UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි

මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි

මෙම ලිපිය අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි අපවත් වී දසවසරක් පිරීම නිමිත්තෙනි.

රටත්, ජාතියත්, ආගමත්, සම්බුදු සසුනත් සුරක්‍ෂිත කරලීම සඳහා ජාතියේ පුණ්‍ය මහිමයට පහළ වූ සඟරුවනක් ලෙස අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සීලයෙන්, ගුණයෙන් හා නුවණින් යුත් උන්වහන්සේ කරුණාබරිත හදවතින් යුතු පි‍්‍රයශීලී බවින් පිරිපුන් සුපේෂල ශික්‍ෂාකාමී මහා යතිරුවනකි. මෙබඳු උතුමන් පහළ වන්නේ රටට, ජාතියට වාසනාවකටය. ලොකු කුඩා ගිහි පැවිදි සෑම අයෙකුටම ආදර්ශ සම්පන්න දිවි පෙවතක් ගෙවූ මහා නායක මාහිමිපාණන් වහන්සේ දැකීම පවා නෙත් සිත් පුබුදුවාලීමට සමත් වේ.

අනාගත සමාජයේ අභිවෘද්ධිය ගැන කල්පනා කළ උන්වහන්සේ දැනුමෙන්, ගුණයෙන් හා අවබෝධයෙන් යුතු ගිහි හා පැවිදි සමාජයක් බිහි කරනු වස් සිදුකළ මෙහෙය ප්‍රශංසනීය වේ. 1957 වර්ෂයේ මහරගම ශාසන සේවක සමිතිය ආරම්භ කොට බෞද්ධ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය හා භාෂාන්තර දැනුමෙන් යුතු ආදර්ශවත් සිල්වත් සඟ පරපුරක් බිහි කිරීම සඳහා 1958 දී මහරගම ශ්‍රී වජිරඤාණ භික්‍ෂු පුහුණු ධර්මායතනය පිහිටුවීය. ඒ තුළින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් දැන උගත් මහ යතිවරුන් බිහි වූ අතර ලෝක ශාසනික සේවය උදෙසා උන්වහන්සේලාගෙන් සිදුවන මෙහෙය අති මහත් ය.

“මිනිහා හදා රට හදමු” යන උදාර සංකල්පය ඉදිරිපත් කළ උන්වහන්සේ ඒ සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙළක්ද දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීය. බෞද්ධ ජනතාවගේ ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා සදාචාර සංවර්ධනය උදෙසා මේ තුළින් අති මහත් සේවයක් සිදු වූහ. පුද්ගල හා සමාජ සංවර්ධනය රටක අනාගත පැවැත්ම බව සිතූ නාහිමියෝ 1960 දී තුරුණු සවිය වැඩසටහන ආරම්භ කළහ. තමන්ටත් අනුන්ටත් හිත සුව පිණිස තරුණ ශක්තිය යොදවා ඔවුන්ගේ අනාගතය හා රටේ අනාගත පැවැත්ම සවිමත් කිරීමට එය මහඟු අනුබලයක් විය. තරුණ තරුණියන්ගේ ප්‍රඥාව වර්ධනය කොට පරාර්ථකාමීව දස විද ප්‍රතිපත්තියකින් යුතුව සමාජයේ යහ පැවැත්මට දායක වීමට ඒ තුළින් තරුණ පිරිසට අවස්ථාව උදා විය. සමාජය හඳුනා ගැනීම, පරිසර සංරක්‍ෂණය, වගා කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රථමාධාර, සෞඛ්‍ය සේවා ආදිය තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනය ඇති වූ අතර එය සමාජ පරිවර්තනයට ද මඟක් විය.

1977 වර්ෂයේ මුලු මහත් ලාංකික සමාජයේම බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු වස් ධර්මවිජය සමාජ සංකල්පය හඳුන්වා දුන් අතර පන්සිල් සුරකින සමාජයක් තුළ සහජීවනයෙන් ක්‍රියා කරන පිරිසක් බිහිවීමට එය මඟක් විය. ලොකු කුඩා සෑම අයෙකු තුළම ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා සදාචාරය වර්ධනය ඇති කිරීම ධර්මවිජය සමාජ සංකල්පයේ ප්‍රධාන අරමුණු වේ. ගමින් ගම නගරයෙන් නගරය දීප ව්‍යාප්ත ලෙස ධර්මවිජය සමාජ බිහි වී මෙරට යළිත් ධර්මද්වීපයක පෙර නිමිති උදා විය. එය තවදුරටත් අර්ථවත් කිරීම සඳහා 1983 වර්ෂයේ ධර්මවිජය පදනම ලෙස ධර්මවිජය සමාජ මූලස්ථානය කොළඹ පිහිටුවිය.

මෙලෙස රටට, ජාතියට, ආගමට හා සසුනට නොමැකෙන සේවයක් සිදු කළ මඩිහේ මහා නාහිමිපාණන් වහන්සේට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තනතුරු, සම්මාන, උපාධි කොතෙකුත් ලැබෙන්නට වූ අතර ඒ කිසිවකින් අහංකාර නොවී නිහතමානී ගති පැවතුම් වලින් යුතුව ක්‍රියා කළහ. රටේ යම් ගැටලු අර්බුද පැන නැඟුණු අවස්ථාවල නොබියව තම මතය ඉදිරිපත් කළ අතර සිංහල දෙමළ සමඟිය උදෙසා නව සංකල්පද ඉදිරිපත් කළේය. දේශපාලනඥයන්ට නිවැරදි මඟ පෙන්වන්නෙකු වූ උන්වහන්සේ දිවයින පුරා වෙහෙර විහාර, පෙර පාසල්, දහම් පාසල්, ධර්මවිජය සමාජ බිහි කරමින් මෙරටට සිදු කළ මෙහෙය යුග ගණනාවක් පුරා පවතිනු ඇත. විචිත්‍ර ධර්ම දේශකයෙකු වූ උන්වහන්සේ තම ධර්ම දේශනා තුළින් රට දැය සමය අවදිකොට අභිමානවත් සමාජයක් බිහි කිරීමට දිවි හිමියෙන් ක්‍රියා කළහ. ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය වෙනුවෙන් නොමැකෙන මෙහෙයක් සිදු කළ බෝධිසත්ව ගුණෝපේත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණෝ උතුම් නිවන් සුවයෙන් සැනසේවා.

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]