UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 17 නන්දක මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 17

නන්දක මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ භික්ෂුණීන් හට දහම් දෙසන භික්ෂූන් අතර අග තනතුර ලැබූ උතුම් නන්දක මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

නන්දක මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ හංසවතී නම් නුවර ඉපදි සිටියා. ඔහු බොහෝ ධන සම්පත් ඇති සිටුවරයෙක්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදුණු මේ සිටුවරයා දිනපතාම ශාස්තෘන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කළා. දිනක් දම්සභා මණ්ඩපයේ දී පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් පෙන්වා ‘පින්වත් මහණෙනි, මේ තමයි මාගේ ශාසනයේ භික්ෂුණීන්ට දහම් දෙසන භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව‘ යැයි අග තනතුරු ප්‍රදානය කළා.

මෙය දුටු සිටුවරයාගේ සිතේ මෙබඳු අදහසක් ඇතිවුණා. ‘අනේ මටත් අනාගතයේ පහළ වන බුදු සසුනක භික්ෂුණීන්ට දහම් දෙසන භික්ෂූන් අතර අගතනතුරු ලැබෙනවා නම් කො තරම් හොඳ ද? කියලා. ඒ මහා පුණ්‍ය චේතනාව සිත තබාගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ඉතාමත්ම අගනා වස්ත්‍ර පූජාවක් සිදුකළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝධි වෘක්ෂයට පන්දම් තුනකින් ආලෝක පූජාවන්ද පැවැත්වුවා. මේ සිටුවරයා පදුමුත්තර බුදුරජුන්ගේ සමයේ මේ අයුරින් බොහෝ පින් සිදුකොට මරණින් මතු දෙව්ලොව ඉපදුණා.

නමුත් මේ ඝෝර සංසාරයේ ස්වභාවය හරිම භයානක එකක්. මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතලිස් දාහක් වූ යුගයේ කකුසඳ නම් බුදුජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. එකල මොහු ඉපදුණේ තිරිසන් අපායේ. සතර අපායෙන් එකක් වූ තිරිසන් යෝනිය තුළ ධර්මාවබෝධ කිරීමේ හැකියාවක් නැහැ. කොවුලෙකු ලෙස උපන් මොහු කකුසඳ බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීයට පැහැදි මිහිරි හඬින් නාද කරමින් උන්වහන්සේව ප්‍රදක්ෂිනා කළා.

ඇත්තෙන්ම ඉපදෙමින් මැරෙමින්, සුගති දුගති හරහා දිවයන මේ සංසාරය බොහෝ ලෙසින් කටුක යි. සම්මා සම්බුදුවරයෙකු මුණ ගැහිලත් ශ්‍රී සද්ධර්මය පවතින යුගයක ශ්‍රාවක සංඝ රත්නය වැඩ සිටිද්දීත් සතර අපායේ ඉපදුණොත් ධර්මාවබෝධ කිරීමේ දුර්ලභ අවස්ථාව ඉතාම අවසානාවන්ත ලෙස අහිමි වෙනවා. සම්මා සම්බුදුරජුන් පැදකුණු කළ නිසා ඒ කොවුලාටත් පිනක් සිද්ධ වුණා. කොවුල් ජීවිතයෙන් චුත වෙලා අයෙමත් උපන්නේ මොණරෙක් විදිිහට යි. මේ මොණරා දිනපතාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටිය ඉදිරිපිට ට විත් තුන්වතාවක් මිහිරි හඩින් නාද කළා. එසේ කළේ බුදුරජාණන් වහන්සේ ගැන මොණරාට තුළ තිබූ පැහැදීම නිස යි. මේ විදිහට ඒ මොණරාවි එම ජීවිතයේදීත් පින් රැස්කර ගන්නට අවස්ථාවක් ලැබුණා.

මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි බුදුරජුන් වූ ශාක්‍ය මුනීන්ද්‍ර අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ සැවැත්නුවර එක්තරා සිටු ගෙදරක නන්දක නමින් මොහු උපත ලැබුවා. තරුණ වියට පත් වූ මේ කුමාරයා ශ්‍රී සද්ධර්මය අසා සිත තුළ ඇතිකර ගත් පැහැදීමෙන් ගිහිගෙය අත්හැර බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. සසුන්බඹසරේ හැසිරී නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට මේ නන්දක ස්වාමින්වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළා.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුතුමා විසින් කරවූ ජේතවනාරාමයේ වැඩ සිටියා. මහාප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය ඇතුළු පන්සීයක් භික්ෂුණීන් වන්සේලා භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ වන්දනා කොට එකත් පසෙක වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, භික්ෂුණීන් ධර්ම කථාව කරන සේක්වා’ යි ඉල්ලා සිටියා. එකල වැඩසිටි පිළිවෙලට අනුවයි භික්ෂූන් වහන්සේලා භික්ෂුනීන්ට ධර්ම දේශනා කළේ. එදා තිබුණේ් නන්දක මහ රහතන් වහන්සේගේ වාරය යි. එනමුත් නන්දක මහරතන් වහන්සේ දහම් දෙසීමට අකැමැති වුණා.

ඒ බව ආනන්ද ස්වාමීන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දන්වා වදාළ මොහොතේ නන්දක මහ රහතන් වහන්සේව කැඳවා බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසුවා. ‘පින්වත් නන්දක ඔබ භික්ෂුණීන්ට අවවාද කරන්න. භික්ෂුණින්ට අනුශාසනා කරන්න. ධර්ම කතාව කරන්න කියා. නන්දක ස්වාමීන් වහන්සේ ‘එසේය ස්වාමිනි’ කියා ඒ පන්සීයක් භික්ෂුණින් අමතා උදාහරණ සහිතව අභ්‍යන්තර බාහිර ආයතනයන්ගේ් අනිත්‍ය ස්වභාවය පහදමින් ධර්ම දේශනා කළා. ඒ භික්ෂුණින් බොහෝ සතුටු වුණා. නමුත් ධර්මාවබෝධ කළේ නැහැ.

එනිසා භාග්‍යවතුන් වහන්සේ එම දේශනාව යළි වතාවක් පසු දිනයේදී කරන ලෙස උන්වහන්සේට පැවසුවා. ඒ අයුරින් එකම දේශනාව තුන්වතාවක් දින තුනක දී ඒ පන්සීයක් භික්ෂුණින්ට නන්දක මහරහතන් වහන්සේ දේශනා කළා. මේ සුන්දර දේශනාව මජ්ක්‍ධිම නිකාය තුන්වන පොත් වහන්සේගේ ‘නන්දකෝවාද සූත්‍රයේ’ ඇතුළත් වෙනවා. තුන් වෙනි දිනයේ දේශනාව අවසන් වනවිට ඒ පන්සීයක් භික්ෂුණීන් අතර ඇතැමෙක් අරහත්වයටත්, ඇතැමෙක් අනාගාමි ඵලයටත්, ඇතැමෙක් සකෘදාගාමි ඵලයටත්, ඇතැමෙක් සෝතාපන්න ඵලයටත් පත් වුණා.

එදින භික්ෂූ සංඝයා අමතා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. ‘පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පසළොස්වක පොහොය දවසට චන්ද්‍රයා අසම්පූර්ණයි ද, නැත්නම් චන්ද්‍රයා සම්පූර්ණයිද කියලා සැකයක් හෝ විමතියක් හෝ ඇති වන්නේ නැහැ. ඒ චන්ද්‍රයා සම්පූර්ණ නිසාම යි. පින්වත් මහණෙනි, නන්දතෙරුන්ගේ ධර්ම දේශනාවෙන් භික්ෂුණින් සතුටු සිත් ඇති කර ගත්තා. ඒ වගේම අදහස සම්පූර්ණ වුණා. පින්වත් මහණෙනි, පන්සියයක් භික්ෂුණීන් අතර අන්තිමට යම් භික්ෂුණියක් සිටියා නම් ඇයත් සතර අපායෙහි නො වැටෙන ස්වභායෙන් යුතුව නියත වශයෙන්ම නිවන අවබෝධ කරන සෝතාපන්න තැනැත්තියක් වුණා.

අනතුරුව භික්ෂූන්ට අග තනතුරු ප්‍රදානය කරන කල්හි භාග්‍යවතුන් වහන්සේ (ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං භික්ඛුනෝවාදකානං යදිදං නන්දකෝ’ ති) පින්වත් මහණෙනි, මේ පින්වත් නන්දකයන් වනාහි භික්ෂුණීන්ට අවවාද කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත්වෙනවා’ යනුවෙන් නන්දක මහරහතන් වහන්සේට අග තනතුර ප්‍රදානය කොට වදාළා.

එක් දිනක් උන්වහන්සේ සැවැත්නුවර ගෙ පිළිවෙලින් පිඬු සිඟා වඩිමින් සිටියා. ඒ මොහොතේ උන්වහන්සේගේ ගිහි කල භාර්යාවක් වූ ස්ත්‍රියක් උන්වහන්සේව දැක සරාගී ලීලාවෙන් සිනාසුණා. ඇයව සංවේගයට පත් කරවමින් නන්දක මහ රහතන් වහන්සේ මේ උතුම් ගාථාවන් වදාළා.

ධීරත්ථු පුරේ දුග්ගන්ධේ
මාරපක්ඛේ අවස්සුතේ
නවසෝතානි තේ කායේ
යානි සන්දන්ති සබ්බදා

ඔය ශරීරයේ පිරිලා තියෙන්නේ අශුචි. හමන්නේ දුගඳ. ඉන්නේ මාරයාගේ පැත්තේ. කෙලෙස් වෑහෙන තැනැත්තිය, ඔබට නින්දා වේවා! ඔබේ ශරීරයේ තිබෙන්නේ දොරටු නවයක්. ඒ හැම දොරටුවකින්ම අශුචි වැගිරෙනවා.

මා පුරාණං අමඤ්ඤිත්ථෝ
මා සාදේසි තථාගතේ
සග්ගේ’පි තේ න රජ්ජන්ති
කිමංග පන මානුසේ

ඉස්සර විදිහට විහිළුවට ගන්ට එපා! තථාගත ශ්‍රාවකයින් හා ගැටෙන්න එපා! උන්වහන්සේලාගේ සිත් තුළ දිව්‍ය සැපයටත් ආශාවක් නැහැ. මිනිස් සැපයට නො ඇලීම ගැන කවර කථා ද?

යේ ච ඛෝ බාලා දුම්මේධෝ
දුම්මන්ති මෝහපාරුතා
තාදිසා තත්ථ රජ්ජන්ති
මාරක්ඛිත්තස්මං ඛන්ධනේ

නුවණක් නැතිව, වැරැදි විදිහට හිතක, මුලාවෙන් වැඩී ගිය බොළඳ ජනයාට නම් ඔය දේවල් හොඳයි. මාරයාගේ උගුලට ඒගොල්ල ඔක්කොම හසුවෙලයි ඉන්නේ.

යේසං රාගෝ ච දෝසෝ ච
අවිජ්ජා ච විරාජිතා
තාදී තත්ථ න රජ්ජන්ති
ඡින්නසුත්තා අබන්ධනා’ ති

ඒ වුණාට රාගයත්, ද්වේශයත් අවිද්‍යාවත් නැති කරල දාපු කම්පා නො වෙන සිතක් තිබෙන උදවිය එහෙම නො වෙයි. තණ්හාව නමැති පට කඩා බිඳ දමල තියෙන නිසා ඒ උදවිය කාමයට ඇලෙන්නේ නැහැ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් සමීපයේ දහම් අසා පින් රැස්කළ ජීවිතයේ නන්දක රහතන් වහන්සේ මිනිස් ලොව සිටුවරයෙක්. පසුව දෙවියෙක්. ඉන්පසු ඉතාම දුක්ඛිත තිරිසන් අපායේ කොවුලෙක්, මොණරෙක්. ආයෙමත් කලකට පසු මනුස්සයෙක්. උන්වහන්සේ අරහත්වයට පත්වී මේ සංසාරයෙන් නිදහස් නො වුණා නම් තව දුරටත්, මේ දුක්ඛිත ගමනේ මග යෙදෙනවා.

ඒ නිසා අප ඒ සසර දුකින් අත් මිදුණු උතුම් රහතන් වහන්සේලා ගැන අපේ සිත පහදවා ගනිමු. සංසාරයෙන් මිදෙන මඟ කියා දුන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අපේ සිත පහදවා ගනිමු. සංසාර දුකින් අත් මිදෙන පිළිවෙත කියා දෙන ශ්‍රී සද්ධර්මය ඉගෙන ගෙන, සිත පහදවා ගෙන අපත් සසර දුකින් නිදහස් වෙන්නට මහන්සි ගනිමු.

සටහන - නයනා නිල්මිණි

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]