UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර ආලෝකවත් කළ ආදාර්ශවත් උදාර සංඝපීතෘන් වහන්සේ නමකි.

උන්වහන්සේ දුටුවන් ප්‍රසාදයට පත් කරවන රුවකින් හෙබි සැබැවින් ම නිරහංකාර බවේ ප්‍රතිමූර්තියක් වූහ. නිතරම සිනා රැල්ලකින් මුව සරසා ගෙන සිටි නා හිමිපාණන් වැඩි කාලයක් පරාර්ථ සේවය සඳහාම ජීවිතය කැප කළහ. හැම දෙනා අතරම පි‍්‍රයශීලී මහ තෙර නමක් වූහ.

අඟුණුකොළපැලැස්ස අලුත්වැව ග්‍රාමයේදී 1943 අපේ‍්‍රල් 05 වනදා දොන් එළියස් දහනායක විදාන මහතා සහ කරුණාවතී දිසානායක මැණිකේ දම්පතීන්ගේ පින්බර පුත් රුවනක් ලෙස උපත ලැබීය.

නිසි වියේදී ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරුවා අලුත්වැව මේධංකර, පරත්තේ ශ්‍රී ආනන්ද, පොළොම්මාරුවේ රේවත යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1957 නොබැම්බර් 08 වනදා පැවිදි බිමට ඇතුළත් විය.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි, අධ්‍යාපනයෙන් පසු එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය සහ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධියද හිමිකර ගත්හ.

අලුත්වැව සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1963 මැයි 31 වනදා මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ දී අධිසිල් ලැබූහ.

1976 දී ගුරු සේවයට ඇතුළත් වූ සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ කතරගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ද 1987 දී එහි විදුහල්පති ධූරයට ද පත් වූහ. එවකට මහ විදුහලක්ව පැවැති කතරගම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් හා ජනාධිපති ජාතික පාසලක් දක්වා උසස් තත්ත්වයට ගෙන ඒමට මහත් කැපවීමක් කළහ.

උන්වන්හන්සේ ලියූ ‘කතරගම පුද සිරිත්’ ‘ශ්‍රී ලංකාවේ බෝධි සංස්තෘතිය’ ‘බෞද්ධ රෝහණය’ සහ ‘බෞද්ධ භාවනාව‘ හා වෙනත් ලිපි’ යන ග්‍රන්ථ පාඨක ප්‍රසාදයට පාත්‍ර වූහ.

ඊට අමතරව ‘බුදුසරණ’ ආදී පුවත්පත් රැසකට ලියා ඇති ලිපි බොහෝ ය.

ඉතා දිගු කලක සිට ‘බුදුසරණ’ වෙනුවෙන් උන්වහන්සේ දැක්වූයේ අනල්ප සහායකි. කෙතරම් වගකීම් මැද වුව ද ඇරුයුමක් කළහොත් එය ඉතා මැනවින් මෙන්ම වගකීමෙන් ඉටු කිරීමට තරම් උන්වහන්සේ කාරුණික වූහ. නිහතමානී වූහ.

පුරා දසක දෙකකට ආසන්න කාලයක සිට පුද්ගලිකව ම උන්වහන්සේ ඇසුරු කිරීමට හැකිවීම භාග්‍යයක් සේ සලකමි.

සෝරත නා හිමියන් කතරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හා මොනරාගල සහ හම්බන්තොට දෙ දිසාවේ විහාරාධිපති සංගමයේ සභාපති ධූරයන් ද කතරගම බෞද්ධ සංගමය, කිරි වෙහෙර මහා සේන සිල් සමිතිය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, ශිී‍්‍ර සංඝමිත්තා කුළඟන සමිතිය, විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය, මුල් ළමාවිය, ලේක්හවුස් සරසවි පියස ආදී සමිති සමාගම් රැසක අනුශාසක ධූර දරමින් උදාර මෙහෙවරක නිරත වූහ.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සෑම ක්ෂේත්‍රයක් උදෙසාම උන්වහන්සේ අතිමහත් නිහඬ සේවාවක් සිදු කළහ.

උන්වහවන්සේ සිදුකළ ශාසනික හා ආගමික සේවාවන් අගයක කරමින් මල්වතු මහා සංඝ සභාව මඟින් නාහිමියන් වෙත රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරි නමන ලදී. 2003 වසරේ දී මල්වතු මහා විහාර පාර්ශවය මගින් උපාධ්‍යාය පදවියක් පිරිනැමූහ.

කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා රන්වැටක් ඉදිකළ අලුත්වැව සෝරත නායක ස්වාමීන්ද්‍රයක් වහන්සේ මෑත යුගයේ දී අටවිසි බෝධින් වහන්සේ ද රෝපණය කරවූහ.

ධීවර අමාත්‍යාංශය මඟින් පවත්වා ගෙන ආ විසිර ගම්මාන වැඩ සටහන කතරගම ප්‍රදේශයට ගෙන ඒමට සෝරත නාහිමියන් පුරෝගාමී වී ඒ පිළිබඳ උනන්දු වී ගම්මාන කීපයකට නිවාස සාදා ගැනීමට ආධාර මුදල් ලබාදීමට ද ක්‍රියා කළහ.

මැණික් ගඟ කුඩා ගල් අමුණ ප්‍රදේශයෙන් හරස්කර කතරගම ප්‍රදේශයේ වැසි ජලයෙන් පුරවා යල මහ දෙකන්නය වී ගොවිතැන් කරන්නට රාජ්‍ය අනුග්‍රහය ද ලබා ගනිමින් සාර්ථක කර ගත්හ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර කතරගම නාගහ වීදිිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදිකරවීමත් එම නාගහවීදිය ගම්මානයේ පොල්අතු සෙවිලි කළ කුඩා නිවාස වෙනුවට ස්ථිර නිවාස 200 ක් පමණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අනුගහයෙන් හා දානපතියන්ගේ් ආධාරයෙන් ඉදිකරවන ලදී.

නාගහවීදිය ගම්මානය ‘මහාඝෝෂ පුර’ නමින් නව ගම්මානයක් ඉදිකර එහි වෙසෙන තරුණ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කර ගැනීම සඳහා ක්‍රීඩා මණ්ඩපයක් සහිත ක්‍රීඩාංගනයක් ද ලබාදීමට පුරෝගාමී වූහ.

කතරගම පැමිණීමට තිබූ කෙටිම මාර්ගය කතරගම තණමල්විල මාර්ගය වනජීවි දෙපාර්තමේන්තුව විසින් ලුණුගම්වෙහෙර වන උද්‍යානයට අයත් ප්‍රදේශයක් ලෙසින් සලකා එම මාර්ගය ජනතාවගේ් ගමනා ගමනයට ඉඩ නොදෙන ලදී.

එම මාර්ගය ලබා ගැනීම සඳහා නා හිමියන් ගත් උත්සාහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වී පොදු ජනතාවට තණමල්විල කතරගම මාර්ගය විවෘත කරන ලදී. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතාද කතරගම එම මාර්ගය ලබා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී.

කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ පෞරාණිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සෝරත නා හිමියෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඉමහත් මෙහෙවරක් සැලසූහ.

ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අපවත්වීම සම්බුදු සසුනටත් රටටත් බලවත් පාඩුවකි.

උන්වහන්සේට අමාමහ නිවන් සුබ පතමු.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]