UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

හොරණ පඤ්ඤාශේඛර නා හිමි

හොරණ රජමහා විහාරාධිපති, ලන්ඩන් තේම්ස් විහාරස්ථානයේ ආගමික අධ්‍යක්‍ෂ, රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ‘ටැංකියේ ගෙදර ලොකු හාමුදුරුවෝ’ යනුවෙන් විරුදාවලිය ලත්, හොරණ පඤ්ඤාශේඛර නාහිමියන් මෙම නොවැම්බර් මස 03 දින අනූහය වියට පා තබති.

මහනුවර කඩුගන්නාවේ පදිංචිව සිටි හීන්කෙන්ද මුදියන්සේලාගේ හෙන්ද්‍රික් අප්පුහාමි සහ හොරණ පදිංචිව සිටි මානගේ දෝන අඩ්ලින් නෝනා දම්පතීන්ගේ කුළුදුල් දරුවා වශයෙන් 1918 නොවැම්බර් මස 03 වන දින උපත ලත් මෙම පින්වත් කුමරා හොරණ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලබා 1933 දී හොරණ රජමහා විහාරස්ථානයේ දී කරඳන ශ්‍රී දේවානන්ද හා හොරණ ශ්‍රී සෝමානන්ද හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට පිවිසුණි. 1939 දී මහනුවර මල්වතු මංගල උපෝසථාගාරයේ දී උතුම් වූ උපසම්පදාවට පත් වූ මුන්වහන්සේ ඉංගී‍්‍රසි හා සිංහල මාධ්‍යයන් තුළින් තම අධ්‍යාපන කටයුතු වල නියැළී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන්ද ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස්පෙළ විභාගයෙන් ද සමත්ව හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස පත්ව, අනතුරුව වරකාගොඩ මහා විද්‍යාලය, විද්‍යාරත්නයේ උපාධි අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කර විද්‍යාරත්න පිරිවෙනේ පරිවෙනාධිපති තනතුරට පත් වූහ.

1980 දී ජපන් රටට වැඩම කළ මුන්වහන්සේ එහි ධර්ම ප්‍රචාරක කටයුතු කරමින් සිටියදී 1983 දී එංගලන්තයට පිවිස සෙල්ස්ඩන් නගරයේ පිහිටි තේම්ස් බෞද්ධ ආයතනයේ ආගමික අධ්‍යක්‍ෂක පදවියට පත්ව ලොව පුරා බුදුදහම ප්‍රචලිත කරනු ලැබීය. ප්‍රංශය, ජර්මනිය, ජපානය, ස්වීස්ටර්ලන්තය, බුරුමය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, ඉන්දියාව, චෙකෝස්ලෝවැකියාව, හංගේරියාව ආදී රටවල් සමූහයක ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූහ. ඒ ගිය ගමන් මඟ තුළ විදේශිකයින් රැසක් බුදු දහමට නැඹුරු කර පැවිදි භාවයට පත් කිරීමට තරම් උසස් ඥානයක් මුන්වහන්සේ තුළ විද්‍යාමාන වී තිබිණි. උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂත්වයක් නම් භාවනාව පිළිබඳ දැක් වූ උනන්දුවයි. ඒ තුළින් බටහිර ජාතීන් අතරට ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් බුදු දහම ගෙනයාමත්, එංගලන්තය පුරා භාවනා පන්ති පවත්වා තිබීමත් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් බෞද්ධ ග්‍රන්ථ රාශියක් එළිදැක්වීමත් සුවිශේෂ ආගමික සේවාවන් වේ.

ජීවිතයේ මුල් භාගයේ සිටම සමාජය වෙනුවෙන් කැපවූ පඤ්ඤාශේඛර හිමියන් 1978 දී “අසරණ සරණ මිත්‍ර සමාජය” ආරම්භ කරමින් දිළිඳු අයට නිවාස තනාදීම, මිල මුදල් ලබාදීම ආදී සමාජ මෙහෙවරෙහි නිරත වූ බුද්ධ පුත්‍රයෙකි. අදත් එම සමිතිය උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය හොරණ ජිනානන්ද හිමියන් විසින් “හොරණ අසරණ සරණ සමිතිය” නමින් පවත්වාගෙන යමින් සුවිශේෂ මෙහෙවරක යෙදී සිටී. වසර අනූහයට මේ මොහොතේ එළඹෙන උන්වහන්සේට ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තව තවත් ලෝක සත්වයා වෙත ශාසනික සේවාවන් ඉටු කිරීමට ශක්තිය, ධෛර්යය හා චිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


අඹගස්වැවේ ඉන්දජෝති නා හිමි

කපුගොල්ලෑව අඹගස්වැව පුරාණ රජමහා විහාරාධිපති අඹගස්වැවේ ඉන්දජෝති නා හිමිපාණන් වහන්සේ අප ප්‍රදේශවාසී ගිහි පැවිදි සැමගේ ප්‍රසාදයට හා ගෞරවයට පත් නිහතමානී ගුණ ශෝභන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

කපුගොල්ලෑව අඹගස්වැවේ පදිංචි කපුරාලගේ කිරිහාමි හා උක්කුරාලගේ සින්නි එතනා යන ශාසන මාමක පින්වත් දෙමව්පියන්ට දාව 1962 පෙබරවාරි 19 වන දින අඹගස්වැව ග්‍රාමයේ දී ජන්ම ලාභය ලද කුමරුවාණන් නමින් “කිරිහාමිගේ සමරසිංහ” නම් විය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද මේ කුඹරු අඹගස්වැව පුරාණ රජමහා විහාරස්ථානයට පැමිණ එවකට එහි විහාරාධිපති කපුගොල්ලෑවේ ඉන්දරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් උගතමනා මූලික බණ දහම් පූර්ණව 1974 මැයි 30 දින “අඹගස්වැවේ ඉන්දජෝති” නමින් පැවිදි විය.

ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සදානන්ද මහා පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලද ඉන්දජෝති හිමියන් උතුම් උපසම්පදාව ලබන්නේ 1982 ජූනි 18 දින ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වීය උපෝසථාගාරයේ දී ය.

තම ගුරු හාමුදුරුවන් වහන්සේගේ හදිසි අපවත්වීමෙන් අනතුරුව තම අධ්‍යාපන කටයුතු අතරමග නතර කරමින් 1988 වර්ෂයේ ගමේ පන්සලට වැඩම කළ ඉන්දජෝති හාමුදුරුවෝ එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වූහ.

එවකට ත්‍රස්තවාදී තර්ජිත ගම්මාන බහුල මෙම ප්‍රදේශයෙහි අනේකවිද දුක් ගැහැට ඉවසමින් දායකයන්ගේ ආගමික කටයුතුවල යෙදෙමින් කළ උතුම් මෙහෙවර අතිශය ප්‍රසංශාර්හය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වාර්ෂිකව පැවැත්වෙන සති පිරිත් පින්කමේ පිරිත් දේශනාවට අමතරව එහි තේවාව භාරව සිදු කළ ශාසනික සේවය විශේෂයෙන් අගය කළ යුතු ය.

හොරොව්පොතාන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ හිමියන් ත්‍රී/ගෝමරන්කඩවල ශ්‍රී රතනජෝති පිරිවෙනේ කෘත්‍යාධිකාරී වශයෙන් සිදු කරන ශාසනික මෙහෙවරද සිහි කටයුතු ය. අඹගස්වැවේ ඉන්දජෝති හිමියන්ගේ ශාසනික මෙහෙවර අගය කරනු වස්, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් “විචිත්‍රභානී විමල කීර්ති ශ්‍රී ඉන්දරතන” යන ගෞරව නාමය සහිතව උතුරු මධ්‍යම දිසාවේ හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය 2013 ඔක්තෝබර් 03 වන දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී සිදු කරන ලදී.

අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ද ඔක්තෝබර් 05 වන දින අඹගස්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ දී සිදු කරන ලද්දේ ස්‍යාමෝපාලි වංශ මහා නිකායේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන නායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනි. උතුරු මැද පළාතේ මහාමාත්‍යතුමා ප්‍රධාන මැති ඇමැතිවරුන් මෙන්ම ප්‍රදේශවාසී දායක පින්වතුන් ද මෙම උතුම් අවස්ථාවට සහභාගී වූහ.

අඹගස්වැව පුරාණ රජමහා විහාරාධිපති විචිත්‍රභානී විමලකීර්ති ශ්‍රී ඉන්දරතන අඹගස්වැවේ ඉන්දජෝත්‍යාභිධාන හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේට ඉදිරියටත් ජාතික ආගමික කටයුතුවල නිරත වීමට තෙරුවන් බෙලෙන් දිගාසිරි ලැබේවායි හෘදයාංගවම ප්‍රාර්ථනා කරමු.


මල්අරඹේ විමලධම්ම නා හිමි

සියනෑ කෝරළයේ ගඟබඩපත්තුවේ කෑරගල මල් අරඹේ විසූ දොන් සීමන් සේනානායක ලොකු රාළහාමිගේ කනිෂ්ඨ පුත්‍රරත්නය ලෙස උපත ලැබූහ. 1948 දී ඕවිටිගම ගමේ ගොඩැල්ලේ බෝරුක්ගමුවේ සිරිදේවමිත්ත මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරාධිපති වූ දෙවුන්දර සිරිවාචිස්සර නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් පැවිදි බව ලබා ඇත.

පන්සලේ සිය ගුරු හිමියන් වෙතින් ශතක පොත් හා උගතමනා පිළිවෙත් උගත් විමලධම්ම පොඩි හාමුදුරුවෝ 1952 කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. එම වසරේදීම මහනුවර මල්වතු මහා විහාරීය රාජකීය උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. 1958 දී ගුරු දේවයන්ගේ උපදෙස් පරිදි සිරි විමලතිස්ස දහම් පාසල ආරම්භ කිරීම සිදුවිය. 1959 දී විද්‍යෝදය පිරිවෙන් අවසාන පරීක්‍ෂණ ඉතා උසස් ලෙස සමත් වූ උන්වහන්සේ, 1960 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළු විය. 1963 දී එහි අවසාන පරීක්‍ෂණයෙන් සාමාර්ථය ලබා ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. 1964 බදුල්ල දිස්ත්‍රික්ක කැන්දගොල්ල මහා විද්‍යාලයේ ප්‍රථම උපාධි ගුරුපත්වීම ලැබූ උන්වහන්සේ පාසලේ මෙන්ම ප්‍රදේශයේ දියුණුව උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළහ. 1966 දී මහියංගන මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබූ උන්වහන්සේ මහියංගණ මහා විද්‍යාලයට පමණක් නොව මහියංගන රාජමහා විහාරයටත් අති විශාල සේවාවක් ඉටු කළහ. 1968 ඕවිටිගම මහා විද්‍යාලයට ද 1974 දරණාගම මහා විද්‍යාලයට ද 1975 උඩුපිල මහා විද්‍යාලයට ද1978 දොම්පේ සියනෑ මහා විද්‍යාලයට ද ස්ථාන මාරු ලැබූහ. 1978 ඕවිටිගම මහා විද්‍යාලයෙහි විදුහල්පති හිමි වශයෙන් පත්වීම ලැබූ උන්වහන්සේ දොම්පේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේකම් ධුරයට පත්ව ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා විශේෂ මෙහෙයක් ඉටු කළහ. මහනුවර මල්වතු විහාරීය මහානායක, අනුනායක හිමිපාණන් වහන්සේලාගේ හා කාරක මහා සංඝ සභාවේ ඡන්දයෙන් විමලධර්ම හිමියන්ට දෙවතාවක්ම නායක පදවි ලබා ගැනීමට හැකිවිය.

සද්ධර්ම කීර්ති ශ්‍රී විපුලතිස්ස යන ගෞරවෝපාධිය සහිතව සියනෑ හේවාගම් දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට හිමිවූයේ 1986 වසරේදීය. 2011 විමලකීර්ති ශ්‍රී විපුලතිස්ස යන ගෞරවෝපාධිය උන්වහන්සේට පිරිනැමිණ. සිය ජීවිත කාලය ශාසනය වෙනුවෙන් හා පොදුජන සුබ සිද්ධිය වෙනුවෙන් කැප කළ විමලධර්ම හිමිපාණන් ආගමික, ජාතික, ශාසනික, උන්නතියට කළ මෙහෙය ගෞරව පූර්වකව සිහිපත් කරමු.

බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් කැප කරමින්, ශාසනික උන්නතිය වෙනුවෙන් මාහැඟි මෙහෙවරක් ඉටුකළ, ජීවන ගමනේ සිය අසූ දෙවෙනි වියට පා තබන සහ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවේ සිය සැටවසර සපුරන, ඕවිටිගම බෝධිමළු විහාරාධිපති, නිකවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ඕවිටිගම පර්ෂද මූලස්ථ මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී විපුලතිස්ස ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත මල් අරඹේ විමලධම්මාභිධාන නාහිමිපාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.


අතුරලියේ පාලිත නා හිමි

කද්දුව පහළ ගනේගම ශ්‍රී වර්ධනාරාමාධිපති අතුරලියේ පාලිත නා හිමියන් ඔක්තෝබර් මස 8 වෙනි දිනට සිය පැවිදි දිවියේ 50 වෙනි වියට පා තැබීම නිමිත්තෙන් එදින සිට එම විහාරස්ථානයේ පින්කම් මාලාවක් 26 වෙනි දින දක්වා පැවැත්විණි.

අකුරැස්ස පහළ අතුරලිය ග්‍රාමයේ පල්ලිය ගෙදර දී 1951 අගෝස්තු මස 30 වෙනි දින ජන්ම ලාභය ලැබූ මිත්‍රපාල ජයසේකර කුමරුවන් පැවිදි බව ලබාගත්තේ අතුරලියේ පාලිත නමින් 1963 ඔක්තෝබර් මස 26 වෙනි දින වේ.

කරගොඩ උයන්ගොඩ අරියශීල හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා එවකට මාතර සිරිමංගල පරිවෙණාධ්‍යක්‍ෂ පණ්ඩිත මාතර වජිරවංශ හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බව ලැබූ පාලිත හිමියෝ 1965 දක්වා මූලික බණ දහම් වත් පිළිවෙත් හැදෑරූහ. දොන් අන්ද්‍රයස් ජයසේකර, කනහලාගමගේ නිමල්හාමි නොහොත් ගොඩපිටිය හාමිනේ මා පිය දෙපොළගේ ආශිර්වාද ලබමින් සාමණේර බණ දහම් හදාරා 1965 ජනවාරි මාසයේ දී වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාතර සිරිමංගල පිරිවෙනට ඇතුළත්ව 1972 දක්වා පාලිත හිමියෝ මැනවින් ධර්ම ශාස්ත්‍ර හැදෑරුවෝ ය. 1972 දී රත්නපුර නිවිතිගල වටාපත ශ්‍රී දේවානන්ද පිරිවෙනට වැඩම කළහ.

1973 අතුරලියේ ශ්‍රී සුදර්ශනානන්ද විහාරයට වැඩම කොට ශ්‍රී පියරතන දහම් පාසලේ සිසු දරුවනට දහම් දැනුම ලබා දුන්හ. 2003 සැප්තැම්බර් මස 13 වෙනි දින කද්දුව ශ්‍රී වර්ධනාරාමාධිපති පණ්ඩිත අරියඤාණ නාහිමියන් අපවත්වීමෙන් පසු අතුරලිය ශ්‍රී සුදර්ශන පිරිවෙනේ සිට පාලිත නාහිමියන් ශ්‍රී වර්ධනාරාමයට වැඩම කළේ ආගමික කටයුතු සිදු කිරීමටය.

කද්දුව ශ්‍රී වර්ධනාරාමයේ වර්තමාන දියුණුව උදාකරන අතුරලියේ පාලිත හිමි සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව ඉටු කරති. විහාරස්ථානයට සම්බන්ධ සියලුම ස්වේච්ඡා සංවිධානවල සභාපති හා අනුශාසක ධුරයන් උසුලන පාලිත නාහිමියෝ ශ්‍රී සංඝබෝධි කුමාරෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයද උසුලති.

අතුරලියේ පාලිත නාහිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් පිරෙන ඔක්තෝබර් මස 8 වෙනි දා සිට 26 වෙනි දා දක්වා එම විහාරස්ථානයේ මහා පින්කම් මාලාවකි. පණ්ඩිත අතුරලියේ පාලිත නාහිමියන්ට අපි හද බැතියෙන් දිගාසිරි සෙත් පතමු.

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]