UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බ්‍රහ්ම විහරණ ගුණ ඇති පින්කෙත

බ්‍රහ්ම විහරණ ගුණ ඇති පින්කෙත

මවුපියන් හැම විටම තම දූ දරුවන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයෙන් කල් යවන බැවින් බ්‍රහ්මයන් වගේ. හැම දෙවියනට පළමු වන බැවින් පූර්ව දෙවියන් වැනි ය. හැම ගුරුවරුන්ට පළමු ඉඳුම් හිටුම් කෑම බීම ඇඳුම් පැළඳුම් දීම් කිරීම් ආදියෙහි හික්මවන (පුහුණු කරවන) බැවින් පූර්වාචාරීන් වගේ. ගරු බුහුමනින් පිළියෙල කොට ගෙන ගොස් පිදිය යුතු ආහාර පානාදිය පිළිගන්නට මහත්ඵල කාරණයෙන් සුදුසු වන හෙයින් ආහුන්‍යෙය ලෙස ද හඳුන්වනවා

තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේ ලොවට පහළ වෙලා දුක් විඳින සත්ත්වයන්ට ඒ දුකින් මිදෙන ආකාරය වදාළ සේක. ඒ දුකෙන් මිදෙන වැඩපිළිවෙලට පිවිසි පුද්ගලයා අනුගමනය කළයුතු කරුණු කාරණාදියද උන් වහන්සේ වදාළ සේක.

ඒ තුළින් දාන, සීල, භාවනා, - සීල, සමාධි ප්‍රඥා, - ශ්‍රද්ධා විරිය, සති, සමාධි, ප්‍රඥා ආදි බොහෝ ආකාරයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කර ගන්නා ආකාරය පෙන්වා දුන් සේක. සසරින් මිදීමට කැමැත්තක් උපදවා ගන්නා පුද්ගලයා මුලින්ම තම නිවසින් ඒ දේ පටන් ගත යුතු වෙනවා. මවුපියන් දරුවන්ටත් දරුවන් මවුපියන්ට නිසි ලෙස සැලකිය යුතු වෙනවා.

මවුපියන් හැම විටම තම දූ දරුවන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයෙන් කල් යවන බැවින් බ්‍රහ්මයන් වගේ. හැම දෙවියනට පළමු වන බැවින් පූර්ව දෙවියන් වැනි ය. හැම ගුරුවරුන්ට පළමු ඉඳුම් හිටුම් කෑම බීම ඇඳුම් පැළඳුම් දීම් කිරීම් ආදියෙහි හික්මවන (පුහුණු කරවන) බැවින් පූර්වාචාරීන් වගේ. ගරු බුහුමනින් පිළියෙල කොට ගෙන ගොස් පිදිය යුතු ආහාර පානාදිය පිළිගන්නට මහත්ඵල කාරණයෙන් සුදුසු වන හෙයින් ආහුන්‍යෙය ලෙස ද හඳුන්වනවා.

එපමණක් නොවේ, ‘බහුකාරා භික්ඛවෙ මාතා පිතරො පුත්තානං’ කියා පොත පතේ සඳහන් වෙනවා. එහි තේරුම මවුපියෝ දරුවන්ගේ ජීවිත ඇති කළා. පිළිවෙල කළා. වැඩුවා. හෘදය රුධිරය පවා කිරි කොට පොවා අත් පා ආහාර පානයෙන් තෘප්තියට පමුණුවා ඇඳුම් පැළඳුම් ලබා දී ලෙඩ දුකින් මුදාවා ශිල්ප ශාස්ත්‍ර උගන්වා සිරිත් විරිත් ආගම ධර්මයන්හි පුහුණු කරවනු ලැබුවා. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා දී පාප මිත්‍රයන්ගේ ඇසුර ඈත් කර රැකී රක්ෂාවන් සොයා දී නිසි කල්හි නිසි ලෙසම ආවා විවාහ කර දී ධන සම්පත් පවරා දුන්නා. එනිසාම

තස්මා හි තෙ නමස්සෙය්‍ය
සක්කරෙය්‍යා’ ථ පණ්ඩිතො’

ආදීන් වදාළ පරිදි ගුණ නුවණ ඇති දුවක විසින් වුවත් පුතකු ෂසින් වුවත් මවුපියන්ට දවස දෙවේලේ නමස්කර කළයුතු වෙනවා. ඔවුන් කළ මහා මෙහෙය වෙනුවෙන් දාසී දාසයනට නො දී තම සියතින්ම ඒ කටයුතු කළ යුතුයි. ආහාර පාන වස්ත්‍රාභරණ යාන වාහනාදී ත් යථා ශක්තියෙන් සංග්‍රහ කළ යුතුයි. මවුපියන්ගේ සිත් නො රිදෙන සේ කීකරු වී සුවචව කල් ගෙවිය යුතු වෙනවා. තමන් ළදරු කල්හි මවුපියන් තුරුණු වී සිටි කාලයෙහි විශේෂයෙන් කීකරු බවෙන් හා වන්දනා ආදියෙන් ද, තමන් තුරුණුව සිටි මවුපියන් දිරාපත් ව සිටි කල්හි ඉහත කී ආකාරයෙන් ම ඔවුන්ට උපස්ථාන කිරීම දරුවන්ගේ යුතුවක් ලෙසයි තථාගතයන් වහන්සේ වදාළේ. ‘භතො නෙ හරිස්සාමි’ ලෙස සිගාලෝවාදයෙහි වදාළ කරුණු පහ මවුපියන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් සංග්‍රහය කිරීම දරුවන්ගේ වගකීමක් හා යුතුකමක් වෙනවා.

සියක් අවුරුද්දක් මුළුල්ලේ මවුපියන් උර මත තබාගෙන උපකාර කළත්, ඔවුන් කළ මෙහෙයට ප්‍රති උපකාර එයින් කළ නො හැකියි. යම් දරුවෙක් සැදැහැ නැති, ගුණ නුවණ නැති, සිල් නැති මවුපියන් සිද්ධා,ශීල ගුණ සම්පත් හි පිහිටු වූයේ නම් ඔවුනට එය නොයෙක් ජාතින්හි පිහිටවන බැවින් ඔවුන් කළ උපකාරයටත් වැඩි තරම් වන ප්‍රති උපකාරයක් බව තථාගතයන් වහන්සේ වදාළ බැවින්, මවුපියන් පාපයෙන් වෙන්කොට කුසල් අරමුණක සමාදන් කිරීමද දරුවන් සතු යුතුකමක් වෙනවා.

පෙර දරුවන් මවුපියන්ට උපස්ථාන කළ පරිදිත් එහි අනුසසුත් සාම ජාතකය, මාතුපෝසක ජාතකය, සාලි කෙදාර ජාතකාදියෙන් මවුපිය ගුණ පෙන්වා දෙනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පවා මාතෘ දිව්‍ය පුත්‍රයාම ප්‍රමුඛ කොට දෙව්ලොව දී අභිධර්මය දේශනා කළ සේක. සුදොවුන් මහරජාණන් සඳහා දුරු කතර ගෙවා වැඩම කර දහම් දෙසීමෙන් අනාගාමි ඵලය දක්වා පමුණුවා එම අත්බවෙහිම රහත්බව ලැබීමට මඟ සැලසූ සේක. විනයෙහි ඇතැම් ශික්ෂා පදයන් ද මවුපියන් සඳහා විශේෂ කොට පැන වූ සේක.

චතුªසු භික්ඛමේ සම්මා පටිපජ්ජමාවෙනො’ ලෙස බුදුන් වහන්සේ , රහතන් වහන්සේ මෙන් මවුපියන් පින්කෙත් ලෙසද, මාතාපිතු උපට්ඨානං- පුත්තදාරස්ස සංගහො’ මවුපියන්ට උවටැන් කරන දරුවන්ට දෙලොව දියුණුව සලසන උතුම් මංගල කාරණාවක් බවද වදාළ සේක. ඒ වගේම මව්පියන් ට නො සලකන දරුවන්ට ‘වසලයා’ ලෙසද හැඳීන්වූවා. බුදුන් වහන්සේ, රහතන් වහන්සේ මව, පියා, කෙරෙහි කයින් වචනයෙන් වැරැදි කරන අයට ගුණ දහමිනුත් පිරිහි නුවණැත්තවුන්ගෙන් අපවාදත් ලැබෙනවා. බොහෝ පව් රැස් කර ගන්නවා. මව මැරීම, පියා මැරීම ආනන්තරිය පාප කර්මයක් (ඊළග ආත්ම භවයේදී නො වරදවා ම නිරයේ ඉපදෙන බව) බවද වදාළා.

සද්පුරුෂ වූ දරුවෝ මවුපියනට පස් කාරණාවකින් උපස්ථාන කිරීමට සුදුසු යි. එය ඔවුනගේ යුතුකමක් වෙනවා.

01. ඉතා ආදරයෙන් ගෞරවයෙන් මවුපියන් පෝෂණය කිරීම
02. දෙමවුපියන්ගේ කටයුතු කරදීම,
03. ගිහිගෙයි වැසි දූ දරුවන් විසින් මවුපියන් සතු රන් රුවන්, වතු කුඹුරු ආදිය නො වැනැසීමෙනුත්, මවුපියන් පෙර නො පිහිටි ගුණයෙහි පිහිටුවීමෙනුත් මවුපියන් කළ පින්කම් දිගටම කිරීමෙනුත් පරම්පරාව රැක ගැනීම.
04. දායාද ලබන්නට සුදුසු වී එය හොඳින් සොයා බලා රැක ගැනීම
05. මියගිය මවුපියන් වෙනුවෙන් පින්කොට පින්දීම

ලෙස දක්වා තිබෙනවා. මවුපියනට දරුවන් සංග්‍රහ කිරීම බෝධි සත්ත්ව ගුණයක්. එබඳු කීකරු සත්පුරුෂ දූ දරුවන් මිනිසුන්ගේ ලොකුම වස්තුව බව පුත්තා වත්ථු මනුස්සානං ලෙස තථාගතයන් වහන්සේ වදාළ සේක.

එනිසා සසරට භය උපදවා ගෙන ලෝභ, ද්වේෂ, මෝහ ආදි පවින් දුරුව දාන, ශීල භාවනා දී පින්කම් කරමින් තමන්ටත් අනුන්හටත් ශාසනයටත් හැම යහපතක්ම සලසා දෙලොවත් ජයගෙන කෙළවර බුද්ධාදි උතුමන් නිවි සැනසී පැමිණ වදාළ අමා මහ නිවන් සුව ලබන්නට හේතු වාසනා වේවා!

මවුපිය ගුණය දූ දරුවන්ගේ සිත් සතන් තුළින් සදාකල් නො නැසී පවතීවා!.

සටහන: නයනා නිල්මිණි


පසුගිය සතියෙන් - දරුවන්ගෙ දේ දරුවන්ට කරගන්න ඉඩ දෙන්න

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]