UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨීන චීවර පූජෝත්සව

කඨීන චීවර පූජෝත්සව

මහනුවර ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාලිගාවේ කඨින චීවර පින්කම ඔක්තෝබර් 19, 20 දිනවල මල්වතු අස්ගිරි මහා නා හිමි අනු නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර කටුකැලේ ලේඩි බ්ලොක් ආරාමාධිපතිනි කොත්මලේ සුදර්මා සිල් මෑණියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

මෙවර කඨින පින්කමේ දායකත්වය මංජුල නාරායන මහතා සහ වෙරුනිකා මහත්මිය යි.

ඔක්තෝබර් 19 සවස 7.15 ට ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනමන ගිලන්පස පූජාවකි. රාත්‍රී 9 ට සිට පසුදින අලුයම දක්වා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. කොළඹ සිට ධර්ම යාත්‍රාවකින් පංචතූ®ර්ය නාද මධ්‍යයේ වැඩමවන කඨින වස්ත්‍ර කටුකැලේ ආරාමයේ සිට අලුයම අලි ඇතුන් සහිත මහ පෙරහරකින් ශ්‍රී දළදා මාලිගාවට වැඩම කෙරේ. මෙදින දහවල් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු ප්‍රධාන මහා සංඝ රත්නය හැත්තෑ පස් නමක් විෂයෙහි පිරිනමනු ලබන මහා කප්රුක් සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

- කේ. බණ්ඩාරනායක


මහනුවර මල්වතු මහා විහාරය

මල්වතු මහා විහාරයීය සංඝරාජ වස් දාන සංග්‍රහ සමිතියේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මල්වතු මහා විහාරයේ කඨින චීවර පින්කම ඔක්තෝබර් 26 - 27 දිනවලදී පැවැත්වේ.

මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් 62 වෙනි වතාවටත් සිදු කෙරෙන මල්වතු මහා විහාරයේ කඨින පින්කම සංඝරාජ ගුණානුස්මරණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙවරද කඨින චීවර තුනක් පෝය මළුව විහාරය මල්වතු මහා විහාරය සහ මහා නා හිමි නිල ආරාමයට පූජා කිරීමද සිදු කෙරේ.

- කේ. බණ්ඩාරනායක


මහනුවර අස්ගිරි මහා විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාර පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මාහිමි නිල ආරාමයේ කඨින පින්කම මේ මස 20, 21 දිනවල දී පැවැත්වේ. අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ආනමඩුවේ ධම්මදස්සි හිමි ප්‍රධාන ශිෂ්‍යයින් ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන කඨින පින්කම 21 වෙනිදින අස්ගිරි පාර්ශවයේ අනුනායක ගලගම අත්ථදස්සී නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය අසූනමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.
- කේ. බණ්ඩාරනායක


සෝමවතිය රජමහා විහාරය

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී සෑ රදුන් අභියස රාජමහා විහාරයේ කඨින චීවර පූජෝත්සවය ඔක්තෝබර් 19, 20 දිනවලදී මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි සෝමවතිය රජමහා විහාරාධිපති පණ්ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඔක්තෝබර් 19 වෙනිදින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකි. විසිවෙනි දින අලුයම 4.30 ට කඨින චීවරය පංචතූර්ය නාද සහිතව පෙරහරකින් වැඩම කෙරේ. කඨින පින්කමේ දායකත්වය භාගින්ද ගුරුගේ මහතා සහ මහත්මිය විසින් දරනු ඇත.

- කේ . බණ්ඩාරනායක


කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ, වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජා මහෝත්සවය මේ මස 19 දින සිදු කෙරේ.

15 දින සිට 19 වන දින දක්වා දිනපතා සවස 6.30 ට, බෝධි පූජා පින්කම් මාලාවක් පැවැත්වෙන අතර 18 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින ගරුතර මහා සංඝරත්නය උදෙසා හීල දානය පූජා කෙරේ. විහාරාධිපති කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව ශාන්ති පදනම හා ශ්‍රී සුමේධංකර කාන්තා සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ, නුගේගොඩ කන්දෙවත්ත පාරේ, අංක 20 ඒ නිවසෙහි ප්‍රසන්න කරුණාතිලක මහතා සහ හිරන්ති කරුණාතිලක මහත්මියයි. කඨින පෙරහර 19 වන දින අලුයම 5.00 ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, බෞද්ධ මහා සම්මේලන අභියසින් පිටත්ව එදින උදේ 7.00 ට කඨින චීවර සඟසතු කොට පූජා කෙරේ.


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ කඨින චීවර පින්කම විහාරාධිපති කැටවල ඉන්දසාර නා හිමියන්ගේ් අනුශාසනා පරිදි මේ මස 20 වැනිදා පැවැත්වේ. මෙයට සමගාමීව 19 වනදින පිරිත් දේශනාවක් පැවැත්වෙන අතර පසුදින සඟසතු දානයක් සමඟ කඨින චීවර පූජාව නිම කිරීමට නියමිතය.


අමුගොඩ ජයසුමනාරාම මහා විහාරය

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය ඇතුලු චාතුර්මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශවයේ අනු නායක මහෝපාධ්‍යාය අමුගොඩ සෝමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ ද, ගෞරව ශාස්ත්‍රවේදී පිටිගල සෝමාලංකාර හිමියන්ගේද අනුශාසකත්වයෙන් මේ මස 18, 19, 20 යන තෙදින තුළ වාර්ෂික කඨින පූජා පින්කමට සමගාමීව විහාරාධිපති අනු නාහිමියන්ගේ අසූහයවෙනි ජන්ම දිනයට ආශිර්වාද කිරීම, ආදි කර්තෘන් වහන්සේලා සිහිකිරීම, විශේෂ ධර්ම දේශනා, අටවිසි ගිලන්පස, බුද්ධ පූජා, බෝධි පූජා, කඨින පූජා, මහා පෙරහර, කප්රුක් පූජා, වස්සාවාසික චීවර පූජා හා ශතාධික මහා සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වප්පුර පසළොස්වක පෝය දා පෙරවරු 5 සිට පෝදා වැඩසටහන ක්‍රියාත්මක වන අතර පස්වරු 5 සිට 6 දක්වා අටවිසි ගිලන්පස බුද්ධ පූජා පින්කම මෙහෙයවීම පිටිගල සෝමාලංකාර හිමියන් විසිනි.

රාත්‍රී 7 සිට 8 දක්වා විශේෂිත ධර්ම දේශනාව ඇත්කඳුරේ සුමනසාර හිමියන් ද , 6 සිට 7 දක්වා අෂ්ඨපාන, චතුමධුර සහිත අටවිසි ගිලන්පස බුද්ධ පූජා පින්කම උඩුගම කුසලඤාණ හිමියන් විසිනි. එදින දහවල් මහ සඟරුවන උදෙසා කඨින චීවර මහා පූජාව හා සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීමට කටයුතු යොදා ඇත.


වේයන්ගොඩ සඟබෝ විහාරය

වේයන්ගොඩ බාඳුරාගොඩ පාරේ, ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ කඨින පින්කම හා පරණගම ශ්‍රී විපුලසිරි නාහිමි සදහම් මන්දිරය විවෘත කිරීම මේ මස 19 හා 20 දෙදින තුළ පැවැත්වේ.

19 වැනි දා සවස 9 ට සදහම් මන්දිරය විවෘත කිරීම ද, රාත්‍රී 7 ට ධර්ම දේශනාව මතුරට ධම්මික හිමියන් විසින්ද, රාත්‍රී 9 ට පිරිත් දේශනයද පැවැත්වේ. 20 වැනිදා අලුයම කඨින චීවරය හා කප්රුක සඟසතු කිරීම හා දහවල දානය පූජා කිරීමෙන් වැඩසටහන් නිමාවට පත්වේ.


මිරිස්වත්ත ශ්‍රී ජීවකාරාමය

අවිස්සාවේල්ල පුවක්පිටිය මිරිස්වත්ත ශ්‍රී ජීවකාරාම විහාරස්ථානයේ මෙවර පවත්වනු ලබන කඨින පින්කම මේ මස 18 – 19 යන දින වලදී සිදු කෙරේ. 18 වන පුන් පොහෝ දින දාන සීල භාවනා බෝධිපූජා ධර්ම දේශනා වැඩසටහන් ද රාත්‍රියේ කඨින චීවරය රැගත් පෙරහර ද ගම්වීදි පුරා ගමන් කර 19 වන දා අලුයම විහාරස්ථානයට ගෙවදී. 19 වන දින දිවා කාලයේ දී 25 නමකට අධික මහා සංඝරත්නය වෙත කඨින චීවරය සහිත දක්‍ෂිණාව පිරිනැමීමෙන් පින්කම නිමාවට පත් කෙරේ.


බොරැල්ල ශාන්තාරාමය

බොරැල්ල ශාන්තාරාමයේ කඨින මහ පින්කම බොරැල්ලේ අතුල හිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා ආරම්භ කෙරේ.

මාධ්‍යවේදිනී උලුලා පීරිස් මහත්මියගේ නිවසින් කඨින චීවරය හා මුතුකුඩ රැගත් පෙරහර වැඩමකිරීම ආරම්භ කෙරේ.

මෙදින රාත්‍රියේ මහා සංඝයා විසින් පිරිත් සජ්ක්‍ධායනාවක් පවත්වා පසුදින උදෑසන 6.30 ට සංඝික දානමය පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ පින්කමට සමගාමීව නොවැම්බර් 01 වැනිදා බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දම් දෙසුමක් හා 02 වැනිදා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආචාර්ය සීලවිමල හිමියන්ගේ දම් දෙසුමක්ද සවස 6.30 ට ශාන්තාරාමයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කැර ඇත. කඨින ආනිසංස ධර්ම දේශනය කොළඹ දසාවේ අධිකරණ සංඝනායක ආනන්දාරාමාධිපති ගම්මැද්දේගොඩ විමල නා හිමි විසින් පවත්වනු ලැබේ.


කහඹිලියාවත්ත ශ්‍රී ලේඛකාරාමය

රයිගම කහඹිලියාවත්ත ශ්‍රී ලේඛකාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම ශාස්ත්‍රපති කෙසෙල්හේනාවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සරත් චන්ද්‍ර ඩයස් හා ශීලා පෙරේරා යන දායක දෙපළගේ මූලිකත්වයෙන් මේ මස 27 වැනිදා රයිගම බණ්ඩාරගම ශ්‍රී‍්‍ර ලේඛකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.


බෙන්තොට ගංගාරාමය

බෙන්තොට දෙද්දුව ගංගාරාමාධිපති අලුත්ගම කන්දේ විහාර පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති බටුවන්හේනේ ඤාණානන්ද නාහිමිගේ පූර්ණ අනුශාසකත්වයෙන් කඨින පින්කම සහ එයට සමගාමීව පැවිදි කිරීමේ පින්කමක් මේ මස 18, 19 යන දෙදින තුළ දෙද්දූව ගංගාරාම පුරාණ විහාරයේ දී පැවැත්වේ.

මේ මස 19 වැනි දින විහාරාධිපති හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහන් මලින්ද දේශාන් සහ ලහිරු සම්පත් දරුවන් දෙපළ පැවිදි බිමට පත්වෙති. වසරක් පාසා පැවැත්වෙන කඨින මහා පින්කමට සමගාමී ව 17 වන දා රාත්‍රී සවස 6.00 ට දෙද්දූව ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස යුගාසන කවිබණ දෙසුමක් ද 18 වැනිදා වප් පොහෝ දින රාත්‍රී කඨින පෙරහර ද 19 වැනිදා සෙනසුරාදා හීල් දානය සහ දහවල්, මහා සංඝරත්නයට කඨින මහා සඟ සතු දානය පිරිනැමීම සිදුවේ.

මෙවර කඨින මහා චීවර පූජාවේ දායකත්වය දරනු ලබන්නේ, දෙද්දූව ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස පදිංචි දායක දායිකාවන් විසිනි.


කීණදෙනිය ශ්‍රී වර්ධනාරාම විහාරය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මඩිතියවෙල ශ්‍රී මේධංකරාභිධාන නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 18 - 19 දෙදින තුළ කීණදෙනිය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී කඨින මහ පින්කම සහ තවත් පින්කම් පැවැත්වේ.

පුන් පෝ දින පෙරවරු 7 සිට විශේෂ ආගමික වැඩසටහන්ද, එදින සවස 6 ට ලක්ෂයක් නෙළුම් මලින් චෛත්‍යරාජයණන් වහන්සේ සරසවා සියක් ලක්ෂයක් මල් පියලි උඩු ගුවණින් වස්සවා සිදු කරන පින්කමක් ද, රාත්‍රී 7 ට තල්ගමුවේ සුධීරානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවද , එදින රාත්‍රී කඨින වස්ත්‍රය සහිත මහා පෙරහරක්ද ,පසුදින දානමය පින්කමද පැවැත්වේ.


පොළොන්නරුව ගල් විහාරය

ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරයේ කඨින පින්කම මේ මස 18, 19 දිනයන් හි විහාරාධිපති අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරාධිකාරී (දළදා ගමන් මාලිගාව) අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ සභික ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන අතර කඨින පින්කමේ දායකත්වය මල්කාන්ති විද්‍යාපති මහත්මිය විසින් දරනු ලබයි.


මහරගම වජිරඤාණ ධර්මායතනය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වාර්ෂික කඨින පින්කම ධර්මායතනාධිපති අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 26 -27 දෙදින තුළ පැවැත්වීමට ශාසන සේවක සමිතිය කටයුතු යොදා ඇත.

26 දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව 27 දා උදෑසන කඨින චීවරය සඟසතු කිරීම සහ දවල් මහ සඟරුවනට දානය පිරිනැමීම හා සවස 6 ට ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි විසින් පවත්වනු ලබන කඨිනානිශංස ධර්ම දේශනාවෙන් අනතුරුව මෙම පින්කමේ කටයුතු නිමාවට පත් කෙරේ.

මෙවර පින්කමේ මූලික දායකත්වය දරනුයේ එන්. ජී.කේ. කේ. සෙනෙවිරත්න සහ නිමල් කේ. පතිරණ යන මහත්වරුන් විසිනි.


මිනුවන්ගොඩ රජමහා විහාරය

මිනුවන්ගොඩ රජමහා විහාරයේ කඨින පින්කම මේ මස 19 – 20 දෙදින මිනුවන්ගොඩ රජමහා විහාරාධිපති මකුද්දල චන්දාලෝක හිමි සහ විහාරාධිකාරි හැවැන්තැන්නේ සීලරතන හිමිගේ අනුශාසනා පරිදි හතර පේරුවේ දායක දායිකාවන්ගේ මූලිකත්වයෙන් 19 දින රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර 20 වන දින උදෑසන කඨින චීවර පූජාව පැවැත්වීමෙන් එදින රාත්‍රී කඨිනානිසංශ ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතය.


පින්වත්ත සද්ධර්මාකාර විද්‍යායතන පිරිවෙන

තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පින්වත්ත සද්ධර්මාකාර විද්‍යායතන පිරිවෙනෙහි කඨින පූජෝත්සවය මෙම මස 17 සිට 27 දක්වා පැවැත්වේ.

මෙවර කඨින පින්කමේ දායකත්වය පින්වත්ත ලියන් සිල්වා මාවතේ පදිංචි උපාලි ජයලත් මහතා හා වෛද්‍ය අප්සරා විජේසිරි මහත්මිය විසිනි. මෙයට සමගාමීව මේ මස 17 සිට 24 දක්වා සෑම දිනකම සවස 5.30 ට අටවිසි ගිලන්පස පූජාව පැවැත්වෙන අතර 25 වනදා රාත්‍රී 7 ට අධිෂ්ඨාන ආලෝක පහන් පූජාව කළුවාමෝදර සීලතිලක හිමියන්ගේ් මෙහෙයවීමෙන් පැවැත්වේ.

26 දින රාත්‍රී අසූමහා ශ්‍රාවක පූජාව අයගම සුසීල හිමියන් විසින් මෙහෙයවනු ලබයි. සෑම දිනකම රාතී‍්‍ර 7.00 ට ධර්ම දේශනා පවත්වනු ලබයි. 17 වැනිදා බොරැල්ලේ අතුල නා හිමි, 18 වැනිදා ශාස්ත්‍රපති රත්මලේ විමලකිත්ති හිමි, 19 වැනිදා දිවියාගහ යසස්සි හිමි, 20 දා ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 21 වනදා ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි, 22 දා ශාස්ත්‍රපති තන්තිරිමලේ සරණ හිමි, 23 වැනිදා - ශාස්ත්‍රපති කොටපළ අමරකිත්ති හිමි, 24 වනදා ශාස්ත්‍රපති විටියල කවිධජ හිමි, 27 වනදා කඨින මහා පින්කම හා කඨිනානිසංශ ධර්ම දේශනය තෙරුන්නාන්සේගම නන්ද හිමියන් විසිනි.


සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්‍රමය

කඨින පූජා මහ පින්කම ඔක්තෝබර් මස 19 – 20 දෙදින තුළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාගොඩ පාරේ පදිංචි ටී.ඩබ්.මංජුලා කරුණාරත්න මහත්මිය සහ සංජීව කරුණාරත්න මහතාගේ සහ, කොළඹ අතුරුගිරිය සදාසිරිපුර පදිංචි එම්.එල්. සිල්වා මහතා සහ නාලිනි චිත්‍රා මහත්මියගේත්, අන්දරවැව ධර්මදූත ආශ්‍රමය දායක සභාවේත් ප්‍රධාන දායකත්වයෙන් සහ ආශ්‍රමාධිපති ශාස්ත්‍රපති ගලගම ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


පන්නල ශ්‍රී‍්‍ර දේවරාජාරාමය

පන්නල ශ්‍රී‍්‍ර දේවරාජාරාම විහාස්ථානයේ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් වස් පින්කම් රැසක් සංවිධානය කර ඇත. ඒ යටතේ ධර්ම දේශනා, මල් පහන් පූජා, අටවිසි බෝධි පූජා ආදිය පැවැත්වේ. මෙම පොහෝ දින මොහොට්ටිමුල්ලේ බෞද්ධ මධ්‍යස්ථානවාසී වෙහෙරකැලේ සද්ධාලංකාර තිස්ස හිමියන් මෙහෙයවන ධර්ම දේශනයක් සවස 7 ට විහාරස්ථානයේ දී සිදු කෙරේ.

20 වැනිදා වන්නිහත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කඳුබොඩගම ශ්‍රී සීලානන්ද නා හිමියන් අපවත්වී වසර 32 ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමද මෙම පින්කමේ අරමුණ වී ඇත.

කඨින වස්ත්‍රය වැඩම කිරීම හා කප්රුක් පූජාව 21 වැනිදා උදේ සිදුකරන අතර 20 දා සවස 6 සිට පන්නල කේ. පී. සිරිල් මහතාගේ නිවසේ පරිත්‍රාණ ධර්ම දේශනාවකි. ඒ මහතාගේ් නිවසේ සිට කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානය කරා වැඩම කෙරේ. දවල් මහා සඟරුවන විෂයෙහි දානමය පින්කමකි.


මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමය

උල්ලල, මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමයේ නව ධර්ම ශාලාව විවෘත කිරීම මේ මස 19 වැනිදා සිදු කෙරේ. එදින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ද උදෑසන කඨින චීවරය පූජා කිරීම ද පෙරවරු 7 ට කප්රුක් පූජාව හා දානය පිරිනැමීම ද සිදු කෙරේ. රාත්‍රී 7 ට කඨිනානිශංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති විල්පිට සුධම්මාලංකාර හිමියන් විසින් පවත්වනු ලැබේ.


කතරගම පෙරගිරිගම

කතරගම පෙරගිරිගම සමාජසේවා බෞද්ධ මධ්‍යස්ථානයේ ත්‍රිපිටක විශාරද පණ්ඩිත ධර්මකීර්ති ශ්‍රී හේමාලෝකවංසාලංකාර යක්කලමුල්ලේ සිරිරතන නා හිමියන් දායක පිරිසේ ආරාධනාව පරිදි වස් විසූහ. එම කඨින පූජා මහා පින්කම මේ මස 19 වැනිදා සිදු කෙරේ.


පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ් අනුශාසනා පරිදි පැවැත්වේ.

19 වැනිදා රාත්‍රී 7ට දින 100 ක අටවිසි ගිලන්පස බුද්ධ පූජාවද, 20 වැනිදා සිට පුරා දින 14 ක් පෙරවරු 5 සිට කිරි ආහාර අටවිසි බුද්ධ පූජාවක්ද, මල් බුද්ධ පූජාව සහ 6.30 සිට ත්‍රිවිධ චෛත්‍ය පූජාවද පැවැත්වේ.

ඔක්තෝබර් 20 දා බුලත්සිංහල සුමංගල හිමි, 21 වැනිදා කොලොන්නාවේ සුමංගල අනු නා හිමි, 22 දා මහවත්තේ කල්‍යාණාධම්ම හිමි, 23 වැනිදා පුහුල්වැල්ලේ විනයසිරි හිමි,24 දා දොඩංගොඩ අස්සජි නාහිමි , 25 දා බැරගම ඤාණසිරි හිමි (කවිබණ) 26 දා වෑවල සීලරතන හිමි, 27 වැනිදා කහපොල නන්දරතන හිමි, 28 දා ලේල්වල තපස්සී හිමි, 29 වැනිදා මකුරුප්පේ සෝමාලංකාර හිමි, 30 වැනිදා මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 31 දා ගොම්බද්දල ධමිත හිමි, නොවැම්බර් 02 වැනිදා හල්වතුරේ අස්සජි හිමි (කඨිනානිසංස ධර්ම දේශනාව) පවත්වනු ලැබේ. මෙවර කඨින පින්කමේ දායකත්වය සී. නිශ්ශංක මහතා, අනෝජා අතුකෝරල මහත්මිය විසිනි.


පිටුම්පේ පූර්වාරාම විහාරය

පාදුක්ක පිටුම්පේ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවක් මේ මස 17 සිට 22 දක්වා විහාරස්ථානයේ බෝධි ප්‍රකාරය අසල දී පැවැත්වේ.

මේ මස 18 පෝ දා කඨින චීවර පෙරහර විහාරස්ථානයෙන් හවස 5.30 ට ගමන් කර ගම්පියසේ සංචාරය කර විහාරස්ථානයට ගෙවදී. මෙවර කඨින චීවරය සඳහා දායකත්වය නිශාන්ත ඉද්දවෙල මහතා හා කමන්ති ඉද්දවෙල මහත්මිය විසිනි.

මෙයට සමගාමීව ඔක්තෝබර් 19 වැනිදා උදේ ඇල්පිටියේ යූ.කේ. එරංග මධුසංඛ, කලවානේ එච්.එම්. නිමේෂ් ලක්ෂාන්, පැලවත්තේ එම්.එම්. ඉඳුවර උපමාල් විජේතිලක දරුවන් තිදෙනා සසුන්ගත කිරීමේ පින්කම සිදු කෙරේ.

විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය මහගම හේමතිලක හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නවගමුවේ රේවත, ශාස්ත්‍රාචාර්ය නුගදණ්ඩේ විමලවංශ හිමිවරුන්ගේ් ආචාර්යත්වයෙන්, අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ කොළඹ පළාත් ප්‍රධාන සංඝනායක පුවක්වැටියේ සුගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දරුවන් පැවිදි කිරීම සිදුකෙරේ. එදින දවල් 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. මෙම පින්කම් මාලාව විහාරාධිපති ශ්‍රාස්ත්‍රාචාර්ය මහගම හේමතිලක හිමියන්ගේ අනුශාසනා පරිදිි සංවිධානය කර ඇත.


පෑලියගොඩ ගංගාරාමය

පෑලියගොඩ ගංගාරාම මහා විහාරයේ කඨින චීවර පූජාව කල්‍යාණි රාජමහා විහාරය අසල සිට කඨින චීවරය බෝට්ටු සේවාවක් මගින් විහාරස්ථානය දක්වා වැඩම කිරීමට කටයුතු යොදා ඇත. මේ ගංගාරෝහණ කඨින පූජාවට භාක්තිගීත පිරිත් දේශනා ඇතුළත්වන අතර ඉදිරිපසින් බෝට්ටුවක සධාතුක කරඬුව වැඩමවති. මේ සඳහා අවශ්‍ය බෝට්ටු කතෝලික බැතිමතුන් පිරිසක් විසින් ලබාදීම මෙහි විශේෂත්වයකි.

මෙම ගංගා රෝහණ පූජාව මේ මස 18 පොහෝදා සවස 6.00 ට කැලණි රජමහා විහාරය අසළින් ආරම්භ කෙරෙන අතර සවස 7.30 ට විහාරස්ථානයට ළඟා වේ. එයින් පසු මල් පෙරහරකින් ද කඨින චීවරය ගම වටා වැඩමවති. 20 වැනිදා පැවැත්වෙන ශතාධික පිණ්ඩපාත මහා දානයෙන් පින්කම නිමා වේ.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]