UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර පසළොස්වක 2013 ඔක්තෝබර් 18 වන දා

කඨින පින්කම

වස් සාර මාසයෙහි අවසන් මාසය චීවර මාසය ලෙස හැඳින්වෙයි. උපසම්පදා භික්‍ෂූන් වහන්සේ පෙර වස් විසූ සියලු විහාරාරාමයන්හි කඨින පින්කම් සිදු කරනු ලබන්නේ මෙම චීවර මාසය තුළ දී ය. එය පෞරාණික ශාසනික සම්ප්‍රදායක් වේ.

වසරකට එක් වරක් පමණක්, එක් ස්ථානයක දී සිදු කළ හැකි එකම පින්කම වන්නේ කඨින මහ පින්කමය.

උපසම්පදා භික්‍ෂූන් වහන්සේට වස් වසා වැඩ සිටින්නට යැයි දැහැත් ගොටු පිළිගන්වා, මෙයට තෙමසකට පෙර කළ ආරාධනාවක් විය. එය වස් ආරාධනාව ලෙස හැඳින්වේ. සිව් පසයෙන් උපස්ථාන කරන බවට ඇරැයුම් කරන ලද එම ආරාධනාව පිළිගෙන වස් වසා වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ වෙත සඟසතුව කඨින චීවර මහා පූජාව සිදු කිරීම දායක පක්‍ෂයේ වගකීම හා යුතුකම වේ.

මාස තුනකටත් අධික කාලයක් පුරා කඨින මහා පින්කමක් සිදු කර ගැනීමට සූදානම් වනු ලැබේ. මෙතරම් කාලයක් සූදානම් වී ඇප කැප වී කරනු ලබන උතුම් පින්කම කඨින පින්කම වේ.

කඨින චීවරය සඟසතු කර පූජා කිරීමේ දී එක් අයකුගේ මූලිකත්වයෙන් විහාරස්ථ සියලු දායක කාරකාදීන්ගේ ඉතා සුළු ආධාරයක හෝ සහායෙන් එම කඨින පින්කමට දායක කරගැනීම අපේ උදාර චාරිත්‍රයකි.

දායක පක්‍ෂය ද ඉතා කැමැත්තෙන් සහ ඕනෑකමෙන් ශ්‍රද්ධාවෙන් මෙන්ම මහත් ගෞරවයෙන් ද කඨින පින්කමට දායක වනු ලැබේ.

දායක නිවසක් වෙත කඨින වස්ත්‍රය ගෙනැවිත් තැන්පත් කර අදාළ පින්කම දිනට පෙර දා රාත්‍රී එම නිවසේ සිට හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ ගම් හා අවට ගම්වලද වීදි සංචාරය කර කලින් නියම කරගත් හිමිදිරියේ එම කඨින වස්ත්‍රය විහාරස්ථානයට පුද පෙරහරෙන් වැඩම කරවනු ලැබේ.

හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ වැඩම වූ කඨින වස්ත්‍ර පෙරහර විකාශනය වීමෙන් ඇතැම් විට සංස්කෘතිකාංග ඇතුළත් දර්ශනීය පෙරහරක් දක්වා ව්‍යාප්ත වී ඇත. එයද බෞද්ධ සංස්කෘතියේ අභිවෘද්ධියට ද හේතු වන්නකි.

කඨින පින්කමට දායක නොවන අයකුට වුවත් කඨින වස්ත්‍ර පෙරහර දැකීමෙන් පවා මහත් ශ්‍රද්ධාවක් ජනිත කරවීමට ද එය හේතු විය හැකිය.

දායක පක්‍ෂයේ පවතින ආර්ථික ශක්තියේ පමණට දුටුවන් ප්‍රසාදයට පත්කරවන එවන් පෙරහරවලින් හෝ බෞද්ධ සංස්කෘතිකාංග රැකගැනීමට එයද ශක්තියක් වනු ඇත.

කඨින වස්ත්‍රයට අත ගසා හිත පුරා පින් වඩා ගන්නට එම කඨින පින්කම දිනට විහාරස්ථානයට අවශ්‍ය ද්‍රව්‍යයක් සෑම අයකු විසින්ම ගෙනැවිත් පූජා කිරීමද අතීතයේ සිට පැවැත එන සිරිතකි. කඨින වස්ත්‍රයක් හිමිදිරියේ ම පූජා කරනු ලබන්නේ එම වස්ත්‍රය කඩ කපා එවලේම සිවුරක් මසා එදිනම පඬු පොවා වැඩ නිමවා කඨිනාස්තරණය කළ යුතු නිසා ය.

ගම්වැසි ලොකු කුඩා සියලු දෙනා ගමේ විහාරස්ථානයට නිරන්තරයෙන් ඒකරාශී වී ඉතා සම¼ගි දාමයෙන් බැඳී සිදු කරන කඨින පින්කම සියලු ආමිස දාන අතුරෙන් කඨින චීවර දානය ඉතා උතුම් පින්කමකි.

දායක පක්‍ෂයට මෙන්ම ප්‍රතිග්‍රාහක පක්‍ෂයටද එකසේ මහත් ආනිශංස දායක පින්කමක් වන කඨින මහ පින්කම අට මහා කුසලයට අයත් මා හැඟි පින්කමකි.

වස්තුන් මාසය පුරා සෑම විහාරස්ථානයකම පාහේ විවිධ පින්කම් සිදු කර එම පින්කම් මාලාවේ අවසන් මහ පින්කම ලෙස කඨින චීවර පූජා මහ පින්කම සිදු කරනු ලැබේ.

කඨින චීවර පූජා පෙරහර වීදි සංචාරය කිරීමෙන් ආගමික හැඟීම් හැදෙන වැඩෙන දරු පරපුර වෙත ජනිත වන අතර ශාසනික සම්ප්‍රදායයන් අනාගතයේ දී ද සුරක්‍ෂිතව පෝෂණය කරමින් පවත්වාගෙන යාමට නිහඬ ආදර්ශයක් ද එම පරපුර සඳහා ලබා දෙනු ඇත. ගම්වැසියන් පෙරටත් වඩා විහාරස්ථානය වෙත යොමු කරවා ගැනීමට සුදුසුම කාලයද වස් කාලයයි.

ගිහි පැවිදි වැඩිහිටි සියලු දෙනාගේ අවධානය යොමු කර ලොකු කුඩා හැම දෙනා විහාරස්ථානය වෙත තව තවත් යොමු කරවා ගැනීමට සුදුසු ආගමික වතාවත් පන්සල මඟින් තව තවත් මෙහෙයවීමට අවධානය යොමු කිරීම කාලෝචිතය.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]