UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැන්දවින්නේ ශ්‍රී ගුණානන්ද නා හිමි

කැන්දවින්නේ ශ්‍රී ගුණානන්ද නා හිමි

වෙල්ලස්සේ අතීත රණවිරුවන්ට නිජ බිමක් වූ සුන්දර මැදගම්පත්තුවේ කැන්දවින්න ග්‍රාමයේ රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර පියාණන්ට හා රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාරමැණිකා මෑනියන්ට උපන් පින්වත් කුල කුමරුවෙක් කැන්දවින්නේ ගුණානන්ද නමින් සසුන්ගතවීම ඌව වෙල්ලස්සේ බෞද්ධ ප්‍රබෝධයට ඉමහත් පිටුවහලක් විය.

1957 දෙසැම්බර් මස 13 වැනි දින කැන්දවින්නේ දී උපත ලද රත්නායක මුදියන්සේලාගේ ඩිංගිරිමණ්ඩාර කුමරුවා දස දෙනෙකුගෙන් යුත් සහෝදර පිරිස අතර සයවැන්නා ලෙස උපත ලැබූ අතර අලාන ප්‍රාථමික විදුහලෙන් හා කැන්දවින්න මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. මෙම කුමරුවා ගිහි වාසයට වඩා පැවිදි භාවයට වඩාත් උචිත බව වටහාගත් පල්ලේකිරුවේ ධම්මානන්ද හිමියන් 1969 ජූනි 04 වැනි දින කැන්දවින්නේ ගුණානන්ද නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත්කළ අතර කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලබා පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හා ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ. 1980 ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පවත්වනු ලබන ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් මුළු දිවයිනේ ම ප්‍රථමයා ලෙස සමත් වූ අතර 1981 බෞද්ධ ධර්මාචාර්ය විභාගයෙන් මුළු දිවයිනෙන්ම ප්‍රථමයා ලෙස සමත්වූයේ ද මුන් වහන්සේ ය.

අනාගතයේ දී සසුනඹර බබලවන පුන් සඳක් ලෙස දීප්තිමත් වීමේ මූලික ලක්‍ෂණය පෙන්වමින් 1987 ගුරු සේවයට ඇතුළත්ව යපම්ම විද්‍යාලයේ සේවය කරමින් දැයේ දරුවන්ගේ සදාචාර වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයට ඉමහත් සේවයක් කළ අතර 1991 දී ප්‍රථම සමථ මණ්ඩල සාමාජිකත්වය ලබාගෙන 1991 සිට 2004 දක්වා පස්සර හා ලුණුගල යන ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල දෙකේම ලේඛකාධිකාරී ලෙස කටයුතු කළ අතර 2004 සිට දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කරති.

තම ගුරු හිමියන්ගේ ඇවෑමෙන් 1994 සිට යපම්ම ශ්‍රී රම්‍යවිජයාරාමයේ විහාරාධිපතිත්වයට පත් මුන් වහන්සේ 1998 සිට පස්සර කලාපයේ බුද්ධ ධර්ම ගුරු උපදේශක ලෙස ඉතා විශාල සේවයක් ඉටු කරති. විහාරාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව යපම්ම ශ්‍රී රම්‍යවිජයාරාමයත්, කැන්දවින්න ශ්‍රී ක්ෂේත්‍රාරාමයත් දැකුම්කලු විහාරස්ථාන ලෙස සියලු විහාරාංගනයන්ගෙන් සමන්විතව වැඩිදියුණු කිරීම ද සිදු කළහ.

2007 වසරේ සිට යපම්ම ශ්‍රී ධම්මානන්ද විදුහලේ විදුහල්පති ලෙස පත් වූ මුන් වහන්සේ තම සේවාව වඩාත් වැඩියෙන් සලසන අතර එම පත්වීම ප්‍රදේශයේ දරු දැරියන්ගේ පමණක් නොව මුළු මහත් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ බුද්ධි ප්‍රබෝධය හා සදාචාර වර්ධනය ඉහළ නංවන්නක් විය. එසේම ප්‍රදේශයේ බොහෝ සමිති සමාගම්වල හා සංවිධානවල විවිධ තනතුරු හා අනුශාසක පදවි මෙන්ම මුළු දිවයිනට ම බල පැවැත්වෙන පරිදි සාමවිනිසුරු පදවියකින් ද පිදුම් ලබා ඇත. උන් වහන්සේ මධුර මනෝහර ව්‍යක්ත ධර්ම විවරණයන්ගෙන් යුතු ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදියෙන් ත්‍රිපිටකය පිළිබඳ දක්වන විචක්ෂණභාවය පෘථුල වූවකි.

ගල්ලබ ධම්මානන්ද හිමි මුන් වහන්සේගේ ලොකුපියා වූ අතර පීස්සේ ජනානන්ද හිමියෝ මවගේ සහෝදරයා ය. තල්ලන්දේ බුද්ධසෝම හිමියෝ සහ යපම්මේ ලොකු හාමුදුරුවෝ මුත්තනුවෝ ය. මෙසේ සසුනට සම්බන්ධ පරපුරකින් ආ මුන් වහන්සේගේ මේ සංඝසෝභන ගුණාංගයන් ගැන අවධානය යොමු කළ ස්‍යාමෝපාලි මහා නිකායික මල්වතු පාර්ශවයේ කාරක මහා සංඝ සභාව 2008 මාර්තු 05 වැනි දින විනය කීර්ති ශ්‍රී ධම්මානන්ද යන ගෞරව නාම සම්මුතිය සහිත වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් දෙමින් එම සේවාවන් අගය කළහ.

ඒ පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය 2013 ඔක්තෝබර් මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරස්ථ රාජපූජිත මංගල උපොසථාගාරයේ දී අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර 2013 ඔක්තෝබර් 13 වැනි දින යපම්ම ශ්‍රී රම්‍යවිජයාරාමයේ දී පිළිගැනීමේ පෙරහර උත්සවය පැවැත්වේ.

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]