෙනවා. ජීවිතයේ සමහර අවස්ථාවල දැනුණ දුක සමනය කරගෙන මම දැන් තනිවම තමයි ජීවත් වෙන්නේ. මගේ මහත්මයා හෘදයාබාධයකින් මිය යන විට පොඩි හාමුදුරුවන් පැවිදි වී නැහැ. වයස අවුරුදු 2 යි.

යුද හමුදාවේ පුතා තුවාල වී සිටිද්දී ඔහු බැලීමට ගොස් එනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේ මා අසලම මහා බෝම්බයක් පිපුරුවා. මගේ ඇඟපත පුරාම මස්කැබැලි සහ ලේ ගෑවී තිබුණා. මට කිසිම අනතුරක් සිදුවුණේ නැහැ. මා ළඟම සිටි අය පවා මිය ගියා. මම කළ පින්කම්වල බල මහිමයෙන් මා බේරුණා කියා හිතුණා. මම එදා දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියේ වාඩිවී සිටියා. ඒ මොහොතෙම බෝම්බය පිපුරුවා. මගේ පුතා හැම විටම මට කියලා තිබුණා ඒ වාගේ මොනවාහරි කරදරයක් වුණොත් බිම දිගා වෙන්න කියලා. එදත් මම බෝම්බ හඬ සමඟම බිම දිගාවුණා. බේස් බෝල් සෙල්ලම් කරන කණ්ඩායමක දරුවන්ද එදා මේ බෝම්බයට හසුවුණා. ලේ ගලන රෝගීන් රෝහලට ගෙන ගියා. මම මැරුණා කියලා පුතාලට ආරංචි වෙලා. මම කොහොමහරි ගෙදරට යන විට ගෙදර විශාල ජනතාවක් එක් රැස් වී සිිටියා. ගෙදර අයටත් අදහා ගන්න බැරුව ගියා. එදා ඒ කුරිරු ත්‍රස්තවාදී අත්දැකීම් ලැබූ මම ජනාධිපතිතුමන්ට පින් සිදු වන්නට මන්නාරම් හන්දිය ප්‍රදේශයේ මහණ පින්කමටත් සහභාගි වුණා. මගේ පැතුම තමයි නිරෝගීව සිට කිසිවකුට කරදර නොවී මියයෑම. මම මිය ගිය දිනක මෘත ශරීරය වෛද්‍ය විද්‍යාලයට දෙන්න කියා ඉල්ලා සිටිනවා.”

වන්නිහැලඹෑවේ සද්ධාජීව හිමි, බණ්ඩාරගම සමිතරංසි හිමි, බණ්ඩාරගම අරියරංසි හිමි, වන්නිහැළඹෑවේ රතනශීල හිමි, කිරල් පැටියාවේ කුසලඥාන හිමි, මහසෙන්පුර කුසලධම්ම හිමි, මන්නාරම් හන්දියේ සුගතධීර හිමි, මහසෙන්පුර නන්දාරාම හිමි, මහසෙන්පුර හේමරතන හිමි, වන්නිහැළඹෑවේ පඤ්ඤානන්ද හිමි, වහගහපුවැව නාගීත හිමි, බණ්ඩාරගම සිරිරතන හිමි, ඕමාරකඩ ගුණානන්ද හිමි යන සාමණේර හිමිවරු මහණ දිවියට ඇතුළත් වූ හිමිවරු වෙති. මෙම අවස්ථාවට විජයපුර සිරි විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි පින්වත් හු විශාල පිරිසක් එක් වූහ.

 

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]