UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

 

මතුගම ගුණරතන නා හිමි

අක්මීමන, තල්ගස්යාය ශ්‍රී අශ්වත්‍ථාරාමාධිපති ගාල්ල බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී (සාමවිනිසුරු දිවයිනට) හා විද්‍යා (ඩිප්ලෝමා) මතුගම ගුණරතන ගාල්ල කඩවත් සතර සහ තල්පෙ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාහිමිපාණන්ගේ 60 වන ජන්ම දිනය 2013 සැප්තැම්බර් මස 05 දිනට යෙදුනි.

ඉහත සඳහන් විහාරයන්හි අධිපති ධුරය දරමින් විශාල ශාසනික, ජාතික සාමාජික සේවාවන් රැසක් ඉටු කරන මහ තෙර නමකි. සද් ධර්ම කීර්ති ශ්‍රී පවරකිත්ති මතුගම ගුණරතන නාහිමියන් ලොකු කුඩා හැමදෙනා අතර ඉතාමත් ජනපි‍්‍රය හිමි නමකි. අනුරාධපුරයේ දී 1953 සැප්තැම්බර් 05 දින දී ජන්ම ලාභය ලැබීය.

අනුරාධපුර නාගරික කොමසාරිස්, කළුතර සුළු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ දිවංගත කේ.එන්.ඊ.පී. රාජකරුණා මහතා සහ නැසී ගිය දොන් ප්‍රේමා කුලසේකර දම්පතීන්ගේ පස්වන පුත් රුවන ලෙස වැඩුනේ ය.

කළුතර ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ගාල්ල, බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන් විහාරාධිපති, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන්හි ආචාර්ය විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ හිටපු කථිකාචාර්ය රාජකීය පණ්ඩිත වාගීශ්වර අපවත්වී වදාළ තෙල්ලඹුරේ සිරි පවරකිත්ති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන්ගේ සහ විද්‍යෝදය පිරිවෙන් හි උප ප්‍රධානාචාර්ය පුංචි බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ග්‍රන්ථ විශාරද මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත අපවත්වී වදාළ හෑගොඩ ධම්මින්ද කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් කැලණි රජ මහ විහාරයේ දී 1966 පෙබරවාරි 21 දින දී පැවිදි බිමට පත් වූහ.

නාහිමියෝ, ගාල්ල බෝපේ ශ්‍රී පියරතන පිරිවෙනින් හා ගාල්ල පුඤ්ඤසාර පිරිවෙනින් අධ්‍යාපනය ලැබීය. අනතුරුව විවෘත විශ්වවිද්‍යාලයෙන් විද්‍යා තාක්‍ෂණ ඩිප්ලෝමා උපාධිය ලැබූහ. උන්වහන්සේ විවිධ ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් කරන ලද සේවාවන් හා ශාසනික සේවාවන් අගයමින් මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී පවරකිත්ති ගෞරව නාමය සහිත ගාල්ල, කඩවත් සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය 2007 ඔක්තෝම්බර් මස 07 දින දී පිරිනමන ලදී.

අක්මීමන ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, තල්ගස්යාය සිරි පවරකිත්ති දහම් පාසලේ ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා කේශර සිංහ සංවිධානයේ සභාපති අක්මීමන, පොදු සේවා සංගමයේ සභාපති, තල්ගස්යාය ස.ණ.ස සංගමයේ සභාපති, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ කාරක සභික හා සභාපති ධුරයන් ඇතුළු සමාජ සංවිධාන රැසක නායකත්වය හා අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබති.

නාහිමියන්ගේ ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් අගයමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් විසින් අරලියගහ මන්දිරයේ දී උපහාර උත්සවයක් 2007 දී පවත්වා උපහාර තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. උන්වහන්සේට දිගාසිරි පතා අක්මීමන තල් ගස්යාය ශ්‍රී අශ්වත්‍ථාරාමයේ දී සිරි පවරකිත්ති දහම් පාසල හා විවිධ සමිති සංවිධාන මඟින් බෝධි පූජාවක් හා අර්ධ ශතාධික සංඝගත දක්‍ෂිණාවක්ද පවත්වා සෙත් පතනු ලැබූහ.


අමුගොඩ නාහිමි

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිකාරී ශ්‍රී ලංකා තායි මිත්‍රත්ව සංස්කෘතික සංවිධානයේ ලේඛකාධිකාරී, පයාගල මලේගොඩ සිරි නන්දන ත්‍රිපිඨක ධර්මායතන පිරිවෙනේ සම්මාන පරිවේණාධිපති ලෝක ආගම් සම්මේලනයේ සාමාජික ඇල්පිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන ලෝක ආගම් සම්මේලනයට ශ්‍රී ලාංකික නියෝජිතයෙක් ලෙසට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ඉතාලිය බලා වැඩම කළහ.

වුන්වහන්සේ ජාත්‍යන්තර වශයෙන් රටවල් රාශියක් සම්බන්ධ කරගනිමින් විශාල සේවාවක් කළ, සේවාවක් කරන තරුණ නාහිමි නමකි. 1990 සිට ලෝක ආගම් සම්මේලනයේ ප්‍රධාන සාමාජිකත්වයක් ලබමින් ඉතාලියේ, රෝමයේ, මිලාන් වැනසිය පාද්‍රෝව ආදී නගරයන්හි පමණක් නොව ජර්මනියේ ආක්කන් පැරණි නගරයේ පැවති සම්මේලනයට ද වැඩම කළහ. ලෝක බෞද්ධ සම්මේලනයේ ද සාමාජිකත්වය දරන උන්වහන්සේ, තායිලන්තය, කොරියාව, ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, ඉන්දියාව,නේපාලය, ඩුබායි, පිනෑන් යන රටවල ද ආගමික සංස්කෘතික කටයුතු සඳහා අමුගොඩ සෝමානන්ද නාහිමියන් සහභාගී වී ඇත. පරිවේණාධිපති වශයෙන් විශ්‍රාම ලබා උන්වහන්සේ විහාරස්ථානයේ පළාත් ආගමික කටයුතු සඳහා ක්‍රියා කරන යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේ ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශවයේ අනුනායක මහෝපාධ්‍යාය, කවීශ්වර, ආචාර්ය අමුගොඩ සෝමරතන අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණෝ ය.


පෙතිගමුවේ රාහුල හිමි

පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය ඇතුළු පංචමහාවිහාරාධිපති පෙතිගමුවේ රාහුල මහාස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පනස් නම වන ජන්ම දිනය නිමිත්තෙනි.

පවරතර දයාලුගුණයෙන් සමුපලක්ෂිත රාහුල හිමියෝ කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික රයිගම් පුරවරයේ පෙතිගමුව නම් වූ සුන්දර ග්‍රාමවරයේ ‘දන්වත්ත ලියනගේ චලෝසිඤෝ සහ කමලාවතී හෙට්ටිආරච්චි යන පින්වත් දම්පතීන්ට දාව පින්වත් කුමරෙකු ලෙස එකදහස් නමසිය පනස් තුනේ ඔක්තෝම්බර් මස (3) දින උප්පත්තිය ලැබුවේ දසදෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියා ලෙසිනි. නිසි වයසට පැමිණි කළ දොඹගොඩ සීලරතන මහ විද්‍යාලයේ මූලික ගිහි අධ්‍යාපනය ලබන්නේ ගුරුවරුන්ගේ ද සිත් පහන් කරමිනි. සසර පින් බලය නිසාම ගිහිගෙයි විසීමට සිත් පහළ නොවීය. පින්වන්ත දෙමව්පිය දෙපළගේ ද සහෝදර සහෝදරියන්ගේ ද ආශීර්වාදය මැද උතුම් පැවිද්ද ලැබූහ.

පිළියන්දල පුරවරයේ ඓතිහාසික අතීතයකට උරුමකම් කියන ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි වේරහැර නන්දසාර මහාස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස පැවිදි දිවිය අරඹා මූලික පැවිදි අධ්‍යාපනය වරකාගොඩ ගල්ලෙන් රජ මහ පිරිවෙන් විහාරස්ථානයෙන් නිම කර උසස් අධ්‍යාපනය සඳහා පැපිලියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙනට ඇතුළත් විය.

උගත මනා සියලු බණ දහම්ද විසි එක් වයස් සම්පූර්ණ වූ බැවින් විහාරාධිපති ගුරු දේව වේරහැර නන්දාසාර මහස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උපාධ්‍යායෙන් 1980 ජූනි 17 වන දින කෝට්ටේ කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මංගල උපෝෂතාගාරයේ දී උපසම්පදාශීලයට පත්වන්නේ ය. පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන වර්තමානය තුළ ශ්‍රී රාහුල පෙර පාසලෙන් ද, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලෙන් ද දැයේ දරුවන්ගේ ශාස්ත්‍රාභිලාශයන් ඉටු කරමින් දිනෙන් දින බැබළෙන්නේ අප නා හිමියන්ගේ නේතෘත්වයේ මහිමයෙනිවර්ෂ 85 ක් තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බස්නාහිර පළාතේ ප්‍රධානතම කලා මංගල්‍යය වන පිළියන්දල මිහිඳු මහා පෙරහර වාර්ෂිකව කලඑළි ලබමිනි විරාජමාන වන්නේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය.

එස්.ඕ.එස්. ළමා ගම්මානය තුළින් මතු වන්නේ ද උන්වහන්සේගේ හෘදයාංගම සමාජ මෙහෙවරයි. කොපමණ කාර්ය බහුල වුවත් දායක දායිකාවන්ගේ කටයුතු සොයා බලා ඉටු කරති. දායකකාරකාදීන් රෝගාතුරවූ ඕනෑම අවස්ථාවක උන්වහන්සේ වැඩමවා පිරිත් දේශනා කරන අවස්ථා අනන්තය. සිය විහාරගණයට අයත් උප විහාරස්ථානවල කටයුතු උන්වහන්සේ නොපිරිහෙලා සොයාබලන්නේ දහසකුත් වැඩකටයුතු මධ්‍යයේ ය. අපගේ ද ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ ද යහපත, අභිවෘද්ධිය සළසන්නේ දයාබර පියෙකු ලෙසිනි. ඉදිරි සාසනික අනාගතය වෙනුවෙන් දයාබර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා තුන් නමක් ද දායාද කර ඇත. ඒ අතර දැනට ජපානයේ ධර්ම දූත සේවයේ නියුතු රයිගම වජිරඤාණ හිමියන් සහ දැනට අධ්‍යාපනය ලබන පෙතිගමුවේ දේවානන්ද හිමියන්, මැදවච්චියේ සුජාත හිමියන්ද වෙති. අපගේ පැවිදි ජීවිතයද ගෝරවූ සසර තුළ නොයෙකුත් හැලහැප්පීම් මැද අවසන් වීමට ඉඩ කඩ තිබුණි. දයාබර පියෙකු ලෙසින් පැවිදි ජීවිතයට ඇති වටිනාකම සහ බැරෑරුම්කම පහදා දී අටලෝ දහමින් නොසැලී ජීවිතය ජයගන්නා මාර්ගය පෙන්වා දුන්නේ උන්වහන්සේ ය. අපට සෙවණ සළසන්නේ ද මහා නුග රුකක් ලෙසිනි. උන්වහන්සේ සැම දෙනාට අනුකම්පා සහගතව කටයුතු කරන උතුම් සංඝ පීතෘවරයෙකි.

සංඝසමාජය තුළ විහාරස්ථාන කිහිපයකම අධිපති ධුරය ද ගිහි සමාජය තුළ නොයෙකුත් නිලතල දැරුවද කුඩා දරුවෙක් සේ නිහතමානීය. මෙවර යෙදෙන පනස් නමවෙනි ජන්ම දිනය නිමිතිකොටගෙන උන්වහන්සේට ආශිර්වාද කර බෝධි පූජා පින්කමක් පැවැත්වීමට විහාරස්ථ අප විසින් සංවිධානය කර ගත හැක. එම බෝධි පූජා පින්කම මෙහෙයවනු ලබන්නේ හෙවැස්සේ සීවලී හිමිපාණෝ විසිනි. තවද එදිනම තමන් පිළිබඳව නිතරම සොයා බලමින් කටයුතු කරන දායක දායිකාවන්ට ද අනෙකුත් හිතවතුන්ටද විශේෂ සංග්‍රහයක් ද පැවැත්වේ. මෙම මස පස්වන දිනද ඓතිහාසික කතරගම පුරවරයේ කිරිවෙහෙර සමිඳුන් අභියස විශේෂිත වූ පින්කම් මාලාවක් සිදු කර උන්වහන්සේට ආශිර්වාද කරන්නට කටයුතු සිදුකර ඇත. එසේ හෙයින් පිළියන්දල ධර්ම ශාස්තෝදය පිරිවෙන් විහාරය, වේරහැර ශ්‍රී ගංගාරාමය, තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමය, තිත්තපත්තර දක්‍ඛිණගිරි විහාරය යන පංච මහා විහාරාධිපති පෙතිගමුවේ මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තව බොහෝ කාලයක් ලෝක ශාසනික අභිවෘද්ධියේ නියැලෙන්නට රත්නත්ත්‍රයේ ආශිර්වාදය සේම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]