UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

ආචාර්ය අළුත්වැව සෝරත නා හිමි

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අළුත්වැව සෝරත නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ බලවත් සංවේගය පුදකර සිටිමු.

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ රක්‍ෂණය හා පෝෂණය ඇති කළ ශ්‍රේෂ්ඨ සංඝනේතෘවරයන් වහන්සේලා බිහි කළ භූමියක් වූ දකුණු ලක හුංගම අළුත්වැව ග්‍රාමයෙහි මෙලොව එළිය දුටු පින්පිරි කුමරුවකු සිය දාහතරවෙනි වියෙහිදී ශාසනික පැවිද්ද ලැබීය. කුඩාකල සිටම දක්‍ෂ ලෙස අධ්‍යයන කටයුතු සිදු කරමින් ශ්‍රමණ ප්‍රතිපදාවට අවශ්‍ය බණදහම් ඉගෙන ශික්‍ෂාකාමී සාමණේර නමක් ලෙස විසි වයස් සපිරි අළුත්වැව සෝරත හෙරණපාණෝ 1963 මැයි 31 දා මල්වතු පාර්ශ්වයේ මංගල උපෝසථාගාරයේදී සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ. පසුව උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබ කතරගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය දරමින් දහස් සංඛ්‍යාත දරුවන්ගේ ණැන නුවණ පාදමින් අපරිමිත ජාතික සාමාජික මෙහෙවරක නිරත වූහ. උන්වහන්සේ එම පාසල මධ්‍ය මහා විදුහලක් බවටත්, පසුව ජාතික පාසලක් බවටත් පත්කරන්නට ඇප කැපව කටයුතු කළහ.

ස්වකීය කිරිවෙහෙර විහාර ගණය පිළිබඳව ද කැප වී ක්‍රියා කළ උන්වහන්සේ මැනවින් ඒවා සංරක්‍ෂණය කර පෝෂණයද කරමින් පාරිසරික ආකර්ෂණයට නතුවන අයුරින් හා පැමිණෙන කවරම වුව ශ්‍රද්ධා භක්තිකයකුට සිය ශ්‍රද්ධාව වැඩි දියුණුවන පරිදි සකස් කරවන්නට තරම් පොහොසත් වූහ. කතරගම ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබමින් කුඩා ගල් අමුණ හරස්කර මහ වැව් අමුණු ජලයෙන් පුරවා යල මහ කන්න දෙක ගොවිතැන් කර ඔවුනගේ අතමිට සරුකර උසස් ජීවන තත්ත්වයක් ගොඩනගා ගන්නට උන්වහන්සේ සිය කාලය , ශ්‍රමය, කැපකිරීම ප්‍රශංසාර්හය.

ශාස්ත්‍රීය අතින්ද සුවිශාල සේවාවක නිරත වූ උන්වහන්සේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දරමින් අප්‍රමාණ ශාස්ත්‍රිය සේවාවක නිරත වූහ. මේ සියලු ක්‍රියාවනට වඩා උන්වහන්සේ අතින් සිදු වූ වැදගත්ම සේවාව වනුයේ මේ ශාසනය පවත්වාගෙන යෑම සඳහා සුදුසු ප්‍රතිබල සම්පන්න සිසු පිරිසක් තනා තිබීමයි. මෙලෙස දශක හතක් තරම් කාලයක් මෙලොව ජීවත් වෙමින්, එයිනුත්, දශක හයකට අධික කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා අප්‍රමාණ ආගමික, ශාසනික ශාස්ත්‍රිය හා සමාජ සේවාවක නිරත වී වදාළ, පූජ්‍යපාද ආචාර්ය අළුත්වැව සෝරත නායක ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුව ලැබේවායි සමස්ත අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.


කෙරදේවල පුඤ්ඤරතන නා හිමි

ගා/මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම පුරාණ විහාරාධිපති ද.ප.අ.දෙ. සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් සම්බන්ධීකරණ ශාස්ත්‍රපති ආචාර්ය කෙරදේවල පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහ සංඝ සභාව වෙතින් “ප්‍රවචන කීර්ති ශ්‍රී චන්දරතන” යන ගෞරව නාමය සහිතව දක්‍ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝ නායක පදවියට පසුගියදා මහනුවර මල්වතු මහා විහාරයේදී පත් කරන්නට යෙදුනහ.

ආචාර්ය කෙරදේවල පුඤ්ඤරතන නා හිමියන් පරිවෙණාචාර්යවරයෙකු ලෙසත්, පරිවෙණාධිපති හිමි නමක් ලෙසත්, පිරිවෙන් ගුරු උපදේශක හිමි නමක් ලෙසත්, සේවය කොට අද වන විට සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් සම්බන්ධීකරණ ධුරයෙහි කටයුතු කරමින් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදී සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛාචාර්යවරයෙකු ලෙසත්,රුහුණු ජාතික විද්‍යා පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන්ද ක්‍රියා කරනු ලබයි.

ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත්, අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත්, හිමිකරගෙන ඇති ආචාර්ය පුඤ්ඤරතන නා හිමියන් ගාලුපුරය කේන්ද්‍ර කර ගනිමින් විවිධ සමාජ ආගමික සංස්කෘතික මෙහෙවරෙහි යෙදී කටයුතු කරනු ලබයි.

උන්වහන්සේ 1968.07.05 දින පී.කේ. කරුණාදාස ජී. කුසුමාවතී යන දෙමාපියන්ට දාව කෙරදේවල නම් ඉපැරණි රමණීය ගම්මානයේදී උප්පත්තිය ලබා මාජුවාන කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් 1979 මැයි මස 04 වන දින සසුන් ගතව නලාගස්දෙනිය, ශ්‍රී සෝරත පිරිවෙන,මාරඹ විද්‍යා ශ්‍රී පිරිවෙන, පනංගල ගංගාරාම පිරිවෙන, ගාල්ල පුඤ්ඤසාර පිරිවෙන, යන පිරිවෙන් මගින් ධර්ම ශාස්ත්‍රෝත්ග්‍රහණය කොට විසි වයස් සම්පූර්ණ වී උගත මනා බණ දහම් සම්පූර්ණ කොට 1989 මැයි මස 14 වන දින රාජපූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝෂතාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

ආචාර්ය කෙරදේවල පුඤ්ඤරතන හාමුදුරුවෝ මානවිල විද්‍යා ප්‍රදීප පිරිවෙනෙහි පරිවෙණාචාර්යයන් වහන්සේවරයකු ලෙසත්, නියෝජ්‍ය පරිවෙනාධිපතිවරයකු වශයෙනුත්, පරිවෙණාධිපති වශයෙනුත්, ගාලු දිස්ත්‍රික් ගුරු උපදේශකවරයකු ලෙසත් කටයුතු කරන්නට විය. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එක්ව සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් සම්බන්ධීකරණ තනතුරෙහි කටයුතු කරමින් දකුණු පළාතේ පිරිවෙන් සංවර්ධනයට විශාල සහයෝගයක් හා මගපෙන්වීමක් ලබාදෙන අතර වර්තමානයේ එකී කාර්යය වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යනු ලබයි.

තම ගුරු දේවයන් වහනසේ වන ගාල්ල මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාමාධිපති, දක්‍ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක පණ්ඩිතාචාර්ය ,උඩුගම ශ්‍රී චන්දරතන නා හිමියන් ගේ අනුශාසකත්වයෙන් මකුළුව බුද්ධසිංහාරාමයේ වර්තමාන දියුණුව සඳහා සංඝාවාසය, නේවාසිකාගාරය, පැන්පොකුණු, ධාතු මන්දිරය , චෛත්‍යය, විහාර ප්‍රතිසංස්කරණ, කටයුතු ආදී සියල්ලම පුඤ්ඤරතන නා හිමියන්ගේ කැපකිරීම් මත ගොඩනගන්නට විය. මකුළුව ශ්‍රී විද්‍යාසාර මූලික පිරිවෙන ආරම්භ කරමින් කරනු ලබන ශාසනික මෙහෙවර අතිශයින්ම ප්‍රශංසා කටයුතුය.

දක්‍ෂ ධර්ම දේශක හිමිනමක් ලෙසත් අන්තර් ආගමික සාමාජික සංස්කෘතික අධ්‍යාපන සාමය සඳහා ඇප කැප වී ක්‍රියාකරන ආචාර්ය පුඤ්ඤරතන නා හිමියන්ගේ උදාර සේවය අගය කරමින් විවිධ සමාජ සංවිධාන මගින්ද ශ්‍රී සද්ධර්ම වාගීස්වර, ශාස්ත්‍ර’ විශාරද, ලෝකත්ථචාරි, ශාසනතිලක, සද්ධර්ම විභූෂණ, වැනි විවිධ සම්මානයන්ගෙන්ද ගෞරවයට පත්කොට ඇත. ජාතික අධ්‍යාපන උපාධි ආයතනය මගින් සම්මා ආචාර්ය පදවියකින් ගෞරවයට පත් ආචාර්ය පුඤ්ඤරතන නා හිමියන් ප්‍රදේශයේ ගිහි පැවිදි ජනතාවගේ චිත්තාරාදනයට පත්වෙමින් ක්‍රියා කරනු ලබයි. තම ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 2013 පෙබරවාරි 12 වන දින සිට මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම පුරාණ විහාරස්ථානයෙහි විහාරාධිපති වූහ. ඇමෙරිකාව,ජපානය, කොරියාව, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, සිංගප්පූරුව මැලේසියාව, මියන්මාරය, ආදී විදේශ රටවල ධර්ම දූත සේවයේ දිගු කලක සිට නියැළී සිටීමද ප්‍රශංසා කටයුතු වේ.

පුඤ්ඤරතන හිමියන්ගේ ලෝක ශාසනික මෙහෙවර අගය කළ මල්වතු මහා විහාරීය ශ්‍රීමත් මහා නා ‘ිමියන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් “ප්‍රවචන කීර්ති ශි‍්‍ර චන්දරතන” යන ගෞරව නාමය සහිතව දක්‍ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක පදවියට පත්කරන්නට යෙදුන අතර එකී පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම 2013.10.12 දින සවස 2.30 ට මහනුවර මල්වතු මහ විහාරීය රාජ පූජිත මංගල උපෝෂථාගාරයේදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සහභාගිත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර තුමිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මැතිතුමා සහ දකුණු පළාත් මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

2013 ඔක්තෝම්බර් මස 13 වන දින සවස 3.00 ට ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන්ගේ සුරතින් අක්තපත්‍ර ප්‍රදානය ගාල්ල මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරේ.


කණුමුල්දෙණියේ සුගුණවංශ නා හිමි

දකුණු සිරිලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගිරුවා පත්තුවේ, කණුමුල්දෙණිය ග්‍රාමවරය ප්‍රකට ගිහි පැවිදි පඬිවරුන් රටට දායාද කළ පුණ්‍ය භූමියකි. එවන් ශ්‍රේෂ්ඨ ධෛර්යවන්ත දනන් අතරින් අභිමානවත් තේජසින් සසුන් කෙත බබළවන ජාඇල උදම්විට අශෝකාරාමාධිපති කණුමුල්දෙණියේ සුගුණවංශ හිමිපාණන්ට අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අතිගරු මහානායක අහුන්ගල්ල සිරි සීලවිශුද්ධි මහා නාහිමියන් ප්‍රමුඛ සුධර්මා කාරක සභාව මගින් මීගමුව, හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

ජාතික, ආගමික, සාමාජික, අධ්‍යාපන කටයුතු වලදී පුරෝගාමීව කටයුතු කරන අභිනව නාහිමිපාණන් වහන්සේ ගෞරව බහුමානයට පත්විය යුතු මහා තෙරනමකි. මේ බැව් වටහාගත් අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකාය උන්වහන්සේට නායක පදවියක් ද පිරිනැමීය. හම්බන්තොට ගිරුවාපත්තුවේ කණුමුල්දෙණියේ ශ්‍රී බෝධිපාදාරාමාධිපති අපවත් වී වදාළ කණුමුල්දෙණියේ රේවතාභිධාන නාහිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙසින් 1967 දී ප්‍රවෘජ්ජා භූමියට පිවිසියහ. 1978 දී බලපිටිය මහාකප්පින ස්වේජින් මාලකයේදී උපසම්පදාව ලැබූහ.

කොළඹ – බොරැල්ල සිරි සුමන පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ගාල්ල දඩල්ල විද්‍යාරාජ පිරිවෙනින්ද ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනින්ද රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන්ද, බොරැල්ල සිරිසුමන පිරිවෙනේම 1987 සිට ආචාර්යවරයකු, පරිවේණාධිපති වශයෙන් දීර්ඝ කාලයක් සේවය කොට 2009 දී විශ්‍රාම ලබා ඇත. ආචාර්යවරයෙකු හා පරිවේණාධිපතිවරයකු වශයෙන් අනාගත භික්‍ෂු පරපුර නිසි මගට හැඩගැස්වීමෙහිලා කැපවීමක් කළ යතිවරයාණන් වහන්සේ නමකි.

සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ පුළුල් දැනීම් සම්භාරයක් ඇති නා හිමියෝ පැවිදි දිවිය තුළදී ආදර්ශවත්ව තම සමාජයීය මෙහෙවර සිදු කළහ.1993 ජනවාරි 23 දින ජාඇල උදම්විට අශෝකාරාමයට වැඩම කරන අප නාහිමියෝ වල් බිහි වී ජරාවාස වී තිබූ මෙම විහාරය ප්‍රදේශයේ දායක කාරකාදීන්ගේ ආධාර උපකාර මත ඉතාම කෙටි කලකින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ.

අනාගත දරු පරපුර දහම් මගට යොමු කිරීම අරමුණු කොටගෙන අරඹන ලද සිරිරතන දහම් පාසල තුළින් උපන් හැකියාවෙන් හෙබි දරුදැරියන් රැසක් විවිධ දහම් තරගවලට යොමු කරමින් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ හිමිකරගෙන දී තිබේ. විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන විවිධ වූ සමිති සමාගම් පිහිටුවා සමාජ සුබ සාධනය උදෙසා කරන නිහඬ මෙහෙවර සුළුපටු නැත. ඉගෙනුමට දක්‍ෂ දරු දැරියන් රැසකට මූල්‍යමය ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබා දෙමින් මිල කළ නොහැකි සේවාවක නිරතවෙති.

තපෝවෘධ, ගුණෝවෘධ විනයගරුක හිමිනමක් වශයෙන් ප්‍රචලිත අභිනව නාහිමිපාණන් වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මීගමුව හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරන්දර සිරිපඤ්ඤාදාර රේවත වංසාවතංස විනය කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිතව නායක පදවිය කණුමුල්දෙණියේ සුගුණවංශ හිමියන්ට පිරිනැමීමේ විශේෂ දහම් හමුව ජාඇල උදම්විට අශෝකාරාම විහාරස්ථානයේදී ඔක්තෝබර් මස 6 වන ඉරු දින පස්වරු 2.00 ට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අක්තපත්‍ර ප්‍රදානය සිදුකිරීමටද නියමිතව තිබිණි.

මීගමුව හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද අප නා හිමිපාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]