UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨිනය හා සබැඳි පුද සිරිත්

කඨිනය හා සබැඳි පුද සිරිත්

සෑම වසරකම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම වස් සමය තුළ භික්‍ෂූන් වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු විවිධ සැලසුම් ක්‍රියාත්මක කරති. මෙම විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින පූජා උත්සවයෙනි. පූජා උත්සව ගණයට අයත් වන කඨින පින්කම භික්‍ෂු ජීවිතයට අදාළ සුවිශේෂී විනය කර්මයක් ද වේ. කඨින චීවරයක් ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු විනයානුකූල චර්යා පද්ධතිය ඉතා ප්‍රවේශමෙන් හා කැපවීමෙන් යුක්තව සිදුකළ යුත්තකි. දායක පක්‍ෂයට අනුව කඨින චීවරයක් සම්පාදනය කර ගැනීම මෙන්ම එය පූජා කිරීම් වස් සිතෙහි ප්‍රසාදය ඇතිකර ගැනීම ද ඉතා කල්පනාකාරීව මහත් සද්ධා පෙරදැරිව සිදුකළ යුත්තකි. මෙවන් ආගමික පසුබිමක් යටතේ සිදු කෙරෙන කඨින චීවර පූජාව අන් හැම පින්කමකට ම වඩා අග්‍ර වූ ඵලවිපාක ගෙන දෙන්නක් ලෙස සැලකේ.

වස්සාන සමයේ දී විහාරස්ථානයන්හි දායකකාරකාදීන් ස්වකීය ශක්තිය හා අභිමතය පරිදි විවිධාකාර වූ පින්කම් සංවිධානය කර ගනිති. මෙබඳු පින්කම් අතරට මල් පෙරහර ආදී වූ විවිධ පූජෝත්සව සංවිධානය කෙරෙන බැව් පෙනේ. මෙසේ සිදු කෙරෙන පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වස්සාන සමය තුළ සිදුකෙරෙන අති උත්කර්ෂවත්ම පින්කම මෙකී කඨින පූජෝත්සවයයි. කඨිනය හා සබැඳි පුදසිරිත් පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී එය බෞද්ධ පූජා චාරිත්‍රවල එකතුවක් ලෙස ද සැලකීමට අවකාශය ඇතැයි, ආචාර්ය මුව ඇටගම ඤාණානන්ද හිමියෝ පවසති (බුදු සමය හා පූජා චාරිත්‍ර 243 පිට). කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් ඕනෑම දිනෙක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවද කඨින පූජා පූණ්‍යෙීත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක්වරක් පමණෙකි. මෙකී හේතූන් දෙස අවධානය යොමු කිරීමේ දී කඨින පූජෝත්සවය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත්ම පින්කම ලෙස ද සැලකිය හැකි ය.

කඨින පූජා උත්සවයේ දී පූජා චාරිත්‍ර රාශියක් සිදුකෙරෙන බව ඉහත කියැවුණි. ඒ අනුව කඨින පූජා උත්සවය හා සමාගාමීව පෙරහර, පූජා නැටුම්, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝික දාන පූජා හා කප්රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත් හා ආවේණික වූ ලක්‍ෂණ අනුව එම පූජා චාරිත්‍රයන් හි විශේෂත්වයක් දැකිය හැකි ය. පුරාතන යුගයේ පටන් ම කඨිනය සඳහා වැඩමවන භික්‍ෂූන් වහන්සේලාට කැඳ බත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරීමට දායකයෝ හුරුපුරුදු වී සිටියහ. එය දායක පක්‍ෂයේ යුතුකමක් සේද සැලකූ බව සමන්තපාසාදිකා, විනයට්ඨ කතාවෙන් පැහැදිලි වේ. පශ්චාත් කාලීනව එම චාරිත්‍රය වඩාත් දියුණු වී කඨිනය සඳහා වැඩමවන භික්‍ෂූන් වහන්සේලාට සංඝගත දක්‍ෂිණාවක් පිළිගැන්වීම අනිවාර්ය අංගයක් බවට පත්විණැයි විශ්වාස කිරීම සහේතුකය. කඨින පූජා උත්සවය හා සබැඳි චාරිත්‍රයන් හි ඇතැම් අංග කාලානුරූපීව සකස්ව ඇති අතර ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍රවිධීන් ගණයට අයත් වේ.

වස් පවාරණය කළ භික්‍ෂූන් වහන්සේලාට චීවර පූජා කරන දිනයේ අලුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. ඇතැම් අවස්ථාවක දී ඒ වෙනුවෙන් අති උත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකිය. මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්‍ෂයේ ශක්තිය අනුව අලි ඇතුන්, හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්වන බැව් පෙනේ. මෙම කඨින පෙරහර සංචාරය කරනුයේ භික්‍ෂූන් වහන්සේ වස්විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මෙම පෙරහරෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනෙකු කරතබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙනයනු දැකිය හැකි ය. මේ නිසා කඨින පෙරහර මග දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින් ම ස්පර්ශ කොට පින් අනුමෝදන්වීමේ භාග්‍යය හිමි වෙයි.

මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහර අලුයම විහාරස්ථානයට ළඟා වෙයි. කොස් කොළයේ හෝ අඹ කොළයේ (අග) නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහර විහාරස්ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන්ම සැලකිණි. මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩම කර වූ කඨින වස්ත්‍රය පිළිගන්නා භික්‍ෂූන් වහන්සේලා දායක පක්‍ෂයෙහි ද අභිමතය පරිදි එහි කඩ කපා කඨින චීවරය සකස් කරති. පුරාතන යුගයේ දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨිනය ගෙත්තම් කිරීම (මැසීම) සිදු කෙරිණි. එහිදී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදී කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක් වූහ. කඨිනය සකස් කිරීම, පූජා කිරීම, ඇතිරීම යන සියල්ලක්ම එක් දිනයක් තුළ සිදු කළ යුතු වෙයි.

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසුදු කොට පඬු පෙවීම සිදුකළ යුතු ය. මේ සඳහා සිව්රු රෙද්දක් භාවිත කළේ නම් එහි පඬු පෙවීම් සංකේතවත් කිරීම් වස් සිවුරෙහි කොණක් සේදීම පුරාතන චාරිත්‍රයයි. මෙම විශේෂ අවස්ථාවන්හිදී හේවිසි හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ් සිදු කෙරිණි. මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේලා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි. අනතුරුව එහි රැස් වූ භික්‍ෂූන්ට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදුකළ යුතු ය. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තියයි. ඒ අනුව කඨිනය පිළිගත් භික්‍ෂුහු කඨින චීවරය සඟසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්‍ෂුවක තෝරා විනයානුකූලව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක් සඟසතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්‍ෂූන් වහන්සේලා පස් නමක් වත් වැඩ සිටිය යුතු ය. මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබාගත් භික්‍ෂුව එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටුකළ යුතු ය.

මොණර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොනක තැබීම කප් බින්දුව තැබීම නම් වේ.මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි. කඨින පූජා චාරිත්‍ර සියල්ලක්ම නිමවීමෙන් පසුව කඨිනත්ථාරක භික්‍ෂුව විසින් කඨිනානිසංස ධර්ම දේශනාවක් ද පවත්වනු ලැබීම සාම්ප්‍රදායික සිරිතයි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]