UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් විසීම සහ කඨින පූජාව

මෙම ලිපියේ මුල් කොටස වප් පුර පසළොස්වක දා පත්‍රයේ පළ විය.

ප්‍රාතිමෝක්‍ෂයේ අචේලක වග්ගයේ සයවෙනි ශික්‍ෂා පදයෙන් නිදහස්වීමේ ආනිසංසය යි. මේ ශික්‍ෂාපදයේ හැටියට විහාරයෙහි වාසය කරන භික්‍ෂුවකගෙන් නොවිමසා කුල ගෙවල්වල හැසිරීමෙන් ආපත්තියක් සිදුවේ. එහෙත් කඨිනය ඇතිරූ භික්‍ෂුවට ආරාමයෙහි භික්‍ෂු නමකට නොදන්වා කුලගෙවල්වල හැසිරීමෙන් වන ඇවතින් නිදහස්වීමට හැකිය. උපනන්ද භික්‍ෂුව ආරාමයෙහි තවත් භික්‍ෂූන් සිටියදී තමන් පමණක් කුලගෙවල් වලට ගොස් තනිවම දන් වළඳා එන සිරිත නිසයි. මේ ශික්‍ෂාපදය පනවා තිබුණේ.

අනාමන්තචාරය

කඨිනානිසංසයක් හැටියට එය ලිහිල් කළේ සිවුරු පූජා කරන කාලයෙහි භික්‍ෂූන් ගමට නොයෑම නිසා සිවුරු හිඟවිය. එය දැනගත් බුදුරජාණන් වහන්සේ සිවුරු පූජා කරන කාලයෙහි ආරාමයෙහි භික්‍ෂුවකට නොදන්වා හෝ කුල ගෙවල්වල හැසිරීමෙන් වන ඇවතින් මිදිය හැකි බව අනාමන්තචාර යන ආනිසංසය දැක්වීමෙන් පැහැදිලි කර දුන්හ.

අසමාදානචාරය

ප්‍රාතිමෝක්‍ෂයෙහි නිසඟි පචිතිවල දෙවන ශික්‍ෂා පදයෙන් අධිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රි ඉක්මවීමෙන් ආපත්තියක් සිදුවෙන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්‍ෂුවට ඇවැත් සිදුනොවීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එයද එක් කඨිනානිසංසයකි. භික්‍ෂූන් වහන්සේලාට නොයෙක් තැනින් ලැබුණ, සිවුරු තැන් තැන්වල දමා තිබීම ආදිය සලකා මුලින් මේ ශික්‍ෂාපදය පනවා තිබූ අතර කඨිනය ලැබූ කාලය තුළ මේ ශික්‍ෂාපදයෙන් නිදහසක් ලැබීමට අවස්ථාව සලසා දී තිබේ.

ගණ භෝජනය

ප්‍රාතිමෝක්‍ෂයේ භෝජන වග්ගයේ දෙවන ශික්‍ෂාපදය මේ ගණ භෝජනයයි. එයින් නිදහස් වන අවස්ථා ලෙස ගිලන් සමය ආදී අවස්ථා කීපයක් ද දක්වා ඇත. ගණ භෝජනය ලෙස දැක්වෙන්නේ කිසියම් පුද්ගලයෙක් පැමිණ භික්‍ෂුවකට පූජා කරන අදහසකට වඩා හිතමිත්‍ර භාවයෙන් කෙරෙන සංග්‍රහයක් වශයෙන් අපගේ ගෙදරට එන්න. ආහාර වේලක් ගන්න යනුවෙන් කරන ඉල්ලීමකදී සතර නමක් හෝ වැඩි පිරිසක් එහි ගොස් වැළඳීම හෝ අපට කෑම වේලක් දෙන්න කියා තමන් කියවා සූදානම් කරගෙන එසේ ගොස් වැළඳීමෙන් සිදුවන ඇවතයි. එහෙත් කඨිනය අතුල භික්‍ෂුවට කඨිනානිසංස කාලය තුළ මේ ඇවතින් නිදහස් බව ලැබී තිබේ.

යාවදත්‍ථචීවර

නිසහි පචිතිවල පළමුවන ශික්‍ෂාපදයෙන් දස දිනකට වඩා අතිරේක සිවුරක් අධිෂ්ඨානාදිය නොකොට තබා ගැනීමෙන් ඇවතක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්‍ෂුවකට කඨිනානිසංස කාලය තුළ ආරාමයට ලැබෙන සිවුරු යම්තාක් ද ඒවා තබා ගැනීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එය යාවදත්ථ චීවර යන ආනිසංසය ලෙස දැක්වේ.

යෝචතත්‍ථ චිවරුප්පාදය

කඨිනය අතුල භික්‍ෂුවකට එම සීමාව තුළ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පිදීමෙන් හෝ ඒ ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සඟ සතු සිවුරු හා පූජා භාණ්ඩ ලැබුණහොත් කඨිනානිසංස කාලය තුළදී කඨිනය අතුල භික්‍ෂූන්ට හිමි වේ. මෙය කඨිනය අතුල භික්‍ෂූන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස සැලකේ.

මෙසේ කඨිනය ලැබූ භික්‍ෂුවට කඨින බලය බලපැවැත්වෙන පස් මාසය තුළ වරප්‍රසාද පසක් ලැබීමේ ආනිසංස ලැබේ.

කඨින දායකයාට ලැබෙන ආනිසංස

අට මහ කුසල් බෞද්ධයන් අතර, ඉතා ප්‍රසිද්ධය.

එහි මුල් තැන ලැබෙන්නේ කඨිනයටයි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිසංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ,

කඨිනට්ඨ පරික්ඛාරං - වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස - පටිමා කරණං පිච
කරණං වච්චකුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි 1 කඨින දානය, 2. අට පිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන්දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිළි කැසිකිළි සෑදීම යන පූජාවන් ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේලා පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතුරින් ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාවයි. පංචානන්තරිය පාප කර්මය කරගෙන නොමැත්තේ නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වෙන්නේ ය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිසංසයන් ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවෙකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කල්‍යාණ පෘතග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිරය. කාමසුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.

වසරකට එක් තැනකදී එක්වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්‍ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙරවස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එවැනි ස්ථානයකදි වුවද වසරකට එක් වරක්, කර ගත හැකි මෙම පින්කම වුවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පෝය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදී ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාත් කඨින දානය දුර්ලභ පින්කමකි.

කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තර ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්‍ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරා අනෝතප්ප විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදුකළ භික්‍ෂු නමක් සිටීනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේ දී නාගිත මහ රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි. තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්‍ෂය ඥානය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවයි. නිවන කුළුගන්වමින් කරගත් එම පින්කම නිසා එදා පටන් කිසිම අවස්ථාවක දුගතියක නූපන් බවත් මනුෂ්‍ය දිව්‍ය ආත්මවලම පමණක් උපත ලද බවත් ය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.

යාවතා සබ්බ පරික්ඛාරේ - සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස - කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං - සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස - කලංනාග්ඝති සොළසිං

( 30 –31 නාගිතාපදානය)

භික්‍ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිසංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.තවද තමන් කඨින පූජාව නිසා ලැබූ ආනිසංස විස්තර කරන නාගිත මහරහතන් වහන්සේ,

අටඨාරසන්නං කප්පානං දෙවලොකෙ රමාමහං
චතුතිංසක්ඛත්තුං දේවින්දෝ
දේව රජ්ජ මකාරයිං

කල්ප දහ අටක් දිව්‍ය ලෝකයෙහි දිව සැප විඳින්නටත් එයින්, තිස් හතර වාරයක් තව්තිසා අධිපති සක්‍රදේවේන්ද්‍රව උපදින්නටත් අවස්ථාවක් ලැබුණ බවත් දක්වා ඇත.

අසිතිච චතුක්‍ඛත්තුං - චක්කවත්ති මහාසයං
පදේස රජ්ජං විපුලං - ගණනාතෝ අසංඛයා

අසූහතරවාරයක් සක්විති රජව ඉපදී අප්‍රමාණ සම්පත් භුක්ති විඳි බවත් මිනිස් ලොව ප්‍රදේශ රාජ්‍යයන්හි අධිපති බව ලැබූ වාර ගණන නියමයක් නැති බවත් දක්වමින් කඨින පූජාවෙන් ලැබෙන ආනිසංසය පැහැදිලි කර ඇත.

සබ්බ දානං දදන්තේන – අස්මි පුථුවි මණ්ඩලේ
සංඝස්ස දින්නං කඨිනං - අග්ගං බුද්ධෙන වණ්ණිතං
මානුසිකාව සම්පත්ති - දේවලෝකෙච යාරතී
යාව නිබ්බාණ සම්පත්ති - සබ්බ මෙතෙන ලබ්භති

මේ පොළෝ තලයෙහි සියලු දන්දීම් අතර සංඝයාට දෙන ලද කඨිනය උතුම් යැයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබෙන බවත් මනුෂ්‍ය, දිව්‍ය, නිර්වාණ යන ත්‍රිවර්ග සම්පත්තියම මෙම කඨින දානයේ ආනිසංස වශයෙන් ලැබෙන බවත්, ඉතා උත්කර්ෂවත් ලෙස නාගිත මහ රහතන් වහන්සේ සිය කඨිනානිසංස වර්ණනාවෙන් එදා මැනවින් පැහැදිලි කර දුන්හ.

විනය කර්මයකට සම්බන්ධ වන කඨිනය විශාල ජන පිරිසක් සහභාගී කරගෙන කරන පූජාවක් බැවින් එයින් ලැබෙන ආනිසංස ඉතා විශාල බව මෙම කරුණුවලින් මැනවින් පැහැදිලි වේ.

භෞතික වශයෙන් කඨින පූජාවෙන් විවිධ ආනිසංස ලැබුණත් ඒ සම්පත් බලාපොරොත්තුවෙන්ම කඨින පූජා සිදු කරනවාට වඩා නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම පින්කම් සිදුකිරීම සසර ගමන කෙටිකර ගැනීමට හේතුවන බව කල්පනාකොට කඨින පූජාවෙහි උනන්දු වෙත්වා.

කඨින පූජාව කළ යුත්තේ කෙසේ ද?

කඨින පූජාවක් කිරීමට බලාපොරොත්තු වන දායක පින්වතුන් ඇසළ මස අවපෑළවිය දිනයේ දී උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලාට ගෞරවයෙන් යුතුව “ස්වාමිනී, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තුන් මාසයෙහි මේ ස්ථානයෙහි වස් සමාදන්ව වැඩ සිටිනු මැනවි. ඔබ වහන්සේලාට ආධ්‍යාත්ම විමුක්තිය ඇති කර ගැනීමට අවශ්‍ය සිව්පස දානයෙන් අපි උපස්ථාන කරමු. අපටද ශීල සමාදානාදී උතුම් ප්‍රතිපත්ති රැක ගැනීමටත්, ධර්ම දේශනාදිය ශ්‍රවණය කිරීමටත් විශේෂයෙන් ඔබ වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවායි” ප්‍රකාශ කරමින් දැහැත් ගොටු වැසි සළු පිළිගන්වමින් ආරාධනය කළ යුතුයි. එම ආරාධනය පරිදිම වස් කාලය පුණ්‍ය කාලයක් ලෙස සලකා වෙනදාට වඩා උනන්දුවෙන් භික්‍ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කළයුතු අතර, තමන්ද ඉතා හොඳින් ගුණධර්ම ආරක්‍ෂා කළ යුතුයි.

වස් පවාරණය කළ පසු ප්‍රමාණවත් පරිදි සංඝයාට ආරාධනා කොට ප්‍රමාණවත් පරිදි සිවුරකට වස්ත්‍ර හෝ එසේ නොමැති නම් තුන් සිවුරෙන් එක් සිවුරක් හෝ කඨිනයට පූජා කළ හැකිය. අපේ පැරැණි චාරිත්‍ර අනුව සිවුර හෝ වස්ත්‍රය ගමේ සියලු දෙනාටම සම්බන්ධ විය හැකිසේ ගෞරව සහිතව වැඩමවා වස්ත්‍රයක් නම් “ඉමං කඨින දුස්සං භික්‍ෂු සංඝස්ස දේම” කියාද සිවුරක් නම්” ඉමං කඨින චීවරං භික්‍ඛු සංඝස්ස දේම” කියාද තෙවරක් කියා පූජා කළ යුතුයි. වස්ත්‍රයක් නම් එදිනම මසා පඬුපොවා ගැනීම සඳහා අවශ්‍ය ඉදිකටු, නූල් පඬු ආදී උපකරණ ද සපයා දිය යුතු යි. තවද කඨින සිවුර පූජා කරන අවස්ථාවේ දී සංඝයාගේ ප්‍රයෝජනයට ගත හැකි ගරු ලඝු භාණ්ඩ ද පූජා කළ හැකිය.

කඨිනය සමඟ පූජා කරන එම භාණ්ඩ සඳහා කඨිනානිසංස පරික්ඛාර යැයි සඳහන් කරනු ලැබේ. එයින් අදහස් කරන්නේ කඨිනය සමඟ එම ස්ථානයේ ඒ දවසෙහි පූජා කරන සියලු දේ වෙනුවෙන් කඨිනානිසංස ලැබෙන බවයි.

දායක පින්වතුන් ඉතා උනන්දුවෙන් කඨින පූජාවක් සිදුකරනවාසේම භික්‍ෂූන් වහන්සේලා ද වෙනත් පූජා ලබනවාට වඩා කඨිනයක් ලැබීමේ දී ඉතා උනන්දුවෙන් ඒ සඳහා සූදානම් වේ. මේ පූජාව විනය නීති සමුදායකට සම්බන්ධ වීමත් කරුණු රාශියක් විශේෂයෙන් සම්පූර්ණ වීමෙන් ම ලැබීමත් මෙයට එක් හේතුවක් වේ. සැදැහැවතුන් කඨින වස්ත්‍රයක් හෝ සිවුරක් පූජා කළ පසු වස් විසූ සීමාවෙහි සිටින භික්‍ෂූන් අතරින් සිවුරක් ලැබීමට ඉතාම සුදුසු භික්‍ෂුව තෝරා එම භික්‍ෂුවට සංඝයා විසින් සිවුර නැවත පවරනු ලැබේ. පළමුව දායකයන් විසින් සංඝයාට පූජා කළ සිවුර සංඝයා විසින් සීමාවකදී විනය කර්ම වාක්‍යයකින් භික්‍ෂුනමකට පැවරීමද කඨින පූජාවෙහි විශේෂ අවස්ථාවකි. මේ පූජාව සිදු කිරීමට අඩුම වශයෙන් සීමාවට භික්‍ෂූන් පස් නමක් වත් රැස්ව සිටිය යුතු යි. එහිදී කඨිනය පවරන භික්‍ෂුවගේ නම කර්ම වාක්‍යයට ඇතුළත් කොට ව්‍යක්ත ප්‍රති බලසම්පන්න භික්‍ෂු දෙනමක් කර්ම වාක්‍ය ප්‍රකාශ කොට සිවුර නියමිත භික්‍ෂුවට භාරදෙනු ලැබේ.

වස් කාලයේ ගිහි, පැවිදි සබඳතා දියුණු කර ගනිමු

වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා ගිහි, පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකි ය. ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් කටයුතු සිදුකරගන්නා කාලයක් බවට පත්කරගත යුතුයි. පෙර අප රටේ පැවැති කෘෂි කාර්මික යුගයේ ගිහි පින්වතුනට යම් විවේක කාලයක් තිබුණු බව ප්‍රකටය. එහෙත් අද පවතින වාතාවරණය අනුව එවැනි විවේක කාල සීමාවන් සපයා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එම නිසා වස් කාලයේ ඉඩ ලැබෙන අයුරෙන් හෝ විහාරස්ථානයන් කරා ගොස් ස්වාමීන් වහන්සේලා හමුවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදියෙන් තමන් ගුණ නුවණ වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි. කඨින සිවුර පූජා කිරීම යනු හුදෙක් සිවුරක් පූජා කිරීමක් පමණක් නොව තුන් මසක් පුරා කරගන්නා පින්කම් මාලාවක් බව සැලකිය යුතු ය. වස් විසීම ආරම්භ වූ දිනයේ පටන් කඨින පූජාව කර කුසල් රැස්කර ගනිමු. යන පුණ්‍ය චේතනාවෙන් ම නිරන්තරයෙන් මේ කාලය තුළ බෝධි පූජා, බුද්ධ පූජා, ඥාන පූජා, අටවිසි බුද්ධ පූජා ආදී ආමිස පින්කම් ද, අෂ්ටාංග උපෝෂථ සීලාදි උතුම් සීලයන් ද දියුණු කරමින් ප්‍රතිපත්ති පින්කම් ද සිදු කරමින් මේ කාලය කුසල් වඩන කාලයක් බවට පත් කරගත යුතුයි.

ස්වාමීන් වහන්සේලා ද, දායක දායිකාවන් වෙනදාටත් වඩා ගුණ ධර්ම පැත්තට යොමු කරමින් යා යුතු නොයා යුතු මඟ කියා දෙමින් දායක පක්‍ෂයට අනුග්‍රහ දැක්විය යුතු අතර තමන් වහන්සේලා ද වඩාත් උනන්දුවෙන් තම භික්‍ෂු ජීවිතය සාර්ථක කර ගැනීමට වීර්ය වැඩිය යුතු වේ. එවිට තමන් වහන්සේලාට ද වස් කාලය අර්ථවත් කාලයක් බවට පත් වේ.

මුළු ගමක් එකතුව පොදුවේ සිදුකරන පින්කමක් නිසා ගමේ සමඟිය ද හිතමිත්‍රකම් ද මේ කාලයේ දී දියුණු කරගැනීමට අවස්ථාව උදාවෙන බව වඩාත් කල්පනාවට ගෙන සියලු දෙනාම ස්ථාවර ආනිසංස දායක වූ මේ කඨින පින්කම් සිදුකර ගැනීමට උනන්දු වෙත්වා!

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]